පරිසරය: "ලංකාවේ ගොඩක් දෙනා ගස් හිටවල තියෙනව ඒත් කැලයක් වවල නෑ"

ඡායාරූප මූලාශ්‍රය, Tommy Trenchard/ Greenpeace
- Author, සරෝජ් පතිරණ
- Role, BBC ලෝක සේවය
වර්තමානයේ පරිසරය සුරැකීම පිළිබඳ ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රබල අවධානය පළ වී තිබේ. අප්‍රේල් 22 වෙනි දින ලෝක මිහිතල දිනය වන අතර, ලෝක නායකයන් 40කගේ සහභාගිත්වයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කැඳවනු ලැබ තිබෙන දෙදින දේශගුණ සමුළුව ද එදින ආරම්භ විය. මේ වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව, COP26, කෙරෙහි මේ සියල්ලට වඩා වැඩි අවධානයක් යොමු වී තිබේ. පරිසරය රැකගැනීම උදෙසා කැප වූ ලොව පුරා වෙසෙන තරුණ, තරුණියන් පිරිසක් ගැන බීබීසී ය ගෙන එන විමසුමකි, මේ.
සාගර පතුලේ උද්ඝෝෂණයක්
ෂාමා සන්දූයා (Shaama Sandooyea) පසුගිය මාර්තු මාසයේ ලෝකයේ ප්‍රථම වරට සාගර පතුලේ දේශගුණ උද්ඝෝෂණයක් පැවැත්වූයේ ලෝකයේ විශාලතම සාගර තණබිම් (seagrass meadows) ආරක්ෂා කිරීමේ සිය සටනේ කොටසක් වශයෙනි.
"දේශගුණය උදෙසා තරුණ උද්ඝෝෂණය" යනුවෙන් සඳහන් පුවරුවක් රැගෙන 24 හැවිරිදි සාගර විද්‍යාඥවරිය සයා ඩි මාලා (Saya de Malha) වෙරළ තීරය අසල ඉන්දීය සාගරයේ කිමිදුනාය. එය සීෂෙල්ස් දූපත්වල සිට කිලෝමීටර් 735ක් පමණ ඈතින් පිහිටි ප්‍රදේශයකි.
"මේක ජෛව විවිධත්වයෙන් පොහොසත් ප්‍රදේශයක්. ඒත් දැන් මේ පළාත දේශගුණ අර්බුදයේ ගොදුරක් බවට පත්වෙලා," ෂාමා බීබීසී සමඟ කියා සිටියාය. "සාගර තණබිම්වලට ඉතා සමීපයේ වැඩෙන කොරල් පර ඉහළ යන උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ කියල අපි සොයා ගත්තා."
ඇමසන් වනාන්තරයට වඩා වැඩි ගුණයකින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමට සාගර තණබිම්වලට හැකියාව තිබේ. එබැවින් මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කට වඩා ඉහළ යාම වැළැක්වීම පිණිස මෙවැනි සාගර තණබිම් ආරක්ෂා කිරීමේ වැදගත්කම විද්‍යාඥයෝ අවධාරණය කරති.

ඡායාරූප මූලාශ්‍රය, Tommy Trenchard
කොළ කැස්බෑවන් වැනි වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් ඇතුළු ඩොල්ෆින් සහ rabbitfish වැනි දහස් ගණන් සමුද්‍ර ජීවීන්ගේ ආහාර සහ වාසය පිණිස සමුද්‍ර තණබිම් අත්‍යවශ්‍ය සාධකයකි.
මොරිෂස් (මුරුසි) දූපත් වැසියෙකු වන ෂාමා, ග්‍රීන්පීස් පරිසර සංවිධානයේ පරිසරවේදීන් සහ විද්‍යාඥයන් පිරිසක් සමඟ ප්‍රදේශයේ සාගර පතුල නිරීක්ෂණය කළාය. සාගර පතුලේ මනස්කාන්ත දර්ශනය දැක විස්මය පත් වූ වග ඇය පවසන්නීය.
"ඒක හරියට වතුරේ තියන තණබිමක් වගේ."

ඡායාරූප මූලාශ්‍රය, Greenpeace
"අපේ සාගරයෙන් 30%ක් වත් ආරක්ෂා කරගැනීම පිණිස සාගර අභය භූමි ජාලයක් නම් කිරීම" පිණිස ලෝක නායකයන්ට බල කිරීම ඇයගේ මේ උද්ඝෝෂණයේ අරමුණය.
"මුහුදේ උෂ්ණත්වය ඉහළ යාම නිසා සයා ඩි මාලා මුහුදෙන් වෙනත් මුහුදකට මාළු සංක්‍රමණය වෙනවා නම් ඒක සයා ඩි මාලා වල ජෛව විවිධත්වයට බලපානවා," යනුවෙන් පවසන ඇය, සාගරය රැකගැනීම "අපේ දේශගුණය වෙනුවෙන් විතරක් නෙවෙයි, මේ සාගරයෙන් යැපෙන බිලියන ගණනක් ජනතාවගේ පැවැත්මටත් ඉතා වැදගත්," බව අවධාරණය කරන්නීය.
මේ සමුද්‍ර තණබිම් සීෂෙල්ස් දූපත්වල සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටීම හේතුවෙන් මෙතෙක් කිසියම් ආරක්ෂාවක් සැලසුන ද, විශේෂයෙන්ම නීති විරෝධී මසුන් මැරීම් උත්සන්න වෙමින් පැවතීම සහ සාගර කලාපය වැඩි වැඩියෙන් භාවිත කිරීම හේතුවෙන් තත්ත්වය ඉක්මණින් වෙනස්වනු ඇති බවට ෂාමා සන්දූයා බිය පළකරන්නීය.
Geophysical Research Letters සඟරාව 2014 දී වාර්තාකළ ආකාරයට 1992 සිට 2012 දක්වා කාලය තුළ ලෝකයේ නාවික ගමනාගමනය සිව් ගුණයකින් වැඩි වී තිබෙන අතර, ඒ අතරින් ඉන්දීය සාගරය බරපතලම වැඩිවීමක් දක්නට ලැබෙන කලාපයකි.

ඡායාරූප මූලාශ්‍රය, Greenpeace
"මගේ මේ උද්ඝෝෂණය නිසා සයා ඩි මාලා රැකගැනීම වෙනුවෙන් රැඩිකල් වෙනසක් වේවි කියල මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා," ෂාමා පවසන්නීය. "අපිට මේ දේශගුණ විපර්යාස හොඳටම දැනෙනවා. අපි මේ මොහොතේ මේක ගැන පියවර ගත යුතුයි."
සිය පරිසරය රැකගැනීම පිණිස පෙරමුණ ගන්නා මෙන් ඇය කලාපීය ආණ්ඩුවලින් පමණක් නොව ප්‍රදේශයේ ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නීය.
"සයා ඩි මාලා රැකගැනීම දැන් හැමදෙනාගේම වගකීම. හැමදෙනාම මේකට අත්වැල් බැඳගත යුතුයි."
'මම කතාකරන්නේ මම දැකපු පරිසර විනාශය ගැන'
සිංහරාජ රක්ෂිතය ආසන්නයේ, රක්වාන ප්‍රදේශයේ වෙසෙන 19 හැවිරිදි භාග්‍යා අබේරත්න, වන සංහාරය සහ හෝටල් වැනි නව ඉදිකිරීම් හේතුවෙන් රක්ෂිතයේ පරිසර පද්ධතිය විනාශවෙමින් පවතින බව අනාවරණය කිරීමත් සමඟ රට පුරා අවධානයට ලක් වූවාය.
බොහෝ දෙනා ඇය ප්‍රසංශා කළ අතර, ඇතැමුන්ගේ ගැරහුම්වලට ද ඇය මුහුණ දුන්නාය.
රූපවාහිනී වැඩසටහනකදී තමන් කළ ප්‍රකාශයෙන් අනතුරුව මතු වූ තත්ත්වය ගැන ඇය කියා සිටියේ, සිංහරාජය ආශ්‍රිතව සිදුවන විනාශය ගැන හෙළිදරවු කිරීමෙන් අනතුරුව ඒ හඬ නිහඬ කිරීමට ඇතැමුන් උත්සහ කිරීම තරුණ පරපුර බියවැද්දීමට ගන්නා උත්සහයක් බවය.
"වහලුන් ලෙස නිහඬව ජීවත් වුවහොත් රටක් ඉතිරි නොවන බැවින්" මේ අවස්ථාවේදී පෙරට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ආරාධනය කරන බව ද බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් භාග්‍යා කියා සිටියාය.
ඇතැමුන් "ශ්‍රී ලංකාවේ ග්‍රේටා තුන්බර්ග්" ලෙසින් ද හඳුන්වන භාග්‍යා පවසන්නේ, කුමන අභියෝග පැමිණියද තමන්ට හුස්ම දෙන පරිසරය රැක ගැනීමට "අවසන් හුස්ම පොද තිබෙන තුරු" සටන අත් නොහරින බවය.

ඡායාරූප මූලාශ්‍රය, Handout
තවත් කියවන්න:
'දේශගුණ අර්බුදය කියන්නේ හිම වලස්සුයි, අයිස් කුට්ටිවලටයි එහා ගිය දෙයක්'
මිහිතලය රත්වීම යනු සිය ගම පළාතෙන් ඉතා දුර බැහැරව සිදුවන්නක් නොවන බව බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් ප්‍රදේශයේ වෙසෙන කේටී හොජට්ස්ට (Katie Hodjetts) වැටහෙන විට ඇය 18 හැවිරිදි වූවාය.
"මම පොඩි කාලේ දියවෙන අයිස් තට්ටුවල හිර වෙලා ඉන්න හිම වලස්සු දැක්කම මට හිතුණේ ඒක මට අදාළ දෙයක් නෙවෙයි කියල," ඇය පැහැදිලි කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Handout
එය එසේ නොවන බව ඇයට වැටහුණේ පාසල හමාරයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී "දේශගුණ විපර්යාසවල දේශපාලනය" (Politics of Climate Change) නම් විෂයය හැදෑරීම ඇරඹු විටය.
"එතකොට තමයි මට තේරුණේ දේශගුණ අර්බුදය කියන්නේ හිම වලසුන්ට එහා ගිය දෙයක් කියල; ඒක ධනවාදය, අසාධාරණය සහ දේශපාලනය සම්බන්ධ දෙයක් කියල."
පසුව UK Youth Climate Coalition නම් පරිසර සංවිධානයට සම්බන්ධ වූ කේටී 2018 දී එහි ගිරි ශිඛර හාරා ගෑස් නිධි කැණීමේ ක්‍රියාදාමයට එරෙහි උද්ඝෝෂණයක් සම්බන්ධීකරණය කරමින් තෙදිනක් මුළුල්ලේ එවැනි ස්ථානයක් අවහිර කිරීමට සම්බන්ධ වූවාය.
ඉන් වසරකට පසුව Bristol Youth Strike 4 Climate උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායකවරියක වූ ඇය, බ්‍රිස්ටල් නගරයේ ගුවන් තොටුපොල ව්‍යාප්ත කිරීමට එරෙහිව සාර්ථක උද්ඝෝෂණයක් මෙහෙයවමින්, ග්‍රේටා තුන්බර්ග් ද සමඟ 30,000 කට ආසන්න පිරිසක් ඇමතුවාය.
2020 දී Resilience Project නම් ව්‍යාපෘතිය ආරම්භ කළ කේටී හොජට්ස්, දේශගුණ විපර්යාස හා සම්බන්ධ මානසික උපදේශන පාඨමාලා සංවිධානය කරන්නීය. එමෙන්ම COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව සමයේ එම වැඩපිළිවෙල පුළුල් කිරීම ඇයගේ අපේක්ෂාවය.

ඡායාරූප මූලාශ්‍රය, Handout
"පහුගිය අවුරුදු පහේ තරුණ, තරුණියන් එක්ක වැඩ කරද්දී මට වැටහුණා තරුණ පිරිස්වල මානසික සෞඛ්‍යය පිරිහෙමින් තියෙන නමුත් ඒකට පිළියම් යොදන්න තරුණයන් විසින් තරුණයන් වෙනුවෙන් කිසිම වැඩපිළිවෙලක් නැති බව," 25 හැවිරිදි කේටී පෙන්වා දුන්නාය.
"ඒ නිසයි මම Resilience Project ව්‍යාපෘතිය ආරම්භ කළේ. ඒක තරුණ පරපුර බලගැන්වීමේ වැඩපිළිවෙලක්."
"මගේ අරමුණ තමයි වහාම ක්‍රියාත්මක වෙන්න කියල තමන්ගේ ආණ්ඩුවලට බලකරන්න තරුණ, තරුණියන්ට ශක්තිය ලබාදීම," ඇය විස්තර කළාය.
"කාබන් අඩුවෙන් මුදාහරිමින් ඉතා හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන් කියල ඔවුන්ට වටහාදීම තමා මගේ අරමුණ. සමහර විට ඔබ මාව විශ්වාස කරන එකක් නෑ නමුත් ස්කොට්ලන්තයේ නිවාඩුවක් ගතකිරීම බහමා දූපත්වල නිවාඩුවක් වගේම අතිශය සුන්දර අත්දැකීමක් වෙන්න පුළුවන්."
'පැලයක් සිටුවීමයි, කැලයක් වගා කිරීමයි කියන්නේ දෙකක්'

ඡායාරූප මූලාශ්‍රය, Reforest sri lanka/instagram
වසර හයකට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාව තුළ ස්ථාන 130 ක පමණ පැල ලක්ෂයක් පමණ සිටුවීමට දායක වූ "Reforest Sri Lanka" සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති අචල මැද්දේගම පවසන පරිදි, පැලයක් සිටුවීම සහ කැලයක් වගා කිරීම යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයන් දෙකකි.
"අපි මේ වෙනකොට දක්ෂිණ අධි වේගයේ ඒ වගේම සිංහපුර, විල්පත්තුව, දික්වැල්ල වගේ ප්‍රදේශවල සහ වැවු ඉවුරු සහ ගං ඉවුරුවල පවා පැල හිටවල තියෙනව," ඔහු බීබීසී ය සමඟ විස්තර කළේය.
'තිසා වැවේ, බුලන්කුලම වැවේ ... ඒ වගේම කළු ගඟේ ඉවුරේ, ඉවුරු ඛාදනය නවත්තන්න අපි පැල 20,000 කට වඩා හිටවල තියෙනව. අපි නිතරම රජයේ ආයතනයක් එක්ක එකතුවෙලා තමා මේ වැඩේ කරන්නේ."
ඔහු පවසන්නේ, මේ වසරේ මිහිතල දිනයේ සිටුවීම පිණිස කොළඹ නගර සභාවට පැල 500 ක් ලබා දුන්නේ ද සිය සංවිධානය බවය.

ඡායාරූප මූලාශ්‍රය, Reforest Sri Lanka/instagram
"නමුත් දැන් නම් පැල සිටුවීම් ගොඩක් අසාර්ථකයි මොකද ඒ පැල මැරෙනවා. ඒවා බලා ගත්තේ නැත්නම් පැලවෙන්නේ බොහොම සුළුතරයක්. අනික දවසක් හිටවනවා ඊළඟ දවසේ ඒවා උගුල්ල දාල එතන මොකක් හරි ඉදි කිරීමක් කරනවා," අචල මැද්දේගම පවසයි.
"මේ දවස්වල අපි දකිනවා තර්කයක් මතුවෙනවා, පැල හිටවන නිසා කැලේ කැපුවට කමක් නෑ කියල. ඒක සම්පූර්ණ වැරදි කතාවක්.
"ගම්වල සමහර මිනිස්සු කියනව 'කැලේ ආයෙත් හිටවන්න පුළුවන්නේ' කියල. ඒකෙන් තේරෙන්නේ එයාල තේරුමක් නැතුව ගස් හිටවල තියෙනව නමුත් කැලේ වවල නෑ."

ඡායාරූප මූලාශ්‍රය, Reforest sri Lanka
2015 දී මොරටුව විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන සමයේ "විල්පත්තු වන සංහාරය" ගැන ආන්දෝලනයක් මතු වූ අවස්ථාවේ සමීප මිතුරන් පිරිසක් සමඟ සිය සංවිධානය ආරම්භ කළ ඔහු පවසන්නේ, මේ වනවිට 10,000 කට ආසන්න ස්වෙච්ඡා පිරිසක් සමඟ තමන් කටයුතු කොට තිබෙන බවය.
ශ්‍රී ලංකාවට ආවේණික වූ විවිධ ශාක ප්‍රභේද 50 ක් පමණ ඔවුන් විසින් සිටුවනු ලැබ තිබේ.
"ගොඩක් මිනිස්සුන්ට මේ ගැන දැනුමක් නෑ. හරියට කැලෑවක් හිටවනවා කියන්නේ අවුරුදු 30-50 ක් විතර දීර්ඝ කාලයක් යන වැඩක්. ඇත්තටම ඒ ගැන විද්‍යාත්මක දැනුමක් තියෙන ගොඩක් දෙනෙක් ලංකාවේ නෑ."
ගස් සිටුවීමේ ව්‍යාපාරයේදී පස ගැන සහ පරිසරය ගැන පර්යේෂණ පවත්වා, කාලගුණය ද අධ්‍යයනය කොට එය ක්‍රියාවට නැගිය යුතු බව පෙන්වාදෙන අචල මැද්දේගම එය විද්‍යාත්මක මට්ටමින් ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.
"අනික අපි නිතරම විවිධ පැල වර්ග හිටවනවා. එකම වර්ගයක් නෙමෙයි. හරියටම විද්‍යාත්මකව කළොත්, ඒ පැත්තෙන්ම ඇට වර්ග හොයාගෙන, තවාන් දාල හිටවන එක හරි ක්‍රමවේදය. නමුත් අපිට තාම ඒක කරන්න අමාරුයි."
දූෂණයෙන් තොර, තිරසර සංවර්ධනයක් සඳහා වූ ශ්‍රී ලංකාවක් උදෙසා වූ සිය යෝජනා "Reforest Sri Lanka" සංවිධානය විසින් පසුගිය වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරුණු විමසන කමිටුව වෙත ද භාරදෙනු ලැබිණි
'ඒ දුමාරය එයාලගේ සෞඛ්‍යයට හරිම නරකයි'

ඡායාරූප මූලාශ්‍රය, Handout
සොෆියා කියානි (Sophia Kianni) දේශගුණ විපර්යාස ගැන මුලින්ම හැදෑරුවේ පාසලේ හය වෙනි වසරේදීය. එහෙත් දේශගුණ විපර්යාසවල බලපෑම කෙතරම් ද යන්න ඇයට සැබවින්ම අවබෝධ වූයේ 12 වෙනි හෝ 13 වෙනි වියේ දී සිය ඥාතීන් මුණගැසීමට ඉරානයේ ටෙහෙරාන් අගනුවර සංචාරය කළ අවස්ථාවේය.
ඇය එක්සත් ජනපදයේ සහ ඉරානයේ ද්විත්ව පුරවැසියෙකි.
ටෙහෙරාන් නුවරදී දිනක් රාත්‍රියේ අහස බැලූ ඇයට වායු දූෂණය හේතුවෙන් අහසේ කිසිදු තරුවක් දැකගැනීමට නොහැකි විය.
"වායු දූෂණය හොඳට ඉහළ ගිහිල්ල තිබුණ. ඒත් මගේ ගොඩක් නෑයන්ට ඒ ගැන කිසිම අවබෝධයක් නෑ කියල මට තේරුණා," සොෆියා පවසන්නීය.
"එයාල කියනවා ටෙහ්රාන් කියන්නේ ප්‍රධාන නගරයක් නිසා, කර්මාන්ත ගොඩක් තියෙන නිසා, ඒක සාමාන්‍ය දෙයක්ලු, ඒක තමන්ගේ සෞඛ්‍යයට කොයිතරම් හානිකර ද කියල එයාලට තේරුමක් නෑ."
Carbon Brief වෙබ් අඩවිය පවසන පරිදි, 2015 දී ඉරානය ලෝකයේ අට වෙනි විශාලතම කාබන් විමෝචකයා විය. වායු දූෂණය හේතුවෙන් 2019 නොවැම්බර් මාසයේ අගනුවර සියලු පාසල් වසා දැමීමට පවා සිදු වුවත්, Acta Medica Iranica සඟරාව මගින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ ඉරානයේ විශ්විද්‍යාල සිසුන්ගෙන් 95%කටම හරිතාගාර වායු විමෝචනය යනු කවරක් දැයි නිසි පරිදි පහදා දිය නොහැකි බවය.

ඡායාරූප මූලාශ්‍රය, ATTA KENARE/AFP via Getty Images
සොෆියා, දේශගුණ විපර්යාස පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කිරීම් අරමුණින් Climate Cardinals සංවිධානය ආරම්භ කළාය. ඒ පිළිබඳ තොරතුරු පත්‍රිකා ඉංග්‍රීසි භාෂාවෙන් බෙදා හරිනු වෙනුවට හැකි තරම් වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ඇය වටහා ගත්තාය.
"එක්සත් ජාතීන්ගේ සංවිධානය තොරතුරු බෙදා හරින්නේ භාෂා හයකින් විතරයි," සොෆියා පවසයි. "රටවල් 40 කට වැඩි ගාණක අපිත් එක්ක ස්වේච්ඡාවෙන් වැඩකරන 8000 ක් විතර කණ්ඩායමක් එක්ක එකතු වෙලා අපි දැන් භාෂා 100 කට වැඩි ගණනකින් ඒ පත්‍රිකා බෙදා හරිනවා."
මුලින්ම හරිතාගාර වායු සහ දේශගුණ විපර්යාස ගැන තොරතුරු පරිවර්තනය කළ ඔවුහු දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේඛන සහ වාර්තා ද පරිවර්තනය කරති.
එහි ප්‍රතිඵලයක් ලෙසින් සොෆියා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් ගේ දේශගුණ විපර්යාස පිළිබඳ තරුණ උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක ලෙසින් තෝරාගෙන තිබේ. එහි ලාබාලම සාමාජිකාවක වන ඇය, මැද පෙරදිග සහ එක්සත් ජනපදය නියෝජනය කරන්නීය.

ඡායාරූප මූලාශ්‍රය, Handout

"මගේ අරමුණ තමයි ලෝකේ පරිසරය ගැන දැනුම ඉහළ නැංවීම. කාලගුණ වෙනස්කම් කියන්නේ මොනවද කියල මිනිස්සු හොඳින් තේරුම් අරගෙන ඒ ගැන නීති සම්පාදනය කරන්න කියල පාලකයන්ට බලකරනව දකින්නයි මට ඕනේ," සොෆියා පවසන්නීය.
"උද්ඝෝෂණවලට සහභාගි වීම, පරිසර නීති සම්පාදනයට සහය දෙන අපේක්ෂකයන්ගේ ප්‍රචාරක ව්‍යාපාරවලට මුදලින් ආධාර කිරීම විතරක් නෙමෙයි, කාලගුණ වෙනස්කම් ගැන යමක් කරනවා කියල පොරොන්දු දෙන අපේක්ෂකයන්ට ඡන්දය දීම ... මේ සේරම ඒකට ඇතුළත්."
'ලෝක නායකයෝ මීට වඩා දෙයක් කරන්න ඕනේ'

ඡායාරූප මූලාශ්‍රය, Handout
සේරා ගූඩි (Sarah Goody), දේශගුණ විපර්යාස ගැන පාසලේ විද්‍යා පන්තියේ මුල්ම පාඩම උගත්තේ දොළොස් හැවිරිදි වියේදීය.
ඉන් අනතුරුව දේශගුණ විපර්යාස සහ වනසතුන්, පරිසරය සහ මානව වර්ගයා කෙරෙහි එහි බලපෑම කවරක් දැයි ඔවුහු මසක් මුළුල්ලේ හැදෑරූහ.
"එදා තමයි මට තේරුණේ දේශගුණ විපර්යාස කියන දේ මොනතරම් බරපතල ද කියලා. ඒ වගේම දේශගුණ ඛේදවාචක සහ මගේ ජීවිතය අතර සම්බන්ධයත් මට වැටහුණා."
14 හැවිරිදි වියේ දී Climate Now සංවිධානය පිහිට වූ සේරා ගූඩි, දේශගුණ විපර්යාසවලට එරෙහිව පියවර ගැනීම පිණිස ලොව පුරා වෙසෙන තරුණ පරපුර දිරිමත් කරමින් අධ්‍යාපන වැඩසටහන් දියත් කරන්නීය. මේ වනවිට ලොව පුරා ස්වේච්ඡා සේවක,සේවිකාවෝ 30 දෙනෙක් ඇය සමඟ අත්වැල් බැඳගෙන සිටිති.
ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට 10,000 කට අධික දේශන ද පවත්වමින් ඇය කළ මෙහෙය වෙනුවෙන් පසුගිය වසරේ ඇය ඩයනා කුමරිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Handout
කලක් දරුණු විෂාදයෙන් පීඩා විඳි සහ තවමත් ඇදුම රෝගයෙන් පෙලෙන 16 හැවිරිදි සේරා, තමන් වෙසෙන එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ දේශගුණ විපර්යාස පිළිබඳ කමිටුවේ ද සභාපතිවරිය වේ.
දේශගුණ විපර්යාස පිළිබඳ සංවාදයට එක්වන මෙන් සේරා, ලොව පුරා වෙසෙන තරුණ පරපුරට ආරාධනා කරයි.
"මම හිතන්නේ ලෝක නායකයෝ මීට වඩා දෙයක් කරන්න ඕනේ. පළවෙනි දේ, එයාල පරිසර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න ඕනේ," සේරා පවසයි. "දෙවැන්න තමයි, ඒ හැමෝම එකමුතු වෙලා ලෝකේ කාබන් විමෝචනය විශාල වශයෙන් අඩුකිරීමේ සැලසුමක් ක්‍රියාවට නගන්න ඕනේ."
සිය දෛනික ක්‍රියාකාරකම් කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීමට දායකවන්නේ කෙසේ දැයි නිසි පරිදි වටහාගතහොත් සෑම පුද්ගලයෙකුටම එය අවප්‍රමාණ කිරීම පිණිස දායකවිය හැකි බව ඇය පවසන්නීය.
"අපිට අනාගතය ගැන පේන කියන්න අමාරුයි, නමුත් එකමුතු වුනොත් අපිට අපේ කාබන් විමෝචනය අඩුකරන්න පුළුවන් වේවි."
අතිරේක වාර්තාකරණය - ෂර්ලි උපුල් කුමාර, බීබීසී සිංහල
කියවන්න:









