මියන්මාර හමුදා කුමන්ත්‍රණය:සටන් වැදීම ප්‍රතික්ෂේප කරන මියන්මාර හමුදා සෙබළු

ඡායාරූප මූලාශ්‍රය, Kevin Kim/BBC
- Author, කෝ කෝ අවුං, රෙබෙකා හෙන්ෂ්ක් සහ ෂාලට් ඇට්වුඩ්
- Role, බීබීසී ලෝක සේවය
මියන්මාර යුද හමුදාව, එහි භටයින් සේවය හැරයෑමෙන් හා බඳවාගැනීම් අවමවීම හේතුවෙන් පීඩා විඳියි. ඉතා මෑතක දී සේවය හැරගිය භටයින් හා සිදුකළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවක දී ඔවුන් බීබීසීයට පැවසුවේ, මින් වසර දෙකකට පෙර හමුදා කුමන්ත්‍රණයක් හරහා එරට බලය පැහැරගත් ජුන්ටාව ප්‍රජාතන්ත්‍රවාදයට ගැති සන්නද්ධ කැරැල්ල මර්දනය කිරීමට බලවත් පරිශ්‍රමයක් දරනබව යි.
"හමුදාවට බැඳෙන්න කාටවත් උවමනාවක් නෑ. මිනිස්සු ඔවුන්ගේ කෘරත්වයට යි අසාධාරණ වැඩවලට යි වෛර කරනවා," නේ අවුං පවසයි. ඔහු ඔහුගේ හමුදා කඳවුර හැරයෑමට තැත්කළ පළමු අවස්ථාවේ දී රයිෆලයක හිසින් දැඩි සේ පහරකෑමට ලක්වූ අතර, "ද්‍රෝහියා" ලෙස අමතනු ලැබුණි.
දෙවැනි අවස්ථාවේ දී එතැනින් ගැලවීමට සමත්වූ ඔහු, ජුන්ටාවට විපක්ෂ කණ්ඩායම්වල සහාය ඇතිව දේශසීමාව හරහා තායිලන්තයට පළාගියේ ය.
"මගෙ යාළුවන්ගෙන් කෙනෙක් [රජයට එරෙහි] කැරැල්ලට සම්බන්ධ යි," ඔහු පවසයි. "මම එයාට කෝල් කළාම, එයා තායිලන්තෙ ඉන්න අයට මං ගැන කිව්වා. මම මෙහෙ ආවෙ එයාලගෙ උදව්වෙන්."
ඔහු දැන් මෑතක දී සේවය හැරගිය හමුදා සෙබළුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් සැදි 100ක් පමණ දෙනා සමග ආරක්ෂිත නිවාසයක වාසය කරයි. තමන්ගේම ජනතාවට එරෙහිව සටන් වැදීම ප්‍රතික්ෂේප කළ මේ මිනිසුන් දැන් සැඟවී සිටින නිසා, අපි ඔවුන්ගේ සැබෑ නම් භාවිතා නොකරන්නෙමු. ඊට එරෙහිව සටන් වදින්නැ යි [ජුන්ටාව විසින්] ඔවුනට අණ කෙරුණු ප්‍රතිරෝධී ව්‍යාපාරයම දැන් ඔවුන්ට නිවහන සහ ආරක්ෂාව සපයයි.

ඡායාරූප මූලාශ්‍රය, Kevin Kim/BBC
2021 පෙබරවාරියේ දී හමුදාව විසින් බලය පැහැරගැනීමෙන් පසු, හමුදා භටයින් හා පොලිස් නිලධාරීන් 13 000ක් පමණ දෙනා සේවය හැරගොස් ඇතැ යි, පිටුවහලේ පසුවන මියන්මාරයේ ජාතික එක්සත් රජය (National Unity Government of Myanmar/NUG) පවසයි. තව තවත් පොලිස් හා හමුදා භටයින්ගේ පක්ෂපාතකම ලබාගැනීමේ උත්සාහයක් ලෙස ඔවුන් මූල්‍යමය දිරිගැන්වීම් හා සහාය පිරිනමයි.
දහනව හැවිරිදි මවුං සෙයින්, ආරක්‍ෂිත නිවාසයේ වෙසෙන ළාබාලතමයා ය. ඔහු යාන්තම් 15-හැවිරිදිව සිටිය දී හමුදාවට එක්වූ අයෙකි.
"මං හමුදාව අගේ කරනවා,"යි පවසන මවුං සෙයින්, ඔහුට ඔහුගේ පවුලට ආඩම්බරයක් ගෙනදීම අවශ්‍යවූබව පවසයි. නමුත්, හමුදාව විසින්, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි දීපව්‍යාප්ත කැරැල්ල ප්‍රචණ්ඩකාරී ලෙස මැඬපැවැත්වීම නිසාවෙන්, නිල ඇඳුමින් සැරසි පුරුෂයින් පිළිබඳ ජනතා මතය බොහෝසෙයින් වෙනස්වී තිබේ.
"අපි දැක්කා ඉන්ටර්නෙට් එකේ, මිනිස්සු අපට 'හමුදා බල්ලො' කියලා කතාකරනවා," ඔහු පවසයි. ලංකාවේ මෙන්ම මියන්මාරයේ දී ද 'බල්ලා' යනුවෙන් ඇමතීම විශාල අපහාසයකි. "ඒ නිසා මට කණගාටු හිතුනා, දුක හිතුනා."
මවුං සෙයින් පවසන්නේ, "සිවිල් වැසියන් මරා ගම්මාන පුළුස්සා දමන්නට ඉහළින් දෙන නියෝගවලට" අකීකරුවීමට ඔහු වැනි සාමාන්‍ය සෙබළුන්ට නොහැකිබව යි.
නමුත් හමුදාව දුබල ස්ථානයක පසුවන්නේයැ යි සිතන නිසා ඔහු සේවය හැරදා පැමිණ තිබේ.
දේශසීමා කලාපයන්හි සිටින වාර්ගික සන්නද්ධ සංවිධානයන් සමග කටයුතු කරන මහජන හමුදා කණ්ඩායම් ජාලයක් වන 'මහජන ආරක්ෂක බලකායන්' (PDF), බොහෝදෙනා බලාපොරොත්තුවූවාට වඩා ප්‍රබල බලවේගයක්බව දැන් දැන් ඔප්පුවෙමින් පවතින අතර, මියන්මාරයේ හමුදාව වෙතින් එරට විශාල ප්‍රදේශයන්හි පාලනය ගිලිහීගොස් තිබේ.
පෙර දී හමුදාවට බොහෝ සෙබළුන් ලබාදුන් මැග්වේ හා සාගයිං කොට්ඨාසයන්හි තරුණයින් දැන් ඒ වෙනුවට මහජන හමුදාවන්ට බැඳෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හමුදාව හැරයෑමට ඉඩ පෑදීමට පෙර, PDF පුහුණු කඳවුරකට "පහරදී විනාශකර දැමීමට" මවුං සෙයින්ගේ භට ඛණ්ඩයට අණ ලැබුණි.
එම මෙහෙයුම සාර්ථක නොවීය. පසුබසින්නැ යි අණ ලැබීමට පෙර ඔහුගේ සෙබළ සගයින් කීපදෙනෙකුම මරණයට පත්විය. "ඒගොල්ලන්ට [PDF එකට] අපට වඩා හොඳ උපායමාර්ගයක් තිබ්බා," ඔහු පවසයි. "ඒ නිසා එයාලට වැඩි ශක්තියක් තියෙනවා."
PDF බලකායන් පුළුල් මහජන සහයෝගයක් අත්විඳින අතර, ගම්වැසියන් රජයේ හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔවුනට බුද්ධි තොරතුරු සැපයීම හා තරුණ මහජන හමුදා සටන්කාමීන්ට රැකවරණය සපයයි.

ඡායාරූප මූලාශ්‍රය, Andre Malerba/BBC
කපිතාන් සේ තූ අවුං වසර 18ක් ගුවන් හමුදාවේ සේවය කළේ ය. ඔහු, හමුදා කුමන්ත්‍රණය සිදුවී වසරකට පසු 2022 පෙබරවාරියේ දී සේවය හැරගියේ ය.
"එයාලට රට වටෙන්ම ගහනවා," ඔහු පවසන්නේ මියන්මාර හමුදාවේ තත්ත්වය ගැන මෙනෙහි කරමිනි. "[ඒවාට] ප්‍රතිප්‍රහාර දෙන්න තරම් සෙබළු සංඛ්‍යාවක් එයාලට නැහැ."
හමුදාව දැන් වැඩි වැඩියෙන් ගුවන් හමුදා සේවය ලබාගන්නේ මෙනිසායැ යි ඔහු කියයි.
මෑත මාසවල දී, හමුදාව රට පුරාවට අතිශය ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ලකර තිබේ. ජනවාරියේ පටන් වාර්තා වූ ගුවන් ප්‍රහාර සංඛ්‍යාව 200කට අධික ය. මින් ඉතාම මාරාන්තික ප්‍රහාරය අප්‍රේල් මස දී සාගයිං කොට්ඨාසයේ ප සි ග්යී ගම්මානයට එල්ල කෙරුණු අතර, ඉන් කාන්තාවන් හා ළමුන් ද ඇතුළු 170කට අධික ජන පිරිසක් ඝාතනයවිය.
"ගුවන් හමුදාව නැත්නම්, හමුදාව කඩාවැටෙන්න ලොකු ඉඩක් තියෙනවා," කපිතාන් අවුං පුරෝකථනය කරයි.
ආරක්ෂක අංශයන්හි සේවය හැරගිය අනෙකුන් මෙන්ම, ඔහු ද ගුවන් හමුදා කැඩෙට් භටයෙකු ලෙස බඳවාගත් දා ඔහුගේ පවුල ඔහු ගැන ආඩම්බරවිය. එකල, මියන්මාරයේ හමුදාවෙහි භටයෙකුවීම ගෞරවයක් වීයැ යි ඔහු පවසයි. හමුදා කුමන්ත්‍රණය විසින් "අපිව ආගාධෙකට ඇදලා දැම්මා," ඔහු කියයි.
"මම එයා ෆෝස් එකේ ඉඳිද්දී මා එක්ක හිටපු ගොඩක් දෙනා නරක මිනිස්සු නෙවේ. ඒත් කුමන්ත්‍රණෙන් පස්සෙ උන් අමනුස්සයො වගෙ හැසිරෙන්නේ."
කෙසේ වෙතත්, ඔහු සිටි හමුදා ඛණ්ඩයෙන් සේවය හැරගිය එකම තැනැත්තා ඔහු ය. ඔහුගේ මිතුරන්ගෙන් වැඩිදෙනා "මගේම මිනිස්සුන්ට විරුද්ධව සටන් කරනවා," ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මියන්මාරයේ රාජ්‍ය කටයුතු සඳහා හමුදාව රඟදක්වන තීරණාත්මක භූමිකාවක් වුවත්, එහි විශාලත්වය නිශ්චිත නැත. බොහෝ නිරීක්ෂකයින් ඇස්තමේන්තු කරන පරිදි කුමන්ත්‍රණය සමයේ එහි විශාලත්වය සෙබළුන් 300 000ක් පමණ වන්නට ඇතිමුත්, දැන් ඊට වඩා බොහෝ කුඩා ය.
රජයට එරෙහි ප්‍රතිරෝධී කණ්ඩායම් විසින් අරමුදල් රැස්කිරීම සඳහා, සාම්ප්‍රදායික ලෙස මහජනයාගෙන් මුදල් එකතුකිරීමේ යාන්ත්‍රණයන් ද සමග වීඩියෝ ක්‍රීඩා වැනි නව තාක්‍ෂණයන් ද භාවිතාකර තිබේ. ඔවුනට ලැබෙන තනි තනි පරිත්‍යාගයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ඩයස්පෝරාවෙනි (ඩයස්පෝරාවක් යනු, මව්බිමෙන් පිට විදේශයන්හි පැතිරී වෙසෙන ජනයා ය).
මේ ආකාරයෙන් සැලකිය යුතු මුදලක් රැස්කර ගැනීමට ඔවුන් සමත්ව සිටින නමුත්, හමුදා මට්ටමේ ආයුධ හෝ ප්‍රහාරක යානාවන්ට ප්‍රවේශය ඔවුන් සතු නොවේ.
හමුදා ගුවන් යානාවක් හෝ නාවික හමුදා යාත්‍රාවක් සමග හමුදාව හැර පැමිණෙන රෙජීමයේ ගුවන් නියමුවන්ට හා නාවිකයින්ට ඇ. ඩො. 500 000ක (රු. මිලියන 145ක් පමණ) මුදලක් ගෙවනබවට මියන්මාරයේ ජාතික එක්සත් රජය නිවේදනයකර ඇතිමුත්, මෙතෙක් කිසිවෙකුත් එසේ සිදුකර නැත.
කපිතාන් අවුං පවසන්නේ, "අවුරුදු ගාණක් තිස්සේ මොළ හේදුවයින් පස්සෙ" සේවය හැරයෑම එතරම් පහසු නැතිබවකි. ඔහු ද, තමා ද්‍රෝහියෙකු ලෙස හඳුන්වනු ඇතැ යි බියෙන් පසුවී හිඳ ඇත.
"මියන්මාර හමුදාව අතරෙ ප්‍රසිද්ධ කතාවක් තමයි, 'අපි හමුදාවෙන් අයින්වෙන්නේ මළාම' කියන එක."
රුසියාවේ භූමිකාව
සේවය හැරයෑමට පෙර කපිතාන් අවුං, රුසියාවේ සිට දියුණු ප්‍රහාරක ජෙට් යානාවන් වන Sukhoi Su-30 පැමිණීම වෙනුවෙන් නේපීඩෝ අගනුවර ගුවන්තොටුපොළෙහි සිදුකරන දැවැන්ත නවීකරණ කටයුත්තකට සහාය දුන්නේ ය.
කපිතාන් අවුං ගුවන්තොටුපොළෙහි චන්ද්‍රිකා ඡායාරූප අපට පැහැදිලිකර දෙයි. ඔහු එහිදී නැවතී සිටි ස්ථානයත්, ඇනවුම්කර තිබූ Sukhoi Su-30 යානා හය සඳහා විවෘත මඩු තුනක් ඉදිකිරීමට සහාය දුන්නේ කුමන ස්ථානයේ ද යන්නත් ඔහු අපට පෙන්වයි.

ඡායාරූප මූලාශ්‍රය, Google Earth
මෙම ප්‍රහාරක ජෙට් යානාවන්, "මියන්මාර හමුදාවේ අවි ගබඩාවේ ඇති ඉතාම දියුණු ගුවන්යානා" නියෝජනය කරනබව, එරට හමුදා භාවිතා කරනා ගුවන් යානා පිළිබඳ අවධානයෙන් පසුවන, මියන්මාර විට්නස්හි (එනම්, මානව හිමිකම් පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානය) ලියොන් හොදැවි පවසයි.
Sukhoi Su-30 යනු දියුණු, බහුකාර්ය ප්‍රහාරක ජෙට් යානාවක් බව පවසන ඔහු, මියන්මාරයට ආනයනය කළ අනුවාදයේ ගුවනේ සිට ගුවනට සහ ගුවනේ සිට ගොඩබිමට යන ප්‍රහාරක හැකියාවන් දෙකම පවතිනබව ප්‍රකාශ කරයි.
මෑතකාලීන ගුවන් ප්‍රහාරයන්හි දී නිතර දක්නට ලැබෙන රුසියාවේ නිෂ්පාදිත Yak-130 යානාවන්ට වඩා ආයුධ ගෙනයෑමේ වැඩි ධාරිතාවක් ඒවා සතු ය.
නව ප්‍රහාරක යානා හා සම්බන්ධ එකඟතාවට අනුව, ඒවායේ "සම්පූර්ණ වගකීම් කාලය වන වසරක කාලයක් සඳහා" රුසියාවෙන් පැමිණි පරීක්ෂණ නියමුවන් දෙදෙනෙකු සහ 10 දෙනෙකුගෙන් යුත් අලුත්වැඩියා කාර්යය මණ්ඩලයක් එරට රැඳී සිටිනබව කපිතාන් අවුං කියයි. ඔහු ඔවුන් සඳහා නවාතැන් පහසුකම් ගොඩනැංවීමට සහභාගීවී තිබුණි.
එසේම, මියන්මාර ගුවන් හමුදාවේ ඇතැමුන් රුසියාවට යවනු ලැබුණි. "මේ ප්ලේන් ක්‍රියාකරවන්න පුහුණුවෙන්න 50කට වැඩි පිරිසක් රුසියාවට යවලා තියෙනවා," ඔහු අපට කියයි.
ප්‍රහාරක ජෙට් යානා හයෙන් දෙකක් මියන්මාරයට ගෙනැවිත් ඇති අතර හමුදා පෙළපාළිවල දී ප්‍රදර්ශනයකර තිබේ. ඒවා ගැටුම් සඳහා යොදවා තිබෙනු තවමත් දැකගන්නට ලැබී නැත.
ජාත්‍යන්තර සම්බාධකයන් හා අසල්වැසි රාජ්‍යයන්ගේ හෙළාදැකීම් හමුවේ මියන්මාර හමුදාව තවදුරටත් හුදෙකළාවෙමින් පවතියි. මාර්තුවේ දී පනවනු ලැබූ නවතම එක්සත් රාජධානි සම්බාධකයන් විසින් මියන්මාර හමුදාවට ඉන්ධන සඳහා තිබූ ප්‍රවේශය ඉලක්ක කෙරිණ.
නමුත් මියන්මාර හමුදාව සමග දිගුකාලීන සබඳතා තිබූ රුසියාව, ඔවුන්ගේ බලවත්ම විදේශික සහායකයා බවට පත්ව සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මියන්මාරයට පත්කර සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ටොම් ඇන්ඩෲස් පවසන්නේ, මියන්මාරයේ විශාලතම ආයුධ සැපයුම්කරු රුසියානු රජයබව ය. මැයි මස දී නිකුත් කෙරුණු ඔහුගේ වාර්තාවට අනුව, හමුදා කුමන්ත්‍රණය සිදුවීමෙන් පසු රුසියාව මියන්මාරයට ඩොලර් මිලියන 400කට අධික වටිනාකමින් යුතු ආයුධ සපයා ඇත.
මේවා, රජය සතු සමාගම් ද ඇතුළු රුසියානු සමාගම් 28කින් පැමිණෙයි. වාර්තාවට අනුව, මේ සැපයුම්කරුවන්ගෙන් 16ක් යුක්රේනයේ රුසියානු යුද්ධයේ දී ඔවුන් ඉටුකළ කාර්යය භාරය හේතුවෙන් ඇතැම් රටවල සම්බාධකයන්ට ලක්ව ඇත්තේ ය. එසේම, මෙම ආයුධයන් මියන්මාරය තුළ "යුධ අපරාධ වියහැකි අපරාධයන් හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන්" සිදුකිරීමට යොදාගෙන තිබේ.
ගුවනේ දී, ඩ්‍රෝන යානා යොදාගෙන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ජනතා කැරැල්ල උත්සාහ දරයි.
විසිපස් හැවිරිදි කින් සෙයින්, හමුදාමය ඉලක්කයන් වෙත නිවසේ දී සැදූ බෝම්බ හෙළීම සඳහා සිවිල් ඩ්‍රෝන යානා භාවිතා කරන ඩ්‍රෝන නියමුවරියන්ගේ කණ්ඩායමකට නායකත්වය දෙයි.
ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ව සිටි අතර, ආයුධ අතට ගැනීමට පෙර, හමුදා කුමන්ත්‍රණය නිසාවෙන් ඇවිළුණු මහජන විරෝධතාවන්ට සහභාගීවී තිබුණි.
"අපට හමුදාවට තරම් සම්පත් නෑ. එහෙමයි කියලා අපි නිකන් ඉන්නෙ නෑ," ඇය ඇගේ වනගත කඳවුරේ සිට පවසයි.
"ප්ලේන් එකක් එක්ක සැසඳුවම අපේ ඩ්‍රෝන් එක තල ඇටයක් වගෙ. තල ඇට ගොඩක් තියෙනව නම් [අපට] ගොඩක් දුර යන්න පුළුවන්," ඇය කියයි.
"අපි ඉහළින් පියාසර කළොත්, ඒ කිව්වෙ මීටර් 300ක් විතර උඩින්, උන් දන්නෙවත් නෑ අපි එනවා කියලා. ඉතින් අපට සාර්ථකව උන්ට ගහන්න පුළුවන්. උන් ඩ්‍රෝන්වලට බයයි."

ඡායාරූප මූලාශ්‍රය, Andre Malerba/BBC
මියන්මාර දේශසීමාවෙන් එපිට තායිලන්තයේ සැඟවුණු තැනක වෙසෙමින්, කපිතාන් අවුං දැන් ප්‍රජාතන්ත්‍රවාදය හා සටන් වදින ඇය වැනි තැනැත්තන් සමග ඔහුගේ ගුවන් හමුදා බුද්ධි තොරතුරු බෙදාගනියි.
"රෑට සද්ද අහන් හිටියොත්, අපට ෆයිටර් ජෙට් එකක් සිවිල් ගුවන් යානෙකින් වෙන්කරලා අඳුරගන්න පුළුවන් ද?" ඔහුගේ නිවෙසේ පිටුපස කාමරයකින් නැගෙන ප්‍රශ්නයක් සූම් සාකච්ඡාව හරහා කැඩි කැඩී ඇසෙයි.
"අපි අපේ දැනුම අපට පුළුවන් හොඳම විදියට බෙදාහදාගන්නවා," රැස්වීමෙන් පසු කපිතාන් අවුං කියයි.
එය තමාට "පුද්ගලික මට්ටමෙන්" සංකීර්ණ යමක්බව ඔහු අපට පවසයි. "මම එකට ජීවත් වෙච්ච මගෙ සහෝදරයො, යාළුවො, ගුරුවරු, එයාලා ගැන මට කිසි වෛරයක් නැහැ."
නමුත් ඔහුගේ අරමුණ ඊට වඩා විසල් ය. "ඒක තනි තනි මිනිස්සු ගැන දෙයක් නෙවෙයි. අපි සටන් කරන්නේ සංස්ථාපිතයකට එරෙහිව."
තමා සතුටින් සිටිනබව ද ඔහු පවසයි. මන්ද, "මම වැඩ කරන්නෙ මගෙ රට වෙනුවෙන්. මම විප්ලවය ඉවරවෙනකල් මට පුළුවන් හැම විදියෙන්ම ඒකට උදව් කරනවා."












