මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදයට වසර දෙකක්: දැන් තත්ත්වය කුමක්ද?

Rohingya refugees gather to mark the second anniversary of the exodus at the Kutupalong camp in Cox’s Bazar, Bangladesh, August 25, 2019

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බංග්ලාදේශයේ සරණාගත කඳවුරක පැවති විරෝධතාව

වසර දෙකකට ඉහතදී සිය ගම්බිම් හැර පළා ආ රෝහින්ග්‍යා වැසියන් දස දහස් ගණනක් බංග්ලාදේශයේ පිහිටි අනාථ කඳවුරුවල සිට ඉරිදා (අගෝස්තු 25) විරෝධතාවක නිරත වූහ.

ප්‍රචණ්ඩකාරී මෙහෙයුම් හමුවේ රෝහින්ග්‍යා වැසියන් හත්ලක්ෂ පනස් දහසක් පමණ මියන්මාරයේ පිහිටි රඛයින් ප්‍රාන්තය හැර අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ආවේ 2017 අගෝස්තු මසදීය.

රෝහින්ග්‍යා වැසියන් සඳහා බංග්ලාදේශය පසුගිය බ්‍රහස්පතින්දා ස්වේච්ඡාවෙන් සිය ගම්බිම් බලා යාමේ වැඩසටහනක් හඳුන්වා දුන් නමුත් එකඳු වැසියෙකු හෝ යළි මියන්මාරය වෙත යාමට තීන්දු කර නොමැත.

යළි සිය රටට යාමට පෙර තමන්ට පුරවැසිභාවය ලබා දෙන ලෙස ඔවුහු මියන්මාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

රෝහින්ග්‍යා යනු මියන්මාරයේ වෙසෙන සුළුතර මුස්ලිම් ජන කොට්ඨාසයකි. ඔවුන්ගෙන් බහුතරය රඛයින් ප්‍රාන්තයේ වෙසෙන අතර ඔවුන්ටම අනන්‍ය වූ භාෂාවක් සහ සංස්කෘතියකට හිමිකම් කියති.

පරම්පරා ගණනාවක් මියන්මාරයේ වෙසෙන නමුත් ඔවුන් එරට පුරවැසියන් ලෙස පිළිගෙන නොමැති අතර සංගණන සඳහා යොදා ගෙන නොමැත.

මියන්මාරය විසින් ඔවුන් සලකනු ලබන්නේ බංග්ලාදේශයේ සිට නීතිවිරෝධී ලෙස පැමිණි සංක්‍රමණිකයන් වශයෙන්ය.

මියන්මාරය

2017 වසරේ අගෝස්තු 25 වෙනි දින රෝහින්ග්‍යා කැරලිකරුවෝ මියන්මාරයේ පොලිස් මුලපොළ කීපයකට පහර දී පොලිස් නිලධාරීන් කීපදෙනෙකු මරා දැමූහ.

ඒ සමග රෝහින්ග්‍යා ගම්මාන ගිනිබත් කෙරුණු අතර සාමාන්‍ය වැසියන්ට එරෙහිව පහර දීම්, දූෂණ සහ ඝාතන සිදු කර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම් විසින් සොයා ගනු ලැබිණි. එරට බෞද්ධ ප්‍රජාවට අයත් කලහකාරීන් ද ඊට සම්බන්ධ වී තිබිණි.

රඛයින් ප්‍රාන්තය තුළ දියත් වූ හමුදා මෙහෙයුම් "වාර්ගික ශුද්ධයකට කදිම උදාහරණයක්" බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.

රෝහින්ග්‍යා ජනයා විසින් එය හඳුන්වනු ලබන්නේ "ජනසංහාර අනුස්මරණ දිනයක්" ලෙසය.

එහෙත් රෝහින්ග්‍යා කැරලිකරුවන් පමණක් සිය මෙහෙයුමේ ඉලක්කය වී ඇති බව පවසන මියන්මාර හමුදාව සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට නැගෙන චෝදනා බැහැර කරයි.

2017 වසරේදී සිදු කරන ලද අභ්‍යන්තර විමර්ශනයක් මගින් රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් හමුදාව නිදහස් විය.

දැන් තත්ත්වය කුමක්ද?

Rohingya refugees walk on the muddy road after travelling over the Bangladesh-Myanmar border, Teknaf, 2 Sept 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශ සීමාව හරහා බංග්ලාදේශයට ඇතුළු වන රෝහින්ග්‍යා වැසියන්

උන්හිටි තැන අහිමි වූ රෝහින්ග්‍යා වැසියන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් බංග්ලාදේශයේ රැඳී සිටිති. විශාලතම සරණාගත කඳවුරේ වෙසෙන සංඛ්‍යාව ලක්ෂ පහකට අධිකය. ඒ හේතුවෙන් බංග්ලාදේශයට ආර්ථික බරක් දැරීමට සිදුව ඇත.

රෝහින්ග්‍යා වැසියන් යළි සිය රටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බංග්ලාදේශය සහ මියන්මාරය 2018 වසරේදී පැමිණි එකඟතාව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමත් සමග මේ වසර ආරම්භයේදී බංග්ලාදේශය කියා සිටියේ තව දුරටත් සරණාගතයන් භාර ගත නොහැකි බවය.

රෝහින්ග්‍යා වැසියන්ට නිදහසේ එහෙමෙහෙ යාමට ඉඩ සැලසෙන ජාතික හැදුනුම්පතක් ලබා දීමට මියන්මාරය ඉදිරිපත් වී සිටී. එමගින් තමන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් යැයි පිළිගනු ලැබෙන බව රෝහින්ග්‍යා වැසියන්ගේ විශ්වාසය වී තිබේ.

මියන්මාරය

සිය රට හැර නොගොස් රඛයින් ප්‍රාන්තයේ රැඳී සිටින රෝහින්ග්‍යා වැසියන් සංඛ්‍යාව ලක්ෂ පහකටත් අඩු සංඛ්‍යාවක් දක්වා පහළ ගොස් ඇත.

සැලසුම්සහගත ලෙස පීඩාවලට ලක් කරන බවට ඔවුහු මියන්මාර ආණ්ඩුවට චෝදනා කරති.

යළි මියන්මාරය බලා යැවීමේ වැඩසටහන සඳහා පවුල් තුන්සීයක් පමණ සම්බන්ධ වී තිබුණු අතර ඒ සඳහා බස් රථ ද සූදානම් කර තිබිණි.

යළි මියන්මාරය වෙත යාමට අවශ්‍ය දැයි යන්න දැන ගැනීම සඳහා ඔවුන්ගෙන් අදහස් විමසන ලද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය කියා සිටියේ " මේ මොහොතේ යළි සිය ගම්බිම් බලා යාමට කැමති බවක් කිසිවකුත් අඟවා නැහැ" යනුවෙනි.