තහනම් පන්න ක්‍රමවලට 'ඉඩ දීම' නිසා බැටකන ධීවරයෝ

බෝට්ටු

"අපේ මේ පුංචි රට දූපතක්. ඒ කියන්නේ හතර වටේටම තියෙන්නේ මුහුද. එහෙම තියෙද්දී තමයි අද අපිට පිටරටින් මාළු ගෙන්වන්න සිද්ධවෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව වසර ගණනාවක ඉඳලා අපේ රටේ ධීවර ක්ෂේත්‍රයේ තියන අසංවිධානාත්මකබව. පොල් ගෙඩිය රුපියල් සියයට ගිහින් පොල් රටින් ගෙන්වන්න සිද්ධ වුණේ මොකද, ලංකාවේ පොල් ගස් වැවෙන්නේ නැතුවද? මාළු දැනුත් පිටරටින් ගෙන්වනවා තමයි. නමුත් ඉස්සරහට පොල් වලට වුණ දෙයට වඩා වැඩි දෙයක් මාළුවලට වෙනවා. ඒක ස්ථිරයි."

මෙසේ පැවැසුවේ හලාවත දිස්ත්‍රික් ධීවර සංවිධානයේ සභාපති රොෂන් තුෂාර. ඔහුගේ මේ චෝදනාවට ප්‍රධාන හේතුව නීතිවිරෝධී ධීවර පන්න ක්‍රමයක් ලෙස ප්‍රකට "ලයිලා හා සුරුක්කු" යන දැල් භාවිත කරමින් මසුන් මැරීම සදහා මේ වසරේත් රජය බලපත්‍ර ලබා දීමය.

කල්පිටිය මුහුදු තීරය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම පන්න ක්‍රම සදහා වාර්ෂික බලපත්‍ර ලබා දීම ධීවර දෙපාර්තමේන්තුව විසින් වසර කීපයක සිටම සිදු කරනු ලබයි. ඒ හේතුවෙන් කල්පිටිය අර්ධද්වීපය මෙන්ම වයඹ බටහිර වෙරළ තිරය උණුසුම් වූ අවස්ථා බොහෝය. මේ වන විටත් එම සිදුවීම් මුල් කරගනිමින් අධිකරණයේ විභාග වන නඩු කිහිපයක් ද වෙයි.

"ලයිලා හා සුරුක්කු" ධීවර ක්‍රම

පසුගිය වසර පහක කාලය තුළ කල්පිටිය අර්ධද්වීපයේ ඉතා සුළු කොටසකට "ලයිලා හා සුරුක්කු" නමැති සමාන්‍ය තත්ත්වය යටතේ නීති විරෝධී පන්න ක්‍රමවලින් මසුන් ඇල්ලීමට රජය විසින් බලපත්‍ර නිකුත් කරන ලදි. මේ බලපත්‍ර ලබා දීමේදී මුහුදු සැතපුම් දහයකට එපිටින් මසුන් අල්ලන ලෙස රජය කොන්දේසියක් පනවනු ලැබුවද බලපත්‍ර ලාභීන් එම කොන්දේසිය උල්ලංඝනය කරමින්, එකවර මසුන් කිලෝ දහස්ගණනින් ඇල්ලීමේ යෙදෙයි. මෙම පන්න ක්‍රමයේදී මුහුදු පතුලේ පිපිරීම් ඇති කිරීම සදහා යොදා ගන්නා ඩයිනමයිට් හේතුවෙන් මෙලෙස මසුන් හිඟවීම සිදුව ඇති බව ධීවරයන්ගේ චෝදනාවයි.

මෙම තත්ත්වය මත ධීවරයන් මුහුදු යෑම නවතා දැමීම හේතුවෙන් මත්ස්‍ය මිල ගණන් ඉතා ඉහළ ගොස් තිබේ. හලාවත හා වයඹ වෙරළ තීරයේ ගම්මානවල රුපියල් දෙසියයට පැවති හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් හාරසියය දක්වාත්, රුපියල් පන්සියයක්ව පැවති පරවා කිලෝවක මිල රුපියල් අටසියය දක්වාත්, රුපියල් තුන්සියයකට පමණ පැවති හුරුල්ලා කිලෝවක මිල රුපියල් පන්සියය දක්වාත් ඉහළ ගොස් තිබේ.

හලාවත වට්ටක්කල්ලිය ග්‍රාමීය ධීවර සංවිධානයේ සභාපති ඇන්ටන් සුදේශ් ප්‍රකාශ කළේ රජය දැනටත් නීති විරෝධී පන්න ක්‍රම සඳහා අවසර දෙන බවයි.

"දැන්වත් රජය මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ. වර්තමාන ධීවර ඇමතිවරයා මේ පිළිබඳව දන්නේ නැහැ. නමුත් නිලධාරීන් දන්නවා. ලයිලා, සුරුක්කු කියන මේ දැල් තමයි මෙම ප්‍රදේශයේ මුහුද මුළුමනින් විනාශ කළේ. රටට එක ධීවර ප්‍රතිපත්තියක් නැහැ. එහෙම වෙලා තියෙද්දී දැන් කියනවා උතුරු නැගෙනහිරට පමණක් වෙනම ධීවර ප්‍රතිපත්තියක් ගේනවා කියලා. මේවා මොන විහිළු කතාද? එක පළාතකට විතරක් ධීවර ප්‍රතිපත්තියක් ගේනවට අපි විරුද්ධයි."

ලයිලා සහ සුරුක්කු

"ලයිලා සහ සුරුක්කු කියන මේ දැල් වර්ග දෙකම වට කරන දැල්. ලයිලා දැලේ ඇසක ප්‍රමාණය අඟල් දෙකකටත් අඩුයි. සුරුක්කු දැලෙත් එහෙමයි. ලයිලා දැලක් වට කරන්න බෝට්ටු කීපයක් යනවා. ඇතැම් අවස්ථාවල මේ දැල් දාන්නේ කොරල් උඩ නැත්නම් ගල් උඩ." ධීවර ක්ෂේත්‍රයේ වසර තිහකට වැඩි අත්දැකීම් ඇති කල්පිටිය කුඩාවේ පදිංචි කැමිලස් පෙරේරා, ලයිලා සහ සුරුක්කු දැල් පිළිබඳව පැහැදිලි කළේය.

කැමිලස් පෙරේරා පුත්තලම හිටපු ග්‍රාමීය ධීවර සභාපතිවරයා මෙන්ම පුත්තලම දිස්ත්‍රික් කිමිදුම්කරුවන්ගේ සංගමයේ වත්මන් ලේකම්වරයාද වෙයි. ඔහු ප්‍රකාශ කරන ආකාරයට මුහුදු සම්පත් විනාශ වීමට බලපෑ ප්‍රධාන සාධකය අනවසර ක්‍රම භාවිත කරමින් මසුන් මැරීමයි.

"මම ධීවරයෙක් වගේම කිමිදුම් කරුවෙක්. මම දන්නවා මුහුද විනාශ වුණේ කොහොමද කියලා ප්‍රධාන වශයෙන් මුහුදට බලපෑවේ ඩයිනමයිට් දැමීම. මේ නිසා මුළු මුහුදු පරිසරයම විනාශ වුණා. කුඩා මාළුවාගේ ඉඳලා මුහුදු සම්පත් සියල්ල විනාශ වුණා. මේ පන්න ක්‍රමයට යද්දී ඔක්සිජන් ටැංකි අරන් යනවා. ඒ ගිහින් මුහුදු පතුලට බැහැලා මාළු රංචු වැඩියෙන් ගැවසෙන තැන් බලනවා. ඊට පස්සේ මේ දැල වටකරනවා. මේ දැලේ ඇස් කුඩා වීම නිසා කුඩා මාළුවාගේ ඉදලා අහුවෙනවා. මෙහෙම මාළු කිලෝ තිස් හතළිස් දාහ මේ දැලට අහුවෙනවා. මාළු වැඩියෙන් අහුවුණාම මාළු පාලනය කරගන්න තමයි ඩයිනමයිට් ගහන්නේ. මේක ඉතා බරපතල තත්ත්වයක්. අපි අවුරුදු ගාණක ඉඳලා මේ ගැන කියනවා, නමුත් වැඩක් නැහැ. මේ ගැන බලන්න වගකිවයුත්තෙක් නැහැ. වසර කීපයකට පෙර මේ විනාශය කළේ සුළු පිරිසක්. මේ අය ධීවරයෝ නෙමෙයි. නමුත් දැන් දැන් ධිවරයොත් මේ විනාශය කරන්න පෙළඹිලා. ඒක තමයි මට තියන දුක."

"ලයිලා හා සුරුක්කු" ධීවර ක්‍රම

"සුළු පන්න ධීවරයා කපෝතියි"

සුළු පන්න ධීවර කර්මාන්තයට ගැනෙන්නේ එක් ධීවරයෙකු හෝ දෙදෙනෙකු එක්ව යෙදෙන කර්මාන්තය ය. මේ සඳහා භාවිතයට ගන්නා අනෙකුත් උපකරණද සැලකිල්ලට ගත් විට මින් ජලජ පරිසරයට සිදුවන හානිය ඉතා අවමය. බිලීපිත්ත, විසි දැල, අතංගුව, කරමල් දැල, ඉරටුව සුළුපන්න ධීවර කර්මාන්තයේදී භාවිත කරයි. ඒ සඳහා යොදා ගන්නා යාත්‍රා වන්නේ තෙප්පම, ඔරුව, වල්ලම, කුඩා ෆයිබර් බෝට්ටුව යනාදියයි.

රට පුරාම සිටින දස ලක්ෂයක් පමණ වන සුළු පන්න ධීවරයන්ගේ ජීවිකාවට අහිතකර බලපෑම් එල්ල කරන මෙම පන්න ක්‍රමවලට ධීවරයෝ සාමූහිකව විරෝධය දක්වති.

ලියනආරච්චිගේ පැඩ්ලින් අප්පුහාමි තලවිල ග්‍රාමයේ ධීවරයෙකි ඔහු පවසන්නේ "අපි මේ රස්සාව කරන්නේ ජීවත්වෙන්න. ලයිලා, ලයිට් කෝස් රස්සා කරන්න එන නිසා අපිට මුකුත්ම කරගන්න විදිහක් නැහැ. අපි මුහුදු ගිහින් නිකන් දැල් උස්සන් ගොඩට එනවා. අපිට කිසිම සහනාධාරයක්වත් නැහැ. බලධාරීන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. මේවා කරන්නේ ලොකු මිනිස්සු. පොඩි මනුස්සයෙකුට මේවා කරන්න බැහැ. සල්ලිකාරයෝ තමයි මේවා කරවන්නේ. ඡන්දෙට කලින් කිව්වේ මේවා ඔක්කොම නවත්වනවා කියලා. ඡන්දේ ගන්නකම් විතරයි. ඊට පස්සේ අපේ පැත්තවත් බලන්නේ නැහැ."

"ලයිලා හා සුරුක්කු" ධීවර ක්‍රම

සංචාරක කර්මාන්තයටත් බලපෑම්

තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් මැරීමේ විපාක තදින් දැනෙන්නේ ධීවර කර්මාන්තයට පමණක් නොවෙයි. එය හරි හරියට සංචාරක කර්මාන්තයටත් බලපා තිබේ. කල්පිටිය කොරල් පරය විනාශ වීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වශයෙන්ද තහනම් පන්න ක්‍රම යොදා ගනිමින් මසුන් මැරීම හඳුනාගෙන ඇත. මෙරට මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රසිද්ධියට පත්ව තිබූ කල්පිටිය බාධක කොරල් පරය විනාශ වීමෙන් පසු එය නැවත කෘත්‍රිමව ප්‍රතිෂ්ඨාපනය කිරීමට රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේද සහායෙන් වැඩපිළිවෙළක් සකස් කළ අතර එයද යම් තරමකින් අසාර්ථක වී ඇත්තේ තහනම් දැල් පන්න යොදාගෙන සිදු කරන මසුන් මැරීම නිසා බව කන්දකුලිය පරිසර හිතකාමී සංචාරක පදනමේ සභාපති මදුරාජ් ප්‍රනාන්දු පැවසිය.

"අපි සෑහෙන උත්සහායක් ගත්තා කල්පිටි විනාශවූ කොරල් පරයට නැවත පණ දෙන්න. අපි ඒ සඳහා කළේ කෘත්‍රිමව කොරල් පරයක් නිර්මාණය කරන්න කටයුතු කළ එක. වසරකට ආසන්න කාලයක් මෙය සාර්ථකව කර ගෙන ආවා. අපි සාර්ථකව නිර්මාණය කළ කොරල් පරය වටා විශාල මුහුදු ජීවින් ප්‍රමාණයක් දැකගන්නට ලැබුණා. අපි සතුටු වුණා අපි සාර්ථක වුණා කියලා. නමුත් මීට සති කීපයකට පෙර ඒ ස්ථානවලත් ඩයිනමයිට් ගහලා, තහනම් දැල් දාලා විනාශ කරලා. අපිත් දැන් මේ වැඩේ අතහරින්නයි යන්නේ. මොකද මේවා රැකගන්න පත් කරලා ඉන්න නිලධාරීන්ට, අපේ රටේ පාලකයන්ට මේවා ආරක්ෂා කරන්න උවමනාවක් නැත්නම් අපි මොනවා කරන්නද?"

නීති දෙකක්

ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හර්මන් කුමාර හානිකර ආම්පන්න පිළිබඳව වසර ගණනාවක සිට පරීක්ෂණ පවත්වන වෘත්තීය සමිති නායකයෙකි. ලෝක ධීවර සම්මේලනයට අනුබද්ධව මෙරට ක්‍රියාත්මක වන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය වසර විස්සක පමණ කාලයක සිට මෙරට තහනම් කර ඇති පන්න ක්‍රම හේතුවෙන් සිදුවන ආදීනව සාක්ෂි සහිතව පෙන්වා දෙමින් සිටී. හර්මන් කුමාර සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තු පනතක් මගින් තහනම් කර ඇති ක්‍රියාකාරකම් සදහා ධීවර දෙපාර්තුමේන්තුව අවසර ලබා දීම රටේ නීතිය සැහැල්ලුවට ලක් කිරීමකි.

''අපේ රටේ පන්න ක්‍රම පිළිබඳව පරීක්ෂණ සිදු කරන්නේ නාරා ආයතනය. ඔවුන් කියන්නේ මේවා කාර්යක්ෂම උපක්‍රම කියලා. ඩයිනමයිට්, ලයිට් කෝස්, සුරුක්කු දැල් මේ ඔක්කෝම කාර්යක්ෂම උපක්‍රම. ඒත් ප්‍රශ්නය තමයි මේවා වෙරළාසන්න සම්පත් විනාශ කරන උපක්‍රම වීම. ධීවර අමාත්‍යංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මේවා සම්බන්ධයෙන් පියවර ගන්නේ නැහැ. ඔවුන් කිසිම අධීක්ෂණ ක්‍රියාවලියක් නැතුව මේවාට අවසර දෙනවා. කල්පිටිය, ත්‍රිකුණාමලය, කල්මුණේ වගේ ප්‍රදේශවල මේ තහනම් දැල් ආම්පන්න ක්‍රම තදින්ම ක්‍රියාත්මක වෙනවා. මේ දේවල් තිරසාර ධීවර කර්මාන්තයට හානිකරයි."

බලධාරීන්ගේ ප්‍රතිචාරය

පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 43 දෙනෙකුට ලයිලා හා සුරුක්කු දැල් සදහා බලපත්‍ර ලබා දී ඇති බව ධීවර දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි. එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ - කළමනාකරණ එම්. මාක්ස් කියා සිටියේ අලුතින් බලපත්‍ර ලබා දී නොමැති අතර ලබා දී තිබූ පැරණි බලපත්‍ර අලුත් කිරීමක් පමණක් මේ වසරේ සිදු කර ඇති බවය. මෙය සිදු කළේ අධිකරණ නියෝගයකට අනුව බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර :