මියන්මාරය එක්සත් ජාතීන්ගේ පරීක්ෂකට දොර වසයි

ඡායාරූප මූලාශ්‍රය, EPA
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන පරීක්ෂකවරිය යැන්ගී ලී හට සිය රටේ සංචාරය කිරීම සඳහා අවසර නොදෙන බව මියන්මාර ආණ්ඩුව එම සංවිධානය වෙත පවසා තිබේ.
රඛයින් ප්‍රාන්තයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ බව පැවසෙන වධහිංසා සහ මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින තත්ත්වය තක්සේරු කිරීම සඳහා යැන්ගී ලී එහි සංචාරය කිරීමට නියමිතව තිබුණේ ජනවාරි මාසයේදීය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ මානව හිමිකම් පිළිබඳ සොයා බලන කවර හෝ බලධාරියෙකුට මියන්මාරය වෙත ඇතුළුවීමට එරට බලධාරීන් අවසර නොදෙන බවය.
පසුගිය ජුලි මාසයේ දී රඛයින් ප්‍රාන්තයේ සංචාරය කළ ඇය රෝහින්ග්‍යා ජනතාවට සලකන ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් සකසා තිබේ.
එම වාර්තාව පක්ෂග්‍රාහී සහ අසාධාරණ බව මියන්මාරය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉදිරි විමර්ශන කටයුතු සඳහා තමන් සමග සහයෝගයෙන් කටයුතු නොකරන බව මියන්මාර බලධාරීන් කියා සිටි බව යැන්ගී ලී සඳහන් කළාය.
තමන් එහි යාමෙන් වළකාලීම මගින් රඛයින් ප්‍රාන්තය තුළ "ඉතාමත් භයානක දෙයක්" සිදුවෙමින් පැවති බව සිතිය හැකි යැයි ඇය වැඩිදුරටත් කියා සිටියාය.
අඟහරුවාදා (දෙසැ 19) මියන්මාර බලධාරීන් කියා සිටියේ රඛයින් ප්‍රාන්තයේ ගම්මානයක සමූහ මිනී වලක තිබී මෘත ශරීර දහයක් සොයා ගත් බවය.
රෝහින්ග්‍යාවරුන් බංග්ලාදේශය කරා පිටමංවීම ආරම්භ වූයේ පසුගිය අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් මියන්මාර පොලිස් මුරපොල වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය.
ඒ සමග මියන්මාර හමුදා විසින් රඛයින් ප්‍රාන්තයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

රඛයින් ප්‍රාන්තය තුළ දියත් කළ එම හමුදා මෙහෙයුම "වාර්ගික ශුද්ධයකට කදිම උදාහරණයක්" බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එහෙත් සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට නැගෙන චෝදනා මියන්මාර හමුදාව විසින් බැහැර කරනු ලබයි.
හමුදා මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමග අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ගොස් සිටින රෝහින්ග්‍යාවරුන්ගේ සංඛ්‍යාව හය ලක්ෂයකට අධිකය.
සබැඳි යොමු:








