සිංහරාජ වනාන්තරය: දේවානි පසුපස පිරිසක් පෙළගැසීම ලංකාගම විතැන් කිරීමක ආරම්භයද?

ගම්පහ දිස්ත්‍රික්කයේ වන අඩවි නිලධාරිනියක් සිය මුහුණුපොතේ තැබූ සටහනකින් සිංහරාජ වනාන්තරය බේරාගැනීමේ මෙහෙයුමක් පෞද්ගලිකව ආරම්භකර ඇති බවට සමාජ ජාල ඔස්සේ වාර්තා වී තිබිණ.
ඇය දේවානි ජයතිලකය. පසුගියදා මීගමුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට යෝජනා වූ අවස්ථාවේ එයට එක හෙලාම ප්‍රසිද්ධියේ දේශපාලන බල අධිකාරිය ඉදිරියේදීම තම විරෝධය පෑමත් සමගම දේවානි ජයතිලක ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්විය.
මෙවර සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් පෞද්ගලිකව මැදිහත් වී සිංහරාජ වනාන්තරය බේරාගැනීමේ උත්සාහයක නිරතවන බව ඇය බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
"මට ඔය ප්‍රශ්නයට මැදිහත්වෙන්න පුළුවන්කමක් නෑනේ. අපි පහළ නිලධාරීන්, එතකොට ඉතින් පුරවැසියෙක් විදිහට මට කරන්න පුළුවන් උපරිම දේ ඔච්චරයි කියල තමයි මම කල්පනා කළේ. අපි මෙහෙ අක්කරයක් දෙකක් රකිනවට වඩා එහෙ පර්චස් එකක් හරි රකින එක වටිනවා."

ඡායාරූප මූලාශ්‍රය, facebook
ඇය මෙම කාර්යය ආරම්භ කළේ සිය මුහුණු පොතේ සටහනක් තබමිනි. සැප්තැම්බර් 2වන දා මුහුණු පොතේ සටහනක් තබමින් ඇය පැවසුවේ "ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න" යනුවෙනි.
ඇය එසේ පැවසුවේ තනියම සුළු වශයෙන් සිංහරාජ වනාන්තරය බේරා ගැනීමටයි. නමුත් ටික මොහොතකින් සමාජ ජලයෙන් ලැබුණු ප්‍රතිචාරත් සමග නොසිතූ මානයකට යාමට හැකියාව ලැබුණු බව දේවානි ජයතිලක බීබීසි සිංහල සේවයට පැවසීය.
"ඒක ලෝක උරුමයක්නේ. ඒක නිසා ඒ ලෝක උරුම තත්වය රැකගන්නත් අපි බැඳිලා ඉන්නවා නේ. ඒක නිසා එකට පොඩි ඉඩම් ප්‍රමාණයක් හරි ගන්න පුළුවන් කියන මතයෙන් තමයි මම ඕක කරන්න කියල හිතුවේ. ඒත් දැන් හිතුවට වඩා ප්‍රතිචාර තියෙන නිසා අපි දැන් හිතුව ඉඩම් දෙන ඔක්කොම එකතුකරලා ලංකාගමේ අයට ඉඩම්ටික දීල ඒ ඉඩම් ටික කැලෑ කරන්න."
දේවානි ජයතිලක පවසන්නේ ලංකාගම පවුල් 180ක් පමණ ජිවත්වන බවත් එයින් සින්නක්කර ඉඩම් 60ක් පමණක් ඇති බවත්ය.

දේවානි ජයතිලක මෙසේ තම පවුල් උරුමයෙන් ලැබුණු අක්කරයකට ආසන්න කෑගල්ල ප්‍රදේශයේ තම ඉඩම ලංකාගම පුද්ලයෙකුගේ ඉඩමකට හුවමාරු කර එම ලංකාගම ඉඩම සිංහරාජ වනයට මුදාහැරීමට තීරණය කළේ පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නෙලුව ලංකාගම හරහා දෙණියාය දක්වා සිංහරාජය හරහා දිවෙන මාර්ගය ඉදිකිරීම පරිසරයට හානි නොවන ලෙස දින 90කින් සිදුකරන ලෙස උපදෙස් දීමත් සමගය.
දේවානි ජයතිලකගේ මුහුණු පොතේ සටහනට ප්‍රතිචාර දක්වමින් සම්පත් කරුණානන්ද සටහනක් තබමින් කියා සිටියේ, "ලෝක උරුමයක් රැක ගැනීම සඳහා පවුල් 118ක් වෙනත් තැනක පදිංචි කරවමින් ජිවිකාව හදා දෙන්නට, පරිසරය රැකීම එක් ප්‍රධාන අරමුණක් කර ගනිමින් බිහි කළ ආණ්ඩුව අසමත් නම්, ජනතාව තනි තනි වශයෙන් හෝ එය රැක ගැනීම උදෙසා නැගී සිටින්නට සූදානම් බවට වන පණිවිඩය, ඇය නම් තනි යෝධ ගැහැණිය විසින් ලබා දීම ආරම්භ කර ඇත. කුරා කුහුඹු මාගේ ගෞරවනීය ආචාරය ඔබට!!!"
මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර් ඩබ් ආර් ප්‍රේමසිරි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නෙළුව සිට ලංකාගම දක්වා කිලෝමීටර 18ක් දිවෙන ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කරන්නේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත බවත් පරිසර සංවේදී කලාපය ඔස්සේ වැටී ඇති කිලෝමීටර 1.1ක් වන කොටසේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බවත් ඉදිරියේ දීත් ඒ සඳහා ඉඩ නොදෙන බව හා මෙම මාර්ග සංවර්ධනය කිරීම පරිසරයට හානිවන අයුරින් නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත් ය.

එහෙත් මෙම මාර්ගය සංවර්ධනය කරනුයේ දේශපාලනඥයකුගේ ඥාතියෙකුට අයත් ඉඩමක ඉදිකෙරෙන හෝටලයකට යාමට බවත් මෙය ඉදිකිරීමෙන් සිංහරාජ වනාන්තරයේ සංවේදී පරිසර කළාපයට හානි සිදුවිය හැකි බවත් ඇතැම් පරිසරවේදීහු පවසති.
තවත් සමහරුන් පවසන්නේ සංවර්ධනය සිදුවිය යුත්තේ කොළඹට නුවරට හෝ හම්බන්තොටට පමණක් නොව, එය රටෙහි සෑම කොටසකටම එකම ආකාරයට සිදුවිය යුතු බවත්, රට පුරා අධිවේගී මාර්ග සෑදීමට උත්සහා ගන්නා යුගයක තම ගම්මානයට ඒමට ඇති අන්ත දුෂ්කර මාර්ගය පිළිසකර කර ගැනීමට ලංකාගම වැසියන්ට අයිතිය තිබිය යුතු බවයි. ලෝක උරුමයක් වන සිංහරාජයට කිසිදු ආකාරයක බලපෑමක් නොවන පරිදි එය සිදුවිය යුතු බවත් මේ අන්ත දෙකම මැද මාවතකට ගෙන වඩාත් තිරසාර ලෙස සංවර්ධනය කිරීම බලධාරීන්ගේ වගකීම විය යුතු බවත් ඔවුහු පවසති.
පරිසරවේදීන් පවසන්නේ මෙහි ප්‍රධාන ගැටලුව පාරක් කැපීම නොව එය සිදුකරන ආකාරය බවයි. ලංකාගම හා ඒ අවට සිටින මිනිසුන්ට පාරක් අවශ්‍ය වුවත් එය සිදුකරන ආකාරය පිළිබඳව ගැටලු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ.

"අපි මේ කතාකරන්නේ ඉතා සංවේදී පරිසර කලාපයක් ගැන. නිලධාරීන් කියනවා ගස් තුනයි කැපෙන්නේ කියල ජනාධිපති තුමා කියල තියෙනවලු එක ගහක් කපන්න එපා කියල. පිට ඉඳල බලන අයට මේක එක ගහක් වෙන්න පුළුවන්, ඒත් මොකක්ද මේ ගස් තුන හරි එක ගහ හරි මම පෞද්ගලිකව දන්නේ නෑ මොකද්ද මේ ගස් කියල, නමුත් මේ ප්‍රදේශයේ තියෙන ගස් සමහර වෙලාවට ලෝකෙටම තියෙන්නේ 100 ක් හරි ඉතා සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එහෙම උනොත් ඒ කපන ගහ ආයිත් නැතිවෙන්න පුළුවන්. ඔය කතා කරන්නේ ලොකුගස් ගැන ඒත් කුඩා ගස් ගැන සඳහනක් නෑ," පරිසරවේදී ආචාර්ය සුරන්ජන් ෆර්නැන්ඩෝ බීබීසී සිංහල සේවයට පවසීය.
ආචාර්ය සුරන්ජන් ෆර්නැන්ඩෝ පවසන්නේ මෙම ප්‍රශ්නයට පිළියම් දෙකක් ඇති බවය. එකක් නම් මෙම ලංකාගම හා අනෙකුත් ගම්වල පිරිස වෙනත් තැනක පදිංචි කිරීම හෝ ගිංගඟ හරහා පාලමක් ඉදිකොට මාර්ගය සකස් කිරීමයි.
"මේකේ තියෙන ලොකුම ගැටඑව කරන විදිහ තමයි. මේකට කිසිම පරිසර බලපෑම පිළිබද අධ්‍යයනයක් කරලා නැහැ, එසේ තිබුණ නම් මේක ගැන හරි අවබෝධයක් ගන්න පුළුවන්. මෙතන තියන ප්‍රශ්ණය පාර හදන එක නෙමෙයි, ඒක කරන විදිහ. මේකෙන් පේන්නේ මේ රජය ඉතා සීග්‍ර සංවර්ධනයක් කරගන ගමනේදී පරිසරයට වන හානියයි. මෙහිදී පරිසරය ගැන, එහි ජිවත්වන මිනිසුන් ගැන හා ඒවා පිළිබඳ තීරණය කරන අය අතර මනා අවබෝධයක් හා සම්බන්ධයක් තිබිය යුතුයි."
ඔහු වැඩිදුරටත් පැවසුවේ සංවර්ධනය කිරීමේදී පරිසර හිතකාමී ආර්ථික මොඩලයකට යා යුතු බවත් හුදෙක්ම සංවර්ධනය පමණක් නොකළ යුතු බවත්ය.
කියවන්න:








