රෝහින්ග්‍යා අර්බුදය: සුචී අදහස් දක්වයි

Aung San Suu Kyi (centre) at Sittwe airport. Photo: 2 November 2017

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් මස ආරම්භයේ රඛයින් ප්‍රාන්තයේ සංචාරයක නිරත වූ අවුන් සාං සුචී

රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව නැවත සිය රට වෙත ගෙන්වා ගැනීම සඳහා බංග්ලාදේශය සමග ඉක්මනින්ම එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාං සුචී පවසා තිබේ.

රඛයින් ප්‍රාන්තය තුළ මියන්මාර හමුදාව විසින් අගෝස්තු මාසයේ දී ප්‍රචණ්ඩ මෙහෙයුමක් දියත් කරනු ලැබීමත් සමග රෝහින්ග්‍යාවරු හය ලක්ෂයක් පමණ අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ගියහ.

ආසියානු සහ යුරෝපා රටවල විදේශ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මියන්මාරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දැක්වූ අවුන් සාං සුචී, රඛයින් ප්‍රාන්තයේ ස්ථාවරභාවය වෙනුවෙන් හැකි සියල්ල කළ යුතු බව පැවසුවාය.

රඛයින් ප්‍රාන්තයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා නොදැකීම සම්බන්ධයෙන් නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාං සුචී දැඩි ලෙස විවේචනයට ලක් විය.

Burning Gaw Du Thar Ya
ඡායාරූප ශීර්ෂ වැකිය, ගිනිබත් කෙරුණු රෝහින්ග්‍යා ගම්මාන

මේ අතර රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කියා සිටියේ මියන්මාරයේ වෙසෙන රෝහින්ග්‍යා ජනයා රාජ්‍ය අනුග්‍රහය ඇතිව නොසලකා හැරීමට ලක්වන බවය.

එම සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව තුළ රෝහින්ග්‍යා ගම්මාන හඳුන්වා ඇත්තේ "එළිමහන් සිර කඳවුරු" ලෙසය.

එමෙන්ම රෝහින්ග්‍යා ජනයා දශක ගණනාවක සිට හිංසාවන්ට ලක්වන බවත් එම වාර්තාවේ සඳහන් වේ.

රෝහින්ග්‍යා කැරලිකරුවන් පමණක් සිය මෙහෙයුම්වල ඉලක්කය වී ඇති බව පවසන මියන්මාර හමුදාව සාමාන්‍ය වැසියන් වධහිංසාවට ලක් කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මියන්මාරය

මේ අතර බංග්ලාදේශය වෙත පළා ගොස් සිටින රෝහින්ග්‍යා ජනතාව නැවත මියන්මාරය වෙත රැගෙන ඒම සඳහා අදියර තුනකින් යුත් වැඩපිළිවෙලක් චීනය විසින් සඳුදා (නොවැ 20) යෝජනා කරනු ලැබීය.

ආසියානු සහ යුරෝපා විදේශ ඇමතිවරු සමග මියන්මාරයේ පැවති හමුවක දී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී කියා සිටියේ පළමුව රඛයින් ප්‍රාන්තය තුළ සටන් විරාමයක් ඇති කළ යුතු බවය.

ඉන් අනතුරුව රෝහින්ග්‍යා වැසියන් නැවත මියන්මාරය වෙත රැගෙන ඒම සඳහා ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ විසඳුමක් සෙවිය යුතු බව චීන විදේශ ඇමතිවරයා සඳහන් කළේය.

තෙවන පියවර වශයෙන් දුගීභාවය අඩු කිරීම මත පදනම් වූ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රෝහින්ග්‍යාවරුන් බංග්ලාදේශය කරා ගලා යාම ආරම්භ වූයේ පසුගිය අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් මියන්මාර පොලිස් මුරපොල වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය.

ඒ සමග මියන්මාර හමුදා විසින් රඛයින් ප්‍රාන්තයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

සබැඳි යොමු: