සිංහරාජ පුළුල් කිරීම: ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් වීම සිතාමතාම පමා කරන බවට චෝදනාවක්

සිංහරාජ පිවිසුම් මග ඇති දැන්වීම් පුවරුවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, සිංහරාජ පිවිසුම් මග ඇති දැන්වීම් පුවරුවක්
    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල

හෙක්ටයාර 11,187 ක් වන සිංහරාජ රක්ෂිතයේ භූමි ප්‍රමාණය "තුන් ගුණයකින්" වැඩි කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අත්සන් තබන ලද ගැසට් නිවේදනය මේ දක්වා ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳ පරිසරවේදීහු බිය පළ කරති.

හිටපු ජනාධිපතිවරයා සිය ධුර කාලය අවසන් වීමට තිබියදී සිංහරාජ වන රක්ෂිතය අවට පරිවාර වනාන්තර ඊට එක් කර ගනිමින් මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 30,000 දක්වා වර්ධනය කර ගැනීමට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇතැයි මීට ඉහතදී වාර්තා විය.

2019 නොවැම්බර් 20 වෙනි දින ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන අතර 2150/31 යන අංකයට අදාළ එම ගැසට් නිවේදනය පමණක් දක්නට නොමැත.

අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් එය සිතාමතාම ප්‍රකාශයට පත් නොකරන බව ඇතැම් පරිසරවේදීන්ගේ අදහස වී තිබේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

ඡායාරූප මූලාශ්‍රය, documents.gov.lk

"ගැසට් එක අත්සන් කර තිබුණත් එය මේ වන තෙක් සිර කරගෙන ඉන්නේ. මේ ගැසට් එක ක්‍රියාත්මක කර ඉඩම් පවරා ගත්තොත් උදාහරණයක් විදිහට ඒ ආශ්‍රිත හෝටල් ගණනාවක් සිංහරාජ රක්ෂිතයට අයිති වෙනවා. ඒ ව්‍යාපාරිකයන්ගේ බලපෑම නිසා තමයි ජනාධිපතිවරයෙක් අත්සන් කළත් මෙය ප්‍රකාශයට පත් නොවෙන්නේ. සංචාරක හෝටල් ව්‍යාපාරිකයන්, මහා පරිමාණ තේ වතු හිමියන් ගැසට් එක ප්‍රකාශයට පත් නොවෙන්න බලපෑම් එල්ල කරමින් ඉන්නවා." යනුවෙන් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවයට පැවසීය.

2004 වසරේදී එවක ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ දී සිංහරාජ රක්ෂිතය වටා මීටර 500 ක ප්‍රදේශය ඊට පවරා ගැනීම අනුමැතිය හිමිව වසර දාසයක් ගතව ඇතත් ව්‍යාපාරිකයන්ගේ බලපෑම් මත එය ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ඔහු පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අත්සන් තබන ලද ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වෙද්දී සිංහරාජ රක්ෂිතය වටා සංචාරක හෝටල් ඉදිකිරීමට සහ මහා පරිමාණ තේ වගාවන් ව්‍යාප්ත කිරීමට ප්‍රාදේශීය දේශපාලකයන් සහ ඔවුන්ට සමීප ව්‍යාපාරිකයන් මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටින බවට ද චෝදනා එල්ල වේ.

Facebook post
ඡායාරූප ශීර්ෂ වැකිය, අදාළ ගැසට් පත්‍රයට අත්සන් තැබීම සම්බන්ධයෙන් පසුගියදා සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ සටහනක්

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට කියා සිටියේ අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම අවසන් සෝදුපත් පරීක්ෂාව සඳහා (Proof read) එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බවය.

අවසන් සෝදුපත් පරීක්ෂාව මෙතෙක් අවසන් වී නොමැති බව ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බබ්ලිව්.ඒ.සී වේරංගොඩ පැවසීය.

මාස දහයකට ආසන්න කාලයක් ගතව ඇතත් අවසන් සෝදුපත් පරීක්ෂාව මෙතරම් ප්‍රමාද වූයේ කුමන හේතුවක් නිසාදැයි විමසීමේදී ඔහු සඳහන් කළේ එය ඉක්මණින් අවසන් කර නුදුරේදීම ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවය.

"පාලකයෝ භාරකරුවන් මිස අයිතිකරුවන් නොවේ"

පුළුල් කෙරෙමින් පවතින ලංකාගම වෙත වැටී ඇති මාර්ගය

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa

ඡායාරූප ශීර්ෂ වැකිය, පුළුල් කෙරෙමින් පවතින ලංකාගම වෙත වැටී ඇති මාර්ගය

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති සිංහරාජය යළි උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඒ ආසන්නයේ පිහිටි ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට පියවර ගැනීමත් සමගය.

සිංහරාජ භූමියට අයත් වන පෙදෙස් ඔස්සේ පුළුල් කෙරෙන මාර්ගය නිසා සිංහරාජයට දීර්ඝකාලීන බලපෑම් එල්ල වනු ඇති බවට පරිසරවේදීහු අනතුරු අඟවති.

අදාළ මාර්ගය සංවර්ධනය කිරීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය "සම්පූර්ණයෙන්ම වැරදි" බව කී පරිසරවේදී නයනක රන්වැල්ල එහිදී පාරිසරික ඇගයීම් වාර්තාවක් හෝ නෛතික රාමුවෙන් පරිබාහිරව එම කටයුත්ත සිදුව ඇති බව බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"මොන පක්ෂයක, මොන පාටක, කොයි පාලකයා වුණත් ඔවුන් බලයට පත් වෙන්නේ වසර පහකට. මේ රටේ මිහිඳු හමුරුවෝ පවා දේශනා කරපු හැටියට ඒ පාලකයෝ මේ රටේ භාරකරුවන් මිස, හිමිකරුවන් නොවෙයි. එය පාලකයෝ මතක තබා ගත යුතුයි. අනාගත දරුවන්ගේ උරුමය, ඔවුන්ගෙන් ණයට ගත් දේපලක් වශයෙන් සිතා මෙය ආරක්ෂා කිරීමයි පාලකයෝ කළ යුත්තේ," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවුවත් පසුගිය කාලයේ විල්පත්තුව සහ යළි පදිංචි කිරීම් මුල් කර ගනිමින් ගොඩ නැගුණු සමාජ විරෝධය හා සැසඳීමේදී ඇතැමුන් ලංකාගම වැසියන්ගේ සමාජීය ආර්ථික අවශ්‍යතා සම්බන්ධයෙන් සංවේදී වන බවක් සමාජ ජාල ඔස්සේ දැක ගත හැක.

ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට ගත් තීන්දුවට සහාය පළ කර බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ අදහස් පළ කර තිබිණි

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa

ඡායාරූප ශීර්ෂ වැකිය, ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට ගත් තීන්දුවට සහාය පළ කර බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ අදහස් පළ කර තිබිණි

ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත නෙළුව සිට ලංකාගම දක්වා කිලෝමීටර 18 ක මාර්ගය සංවර්ධනය කරන බව මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලව්.ආර් ප්‍රේමසිරි පවසයි. පරිසර සංවේදී කලාපය ඔස්සේ වැටී ඇති කිලෝමීටර 1.1ක් වන කොටසේ කිසිදු ඉදිකිරීමක් නොකරන බවත් ඔහු නිකුත් කළ නිවේදනයක සඳහන් විය. පසුගියදා එහි සංචාරයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ පරිසරයට හානියක් නොවන සේ මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරීමට උපදෙස් දී ඇති බවකි.

දේශගුණ විපර්යාසවලට විසඳුම් සෙවීමෙහිලා වනාන්තර ආරක්ෂා කර ගැනීම ප්‍රධාන වේ. ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 11% ක් වනාන්තර එළිපෙහෙළි කිරීම හේතුවෙන් සිදු වෙතැයි වාර්තා පෙන්වා දෙයි. වන විනාශයන්ගෙන් අති බහුතරය, එනම් 80% ක පමණ ප්‍රමාණයකට කෘෂිකාර්මික වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය හේතු වී ඇති බවත් ඇතැම් රටවල වනාන්තර එළිපෙහෙළි කිරීමෙන් 90% ක් පමණ නීතිවිරෝධී බවත් දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් නිකුත් කළ වර්තාවක දැක්වේ. එවැනි අතිශය වැදගත් වාසභූමි විනාශ කිරීම හෝ තත්ත්වයෙන් පහළ දැමීම මගින් දැඩි කාලගුණික වෙනස්කම්, ජෛව විවිධත්වයට හානි වීම් සහ බෝවන රෝග පැතිර යාම උග්‍ර වීම කෙරෙහි ද බලපාන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

සිංහරාජ උරුමය

Sinharaja Forest Reserve

ඡායාරූප මූලාශ්‍රය, Suneth Perera

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසර 60 ක කාලය තුළ සිංහරාජයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3614 - 5006 අතර අගයක් ගෙන තිබේ

වර්තමානයේ පෘථිවි තලය මත පවතින වඩාත් පැරණිතම පරිසර පද්ධතිය නිවර්තන වර්ෂා වනාන්තර වේ.

නිවර්තන වර්ෂා වනාන්තර සමකය ආශ්‍රිත ගොඩබිම් තීරයේ ව්‍යාප්තව පවතින අතර කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර ප්‍රදේශයකට පමණක් සීමා වේ. ඒ අතර ඇති කිලෝමීටර 4,800 පළල තීරය නිවර්තන කලාපය ලෙස හඳුන්වනු ලැබේ.

නිවර්තන වර්ෂා වනාන්තර මධ්‍යම හා දකුණු ඇමරිකාව, අප්‍රිකාව, ආසියාව, ඔස්ට්‍රේලියාව අවට දූපත් හා නිවර්තන කලාපයේ වෙනත් ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත.

ආසියාවේ නිවර්තන වර්ෂා වනාන්තර:

  • බටහිර - ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මියන්මාරය දක්වා
  • නැගෙනහිර - මැලේසියාව, ජාවා සහ බෝර්නියෝ දූපත් දක්වා ව්‍යාප්ත වෙයි.

අග්නිදිග ආසියානු රටවල් වන කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, වියට්නාමය, බෲනයි යන රටවල ද නිවර්තන වර්ෂා වනාන්තර හමුවෙයි. (මූලාශ්‍ර Tropical Rainforests, UNESCO)

සිංහරාජය
ඡායාරූප ශීර්ෂ වැකිය, සිංහරාජය අවට ප්‍රදේශ අධික මානව බලපෑමකට ලක්ව ඇති බව ඒ සම්බන්ධයෙන් පළ වී ඇති අධ්‍යයන වාර්තා ගණනාවක් මගින් පෙන්වා දී ඇත

ශ්‍රී ලංකාවේ පවතින විශාලතම ප්‍රාථමික වර්ෂා වනාන්තරය සිංහරාජ ලෝක උරුම වන වැස්මයි. එහි උතුරු ප්‍රදේශයේ කළු ගඟේ පෝෂක ශාඛා ද දකුණු ප්‍රදේශයේ ගිං ගඟේ පෝෂක ප්‍රදේශ ද පිහිටා තිබේ. සිංහරාජ වනාන්තරය රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සහ දකුණු, සබරගමු පළාත් පාලන ප්‍රදේශයන් ආශ්‍රිතව පිහිටා ඇත.

පසුගිය වසර 60 ක කාලය තුළ සිංහරාජයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3614 - 5006 අතර අගයක් ගෙන තිබේ.

සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට අවේනික 'ඒක දේශීය ශාක' විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340 ක් පමණ හමුවන අතර ඉන් 192 ක්ම ශ්‍රී ලංකාවට අවේනික බව නිල වාර්තාවල සඳහන් වේ.

සිංහරාජය අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේම විශාල සත්ත්ව ගහනයක ද නිජභූමිය වෙයි.

ශ්‍රී ලංකාවේ පවතින විශාලතම පහතරට තෙත් කලාපීය වනාන්තරය සිංහරාජය වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.2% ක් වේ. පර්යේෂණ, අධ්‍යාපනික සහ සංචාරක කටයුතු සඳහා සිංහරාජ වනාන්තරයේ පවතින මාර්ග කිහිපයක් යොදා ගනු ලැබෙයි.

අවට ගම්මාන

සිංහරාජය අවට ප්‍රදේශ අධික මානව බලපෑමකට ලක්ව ඇති බව ඒ සම්බන්ධයෙන් පළ වී ඇති අධ්‍යයන වාර්තා ගණනාවක් මගින් පෙන්වා දී ඇත. අනවසර වගාබිම්, අනවසර වාසස්ථාන, අනවසර දැව කැපීම සහ අනවසර මැණික් ගැරීම් ඒ අතර ප්‍රධාන වේ. අධ්‍යයන වාර්තා අනුව සිංහරාජය අවට ගම්මාන 40 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබේ.

ඉන් 30 ක් පමණ පිහිටා ඇත්තේ සංවේදී කලාප ආශ්‍රිතවය.

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ගම්මාන:

ඉහළ ගිගිරුව, පහළ ගිගිරුව, කොස්මුල්ල, තඹලගම, කබරගල, ඉඳිගස්විල්ල, පැණිකොලදෙණිය, වාරුකන්දෙණිය, වාලුගේදරගම, කොලොන්තොටුව, ලංකාගම, වටුගල

මාතර දිස්ත්‍රික්කයට අයත් ගම්මාන:

කොහිලඅරඹේ, මැදෙරිපිටිය, කිරිවැල්ගම, කිරිවැල්දොළ, හිඟුරුහේන, සිංහගම

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගම්මාන:

ඉලුඹකන්ද, දෙනුවක්කන්ද, දම්ගහමුල්ල, හල්පැන්තැන්න, මැදිරිංගවත්ත, පොතුපිටිය, පැලවත්ත දකුණ, කොස්ගුලන, කෝංගහකන්ද, කෙතලපත්තල, කුඩව, පිටකැලේ

වීඩියෝ ශීර්ෂ වැකිය, සිංහරාජය වෙනුවෙන් කැපවුණු අනූ වියැති 'මාටින් මාමා'

සිංහරාජයේ බටහිර මායිම ආශ්‍රිතව 1970 සිට 1978 කාලය තුළ දී තෝරා ගත් දැවමය ශාක තුනී ලෑලි නිෂ්පාදනය සඳහා ඉවත් කිරීමට අනුමැතිය හිමි විය. පරිසරවේදීන් සහ පරිසර සංරක්ෂකයන් වෙතින් ඊට එල්ල වූ විරෝධය හමුවේ 1978 වසරේ දී සිංහරාජ වනාන්තරයේ දැව කැපීම සම්පූර්ණයෙන් නවත්වන ලද අතර හෙක්ටයාර 8,500 ක භූමි ප්‍රදේශයක් "ජාත්‍යන්තර මිනිසා ජෛවගෝල රක්ෂිතයක්" ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

1985 වසරේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සජීවී වනාන්තර මායිමක් ලෙස සිංහරාජ මායිම් ප්‍රදේශවල පයිනස් වගාව ආරම්භ කළේය. ඊට අමතරව උප කඳුකර වනාන්තරයක් ලෙස සිංහරාජ වනාන්තරයේ නැගෙනහිර මායිමේ පැවතුණු හෙක්ටයාර 2,687 කොටසක් ද එක් කර ගත් අතර එහිදී සිංහරාජ වනාන්තරයේ ප්‍රමාණය හෙක්ටයාර 11,187 දක්වා වැඩි විය. 1998 සිංහරාජ වනාන්තරය ජාතික උරුම භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. සිංහරාජ ලෝක උරුම වනාන්තරය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරේ.

මේ ගැනත් කියවන්න: