කිම් ඒරිස්: අවුං සාන් සූ චී නිදහස් කරන්නැ යි ඇගේ පුත්‍රයා මියන්මාර හමුදාවෙන් ඉල්ලයි

Kim Aris
ඡායාරූප ශීර්ෂ වැකිය, අවුං සාන් සූ චීගේ බාල පුත්‍රයා පළමු වරට ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින්
    • Author, සඳාර් වින්, මෝ මයින්ට් සහ ග්රේස් සොයි
    • Role, ලන්ඩන් සහ හොං කොං සිට

බලයෙන් පහ කරන ලද මියන්මාර නායිකා අවුං සාන් සූ චීගේ බාල පුත්‍රයා, ඇය බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙස හමුදාවෙන් ඉල්ලීමක් කර තිබේ.

"මට බෑ මගේ අම්මට හිරේ ඉන්න දෙන්න," කිම් ඒරිස් ලන්ඩනයේ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී බීබීසී බුරුම සේවය වෙත ප්‍රකාශ කළ අතර, ඇයට උපකාර කිරීමට වැඩි යමක් කරන්නැ යි ලෝකයෙන් ඉල්ලා සිටියේ ය.

2021 වසරේ සිදුවූ කුමන්ත්‍රණයකින් ඇගේ රජය පෙරළා දැමීමෙන් පසු පැවති නඩු විභාග මාලාවකින් සූ චීට වසර 33ක සිර දඬුවමක් නියම විය.

එතැන් සිට මියන්මාරයේ තත්ත්වය දස දහස් ගණනකට මරු කැඳවූ සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වී ඇත.

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ඒරිස් පවසන්නේ, යුද්ධ හමුදාව තම මව හෝ ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නොමැති බව ය. ඔහු බුරුම තානාපති කාර්යාලය, බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත්, ඔවුන්ගෙන් කිසිවෙකුට ත් උපකාර කිරීමට නොහැකි වූ බව ඔහු පවසයි.

"මීට කලින් මට මාධ්‍යයට කතා කරන්නවත්, මේ සිද්ධියට ඕනෑවට වඩා සම්බන්ධ වෙන්නවත් අවශ්‍යතාවක් තිබුණේ නෑ," ඒරිස් ජාත්‍යන්තර මාධ්‍ය සමග සිදු කළ ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාවේ දී පැවසීය. 1989 සිට 2010 දක්වා වසර 15කට ආසන්න කාලයක් ඔහුගේ මව රඳවා ගෙන සිටි අවධියේ ඔහු ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර නොතිබිණි.

"මම දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්නවා නම් හොඳයි කියලා හිටියේ. මගේ අම්මා කවදාවත් මාව [දේශපාලනයට] සම්බන්ධ කරගන්න කැමති වුණේ නැහැ. නමුත් දැන් එයා දඬුවම් විඳින නිසා ත්, හමුදාවේ ක්‍රියාකලාපය පැහැදිලිව ම අයුක්ති සහගත නිසා ත්, මං හිතන්නේ මට ඕන දේ මට කියන්න පුළුවන්."

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද අවුං සාන් සූ චී ලෝක ප්‍රජාතන්ත්‍රවාදය තුළ කැපීපෙනෙන චරිතයක් වූවා ය. රඳවා තබා ගැනීමෙන් පසු 2010 වසරේ දී ඇගේ නිදහස් වීම මියන්මාරයේ සහ ලොව පුරා ජනතාව විසින් සමරනු ලැබීය.

නමුත් ඇගේ රජය බලයේ සිටිය දී මියන්මාරය මුස්ලිම් රෝහින්ග්‍යා වැසියන්ට කුරිරු ලෙස සැලකූ බවට පුළුල්ව පැතිරී ගිය ප්‍රකාශවලින් පසු එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයෙන් (ICJ) එල්ල වූ ජන සංහාර චෝදනාවලට එරෙහිව ඇගේ රට ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඇය පසුව විවේචනයට ලක් විය. රෝහින්ග්‍යා වැසියෝ මිලියනයක් පමණ දෙනා මෑත වසරවල දී මියන්මාරයෙන් පළාගොස් අසල්වැසි බංගලාදේශයේ සරණාගතයෝ ලෙස වෙසෙති.

කුමන්ත්‍රණයට පෙර ඔහුගේ මවට එල්ල වූ විවේචන පිළිබඳව බීබීසීය යොමු කළ ප්‍රශ්නවලට ඒරිස් ප්‍රතිචාර නොදැක්වූ අතර, ඒ වෙනුවට ඇය වර්තමානයේ පසුවන දුක්ඛිත තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තක් දැක්වීය.

කුමන්ත්‍රණයෙන් පසු නිවාස අඩස්සියේ සිටි සූ චී පසුගිය වසරේ නේ පී ටෝ අගනුවර බන්ධනාගාරයක හුදෙකලා කුටියක සිරගත කරන ලදී. පසුගිය වසර දෙකක කාලය තුළ ඇය පිළිබඳ කිසිදු තොරතුරක් හෝ හෙළි නොවිණි. ඇය රෝගාතුරව සිටි බවට ද කටකතා පැතිර ගිය නමුත් හමුදාව එම වාර්තා ප්‍රතික්ෂේප කළේ ය.

Aung San Suu Kyi and Kim Aris

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, 1988 වසරේ දී මියන්මාරයට පැමිණීමට පෙර අවුං සාන් සූ චීගේ පවුල ජීවත් වූයේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හි ය

එල්ල වන ප්‍රතිරෝධය මැඩලීම සඳහා යුද්ධ හමුදාව මාරාන්තික අවි සහ ගුවන් ප්‍රහාර යොදා ගන්නා බැවින් අඛණ්ඩව යුද හානි සිදුවන මියන්මාර අර්බුදය විසඳන ලෙස ඒරිස් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ඔහු පවසන්නේ, ජාත්‍යන්තර ප්‍රජාව "හමුදාවට නිසි අවි තහනමක් පැනවීම සහ හමුදාවට එරෙහිව සටන් කිරීමට උත්සහ කරන පිරිස් වෙත සහයදීම ඇතුළු යමක් කිරීම" ආරම්භ කළ යුතු බව ය.

සම්බාධක පනවා, ජාත්‍යන්තර වශයෙන් හුදකලාව තිබියදී ත්, මියන්මාරය ආයුධ සහ ඒවා සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම අඛණ්ඩව කර ගෙන යයි.

තම මව නිදහස් කර ගැනීම සඳහා ඔවුන් "දැඩි ලෙස බලපෑම් කිරීම ආරම්භ කළ යුතු" බව ඔහු තවදුරට ත් පවසයි. "මේ වගෙ දුෂ්කර කාලයක ජීවත්වෙන, බුරුම ජනතාවගෙන්ම හැර වෙනත් කිසිවෙකුගෙන් හෝ සහයෝගයක් නොලබන බුරුම ජනතාවට නිසි ආධාර ලබා දෙන ලෙස" ඔහු ලෝකයෙන් ඉල්ලා සිටියේ ය.

"ද ලේඩි" ලෙස හඳුන්වන සූ චී ඇගේ රෝගී මව රැකබලා ගැනීමට එක්සත් රාජධානියේ සිට මියන්මාරයට පැමිණි දා සිට, එනම් 1988 වසරේ සිට, වැඩි කාලයක් ඒරිස් සහ ඔහුගේ සහෝදරයා ගත කළේ මවගෙන් වෙන්ව ය.

නිදහසේ වීරයෙකු වූ ජෙනරල් අවුං සාන්ගේ දියණිය වූ ඇය මිලිටරි ආඥාදායකත්වයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී ගැති ව්‍යාපාරයේ නායිකාවක් ලෙස ඉස්මතු වූවා ය. ඇය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ (NLD) සම-නිර්මාතෘවරිය වූ නමුත් 1989 වසරේදී නිවාස අඩස්සියේ තබන ලදී.

1991 වසරේදී, ඇයට නැවත පැමිණීමට නොහැකි වේයැ යි බියෙන් මියන්මාරයෙන් පිටව යාමට නොහැකිව සිටි අවස්ථාවේ එවකට 14 හැවිරිදි වියේ පසුවූ ඒරිස් ඇය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ලබා ගත්තේ ය. ඇගේ සැමියා 1999 වසරේ දී පිළිකාවක් හේතුවෙන් මියයාමට පෙර පවා ඇය ඔහු බැලීමට ආපසු නොගියා ය.

Aung San Suu Kyi and Taichito

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඒරිස් 2010 වසරේදී ඔහුගේ මවට ටයිචිටෝ නමැති බලු පැටවෙකු තෑගි කළේ ය

2010 වසරේදී ඇය රැඳවුම් භාරයෙන් නිදහස් වූ විට ඒරිස් අවසානයේ ඇය බැලීමට ගියේ ය. ඔහු පිටත්ව යාමට පෙර ඇයට ත්‍යාගයක් ලෙස යැංගොංහි වෙළඳපොළකින් මිල දී ගත් බලු පැටවෙකු ලබා දුන්නේ ය.

"කූඩුවේ හිටපු බලු පැටව් අතරින් ඇත්තට ම අවදියෙන් හිටපු එක ම බලු පැටියා එයා. ඉතින් එයා තමයි මාත් එක්ක ගෙදර ආවේ," ඔහු සිහිපත් කරයි. "එදා ඉඳලා, එයා මගේ මවට ඉතා විශ්වාසවන්ත යාලුවෙක් වුණා."

වසර 25කට පසු රට තුළ පැවති ප්‍රථම නිදහස් මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය (NLD) විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන යාමෙන් අනතුරුව 2015 වසරේදී සූ චී එරට නොනිල නායිකාව බවට පත්වූවා ය. ඇයට හිමිවූ සහය පහත වැටුණ ද, ඇය බුරුම වැසියන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් ලෙස අඛණ්ඩව පැවතුණා ය.

ටයිචිටෝ තවමත් ජීවතුන් අතර සිටින අතර ඔහු නුදුරේදී ම සූ චී සමග නැවත එක්වනු ඇතැ යි ඒරිස් විශ්වාස කරයි.

"හමුදාව කවදාවත් මේ යුද්ධෙ දිනන්නේ නෑ. ඒක තව කොච්චර කාලයක් පවතියි ද කියන එක තමයි ප්‍රශ්නෙ," ඔහු පවසයි. "ඔවුන් මගේ අම්මට සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වුණු රජයට ආපහු බලය දෙන්නේ කවදා ද, අන්න එදා ඉඳලා රටේ දේවල්වල ප්‍රගතියක් ඇති වෙන්න පටන් ගනීවි."