ඉන්දියාවේ 'දැඩි විරෝධයට' හේතු වූ යාපනය මුහුදේ නාවික හමුදා වෙඩි තැබීමේ සිද්ධිය කුමක් ද?

Indian Fishing Trawlers

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy

යාපනය, කයිට්ස් මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් විරෝධය පළකර සිටියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නව දිල්ලියේ සිටින වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කැඳවා සිය අප්‍රසාදය පළකරනු ලැබූ බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කර ඇත.

ඩෙල්ෆ් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියක් අඟහරුවාදා (ජන: 28) අලුයම වාර්තා වූ බවත් එහිදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් තවත් ධීවරයින් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

''ජීවනෝපාය පිළිබඳ අවධානය යොමු කරමින් ධීවරයින්ට අදාළ ගැටළු මානුෂීය ලෙස සැලකීමේ අවශ්‍යතාවය ඉන්දීය රජය සැමවිටම අවධාරණය කර ඇති අතර, කුමන තත්ත්වයක් යටතේ වුවද බලය යෙදවීම පිළිගත නොහැකියි. මේ සම්බන්ධයෙන් ආණ්ඩු දෙක අතර පවතින අවබෝධය දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතුයි.'' යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

මේ අතර, යාපනය, කයිට්ස් මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයෙකු සතුව තිබූ 'ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන්' තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන ඉන්දීය ධීවරයින්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට යාපනය ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී සායි මුරලි අඟහරුවාදා යාපනය රෝහල වෙත පැමිණියේ ය.

බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සෙසු 11 දෙනා ධීවර පරීක්ෂණ කාර්යාලයට භාර දුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.

කයිට්ස් මුහුදේ සිදුවුයේ කුමක් ද ?

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරය යාත්‍රා විශාල ප්‍රමාණයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කළ බවත්, එම ධීවර යාත්‍රා මෙරට ‍මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අයත් නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කෙරුණු බවත් පවසමින් ශ්‍රී ලංකා නාවික හමුදාව අද (ජනවාරි 28 වැනිදා) නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නියැලෙමින් මත්ස්‍ය තොග රැස් කරමින් රැඳී සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සමග එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කමාන්ඩර් බුද්ධික සම්පත් බීබීසී සිංහල වෙත පැවසුවේය.

එම ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමේදී නාවික හමුදාවේ නීත්‍යානුකූල නියෝගයන්ට අවනත නොවෙමින් කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් එම යාත්‍රාව වෙත නාවික හමුදා කණ්ඩායමක් ගොඩවීමට උත්සාහ කළ බවත්, එහිදි නාවික හමුදා සෙබළුන්ට අදාළ ධීවර යාත්‍රාව වෙත ගොඩවීම වැළැක්වීම සඳහා ආක්‍රමණශිලී ලෙස එම ධීවර යාත්‍රාව හසුරවමින් ඉන්දීය ධීවරයින් කලහාකාරීව හැසුරුණු බවත් නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

මේ අතර, මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන්දීය ධීවරයෙකු විසින් නාවික හමුදා නිලධාරියෙකු සමග පොර බැදීමක් සිදුව ඇති බවත්, එහිදී නාවික හමුදා නිලධාරියාගේ රාජකාරි ගිනිඅවිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ඇති බවත් නාවික හමුදා නිලධාරියෙකු කන්කසන්තුරය පොලිසිය වෙත කර ඇති පැමිණිල්ලක දැක්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අත්අඩංගුවට ගනු ඉන්දීය ධීවර යාත්‍රාවක තිබු මත්ස්‍ය අස්වැන්න

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රාවේ තිබූ මත්ස්‍ය අස්වැන්න

'කවදාවත් වෙඩි තියන්නේ නැහැ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නාවික හමුදාව වෙත පැවරී ඇති බලතල අනුව එම යාත්‍රාවට ගොඩවීමේදී, එම ධීවරයින් පිරිස සමූහයක් ලෙස ආක්‍රමණශිලීව නාවික හමුදා සාමාජිකයින්ට පහරදීමට තැත්කොට ඔවුන්ගේ ජීවිතයට අවදානමක් ඇති කරමින් කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

එම අවස්ථාවේදී නාවික හමුදා සාමාජිකයෙකු සතුව තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට එක් ධීවරයෙකු උත්සහ කිරීමේදී එම ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ධීවරයින් දෙදෙනෙකු හට සුළු තුවාල සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

"කවදාවත් අපි වෙඩි තියෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී නාවික හමුදාවේ නියෝග වලට අනුගත වෙන්නේ නැතුව ඉන්දීය ධීවරයින් කළහකාරී ලෙස හැසිරිලා තියෙනවා. එහිදී එක් ධීවරයෙක් අපේ නාවික හමුදා නිලධාරියෙක්ගේ තුවක්කුවක් උදුරා ගන්න හදපු අවස්ථාවේදී තමයි ෂොට්ස් දෙකක් පත්තු වෙලා තියෙන්නේ. එතනදී දණ හිසෙන් පල්ලෙහට වෙන්න මේ තුවාල සිදුවෙලා තියෙන්නේ. නමුත් අපේ නිලධාරීන් ඔවුන්ට මුලික ප්‍රථමාධාර ලබා දීලා යාපනය රෝහලට ඇතුළත් කරන්න කටයුතු කරලා තියෙනවා." නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා බීබීසී සිංහල වෙත පැවසුවේය.

එම ධීවරයින් දෙදෙනා සඳහා මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කඩිනමින් යාපනය ශික්‍ෂණ රෝහල‍ වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරුණ බවත්, එම ධීවරයින්ගේ තත්ත්වය බරපතල නොවන බවත් යාපනය රෝහල මඟින් තහවුරු කර ඇති අතර, නාවික හමුදාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරේ පොලිසිය වෙත පැමිණිල්ලක් කළ බව ද ඔහු පැවසුවේය.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉතිරි ධීවරයින් එකොලොස්දෙනා කන්කසන්තුරය වරාය වෙත අද (ජනවාරි 28) උදෑසන රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාව සඳහන් කළේය.

ජනවාරි 27 වැනිදා කයිට්ස් මුහුදේදී නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වූ ඉන්දීය ධීවරයින්

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනවාරි 27 වැනිදා කයිට්ස් මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට පත්වූ ඉන්දීය ධීවරයින්

මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව කොපමණ ද?

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කමාන්ඩර් බුද්ධික සම්පත් පවසා සිටියේ 2025 වසරේ පළමු දින 28 තුළදී පමණක් නීත්‍යානුකුල මුහුදු සීමාවන් උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 07ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවයි.

"මේ අවුරුද්දේ අද (ජනවාරි 28) වෙන කොට ඉන්දීය ධීවරයින් ගේ ට්‍රෝලර් යාත්‍රා 07ක් එක්ක ධීවරයින් 65 දෙනෙක් නාවික හමුදාවේ භාරයට අරන් තියෙනවා. ඒ වගේම පසුගිය අවුරුද්දේ (2024) ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 72ක් එක්ක ධීවරයින් 554ක් නාවික හමුදාවේ භාරයට ගෙන තියෙනවා." ඔහු පැවසුවේය.