ඩෙවොන් 5: යාත්‍රාවේ දිවි ගලවා ගත් එකම ධීවරයා ගොඩබිමට රැගෙන එයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ''කුඩු තියෙනවා කිවුවහම විනාඩි 10න් 20න් ගිහින් ගේන්න පුළුවන්නම් ඇයි බොඩිස් ගේන්න බැරි''

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ දකුණු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබූ ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කළ සිදුවීමෙන් දැනට ජීවතුන් අතර සිටින එකම ධීවරයා රැගත් විජයබාහු නෞකාව අද (ජුලි මස 01 වෙනිදා) හම්බන්තොට වරායට පැමිණි බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය බීබීසී සිංහල සේවයට පැවසුවේ එම ධීවරයා රෝහල් ගත කිරීමට අවශ්‍ය පියවර ගත් බවය.

එමෙන්ම මියගිය එක් ධීවරයෙකුගේ සිරුරක් ද විජයබාහු නෞකාව මගින් ගොඩබිමට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ශ්‍රී ලංකාවට නාවුක සැතපුම් 320ක් ඔබ්බෙන් වූ දකුණු මුහුදේ ධීවර රැකියාවේ යෙදී සිටි ඩෙවොන් - 5 නම් වූ බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිසක් මුහුදේ පා වෙමින් තිබූ බෝතල්යක අඩංගු ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් මේ වන විට එම ධීවරයින්ගෙන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ධීවර අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේය.

‘සිංගප්පුරු ධජය යටතේ යාත්‍රා කරන නෞකාවක සහය’

නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂක කපිතාන් ගයාන් වික්‍රමසුරිය බීබීසී සිංහල සේවයට පැවසුවේ මෙම සිදුවීමට මුහුණ දුන් ඩෙවොන් -5 යාත්‍රාවේ සිටි ධීවරයින් ගොඩබිම කරා රැගෙන එමින් සිටි බහුදින යාත්‍රාවට සහය ලබාදීම සඳහා සිංගප්පුරුව ධජය යටතේ යාත්‍රා කරන නෞකාවක සහය ලබා ගැනීමට කටයුතු කළ බවය.

‘අපි සිංගප්පුරුව ධජය සහිතව යාත්‍රා කරන නෞකාවකින් උදව් ඉල්ලුවා.’

‘ඒ අනුව ඊයේ (ජුනි 30) පෙරුවරුව වන විට ශ්‍රී ලංකාවට නාවුක සැතපුම් 290ක් ඈත මුහුදේදී ජීවතුන් අතර සිටි ධීවරයින් දෙදෙනක් එම නෞකාවට නංවා ගෙන ප්‍රතිකාර ලබා දීම සිදුකර තිබුණා.’

‘නමුත් එලෙස නංවා ගත් එක් ධීවරයෙක් මියගිය බවට නෞකාවෙන් දැනුම් දුන්නා.’

‘ඒ වගේම පෙරේදා (ජුනි 29) කොළඹ ඉදලා පිටත්ව ගිය ' විජයබාහු නාවික හමුදා නෞකාව' ඊයේ (ජුනි 30) රාත්‍රිය වනවිට මේ සිංගප්පුරු වෙළඳ නෞකාවේ සිටිය දැනට ජීවතුන් අතර ඉන්න ධීවරයා සහ මියගිය ධීවරයාගේ සිරුර භාරගෙන තිබුණා ශ්‍රී ලංකාවට නාවුක සැතපුම් 190ක් ඈත මුහුදේදී’

‘ඒ අනුව විජයබාහු නෞකාව අද (ජුලි 01 වෙනිදා) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා. රෝගීව සිටින ධීවරයා වහාම රෝහල කරා යැවීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා.’

‘ඒ එක්කම මේ සිදුවීමෙන් මියගිය සෙසු සිව්දෙනාගේ සිරුරු රැගෙන එන බහුදින ධීවර යාත්‍රාව මේ වෙද්දී ගොඩබිම කරා යාත්‍රා කරමින් තිබෙනවා.’ නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා සිටියේය.

‘තවත් බෝට්ටුවකටත් කොටසක් දීලා’

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම සිදුවීමට මුහුණ දුන් ඩෙවොන් -05 ධීවර යාත්‍රාවේ භාරකරු ලෙස කටයුතු කරන චානක කුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේ තංගල්ල ධිවර වරායෙන් පිටත්ව ගිය යාත්‍රාවේ පිරිසට මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු දියරයක් පානය කිරීමෙන් විෂක් ශරීරගතවී ඇති බවයි.

‘මේ යාත්‍රාව පසුගිය ජුනි මස 06 වෙනිදා තංගල්ල ධිවර වරායෙන් පිටත්ව ගියා.’

‘තංගල්ල ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙක්, වැලිගම සහ අම්බලන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් දෙන්නෙක් මේ යාත්‍රාවෙන් රැකියාව සඳහා පිටත්ව ගියා.’

‘මේ බෝට්ටුවේ අයට මුහුදේ පාවෙලා ආපු බෝතලයක තිබූ දෙයක් බීලා විෂක් ශරීරගත වෙලා කියලයි කියන්නේ.’

‘මේ අය මුහුදෙන් හම්බ වුණු බෝතලේ තිබුණු දේ ළඟ තිබ්බ අපේ තවත් බෝට්ටුවකට දීලා තියෙනවා. නමුත් ඒ අය ඒක බීලා නැතිව විසික් කර තිබෙනවා.’

‘පස්සේ මේක බීපු අය ඒ ළඟ තිබුණු අපේ තවත් යාත්‍රාවකට රේඩියෝ සංඥා මගින් දැනුම් දීලා තියෙනවා සිදුවීම ගැන.’

‘ඊට පස්සේ ඒ බෝට්ටුවේ අය තමයි මේ යාත්‍රාව ලඟට ගිහිල්ලා බලලා තියෙන්නේ.’

‘පස්සේ අනිත් බෝට්ටුවේ ධීවරයින් පිරිස තමයි සිදුවීමට මුහුණ දුන් බෝට්ටුවට නැගලා ඒක දැන් ගොඩබිමට රැගෙන එමින් ඉන්නේ.’ බහුදින ධීවර යාත්‍රාවේ භාරකරු පැවසුවේය.

මසුන් ඇල්ලීමට ගිය ධීවර යාත්‍රාවට මොකද වුනේ ?

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදී සිටි ධිවරයින් පිරිසකට මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු යම් ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු එය විෂ වී ධීවරයින් පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවට රේඩියෝ සංඥා මගින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට පසුගිය 29 වෙනිදා දැනුම් දීමක් කළ බව ධීවර අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත බීබීසී සිංහල වෙත (ජුනි 30) පැවසුවේය.

ඒ අනුව නාවික හමුදාවේ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය විසින් එම ධීවරයින්ට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කිරිම ආරම්භ කළ බව අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේය.

‘පසුගිය 28 වෙනිදා තමයි මේ යාත්‍රාවේ අයට මුහුදේ පාවෙලා ආපු බෝතලයක් හම්බ වෙලා ඒක බීලා තියෙන්නේ.’

‘ඒක බිව්වට පස්සේ සියලුම ධීවරයින් අසනීප වෙලා තියෙනවා. පස්සේ ඔවුන් යාත්‍රාවේ රේඩියෝ සංඥා මාර්ගයෙන් ගොඩබිම තිබෙන ධීවර මධ්‍යස්ථානයට ඒ ගැන කරපු දැනුම් දීමක් අනුව අපි ඒ යාත්‍රාව තිබ්බ මුහුදු කලාපයේම රැකියාව කරන්න ගියපු තවත් බහුදින ධීවර යාත්‍රාවකට දැනුම් දුන්නා ඒ ගැන සොයා බලන්න කියලා. ඒකත් මේ සිදුවීමට මුහුණ දීපු යාත්‍රා හිමිකරුටම අයිති එකක්.’

‘පස්සේ ඒ බෝට්ටුවේ අය ගිහිල්ලා බලලා තිබ්බා මොකක්ද වෙලා තියන්නේ කියලා.’

‘ඒ අය ගිහින් බලද්දිත් යාත්‍රාවේ ස්කීපර්වරයා ලෙස කටයුතු කරලා තිබ්බ 42 හැවිරිදි එම්.ජේ. නයනකාන්ත කියන කෙනා මිය ගිහින් ඉදලා තියන්නේ.’

‘පස්සේ අපි ඔවුන්ට දැනුම් දුන්නා ඒ යාත්‍රාවේ පිරිස ගොඩබිමට ගෙන එන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. නාවික හමුදාවටත් දැනුම් දුන්නා අවශ්‍ය සහය ලබා දෙන්න කියලා.’

‘මේ සිදුවීමට මුහුණ දුන් යාත්‍රාව දැන් ගොඩබිමට එමින් තිබියදී රේඩියෝ සංඥා මගින් දැනුම් දීලා තියෙනවා එන්ජිමේ කාර්මික දෝෂයක් ඇතිවුණා කියලා. ඔවුන් ඒක යථා තත්ත්වයට පත් කර ගෙන සෙමින් ගොඩිමට යාත්‍රා කරමින් ඉන්නවා.’

අද (ජුලි මස 01 වෙනිදා) උදෑසන වෙද්දී එම යාත්‍රාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 200ක් පමණ දුරින් සිටිනවා කියලා දැනුම් දුන්නා. එංජිමේ තියෙන කාර්මික දෝෂයත් එක්ක ඔවුන් පැයකට නාවික සැතපුම් 05ක පමණ වේගයකින් යාත්‍රා කරන්නේ. ඒ යාත්‍රාව ගොඩබිමට ලඟා වෙන්න තවත් පැය 10 කට අධික කාලයක් යයි.’

‘මේ සිදුවීමෙන් යාත්‍රාවේ සිටි ධීවරයින් 05 දෙනකු ජිවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.’

‘ඩෙවොන් -5 යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කරපු 42 හැවිරිදි එම්.ජේ. නයනකාන්ත, 32 හැවිරිදි එම්.කේ. සුජිත් සංජිව, 21 හැවිරිදි පී.ඩි. ජයසුරිය, 42 හැවිරිදි පි.බි. විජිත් කුමාර, 34 හැවිරිදි ප්‍රදීප් නිශාන්ත සහ 56 හැවිරිදි වියේ පසුවන ජී.එම්. අජිත් කුමාර සිටිනවා කියලා වාර්තා වනවා.’යැයි ධීවර අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේය.