සිංහරාජයේ ආර්ථික වටිනාකම ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?

සිංහරාජයේ ගබඩාවී ඇති කාබන් වල වටිනාකම රුපියල් බිලියන 10ක් බවට ගණන් බලා තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, සිංහරාජයේ ගබඩාවී ඇති කාබන් වල වටිනාකම රුපියල් බිලියන 10ක් බවට ගණන් බලා තිබේ.
    • Author, ෂර්ලි උපුල් කුමාර
    • Role, බීබීසී සිංහල

'ලක් මවගේ හරිත සළුව' ලෙස හැඳින්වෙන ලෝක උරුමයක් වූ සිංහරාජ වැසි වනාන්තරයේ වටිනාකම මුදලින් තක්සේරු කළ හැකිද යන්න කිසිවෙකු ඔබෙන් විමසීමක් කළහොත් ඔබ ඊට ලබා දෙන පිළිතුර කුමක් ද? සිංහරාජයේ ආර්ථික වටිනාකම සඳහා අපට නිශ්චිත මුල්‍යමය අගයක් ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් ඉන් ලැබෙන සේවාවන් කිහිපයක ආර්ථික ලාභය ගණනය කිරීම තුළින් අපට සිංහරාජයේ ඇති මුල්‍යමය වටිනාකම ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය.

දේශීය හා විදේශීය විද්‍යාඥයන් එක්ව, පාරිසරික ආර්ථික විද්‍යාවේ දැනුම භාවිත කර සිංහරාජයෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක ආර්ථික වටිනාකම දැනටමත් තක්සේරු කර තිබේ. ඒ අනුව අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ දෙවැනි තැන සිංහරාජ වනාන්තරයට හිමි වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවාය.

''රවුසර් සහ ස්මෝල් (Rausser and Small) කියන විද්‍යාඥයින් දෙදෙනාගේ ගණනය කිරිම් අනුව සිංහරාජයේ ශාක, සතුන් සහ පස් වලින් ලබා ගන්නා ක්ෂුද්‍ර ජීවින් මගින් අනාගතයේ ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම රුපියල් බිලියන 20ක්. මේක අනාගත අගයක් විදියට අපි දකින්නේ. මේ ප්‍රයෝජනය අපිට අනාගතයේ ගන්න ලැබෙන්නේ සිංහරාජය සංරක්ෂණය වෙලා තිබුණොත් තමයි.'' යනුවෙන් මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන කියා සිටියාය.

සිංහරාජයේ නව විශාලත්වය අනුව ඉහත වටිනාකම ගණනය කර ඇත.

රවුසර් සහ ස්මෝල්ගේ ගණනය කිරීම් වලට අනුව අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ පළමු තැනට පත් වන්නේ බටහිර එක්වදෝරයේ වනාන්තර වේ.

සිංහරාජයේ කාබන් ගබඩාව

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අද ලෝකය හමුවේ ඇති ප්‍රබල පාරිසරික අභියෝගයකි. ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 280ක් මට්ටමේ පැවැතිය යුතු වුව ද මේ වන විට එම අගය 416ක් දක්වා ඉහළ ගොස් තිබේ. දේශගුණ විපර්යාස සඳහා හේතු වන වායුගෝලයේ කාබන් තිර කිරීම වනාන්තර මගින් සිදු කරන ඉතා වටිනා සේවාවකි.

දැනට සිදුකර ඇති ගණනයන්ට අනුව සිංහරාජයේ ගබඩාවී ඇති කාබන්වල වටිනාකම රුපියල් බිලියන 10ක් බවට තක්සේරු කළ හැකි බව මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන පෙන්වා දුන්නාය. එම ගණනය සිදු කර තිබෙන්නේ සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර 11,000ක් ලෙස යොදා ගෙනය (පැරණි භුමි ප්‍රමාණය). එහෙත් 2019 නොවැම්බර් 20 දිනැති අංක 2150/31 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර 36,474.93ක් දක්වා වැඩි කර ඇත. එබැවින් සිංහරාජයේ ගබඩා වී ඇති කාබන්වල ආර්ථික වටිනාකම තවත් ඉහළ යනු ඇත.

වීඩියෝ ශීර්ෂ වැකිය, සිංහරාජය ; අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ දෙවැනි තැන සිංහරාජයට

සිංහරාජයේ නව මායිම් සීමා

සිංහරාජයේ නව මායිමක් කළුතර දිස්ත්‍රික්කය සමග ද සම්බන්ධ වේ. ඒ පාලින්දනුවරට අයත් රූනකන්ද සිංහරාජයට ඇතුළත් කිරීම නිසාය. සිංහරාජයේ නව මායිම් වලට පළාත් තුනකට අයත් දිස්ත්‍රික්ක හතරක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක් අයත් වේ.

01. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රිකයට අයත් කලවාන, ගොඩකවෙල, නිවිතිගල, කහවත්ත සහ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

02. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

03. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

සිංහරාජයේ පෝෂක චක්‍රීකරණය පිළිබඳ සේවාව

වනාන්තර පරිසර පද්ධතියක සිදුවන තවත් වැදගත් සේවාවක් වනුයේ පෝෂක චක්‍රීකරණයයි.

''වැටෙන කොළරොඩු, දිරා යන මළ සිරුරු, සතුන්ගේ අපද්‍රව්‍ය මේ සියල්ලම නැවත පරිසර පද්ධතිය තුළට ඇතුල් කරන්නේ මේ චක්‍රීකරණය තුළින්. මෙම චක්‍රීකරණයේ වටිනාකම සිංහරාජයට අදාළව ගණනය කිරීමක් කළා. ඒ අගය වසරකට රුපියල් බිලියන තුනක්.'' යනුවෙන් මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන කියා සිටියාය. 2020 වසරට අදාළව ඉහත අගය ගණනය කර තිබෙන්නේ සිංහරාජයේ පැරණි භුමි ප්‍රමාණය අනුව ය.

සිංහරාජය නිසා ලබන සතුටේ වටිනාකම

සිංහරාජය ලෝක උරුමය නැරඹීම සඳහා සංචාරකයන් විසින් ප්‍රවේශ පත්‍ර මිළදී ගත යුතුය. දේශීය වැඩිහිටියෙකුගෙන් සිංහරාජය නැරඹීම සඳහා රුපියල් 32.00ක් සහ විදේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 700.00ක් අය කරනු ලැබේ.

එහෙත් තමන් මිළදී ගනු ලබන ප්‍රවේශ පත්‍රය වෙනුවෙන් වැය කරන මුදලට වඩා වැඩි වටිනාකමක් සංචාරකයන්ට දැනෙනු ඇත.

මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන එක්සත් රාජධානියේ එඩිම්බරා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා සිංහරාජයේ ආර්ථික වටිනාකම ගැන අධ්‍යනය කර තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන එක්සත් රාජධානියේ එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා සිංහරාජයේ ආර්ථික වටිනාකම ගැන අධ්‍යනය කර තිබේ

එම පාරිභෝගික තෘප්තිමත්භාවය, ප්‍රවේශ පත්‍ර අළෙවියෙන් ලැබෙන අදායම සහ වෙළෙඳපොළ වටිනාකමේ අගය ආර්ථික විද්‍යාවේ සඳහන් පාරිභෝගික අතිරික්තයක් සමග ගණනය කළ හැකිය. සිංහරාජය උදෙසා එම වටිනාකම 2019 වසර සඳහා රුපියල් බිලියන 14.8 ක් බවට ගණනය කර ඇති බව මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවාය.

සංචාරකයන් පැමිණීම ඉහළ යෑම සහ මිනිසුන්ගේ අදායම් මට්ටම ඉහළ යෑම මත මෙම වටිනාකම වසරින් වසර වැඩිවේ.

අධ්‍යාපනික වටිනාකම සහ හුදු පැවැත්ම සඳහා ඇති වටිනාකම

සිංහරාජය යනු පර්යේෂකයන්ට සජීවී විද්‍යාගාරයක් වේ. එබැවින් දේශීය හා විදේශීය විද්‍යාර්ථින්, පර්යේෂකයන් විශාල පිරිසක් සිංහරාජයට ගොස් නොයෙකුත් පර්යේෂණවල යෙදෙති. එම පර්යේෂණ ගැන නිශ්චිත තොරතුරු නොමැති බැවින් එම වටිනාකම මේ ගණනයට ඇතුළත් කර නැත.

මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන එක්සත් රාජධානියේ එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා සිංහරාජයේ ආර්ථික වටිනාකම පිළිබඳ අධ්‍යනය කර තිබේ. ඇය 1996 දී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක තුනක ජනතාවගේ අදහස් ලබා ගෙන කළ ගණනයන්ට අනුව දේශීය ජනතාව සිංහරාජයේ අධ්‍යාපන වටිනාකම සඳහා ලබා දෙන ආර්ථික වටිනාකම වසරකට රුපියල් මිලියන 174කි.

සිංහරාජයට යෑමට අපේක්ෂාවක් නොමැති පුද්ගලයෙකු වුවද සිංහරාජය විනාශ නොවී පවතිනවාට කැමැත්තක් දක්වයි. ඒ තුළින් ඔවුන් සතුටක් ලබයි.

''ඔවුන් ලබන සතුට අපි ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේද අනුව ගණනය කළා. සිංහරාජයේ හුදු පැවැත්ම සඳහා ඇති ආර්ථික වටිනාකම 2020 සඳහා රුපියල් මිලියන 586ක්.'' යනුවෙන් මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන විස්තර කළාය.

ඉහත දක්වා තිබෙන්නේ ලාංකික ජනයා ලබා දෙන වටිනාකම වේ. සිංහරාජයේ හුදු පැවැත්ම සඳහා විදේශිකයන් ලබා දෙන වටිනාකම් ද ඇතුළත් කර ඉහත ගණනය සිදු කළ හොත් ලැබෙන අගය තවත් ඉහළ යයි.

මේ ගැනත් කියවන්න: