උතුරේ ධීවරයින්ට පමණක් ලඝු නොවී සමස්ත ආර්ථිකයට ම බලපාන ප්‍රශ්නයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නය ගැන අද බොහෝ දෙනෙකු කතා කළ ද, එය අද ඊයේ ඇති වූවක් නොවෙයි. විද්වතුන්ට අනුව මෙය යටත්විජිත සමය දක්වා දිවයන ගැටලුවකි. එහෙත් ඒ සඳහා විසඳුමක් සෙවීමට අධිරාජ්‍යවාදීන්ට සැබෑ අවශ්‍යතාවක් තිබී නොමැත. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රාජ්‍යයන් දෙකම ඔවුන්ගේ යටත්විජිතයන් වීම ය.
මෙම ප්‍රශ්නයට තිරසර විසඳුමක් සෙවීමට කැපවූ නායිකාවක් ලෙස දිවංගත හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක හැඳින්විය හැකි ය. ඇයගේ මැදිහත්වීම මත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමා වෙන් කිරීමට කටයුතු කෙරිණි.
කච්චතිව් දිවයින ශ්‍රී ලංකාවට ලබා ගැනීම ද ඇයගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවුණි.
කෙසේ වෙතත්, පසුකාලීනව දෙරටේම ධීවරයින් එක් එක් රටවල අත්අඩංගුවට පත්වු වාර ගණන අතිමහත් ය. අද වන විටත් ඉන්දීය ධීවරයින් 25 දෙනෙක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවෙති. ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ මෑතක දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු තම භාරයේ සිටින බව යි. තවත් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති.
ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට පත්ව ඇත. ඒ ඔක්තෝම්බර් 23 වැනිදා පස්වරුවේයි. ඔවුන් යාපනය වැල්වැටිතුරේයි පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 23ක සහ 24 හැවිරිදි ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු මෙලෙස ඉන්දීය අත්අඩංගුවට පත්ව ඇත.
ශ්‍රී ලංකා ධීවරයින්ගේ විරෝධය

ඡායාරූප මූලාශ්‍රය, Facebook/M.A.Sumanthiran
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදට අනවසරයෙන් ඇතුළුවීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ධීවරයෝ පසුගිය 17 වැනිදා මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදේ ධීවර විරෝධතාවක් පැවැත්වූහ. උතුරේ මෙන්ම දකුණේ ධීවරයින් ද ඊට එක සේ සහභාගී විය.
උතුරු - නැගෙනහිර සිය ගණනක් ධීවරයින් සිය යාත්‍රාවල කළු කොඩි ඔසවමින් විරෝධය දක්වන අයුරු දැකගත හැකිවිය.
ශ්‍රී ලංකා මුහුදට නීතිවිරෝධීව ඇතුළු වන ඉන්දීය ධීවරයින් මුහුදේ පතුලටම දැල් දමා ඇදගෙන යන 'බොටම් ට්‍රෝලීන්' නම් තහනම් ධීවර පන්න ක්‍රමය අනුගමනය කරමින් මෙරට මුහුදේ මත්ස්‍ය සම්පත මුළුමනින්ම සූරා කනබවට ශ්‍රී ලංකා ධීවරයෝ චෝදනා කරති.
මෙම විරෝධතාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටි අතර, එම්. ඒ. සුමන්දිරන්, ශානක්‍යයන් රාසමානික්කම්, එස්. ශ්‍රීදරන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඒ අතර විය.
රාසමානිකම් මන්ත්‍රීවරයා අවධාරනය කර සිටින්නේ, ඉන්දීය ධීවර යාත්‍රා පැමිණිම වැළැක්වීම සඳහා ධීවර අමාත්‍යවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට එරෙහිව විරෝධාතාවයේ නිරත වූ බවයි.
ඔහු රජයෙන් ප්‍රශ්න කර සිටියේ, ඉන්දීය ධීවරයින් පැමිණ මෙරට නීතිවිරෝධීව කටයුතු කරමින් සිටියදී බලා සිටින්නේ ඇයිද යන්නයි.
බොටම් ට්‍රෝලීන් නතර කිරීමට බලකරමින් ධීවර විරෝධතාවට එක්වූ බව එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
රාසමානික්කම් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ පලකළ වීඩියෝවක්
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ධීවර සංගම්වල මතය
සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාකික සංවිධායක රත්න ගමගේ පවසන්නේ මෙම ප්‍රශ්නය උතුරේ ධීවරයින්ට පමණක් ලඝු නොකළ යුතු බවයි.
"උතුරු පළාතෙන් එකතුවන මත්ස්‍ය අස්වැන්න මෙරට ආර්ථිකයට බලපානවා. මෙය ජාතික ආර්ථිකයට සෘජුවම බලපාන කරුණක්," බව පෙන්වා දෙන ඔහු චෝදනා කර සිටින්නේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිද්‍රාශීලී ස්වභාවයකින් කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාවට අනන්‍යවූ ආර්ථික කලාපයට ඉන්දීය හෝ වෙනත් යාත්‍රා ඇතුලත් වීම තහනම් බව පෙන්වා දෙන ධීවර සංගම්, ඉන්දීය ධීවරයින් තහනම් පන්න ක්‍රමයක් වන බොටම් ට්‍රෝලින්වල නිරත වනවා පමණක් නොව, මෙරට ධීවරයින්ට පහර දෙන බවත්, ඔවුන්ගේ දැල් ආම්පන්න විනාශ කරන බවටත් චෝදනා කරයි.
පවතින නීති අනුව ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා රාජසන්තක කිරීමටත් රුපියල් මිලියන 7.5ක් දක්වා වූ දඩයක් පැනවීමටත් හැකියාව ඇති බව රත්න ගමගේ පෙන්වා දෙයි.
"මාසයකට ඉන්දීය ධීවර යාත්‍රා 10,000ක් විතර මෙරට මුහුදු සීමාවට එනවා. යාත්‍රාවක් හෝ දෙකක් පමණක් අත්අඩංගුවට අරගෙන නඩු පැවරීමක් කෙරෙනවා. අත්අඩංගුවට ගන්න යාත්‍රා ප්‍රමාණය 0.3% විතර යි."
ඉන්දියාවේ ප්‍රතිචාරය
මෙය මූලික වශයෙන් මානුෂීය ගැටලුවක් වන අතර එය එලෙස සලකා බැලිය යුතු බවත් අන්තර් රාජ්‍ය අවබෝධය සහ අනෙකුත් ද්විපාර්ශ්වික යාන්ත්‍රණ එහි සියළුම අංගයන් සපුරාලීම සඳහා ක්‍රියාත්මක වන බවට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය බීබීසී සිංහල සේවය සමග පැවසීය."අවාසනාවන්ත ලෙස මෙම වසරේදී ඉන්දියාවේ සිට ධීවරයින් පස් දෙනෙකු විවිධ සිද්ධීන් වලින් මියගොස් තිබේ. ඉන්දියානු ධීවර බෝට්ටුවල බලය යෙදූ වෙනත් අවස්ථා තිබේ.""ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතාවයන් විදහා දක්වන අන්‍යෝන්‍ය අවබෝධයේ නියම අර්ථය තුළ මෙම කාරණය ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ දිගටම නිරත වීමට ඉන්දියාව දැඩි ලෙස කැපවී සිටී."
නාවික හමුදා මුර සංචාර
විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම සැළකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදේශිය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව අවධාරණය කරයි.
ඒ අනුව, මෙරට මුහුදු සීමාව තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) සහ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 23 දෙනෙකු ඔක්තෝබර් 13 දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.
නාවික හමුදාව මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමග ඉන්දීය ජාතිකයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගත් පසුගිය 2021 මාර්තු මස 24 වන දායින් පසු පැවති වසංගත තත්ත්වය හමුවේ එවැනි විදෙස් ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම් සීමා කළ ද, එවැනි ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පිටත්කර හැරීම අඛණ්ඩව සිදුකළ බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව අවධාරණය කර සිටින්නේ, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට විදෙස් ධීවරයින් ඇතුළුවී සිදුකරනු ලබන අනවසර ධීවර කටයුතු සහ නීති විරෝධී ක්‍රියා මැඩපවත්වා මෙරට මත්ස්‍ය සම්පත මෙන්ම දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම සඳහා, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉදිරියට ද මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
ධීවර අමාත්‍යවරයාගේ ප්‍රතිචාරයමෙම ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා තුලින් විසදා ගැනීමට බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්දා පැවසීය. ඔහු කියා සිටියේ මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරන ඉන්දීය යාත්‍රා අත්අඩංගුවට ගෙන, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් දෙපාර්ශවයේම ධීවරයන් දැණුවත් කිරීමට කටයුතු කර ඇති අතර මේ පිළිබඳව විසඳුමක් සෙවීමට කොමිටියක් පත් කර ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/M.A.Sumanthiran
ධීවරයෙකුට ජීවිතය අහිමි වෙයි
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු පසුගියදා මිය ගියේය. කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේදී ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ මෙම අනතුර සිදුවිය. නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිට අතුරුදන්වූ ධීවරයාගේ මෘතදේහය සොයා ගැනීමට සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කණ්ඩායම් ඔක්තෝබර් 20 පෙරවරුවේ සමත් විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළුව ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පලවා හැරීමට 2021 ඔක්තෝබර් මස 18 වන දින සවස් කාලයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළ බවය.
මෙහිදී නාවික හමුදා යාත්‍රා මඟහැරීම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින්, ආවේගශීලී ලෙස නාවික හමුදා යාත්‍රාවක් සමඟ ගැටීමට සලස්වා නාවික හමුදා යාත්‍රා මඟහැරීමට උත්සාහ කළ එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් මුහුදේ පැවති රළු මුහුදු ස්වාභාවය ද හේතුකොටගෙන සමතුලිතතාවය ගිලිහී පෙරළී යාම හේතුවෙන් මුහුදේ ගිලී ගොස් අනතුරට පත්වූ බව නාවික හමුදාව නිවේදනය කළේය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව එම අනතුරටපත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකු එම මෙහොතේදීම මුදා ගන්නා ලදි. අතුරුදන්ව සිටි ඉන්දීය ධීවරයාගේ මළ සිරුර පසුව සොයා ගත් අතර හදිසි මරණ පරීක්‍ෂණයෙන් පසුව, කයිට්ස් අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත ඉදිරි නීතිමය පියවර සඳහා මෘත දේහය යාපනය ශික්‍ෂණ රෝහල වෙත යොමු කර ඇත.
කච්චතිව් ශ්‍රී ලංකාවට
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලැබීම මෙම අර්බුදය විසඳීමේ ලා සුවිශේෂී සන්ධිස්ථානයකි. පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි මතභේදයට හේතු පාදක වූ කච්චතිවු දූපත, දිවංගත හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග පැවැත් වූ තියුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, සමුද්‍ර සීමාවේ ශ්‍රී ලංකාවට අයත් කොටසේ පිහිටි බවට එකඟත්වය පලවිය. බොහෝ දෙනෙකු විසඳීමට උත්සාහ කළ ද, විසඳීමට නොහැකි වූ දිගු කලක පටන් පැවති මෙම ගැටළුව ඉන්දියා - ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දෙපලගේ එකඟත්වය මත 1974 වර්ෂයේදී විසඳනු ලැබුවේ 1974 ජුනි 26 දින ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත ලැබීමත් සමගය.
ජාත්‍යන්තර මුහුදු සීමා වෙන් කිරීම
මන්නාරම් සමුද්‍ර සන්ධිය සහ බෙංගාල බොක්ක පිළිබඳ මුහුදු සීමා ගැන ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග එකඟත්වයකට පැමිණීම සිරිමාවෝ බණ්ඩාරනායකගේ මූලික මැදිහත් වීම නිසා සිදු විය. එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීති ගැන පැවති සාකච්ඡා සන්දර්භය තුළ ඉතා වැදගත් යයි සැලකෙන මෙම එකඟත්වයන් ශ්‍රී ලංකාවට තම භෞමික ජලස්කන්ධ සහ මුහුදු පත්ලෙහි ඇති සම්පත් සඳහා අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට සහාය විය.
ඒ අනුව 1976 මාර්තු 23 වනදා මන්නාරම් සමුද්‍ර සන්ධිය සහ බෙංගාල බොක්කේ සමුද්‍ර සීමාවන් වෙන් කිරීම සිදුවිය.
මෙම ධීවර ප්‍රශ්නය ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවටද සෘජුව බලපාන කරුණකි. ඉන්දීය ධීවර ආක්‍රමණය හේතුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික හානියක් සිදුවෙමින් පවතිනා බවට ධීවර සංගම සහ විශේෂඥයින් පවසයි. එසේම ඉන්දීය ධීවරයින් මෙරට අත්අඩංගුවට පත්වීමත් සමග දකුණු ඉන්දීය දේශපානඥයින්ගෙන් ඉන්දීය මධ්‍යම රජයට එල්ලවන බලපෑම ඉහළ මට්ටමක පවතී. එබැවින් සාමකාමීව මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා දෙරටේම මනා දේශපාලනික මැදිහත් වීමක් අවශ්‍ය බව විචාරක මතයයි.








