සිංහරාජය: 'කිව්වට බෑ, ලිඛිතව දෙන්න' - යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් වෙත ඉල්ලීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝක උරුම සිංහරාජ රක්ෂිතය ආශ්‍රිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූයේ නම් ඒ බව සඳහන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන මෙන් පරිසරවේදීන් සහ පරිසර සංවිධාන යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටිති.
ඔවුන් එසේ ඉල්ලා සිටින්නේ, වාරිමාර්ග ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසී සිංහල සේවය වෙත බ්‍රහස්පතින්දා (මාර්තු 25) කළ ප්‍රකාශයත් සමගය.
"අපි යුනෙස්කෝ ආයතනය, ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් කර පැහැදිලි කලා, ඒක කරන එක සුදුසු නැහැ කියලා. ඇමතිතුමා ඒක පිළිගත්තා. ඒ අනුව සිංහරාජයේ කිසිම ජලාශයක් හදන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සිංහරාජ ලෝක උරුමයට කිසිම අනතුරක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. රජයත් එහෙමයි, ඇමැතිතුමාත් ඒ දේ පිළිගත්තා. අපිත් ඒ පිළිබඳ විමර්ශනයෙන් ඉන්නේ," යනුවෙන් ආචාර්ය මීගස්වත්ත එහිදී සඳහන් කළේය.
ගිං ගඟ හරස් කර, ඉදිකිරීමට නියමිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය වෙනුවට, වෙනත් විකල්ප මාර්ගයක් සෙවීමට ඇමතිවරයා එහිදී වාරිමාර්ග ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දුන් බවත් ඔහු පැවසීය.
චීන සමාගමක සැලසුම් මත ක්‍රියාත්මක වීමට නියමිත අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට අයත් හෙක්ටයාර 5 ක භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වෙතැයි ඇස්තමේන්තු කෙරේ.
එම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ගණනාවක් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa/Facebook
ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ඇතුළු යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් සහ වාරිමාර්ග ඇමතිවරයා අතර ඉහත කී සාකච්ඡාව සිදු වූයේ යෝජිත ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ මූලස්ථානය වෙත ඉල්ලීම් සහ පෙත්සම් ඉදිරිපත් වෙමින් පවතින අතරතුරදීය.
පසුගිය වසරේ, මතභේදයට තුඩු දුන් සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාර්ගය සංවර්ධනය කිරීමේ දී ද යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් නිසි මැදිහත්වීමක් නොකළ බවට චෝදනා කරන පරිසරවේදීහු මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම නියෝජිතයන් සිදු කරන ප්‍රකාශයන්හි විශ්වසනීයත්වය ප්‍රශ්න කරති.
"මහ ඈතකට යන්නේ නැතුව 2020 අවුරුද්දේ, ලංකාගම මාර්ගය හදන විටත් යුනෙස්කෝ ලංකාවේ කාර්යාලය එවැනි ප්‍රකාශ සිදු කළා," යනුවෙන් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
එබැවින්, මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට, වාරිමාර්ග අමාත්‍යවරයා එකඟතාවකට පැමිණ ඇත්නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී.
"වන සත්ත්ව සහ වෘක්ෂලතා අඥා පනතට අනුව රක්ෂිතයක, අභය භූමියක කිලෝමීටරයක් යන තුරු කිසිම ඉදිකිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ නීතිය පදනම් කරගෙන යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලයට පුළුවන් ලෝක උරුම රක්ෂිතයේ මායිමට හෝ අභ්‍යන්තරයට යම් හානියක් වෙන්නේ නම්, එවැනි ව්‍යාපෘතියක් සිදු නොවන බව ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලිඛිතව ප්‍රකාශයට පත් කරන්න,"
"ඒ ලියුම අරගෙන, ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයේ එකඟතාව මෙය බව පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයට දැනුම් දී, සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කිරීමේ කාර්යයට එකතු වෙන්න, එවිට අපි සියලු දෙනාටම හැකි වෙනවා," යනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.
යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් දේශපාලන බලපෑම්වලට ලක්ව ක්‍රියා කරන බවට පසුගිය කාලය පුරා, පරිසරවේදීන් සහ පරිසර සංවිධාන වෙතින් චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා නියෝජිතයින් නිසි මැදිහත්වීමක් සිදු නොකරන බැවින් තමන්ට පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට සිදුව ඇති බව ද ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.
ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
අදාළ ජලාශ ව්‍යාපෘති සඳහා අවසර ලබා දීමට ඇති හැකියාව පිළිබඳ විමසමින් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය (ලෝක උරුම කමිටුවට) වෙත නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බව ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසිය වෙත තහවුරු කළේය.
පසුබිම් කතාව

ඡායාරූප මූලාශ්‍රය, Chamal Rajapaksa
ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ජලාශ දෙකක් ඉදි කිරීම සඳහා වූ සැලසුම පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගියදා වීරකැටියේ පැවති උත්සවයකදී අදහස් පළ කිරීමත් සමග, ඒ හේතුවෙන් ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට සහ එහි පරිසර පද්ධතියට විය හැකි බලපෑම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල ඇතුළු හම්බන්තොට ප්‍රදේශය වෙත ජලය ලබා දීම සඳහා එවක මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ගෙන ආ අදාළ වාරිමාර්ග ව්‍යාපෘතිය සඳහා සැලසුම් සකස් කිරීමේ කාර්යය චීන සමාගමකට භාර කෙරුණු බවත් ඇමතිවරයා සඳහන් කර තිබිණි.
"නමුත් පහුගිය අවුරුදු පහේ මේ වැඩේ නැවතුණා. අපි ඒ සමාගමට යම් කිසි මුදලකුත් දී තිබුණා මේ වැඩ ටික කරන්න. නමුත් අපි එය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරන් තිබෙනවා. අපි කුඩා වැව් දෙකක් උඩහා බඳින්න වෙනවා. ඒක බඳින්න තියෙන්නේ සිංහරාජ වනාන්තරය ඇතුළේ. එක වැවක් අක්කර පහක් විතර. මේ වගේ වැව් දෙකක් බඳින කොට කැලේ යට වෙනවා,"
"එතකොට සිංහරාජ කලාපය අධි ආරක්‍ෂිත කලාපයක්. ඇතුල් වෙන්න තියා ගහක් කොලක ඇටයක් ඇහිඳ ගන්න බෑ. ඉතින් ඒ නිසා දැන් අපි ඒ අයත් එක්ක කතා කරනවා අපිට මේ වැව හදාගන්න ඉඩ දෙන්න... එතන අක්කර පහ වෙනුවට අපි තව අක්කර පනහක්, හැටක්, සීයක් වනාන්තරය වගා කරලා දෙන්නම් කියන පොරොන්දුව උඩ," යනුවෙන් චමල් රාජපක්ෂ ඇමතිවරයා ඉහත කී උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වන අයුරු මාධ්‍ය වාර්තාවල දැක්විණි.
පසුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, යුනෙස්කෝ අවසරය ඇතිව නිසි අධ්‍යයනයකින් පසු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවය.
පසුගිය ආණ්ඩු සමය

ගිං සහ නිල්වලා ගංගාවන්හි සමස්ත ජල ධාරිතාවෙන් 80% ක් පමණ කිසිඳු ප්‍රයෝජනයකට නොගෙන ඉන්දීය සාගරයට යොමු වන බැවින්, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක අයත් ගිණිකොන දිග ශුෂ්ක වියලි කලාපයේ ජීවත්වෙන ලක්ෂ ගණනක් වූ ග්‍රාමීය ජනතාව මුහුණ දෙමින් සිටින අතිශය උග්‍ර පානීය සහ වාරි ජල අවශ්‍යතාව මෙන්ම එම දිස්ත්‍රික්කයන්හි ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කර්මාන්ත සහ සේවා අංශවල ජල අවශ්‍යතා සපුරාලනු පිණිස දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයන පදනම්ව අදාළ ව්‍යාපෘති යෝජනාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අරමුදල් සම්පාදනය සඳහා සිය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බව සිකුරාදා (මාර්තු 26) වාරිමාර්ග අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
2009 වසරේ සැලසුම් කරන ලද යෝජිත ගිං නිල්වලා ව්‍යාපෘතිය මගින් ස්ථාපනය කිරීමට යෝජිත ජලාශ:
- අම්පනාගල
- මාදුගැටේ
- කොටපොල අමුණ
වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායකගේ අත්සනින් නිකුත් කරන ලද ඉහත කී නිවේදනයේ දැක්වෙන පරිදි මතභේදයට තුඩු දී ඇති යෝජිත මාදුගැටේ ජලාශයේ භූ විද්‍යා සමීක්ෂණ අධ්‍යයනය සහ පාරිසරික ඇගයීම් ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ පැවති මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩු සමයේදීය.
වාරිමාර්ග අමාත්‍යංශයේ වාර්තා අනුව යෝජිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ආශ්‍රිතව වසර 2009 සිට මේ දක්වා සිදු කර ඇති සාකච්ඡා, පර්යේෂණ, අධ්‍යයන සහ ගවේෂණ පහත දැක්වෙන අයුරින් පෙළ ගැසී ඇත.
- 1988 - සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීම
- 2009 - මූලික ව්‍යාපෘති සැලසුම් සම්පාදනය
- 2009 - මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම
- 2017 - භූ විද්‍යා සමීක්ෂණ අධ්‍යයනය සිදු කිරීම
- 2017 - පාරිසරික ඇගයීම් ක්‍රියාවලිය ආරම්භ කිරීම
- 2020 - ව්‍යාපෘතිය සඳහා යුනෙස්කෝ අනුමැතිය ගැනීමට පළමු ඉල්ලීම
- 2020/12/30 - යුනෙස්කෝ ජාතික කොමිසම සමග පළමු සාකච්ඡාව
- 2021/01/27 - යුනෙස්කෝ ජාතික කොමිසම සමග දෙවන සාකච්ඡාව
- 2021/02/02 - යුනෙස්කෝ ජාතික කොමිසම මගින් ව්‍යාපෘති යෝජනාව සලකා බැලීම පිණිස යුනෙස්කෝ ලෝක උරුම කමිටුව වෙත නිල ඉල්ලීම සිදු කිරීම
මේ ගැනත් කියවන්න:











