හක්කිඳ: මහවැලි ගඟේ 'අනවසර ඉදිකිරීම් සඳහා දේශපාලනඥයන්ගේ අනුග්‍රහය'

BBC

ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරමින් ගලා බසින මහවැලි ගඟ ශ්‍රී ලංකාවේ දිගම ගංගාවය.

එමෙන්ම වර්ග කිලෝ මීටර දහසකට වැඩි භූමි ප්‍රදේශයක් එහි ජලයෙන් පෝෂණය වේ.

ශ්‍රී පාද අඩවියෙන් ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන මහවැලි ගංගාව ශ්‍රී ලංකාවට ආර්ථික, සමාජයීය, ඓතිහාසික වශයෙන් මෙන්ම ජෛව විවිධත්වය අතින් ද වැදගත් ගංගාවකි.

මහනුවර ගැටඹේ ආසන්නයෙන් ගලා බසින මහවැලි ගඟ සහ එහි වූ හක්කිඳ දූපත් ඇතුළු අවට ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර වසරකට අධික කාලයක් ගතව ඇතත් එහි වූ නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පරිසරවේදීහු සහ ප්‍රදේශයේ ආගමික නායකයෝ පෙන්වා දෙති.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

මහවැලි සහ පරිසර අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

'වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය' තුළ සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කිරීම ඉහත කී ගැසට් නිවේදනයේ එක් නිර්දේශයකි.

මේ දක්වා එම කමිටුව පත් කිරීමට අපහොසත් වී ඇති බැවින් මහවැලි ගං ඉවුරේ හෝටල් ඇතුළු අනවසර ඉදිකිරීම් සිදුවන බවට පරිසරවේදීහු චෝදනා කරති.

විශේෂයෙන් මේ වනවිටත් හක්‌කිඳ ආශ්‍රිත මහවැලි ගංගාවේ පටුම ස්ථානය ආසන්නයේ ඉදිකිරීමක් සඳහා යන්ත්‍ර යොදා ගනිමින් ගල් සිදුරු කරන බව ඔවුහු පවසති.

අදාළ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් 'වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ' ජෛව විවිධත්වයට සහ ඒ අවට පිහිටි පෞරාණික වටිනාකම් සහිත ස්ථාන අවදානමට ලක් වී ඇති බව පරිසරවේදීහු පෙන්වාදෙති.

එමෙන්ම කැලිකසල, ගොඩනැගිලි ඉදිකිරීමේදී ඉවතලන පස් සහ සෙසු අපද්‍රව්‍ය හෝටල් විසින් ගං ඉවුර වෙත මුදාහරිනු ලැබ ඇති ආකාරය ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එහි ගිය අපට දැකගැනීමට හැකි විය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මධ්‍යම පරිසර අධිකාරියෙන් කළ විමසීමේදී එහි මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේපී වැලිකන්නගේ කියා සිටියේ අදාළ කමිටුව පත් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම මේ වනවිටත් අවසාන කර ඇති බවය.

කෙසේ නමුත් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු 'වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ' කිසිදු අනවසර ඉදිකිරීමක් සිදුව නොමැති බව පවසන ඔහු 2018 වසර අවසාන වීමට පෙර අදාළ කමිටුව පත් කරන බව සඳහන් කළේය.

BBC

'වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය' සංරක්ෂිත කලාපයක් බවට පත් කරමින් 2017 වසරේ ජුනි 19 වෙනි දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියමයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව:

  • වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය තුළ සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කළ යුතුය.
  • වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය තුළ අවසරලත් භාවිතයන් සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ සියලූම අයදුම්පත් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු ය.
  • වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය තුළ පවත්නා අවසරලත් භාවිතයන්ට අදාළ සියලූ සංවර්ධන ක්‍රියාකාරකම් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දෙන මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක කළ යුතුය.
  • සියලූ අවසරලත් භාවිතයන් පරිසරයට හානියක් හෝ අවහිරයක් නොවන පරිදි හෝ මහජනතාවට පීඩාවක් නොවන පරිදි පවත්වාගෙන යා යුතුය.
  • ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විමසා ගං ඉවුරේ සිට ගොඩබිම දෙසට මීටර් පහක (5m) රක්ෂිත ප්‍රදේශයක් සලකුණු කළ යුතුය.
  • මීටර් 5ක ගඟ රක්ෂිත ප්‍රදේශය තුළ - කිසිදු තාවකාලික ඉදිකිරීමක් නොකළ යුතුය; අනුමැතියකින් තොරව ගොඩනැගිලි නවීකරණය නොකළ යුතුය; දේශීය සත්ත්ව හෝ වෘක්ෂලතා විශේෂයන්ට හානිවන ආකාරයේ කිසිවක් නොකළ යුතුය; කිසිදු භූ අලංකරණ කටයුත්තක් නොකළ යුතුය; කිසිදු ඉඩම් ගොඩකිරීමක් නොකළ යුතුය.

පරිසරවේදීන් සහ ප්‍රදේශයේ ආගමික නායකයන් චෝදනා කරන්නේ ගං ඉවුරු මත 'අනවසරයෙන් ඉදිකෙරෙන' හෝටල් සඳහා දේශපාලනඥයන්ගේ ද අනුග්‍රහය ලැබෙන බවටය.

'වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය' සංරක්ෂිත කලාපයක් බවට ගැසට් කර තිබුන ද එහි නිර්දේශ ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බව වරාතැන්න විමලබුද්ධි ශ්‍රී බෞද්ධ මධ්‍යස්ථානාධිපති වල්දෙනියේ සමිත හිමියෝ, බීබීසී සිංහල සේවය සමග පැවසූහ.

"මේ කලාපය සංරක්ෂිත කලාපයක් බවට පත් කර ගැනීම සඳහා අප අවුරුදු අටක සටනක් ගෙන ගියා. දැන් නීතියෙන් එය ආරක්‍ෂිත කලාපයක් බවට පත්වී තිබෙනවා. නමුත් අදාළ ගැසට් පත්‍රයේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක නොවන බවක් පෙනෙන්න තිබෙනවා," යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

මහවැලි ගංගාවට අයත් හක්කිඳ දූපත් පිහිටා ඇත්තේ ගැටඹේ සීමා මාලකය අසල සිට දොඩම්වල දක්වා වන සංරක්ෂිත කලාපය තුළය.

මීට පෙර එහි දූපත් විස්සක් පැවැතිය ද අනවසර ගොඩකිරීම් හේතුවෙන් එම සංඛ්‍යාව දූපත් දොළහ දක්වා අඩුවී ඇති බව පරිසරවේදීහු පවසති.

BBC

මහවැලි ගංගාවේ පටුම හා පළලම ස්ථාන ද, එම ගංගාවේ වැඩිම දූපත් ප්‍රමාණය පිහිටා ඇත්තේ ද 'වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය' තුළය.

පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලෝකයෙන් තුරන්වූ බව පැවසුණු 'කොළගඩයා' නමැති දුර්ලභ මත්ස්‍ය විශේෂය ද එම කලාපයෙන් හමු වී ඇති බවය.

ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ ගණනාවක් එහි ජීවත්වන බව නාරා ආයතනය 2013 වසරේදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම වැඩිදුරටත් සඳහන් කළේය.

"මේ පරිසර පද්ධතිය සුවිශේෂීයි. නමුත් මහනුවර නගරයේ අපද්‍රව්‍ය එක්වන මැද ඇළ ගැටඹේ පාලම ආසන්නයෙන් මහවැලි ගඟට වැටෙනවා. නගරයේ කැලිකසල, සර්විස්වලින් සහ රෝහල්වලින් එන අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපාංග මේ සියල්ල ගහගෙන ඇවිත් මහවැලි ගඟේ තිබෙන ගල් වලවල්වල තමයි රැඳෙන්නේ."

BBC

ගංගාවේ ඊට පහළින් ජලය එක්රැස් කර ගන්නා ජලාශ වෙත ද ඉහත කී අපද්‍රව්‍යවල අඩංගු රසායන වියෝජනය වන බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම හක්කිඳ දූපත් අවට ප්‍රදේශය පෞරාණික වශයෙන් ද වැදගත් කලාපයක් බව පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම සඳහන් කරයි.

"1505 පෘතුගීසි සමයේ පොත්පත්වල මේ පිළිබඳ සඳහන් වනවා. හල්ඔලුව ප්‍රදේශයේ තවමත් නටඹුන් තිබෙනවා. ඒ වගේම 1831 වසරේ නොවැම්බර් 09 වෙනිදා ජෝර්ජ් ටර්නර් කියන දිසාපතිවරයා වෙනුවෙන් ඉදිකෙරුණු අමුණක් තිබෙනවා."

BBC

ටර්නර් දිසාපතිවරයා වෙනුවෙන් ඉදිකෙරුණු බව පැවසෙන අමුණ ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවටත් ඔහු චෝදනා කරයි.

"තාම ඒ සම්බන්ධයෙන් ගැසට් එකක් නැහැ. මේවා දිනෙන් දින පරිහානියට පත් වෙනවා. ආරක්ෂා තත්ත්වයකට පත්වෙනවා. මේ දේවල් සංරක්ෂණය කිරීම සඳහා අදාළ බලධාරීන් ඉදිරිපත් වෙන්නේ නැහැ."

BBC

"අපේ උරුමයන් නැති කර ගන්න එක විශාල අපරාධයක්. මහනුවර ලෝක උරුම නගරයත් ඉතාමත් ආසන්නයේ තිබෙන්නේ. පාරිසරික සහ සංස්කෘතික වටිනාකමක් සහිත මේ ප්‍රදේශය අනාගත පරපුර සඳහා රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමයි."

වසර කීපයකට ඉහතදී දූපත් කලාපය අසල පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට සමාගමක් ක්‍රියාකළ අතර ඒ හේතුවෙන් විශාල පාරිසරික හානියක් එහි සිදුවූ බව ද ප්‍රදීප් සමරවික්‍රම වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේපී වැලිකන්නගේ කියා සිටියේ වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ ඉදිකිරීම් සිදු කිරීම සඳහා දේශපාලන අධිකාරියෙන් සිය ආයතනය වෙත බලපෑමක් එල්ල වී නොමැති බවය.

නමුත් එහි යම් කිසි අනවසර ඉදිකිරීමක් සිදුවන්නේ නම් සිය ආයතනය වෙත දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටී.

ඔහු පවසන පරිදි අදාළ පරිසර පද්ධතිය ආරක්ෂක කලාපයක් බවට පත් කර ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය "නිහඬව" ක්‍රියාත්මක වී ඇත.

"කමිටුව පිහිටුවීමට පෙර සියලුම රාජ්‍ය ආයතන, ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන, පරිසර සංවිධාන දැනුවත් කළ යුතුයි. එය ඉදිරි මාස කීපය ඇතුළත වෙනවා. හක්කිඳ ප්‍රදේශය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා දැන්වීම් පුවරු යොදා ගත යුතුයි. දැන් ඒ සියල්ල අවසාන අදියරයේ තමයි තිබෙන්නේ."

වරාතැන්න - හක්කිඳ පාරිසරික ප්‍රදේශය තුළ අනවසර ඉදිකිරීම් සිදුවන බවට ලැබුණු පැමිණිලි පිළිබඳ සොයා බැලීමේදී නිවසක් ප්‍රතිසංස්කරණය සිදු කොට ඇතැයි අනාවරණය වූ බව කී මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේපී වැලිකන්නගේ ඒ සඳහා පවතින නීතිය යටතේ පළාත් පාලන ආයතන මගින් අවසර ගෙන තිබූ බව පැවසීය.

"හැබැයි හෝටල් ඉදිකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගැසට් පත්‍රය නිකුත් කිරීමට ප්‍රථම හදපු හෝටල් තමයි තාම තියෙන්නේ. කමිටුව පත් කළ පසු නිවසක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් එහි අවසරය අවශ්‍ය වෙනවා."

එසේ නැතත් යම්කිසි ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දී මහවැලි රක්ෂිත සීමාව තුළ බලාත්මක තීන්දු ගැනීමේ හැකියාවක් මහවැලි අධිකාරිය සතු බව කී ඔහු " ඊට අමතරව පළාත් පාලන ආයතනවල තිබෙන අණපනත්වලට පටහැනිව ඒ ඉදිකිරීම් කර තිබේ නම් ඒ යටතේත් කටයුතු කළ හැකියි," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.