ලෝක උරුම සිංහරාජ වනයේ "ජෛව කොල්ලය සැලසුම් සහගත අපරාධයක්"

sinharaja

ලෝක උරුමයක් වන සිංහරාජ වන රක්ෂිතය තුළ සිදු වූ "ජෛව කොල්ලය" ඉතා සැලසුම් සහගත අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇතැයි විමර්ශනවල යෙදෙන වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

අදාළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

සිංහරාජ රක්ෂිතයේ කෘමි සතුන් සහ ශාක එක් රැස් කළ විදේශිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය සෙනසුරාදා ය (පෙබරවාරි02). අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත.

රාත්‍රී කාලය තුළ වන සතුන් සහ ශාක එක් රැස් කිරීම සඳහා ඔවුනට ලාංකිකයන් කිහිප දෙනෙකුගේ ද සහය ලැබී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව කලවාන අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, සිංහරාජය: විදේශිකයන් පහක් අත්අඩංගුවට

විමර්ශනයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ ස්ලෝවැකියානු ජාතිකයන් නවාතැන් ගෙන සිටි, සිංහරාජ රක්ෂිතය සමීපයේ පිහිටා ඇති 'මාටින්ස් ලොජ්හි' හිමිකරු මාටින් විජේසිංහගෙන් ද පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමර්ශන නිලධාරීහු ඉරිදා (පෙබරවාරි 03) කටයුතු කළහ.

සිංහරාජ රක්ෂිතය ආසන්නයේ දිවි ගෙවන මාටින් විජේසිංහ එහි පැමිණෙන පර්යේෂකයන් සහ පරිසරවේදීන් සමග සමීපව කටයුතු කරන පුද්ගලයෙකු වශයෙන් ප්‍රචලිතය.

එමෙන් ම රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව විදේශිකයන් නවාතැන් ගෙන සිටි කාමර පරීක්ෂා කෙරුණු අතර එහිදී වැදගත් සාක්ෂි රැසක් සොයා ගත් බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

රත්නපුර අතිරේක දිසා වන නිලධාරී තිස්ස ඩයස් බණ්ඩාර ප්‍රමුඛ විමර්ශන කණ්ඩායම 'මාටින්ස් ලොජ්' වෙත ඉරිදා ගිය අවස්ථාවේ විදේශිකයන් නවාතැන් ගෙන සිටි බව පැවසෙන කාමර පිරිසිදු කර තිබිණි.

sinharaja

ගොඩනැගිල්ල ආසන්නයේ ඇතැම් ද්‍රව්‍ය පුළුස්සා තිබූ අතර එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය නිලධාරීන්ට නීති විරෝධී ලෙස අල්ලන ලදැයි විශ්වාස කෙරෙන මිය ගිය සමනලුන් බහාලූ කවරයක් හමු විය.

එම කවරය විදේශිකයන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබූ කවරවලට සමාන බව විමර්ශන නිලධාරීහු පවසති.

විදේශිකයන් කෙරෙහි තමන් තුළ මුල සිට ම සැකයක් පැවති බවත්, ඒ ගැන සෝදිසියෙන් සිට වන සංරක්ෂණ නිලධාරින්ට තොරතුරු ලබා දුන් බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් මාටින් විජේසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

එහෙත් වැටලීම කළ කලවාන අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර කියා සිටියේ, මාටින් විජේසිංහ තොරතුරු ලබා දුන් බව කියන වන සංරක්ෂණ නිලධාරින් හරහා තමන්ට තොරතුරක් නොලැබුණු බවය.

ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වන බව කී කලවාන අඩවි වන නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් වෙත වෙනත් පාර්ශවයකින් ලැබුණු ඔත්තුවක් මත නවාතැන්පළේ සිට මීටර් 500ක් පමණ පහළ ප්‍රදේශයකදී විදේශිකයන් පිටව යන අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවය.

පුළුස්සන ලද දෑ නිරීක්ෂණය කරන නිලධාරීන්

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ළඟ තිබී සොයා ගත් සමනලුන් සංඛ්‍යාව දහසකට අධිකය. ඉන් බොහෝ දෙනෙකු රසායන ද්‍රව්‍ය යොදා මරණයට පත් කර තිබිණි. වැටලීමේදී සොයා ගත් කෘමි විශේෂ ගණන ද 500කට අධික බව විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ. මීට අමතරව ඇතැම් ජීව විශේෂවල බිත්තර සහ කෝෂ වැනි ජීවන චක්‍රයේ විවිධ අවස්ථා ද සොයා ගෙන තිබේ. ශාක කොටස් කිහිපයක් ද ඒ අතර වේ.

විදේශිකයන් විසින් නවාතැන්පොළේ සිට, සිංහරාජ ලෝක උරුම වන බිම තුළට කැමරා සහිත ඩ්‍රෝන යවා ඇති බවත් වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

කෙසේ නමුත් එසේ ඩ්‍රෝන යැවීම නීති විරෝධී බව තමන් විදේශිකයන්ට පැවසූ බව මාටින් විජේසිංහ පවසයි.

නවාතැන් වෙන් කර ගෙන තිබූ දිනවලින් වැඩි කාලයක් විදේශිකයන් නවාතැනෙහි සිට නොමැති බව ද මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

වන සංරක්ෂණ නිලධාරීන් භාරයට ගත් කෘමීන්
ඡායාරූප ශීර්ෂ වැකිය, වන සංරක්ෂණ නිලධාරීන් භාරයට ගත් කෘමීන්

'මාටින්ස් ලොජ්' ගොඩනැගිල්ලේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි මාර්ග බාධකයේ සහ ඒ ආසන්නයේ පිහිටි සිංහරාජ අධ්‍යාපන සහ තොරතුරු මධ්‍යස්ථානයේ පැය 24 පුරා නිලධාරීන් දෙදෙනෙකු සේවයේ යොදවා තිබුණ ද කිසිවෙකුත් විදේශිකයන් පිළිබඳව ඔවුන්ට දන්වා නොමැති බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

මේ අතර, මාටින් විජේසිංහ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැන්වීම සඳහා තමන් සිංහරාජ කාර්යාලයට දුරකතන ඇමතුමක් ගැනීමට උත්සහ කළත් දුරකතනය ක්‍රියාත්මක නොවූ බවය.

විදේශිකයන් රාත්‍රී කාලයේදි කෘමීන්, සමනලයන් හා සලබයන් ආදී සතුන් එක් රැස් කිරීම සඳහා විදුලි බල්බ දෙකක් දැල්වීමට විදුලිය ලබා ගත්තේ කෙසේ ද යන්න මෙතෙක් නොවිසඳුණු ගැටලුවකි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ, විදේශිකයන් සිංහරාජයට පැමිණ තිඛෙන්නේ එහි ප්‍රධාන පරිපාලන තනතුරු තුනට අදාළ නිලධාරීන් ස්ථාන මාරු ලබා යන දිනයට පෙර දිනයේ බවය.

නිදහස් දිනය ද ඇතුළුව දීර්ඝ සති අන්ත නිවාඩුවක් යෙදුණු කාලය තුළ සිංහරාජයට අලුතින් පත් කළ නිලධාරීන් රාජකාරී ආරම්භ කර නොතිබිණි.

sinharaja

සිංහරාජයේ වැටලීම් භාර කලවාන අඩවි කාර්යාලයේ ප්‍රධානියාට ද එදින ස්ථාන මාරුවක් ක්‍රියාත්මක වුවත් ඔහු නව සේවා ස්ථානයට එදින වාර්තා කර නොතිබූ බැවින් මෙම වැටලීම ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබේ.

වන සංරක්ෂණ නිලධාරීන් පිළිබඳ ඉහත කී තොරතුරු "ජෛව කොල්ලයට" සම්බන්ධ පුද්ගලයන්ට කල් තබා ලැබුණේ ද යන්න පිළිබඳව පරීක්ෂණ කණ්ඩායමේ අවධානය යොමු වී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විදේශිකයන් සතුව සිටි සජීවී සතුන් අධිකරණ නියෝගයට අනුව ඉරිදා යළි සිංහරාජ ලෝක උරුම වන බිමට නිදහස් කෙරිණි.

එමෙන් ම සතුන්ගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට හා එම සතුන් කල් තබා ගැනීමට භාවිත කළ රසායනික ද්‍රව්‍ය රජයේ රස පරික්ෂකවරයා වෙත යැවීමටත්, මිය ගිය සතුන් හා ශාක හඳුනා ගැනීමට අදාළ ආයතන වෙත යොමු කිරීමටත් විමර්ශන නිලධාරීන් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

මේ වන විට කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් බදාදා කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

"ජෛව මංකොල්ල" සහ ඉතිහාසය

ඉහළ ජෛව විවිධත්වයකින් යුත් සිංහරාජ වනාන්තරයේ ශාක හා සතුන් හොර රහසේ වෙනත් රටවලට රැගෙන යාමට උත්සාහ කළ පළමු අවස්ථාව මෙය නොවේ.

  • සිංහරාජය තුළ ශාක හා සතුන් සතුන් එකතු කළ ජපන් ජාතික විද්‍යාඥයින් දෙදෙනෙකු 1998 වසරේදී අත්අඩංගුවට ගනු ලැබිණි.
  • 2012 වර්ෂයේදී ද ඕලන්ද ජාතික විද්‍යාඥයෙකු අත්අඩංගුවට ගැනුණේ සිංහරාජයෙන් එකතු කළ කෘමි සතුන් ද සමගය.
  • 2014 වසරේදී සමනලුන් එකතු කළ ජර්මන් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
  • සිංහරාජයේ ඕකිඩ් හා පර්ණාංග ශාක එකතු කළ ජර්මන් ජාතිකයෙකු ද 2016 වසරේදී අත්අඩංගුවට ගැනිණි .

සිංහරාජය ගැන බිඳක්

sinharaja

ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම වැසි වනාන්තරය සිංහරාජය වේ. එහි තිබෙන ශාක අතරින් 60%ට අධික ප්‍රමාණයක් අවේණික විශේෂයන්ය. ඒ අතරින් වැඩි කොටසක් දුර්ලභ ගණයට අයත් වෙතැයි සැලකේ. එමෙන් ම කරුල්ලන් ඇතුළු අවේණික සත්ව විශේෂ ගණනාවකට සිංහරාජය නිවහන වේ. ක්ෂීරපායීන්, සමනලුන් ඇතුළු කෘමි, උරග සහ උභය ජීවී කුලවලට අයත් අවේණික විශේෂ රැසක් එහි දැකිය හැක.

යුනෙස්කෝ සංවිධානය විසින් සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත. සිංහරාජ රක්ෂිතයේ විශාලත්වය හෙක්ටයාර 8,864 කි.

සිංහරාජයේ මායිම්

සිංහරාජ වනාන්තරය රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක අතර පිහිටා තිබේ.

නැගෙනහිරින් බෙවර්ලි වතු යාය සහ දෙනුව කන්ද පිහිටා ඇත. උතුරින් නාපොළ දොළ සහ කොස්ගුලන ගඟ පිහිටා ඇත. දකුණු පසින් ඇත්තේ මහදොළ සහ ගිං ගඟය. බටහිරින් කලුකන්දෑව ඇළ සහ කුඩාව ගඟ මායිම්ව ඇත.

සිංහරාජය සහ ජනප්‍රවාද

සිංහරාජය පිළිබඳ බැඳුණු ජනප්‍රවාද රැසක් පවතී. සිංහරාජ වනයේ විසුවේ යැයි කියන 'සිංහරාජයෙකු' ඉන් එකකි.

සිංහරාජ වනය පිළිබඳ ඉතිහාසගත සටහනක් වාර්තා වන්නේ ඉබන් බතූතාගේ සංචාර තුළිනි. ඔහු සිංහරාජය මැදින් වැටී තිබූ අඩිපාරක් ඔස්සේ ශ්‍රී පාද කන්ද තරණය කළ බව වාර්තා වේ.