විධායක නියෝගයක් යනු කුමක් ද? ට්‍රම්ප් පළමු දිනයේදී අත්සන් තැබූ විධායක නියෝග මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් ආගමන, දේශගුණය යන ක්ෂේත්‍රවල සිට ජනාධිපති සමාව දක්වා කඩිනම් විධායක නියෝග මාලාවක් නිකුත් කළේ ය.
ධවල මන්දිරයේදී, රිපබ්ලිකන් දේශපාලනඥයා කඩිනම් විධායක ක්‍රියාමාර්ග, ජනාධිපති සංදේශ සහ විධායක නියෝග මත ප්‍රතිපත්ති ප්‍රමුඛතා රාශියක් මත අත්සන් කිරීමට ඔහුගේ නව බලතල භාවිත කිරීමට පටන් ගත්තේ ය.
විධායක නියෝගවලට නීතිමය බරක් ඇති නමුත්, පසුව එන ජනාධිපතිවරුන්ට හෝ අධිකරණය මගින් ඒවා අවලංගු කළ හැකි ය. බොහෝ නියෝග නීතිමය අභියෝගවලට ලක්වීමට ඉඩ තිබේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී පැය කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය වෙනස්කම් රැසක් මෙසේ ය.
සංක්‍රමණ
දේශසීමා ආශ්‍රිතව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම
ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප් දකුණු දේශසීමාවේ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයකට අත්සන් කළේ ය. "ඒක ලොකු තීන්දුවක්," ට්‍රම්ප් සිය අත්සන තබන අවස්ථාවේදී පැවසීය.
නීතිවිරෝධී ලෙස රට තුළ ජීවත් වන සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවේදී උපත ලැබූ දරුවන්ට ස්වයංක්‍රීයව පුරවැසිභාවය හිමි වීමේ නීතිය ද ඔහු ඉලක්ක කළේ ය.
තොරතුරු අපැහැදිලි වුවත්, ඇමෙරිකා එක්සත් ජනපද සරණාගතයින් නැවත පදිංචි කිරීමේ වැඩසටහන මාස හතරකට අත්හිටුවීමට නියමිත නියෝගයකට ද ට්‍රම්ප් අත්සන් කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දේශසීමා වසා දැමීම
"දේශසීමා මුද්‍රා තබන" ලෙස ට්‍රම්ප් හමුදාවට නියෝග කළ අතර, නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම සහ දේශ සීමා පැන ඒමට අදාළ අපරාධ උපුටා දැක්වීය.
කල්ලි සහ ජාවාරම්කරුවන් ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීම
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලාඒම, මිනිස් ජාවාරම් සහ දේශසීමා පැන ඒමට සම්බන්ධ අපරාධ උපුටා දක්වමින් ට්‍රම්ප් හමුදාවට "දේශසීමා මුද්‍රා තබන ලෙස" නියෝග කළේ කල්ලි සහ ජාවාරම්කරුවන්, ත්‍රස්තවාදීන් ලෙස නම් කරමිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ජාත්‍යන්තර කල්ලි විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කිරීමේ නියෝගයකට ජනාධිපතිවරයා අත්සන් තැබීය. ඒ අනුව සැල්වදෝර් සංක්‍රමණික කල්ලිය වන MS-13 සහ වෙනිසියුලානු කල්ලියක් වන Tren de Aragua, අල්-ඛයිඩා, ඉස්ලාමීය රාජ්‍යය සහ හමාස් ඇතුළත් ලැයිස්තුවට එක් කෙරෙනු ඇත.
දේශසීමා තාප්ප ගොඩනැගීම නැවත ඇරඹීම
දකුණු දේශසීමාව සම්බන්ධයෙන් ඔහුගේ හදිසි ප්‍රකාශයේ කොටසක් ලෙස, ට්‍රම්ප් "දේශසීමාව ඔස්සේ තවත් බාධක ගොඩනැගීමේ" උත්සහයන් නැවත ආරම්භ කරන ලෙස නියෝජිතායතන ප්‍රධානීන්ට නියෝග කළේ ය. මෙම නියෝගය විධායක නියෝගයක් නොවන අතර, ට්‍රම්ප්ට ඔහුගේ පළමු ධූර කාලය තුළ විශාල අභියෝගයක් වූ එම ව්‍යාපෘතියට අරමුදල් සපයන්නේ කෙසේ ද? යන්න පැහැදිලි නැත.
2016 දී ට්‍රම්ප් ප්‍රථම වරට ජනාධිපති ලෙස තේරී පත්වූ විට ඔහු දේශසීමා තාප්පයක් ඉදිකිරීමේ විධායක නියෝගයකට අත්සන් කළේ ය. එම බාධකයේ ඇතැම් කොටස් ඉදිකර තිබුණ ද බොහෝමයක් සම්පූර්ණ නොකර ඉතිරිව තිබිණි.
'මෙක්සිකෝවේ රැඳී සිටින්න'
ට්‍රම්ප් ඔහුගේ "මෙක්සිකෝවේ රැඳී සිටින්න" ප්‍රතිපත්තිය නැවත ගෙන ආවේ එක් දින විධායක නියෝගයක් සමගිනි. ඔහුගේ පළමු වාරයේදී මෙම ප්‍රතිපත්තිය අනුව නඩු විභාග සඳහා රැඳී සිටි මෙක්සිකානු නොවන සරණාගතයින් 70,000ක් පමණ නැවත පිටුවහල් කරන ලදී.
ගුවන් මගින් සංක්‍රමණිකයින් රැගෙන ඒම අත්හිටුවීම
එම අනුපිළිවෙළෙහි ම කොටසක් ලෙස ට්‍රම්ප්, කියුබාව, හයිටි, නිකරගුවාව සහ වෙනිසියුලාව යන රටවලින් සංක්‍රමණිකයන් 30,000ක් දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයට ගුවනින් පැමිණීමට ඉඩ සලසන බයිඩ්න් යුගයේ ප්‍රධාන සංක්‍රමණ වැඩසටහන ද අවසන් කළේ ය.
CHNV ලෙස හැඳින්වෙන මෙම ප්‍රතිපත්තිය සැලසුම් කර ඇත්තේ, නීති විරෝධී දේශසීමා මාර්ග හරහා සංක්‍රමණිකයින් පැමිණීම අඩු කිරීමට බව බයිඩ්න් පරිපාලනය පවසා ඇත.
ටික්ටොක්
චීනයට අයත් සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම දින 75කට කල් දැමීමේ නියෝගයකට ද ට්‍රම්ප් අත්සන් කළේ ය.
ට්‍රම්ප්ගේ මේ පිළිබඳ පොරොන්දුව ටික්ටොක් සමාගම සාදරයෙන් පිළිගත් අතර ඔහුගේ පදවි ප්‍රාප්තියට පෙර කෙටි කාලයකට එය ක්‍රියා විරහිත කිරීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද සේවාවන් නැවත යථා තත්ත්වයට පත් කළේ ය.
ට්‍රම්ප් පවසා ඇත්තේ, ඔහුගේ නියෝගය ටික්ටොක්හි මව් සමාගමට බහුතර කොටස් මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු එක්සත් ජනපද හවුල්කරුවෙකු සොයා ගැනීමට වැඩි කාලයක් ලබා දෙන බව ය. නමුත් ඔහු අත්සන් කළ නියෝගය පිළිබඳ විස්තර පැහැදිලි නැත.
ඔහු එය අත්සන් කිරීමෙන් පසු කරන්නේ කුමක්දැයි විමසූ විට ට්‍රම්ප් පවසන්නේ, එය "විකිණීමට හෝ වසා දැමීමට" තමාට අයිතිය ලැබෙන බව ය.
The new president formerly backed a TikTok ban, but indicated he reversed course after his campaign videos attracted billions of views.
නව ජනාධිපතිවරයා මීට පෙර ටික්ටොක් තහනමකට සහය පළ කළ නමුත් ඔහුගේ ප්‍රචාරක වීඩියෝ ටික්ටොක් ඔස්සේ බිලියන ගණනක් නැරඹීමෙන් පසු ඔහුගේ අදහස වෙනස් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රාජ්‍ය ප්‍රතිසංස්කරණ
රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුව සහ ඊලොන් මස්ක්
රජයේ වියදම් කපා හැරීම අරමුණු කර ගත් නව උපදේශන ආයතනයක් වන රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුව (Doge) නිර්මාණය කිරීමේ නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබා ඇත. එය ඊලොන් මස්ක් මෙහෙයවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ට්‍රම්ප් පැවසුවේ, ටෙස්ලා සහ SpaceX හි ප්‍රධානියා වන මස්ක්ට නව නියෝජිතායතනය සඳහා සේවකයින් 20 දෙනෙකු සමග කාර්යාලයක් ලැබෙනු ඇති බව ය.
ෆෙඩ්රල් සේවය සඳහා නව බඳවා ගැනීම් අත්හිටුවීම
ආණ්ඩුවේ පූර්ණ පරිපාලනය ලබා ගන්නා තෙක් හමුදා සහ තවත් කේෂ්ත්‍ර හැර නව ෆෙඩ්රල් බඳවා ගැනීම් නවතා දැමීමේ නියෝගයකට ට්‍රම්ප් අත්සන් තැබීය.
ෆෙඩරල් සේවකයින් නැවත කාර්යාලයට පැමිණිය යුතු ය
ෆෙඩරල් සේවකයින් කාර්යාලයේ සිට වැඩ කළ යුතු අතර, නිවසේ සිට වැඩ කිරීමට අවසර නොදෙන ලියවිල්ලකට ද ට්‍රම්ප් අත්සන් කළේ ය.
වාරණය
"භාෂණයේ නිදහස ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ රජයේ වාරණය වැළැක්වීම" යන නියෝගයකට ට්‍රම්ප් අත්සන් කළේ ය. මෙම නියෝගය හරහා විශේෂයෙන් කරන්නේ කුමක් ද යන්න පිළිබඳ තොරතුරු ක්ෂණිකව ලබා ගත නොහැකි විය.
පසුගිය පාලන සමයේදී අධිකරණ දෙපාර්තමේන්තුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ෆෙඩ්රල් වෙළෙඳ කොමිසම වැනි ආයතනවල නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කරන ලෙස මෙම නියෝගය නීතිපතිවරයාට නියෝග කරයි.
දේශපාලනික නඩු පැවරීම්
නව එක්සත් ජනපද ජනාධිපතිවරයා "දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ආණ්ඩුවේ ආයුධකරණය" අවසන් කිරීමේ ලියවිල්ලකට අත්සන් තැබීය. මේ පිළිබඳව කිසිදු විස්තරයක් ක්ෂණිකව ලබා ගත නොහැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝක සෞඛ්‍ය සංවිධානය
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් කළේ ය.
"ඕහ්, ඒක ලොකු තීන්දුවක්," ඔහු ලියවිල්ලට අත්සන් කරන අතරතුර පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරන ලෙස ට්‍රම්ප් නියෝග කළ දෙවන අවස්ථාව ලෙස මෙය සනිටුහන් වෙයි.
ජිනීවා පදනම් කර ගත් ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් -19 හැසිරවූ ආකාරය සහ වසංගතය අතරතුර ඉන් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කළ ආකාරය ට්‍රම්ප් විවේචනය කළේ ය. ජනාධිපති ජෝ බයිඩ්න් පසුව එම තීරණය වෙනස් කළේ ය.
බයිඩ්න් ප්‍රතිපත්ති ආපසු හැරවීම
බයිඩ්න් යුගයේ රෙගුලාසි
ට්‍රම්ප් සිය දෙවන ධූර කාලයෙහි කොටසක් ලෙස අත්සන් කළ පළමු නියෝගයන්ගෙන් එකක් වූයේ, බයිඩ්න් යුගයේ රෙගුලාසි 80කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කරන ලියවිල්ලකි.
මෙම රෙගුලාසිවලට ඇතුළත් වන්නේ කුමක් ද යන්න පිළිබඳව ට්‍රම්ප් විස්තර කළේ නැත.
නියාමන අත්හිටුවීම්
ට්‍රම්ප් පරිපාලනයට රජයේ පූර්ණ පාලනය ලැබෙන තෙක් ඕනෑ ම ෆෙඩ්රල් ආයතනයකට නව රෙගුලාසි නිකුත් කිරීම අත්හිටුවන නියෝගයකට ට්‍රම්ප් අත්සන් කළේ ය.
විවිධත්වය සහ ලිංග භේදය
සංක්‍රාන්තික පුද්ගලයින්
ඇමෙරිකා එක්සත් ජනපදය "පිරිමි සහ ගැහැණු යන දෙපිරිස පමණක් හඳුනා ගන්නා" බව පවසමින් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් කළේ ය. "මෙම ලිංග භේදය වෙනස් කළ නොහැකි සහ ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථය මත පදනම්ව තිබෙනවා."
මෙම නියෝගය රජයේ සන්නිවේදන, සිවිල් අයිතිවාසිකම් ආරක්ෂණ සහ ෆෙඩ්රල් අරමුදල් මෙන් ම බන්ධනාගාර සම්බන්ධ සංක්‍රාන්ති ලිංගික ප්‍රතිපත්තියට බලපානු ඇත. එය විදේශ ගමන් බලපත්‍ර සහ වීසා වැනි නිල ලේඛනවලට බලපානු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"විවිධත්වය, සමානාත්මතාව සහ සියල්ලන් ඇතුළත් කර ගැනීම" (DEI)
එම විධායක නියෝගය තුළ ම, ට්‍රම්ප් "ස්ත්‍රී පුරුෂ සමාජභාවය" ප්‍රවර්ධනය කරන හෝ සහය දෙන සියලු ම රජයේ වැඩසටහන්, ප්‍රතිපත්ති, ප්‍රකාශ සහ සන්නිවේදනයන් අවසන් කළේ ය.
වෙන ම විධායක නියෝගයක් තුළ, ඔහු ෆෙඩ්රල් ආණ්ඩුව තුළ "විවිධත්වය, සමානාත්මතාව සහ සියලු දෙනා ඇතුළත් කර ගැනීම" (DEI) වැඩසටහන් අවසන් කළේ ය. මෙම නියෝගය "රැඩිකල් හා නාස්තිකාර වූ රජයේ "විවිධත්වය, සමානාත්මතාව සහ ඇතුළත් කර ගැනීම" නමැති වැඩසටහන් සහ මනාප අවසන් කිරීම" ලෙස හැඳින්වේ. නියෝගය මගින් සියලු ම ෆෙඩ්රල් ආයතන ආවරණය වන අතර ෆෙඩ්රල් ප්‍රදාන ලබා ගන්නා හෝ ෆෙඩ්රල් ගිවිසුම් ඇති ඒවා ද ඇතුළත් වේ.
පෞද්ගලික අංශයට බලපෑම් ඇති කළ හැකි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද බලයට පත්වන පරිපාලනය පොරොන්දු වී ඇත.
මෙක්සිකෝ සමුද්‍ර සන්ධියේ නම වෙනස් කිරීම
'ඇමෙරිකා සමුද්‍ර සන්ධිය'
ට්‍රම්ප්ගේ පළමු විධායක නියෝග අතර මෙක්සිකෝ සමුද්‍ර සන්ධියේ නම "ඇමරිකා සමුද්‍ර සන්ධිය" ලෙස වෙනස් කරන ලෙස අභ්‍යන්තර කටයුතු ලේකම්වරයාට කළ නියෝගයක් නිකුත් කෙරිණි.
ඇලස්කාවේ ඩෙනාලි කන්ද
ට්‍රම්ප් අගය කරන තීරුබදු ප්‍රතිපත්ති නිර්මාණය කළ ජනාධිපති මැකින්ලිට ගෞරව කිරීම සඳහා ඇලස්කාවේ ඩෙනාලි කන්ද යළි මවුන්ට් මැකින්ලි ලෙස නම් කරන ලෙස එම නියෝගය හරහා ම අභ්‍යන්තර ලේකම්වරයාට පවසයි. ස්වදේශික ගෝත්‍රිකයන් භාවිත කරන නම පිළිබිඹු කිරීම සඳහා ජනාධිපති ඔබාමා එය ඩෙනාලි ලෙස නම් කර ඇත. එය උතුරු ඇමරිකාවේ උස ම කන්ද යි.
ආර්ථිකය
උද්ධමනය පාලනය කිරීම
ඔහු සෑම ඇමෙරිකානු එක්සත් ජනපද ෆෙඩ්රල් දෙපාර්තමේන්තුවක් සහ නියෝජිතායතනයන්ට ඇමරිකානුවන්ගේ ජීවන වියදම ගැන සොයා බලන ලෙස දැනුම්දෙන නියෝගයකට අත්සන් කළේ ය.
මෙම ලේඛනයේ විස්තර සහ එක් එක් දෙපාර්තමේන්තු වෙත මෙම ගැටලුව පරීක්ෂා කිරීම වෙනුවෙන් පැවරී ඇති කාර්ය කුමක්දැයි පැහැදිලි නැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දේශගුණය සහ බලශක්තිය
පැරිස් ගිවිසුමෙන් (යළිත්) ඉවත්වීම
පළමු නියෝගයේ කොටසක් ලෙස, ඉහළ යන ගෝලීය උෂ්ණත්වය සීමා කිරීම සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී ජාත්‍යන්තර ගිවිසුමක් වන පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත් වීමට ට්‍රම්ප් අත්සන් තැබීය.
එය ට්‍රම්ප් සිය පදවි ප්‍රාප්තියෙන් පසු අත්සන් කළ පළමු ලේඛන අතර විය.
බයිඩ්න් 2021 දී එයට නැවත ඇතුළු වීමට පෙර ට්‍රම්ප් ප්‍රථම වරට පැරිස් ගිවිසුමෙන් ඉවත් වූයේ 2017 දී ය.
අත්සන් කිරීමත් සමග ම ගිවිසුමෙන් ඉවත් වීමට හේතු පැහැදිලි කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවනු ලබන ලිපියකට ද ට්‍රම්ප් අත්සන් කළේ ය.
ජාතික බලශක්ති හදිසි අවස්ථාවක්
උපායමාර්ගික තෙල් සංචිත පිරවීමට පොරොන්දු වෙමින් ට්‍රම්ප් ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළේ ය.
ඔහු තෙල් හා ගෑස් සහ අනෙකුත් ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් කටයුතු කරන "ඇලස්කාවේ අසාමාන්‍ය සම්පත් විභවය මුදා හැරීම" යන මැයෙන් විධායක නියෝගයකට අත්සන් කළේ ය.
නව ජනාධිපතිවරයා තවත් ඇමෙරිකානු ෆොසිල ඉන්ධන සඳහා කැණීම් සිදුකිරීමට පොරොන්දු විය.
Green New Deal අවසන් කිරීම
බලශක්තිය පිළිබඳ විධායක නියෝගයක කොටසක් ලෙස, නව හරිත ගනුදෙනුව හෙවත් Green New Deal, හරිත රැකියා ඉහළ නැංවීම, ෆොසිල ඉන්ධන කර්මාන්තය නියාමනය කිරීම සහ දූෂණය සීමා කිරීම ඉලක්ක කර ගත් බයිඩ්න් පරිපාලනයේ පියවර මාලාවක් ට්‍රම්ප් විසින් අත්හිටුවන ලදී.
උද්ධමනය අඩු කිරීමේ පනත සහ යටිතල පහසුකම් සහ රැකියා පිළිබඳ තවත් නීතියක් මගින් අත්පත් කර ගත් අරමුදල් නතර කරන ලෙස ට්‍රම්ප් ආයතනවලට නියෝග කළේ ය.
ඇමෙරිකා එක්සත් ජනපද භුමිය සුළං බලාගාර සඳහා බදු දීම අවසන් කරන බවත්, විදුලි වාහන ලෙස හැඳින්වූ "නියෝගය" අවලංගු කරන බවත් ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කැපිටල් ගොඩනැගිල්ලේ කැරැල්ල
ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු පුද්ගලයින් 1500 දෙනෙකුට සමාව දීම.
2021 දී ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ කැරැල්ලේදී අත්අඩංගුවට ගත් ඔහුගේ ආධාරකරුවන් 1,500කට පමණ සමාව දෙන බව ට්‍රම්ප් නිවේදනය කළේ ය.
කැරැල්ලේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් ට්‍රම්ප් නැවත නැවතත් හඳුන්වන්නේ, "ප්‍රාණ ඇපකරුවන්" ලෙස යි. ෆෙඩ්රල් නිලධාරීන්ට පහර දීම හෝ බාධා කිරීම සම්බන්ධයෙන් අවම වශයෙන් 600 දෙනෙකුට චෝදනා එල්ල විය.
Oath Keepers සහ Proud Boys කණ්ඩායම්වල දඬුවම් ලිහිල් කිරීම
අගනුවර කෝලාහලයට අදාළව රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වල ඔත් කීපර්ස් සහ ප්‍රවුඩ් බෝයිස් සාමාජිකයින්ට ද ට්‍රම්ප් දඬුවම් ලිහිල් කළේය.
කෝලාහලයට එරෙහිව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වසර 22ක් සිරගත කරන ලද හිටපු ප්‍රවුඩ් බෝයිස් කණ්ඩායමේ නායක හෙන්රි "එන්රික්" ටැරියෝගේ නීතීඥයෙකු පැවසුවේ, තම සේවාදායකයා ද නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන බව ය.
විධායක නියෝග යනු මොනවා ද?
එක්සත් ජනපදයේ ඕනෑ ම ජනාධිපතිවරයෙකුට රජයේ ප්‍රතිපත්ති සැකසීමට විධායක නියෝග වැදගත් මෙවලමක් වන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට ආපසු එන විට ඉක්මනින් ඒවා භාවිත කරනු ඇති බව පෙනේ.
ඔහු සඳුදා විධායක ක්‍රියාමාර්ග 200කට වඩා අත්සන් කිරීමට බලාපොරොත්තු වේ. ඊට නීත්‍යනුකූලව බැඳී පවතින විධායක නියෝග සහ සාමාන්‍යයෙන් නිකුත් නොකරන ප්‍රකාශන වැනි වෙනත් ජනාධිපති නියෝග ඇතුළත් වේ.
කෘත්‍රිම බුද්ධි වැඩසටහන් ඉහළ නැංවීමට, රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවක් (DOGE) නිර්මාණය කිරීමට, ජෝන් එෆ් කෙනෙඩිගේ 1963 ඝාතනයට අදාළ වාර්තා නිකුත් කිරීමට, හමුදාවට අයන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ගොඩනගා ගැනීමට සහ විවිධත්වය, හමුදාවේ ප්‍රතිපත්ති සමානාත්මතාව සහ ඇතුළත් කිරීම් (DEI) ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමට ට්‍රම්ප් පොරොන්දු වී ඇත.
ඔහුගේ පෙර ධූර කාලය තුළ ඔහු විධායක නියෝග 220කට අත්සන් තැබූ අතර සමහර ඒවා අධිකරණයේදී අභියෝගයට ලක් විය.
විධායක නියෝගයක් යනු කුමක් ද?
එය කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය නොවන ෆෙඩ්රල් රජයට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ලිඛිත නියෝගයකි.
ආන්දෝලනාත්මක ඉන්ධන නළ මාර්ග දෙකකට ට්‍රම්ප්ගේ 2017 අනුමැතිය වැනි ප්‍රධාන ප්‍රතිපත්ති වෙනස්කම්වල සිට, නත්තල් සැන්දෑවේ කලින් වසා දැමීමට බැරැක් ඔබාමා විසින් 2015 දී රජයේ දෙපාර්තමේන්තු සඳහා කරන ලද නියෝගය වැනි සාමාන්‍ය කාරණා දක්වා ඒවා වෙනස් වේ.
"විධායක බලය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකුට පැවරේ." නියෝග නිකුත් කිරීමේ බලය ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වන වගන්තියෙන් ලැබී තිබේ.
ජනාධිපතිවරුන් ඒවා නිකුත් කරන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇතැම්විට නියෝග නිකුත් කරනු ලබන්නේ, යුද්ධ සමයේදී හෝ අභ්‍යන්තර අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා යි. 1942 පෙබරවාරියේදී, ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ජපන් ඇමෙරිකානුවන් 120,000කට පමණ රැඳවුම් මධ්‍යස්ථාන නිර්මාණය කිරීමට තුඩු දුන් නියෝගයකට අත්සන් තැබීය.
1952 දී ජනාධිපති හැරී ටෲමන් වැඩවර්ජනයක් වැළැක්වීම සඳහා වානේ කර්මාන්ත ශාලාව රජයේ පාලනය යටතට පත් කිරීමට නියෝගයක් නිකුත් කළේ ය.
2021 ජනවාරි 20 වන දින ඔහුගේ පළමු නිල කාලය තුළ, ට්‍රම්ප් ඉවත් වූ 2015 පැරිස් දේශගුණික ගිවිසුමට නැවත සම්බන්ධ වීම ආරම්භ කිරීමට බයිඩ්න් නියෝගයක් අත්සන් කළේ ය. බයිඩ්න්ගේ රාජ්‍ය ලේකම්, ඇන්තනි බ්ලින්කන් පැවසුවේ, එය "ව්‍යසනකාරී ග්‍රහලෝක උණුසුම් වීම වළක්වා ගැනීමට අප සැමට උපකාර කිරීමක්" බව ය.
විධායක නියෝග වෙනස් කළ හැක්කේ කාට ද?
විධායක නියෝගයක් නීතියේ සීමාවන් තුළ ක්‍රියාත්මක විය යුතු අතර, න්‍යායාත්මකව, සෑම එකක් ම "ආකෘතිය සහ නීත්‍යනුකූලභාවය සඳහා නීති උපදේශක කාර්යාලය විසින් සමාලෝචනය කරනු ලැබේ". මෙය සැමවිට ම සිදු නොවේ.
නියෝගයක් පිළිගත හැකි සීමාවෙන් බැහැරව යන බව සලකනු ලැබුවහොත්, එය නීතිමය සමාලෝචනයකට යටත් විය හැකි ය.
විධායක නියෝගය අභිබවා යාමට කොංග්‍රසයට නීතියක් සම්මත කළ හැකි නමුත් ජනාධිපතිවරයෙකුට තවමත් එම නීතිය සම්බන්ධයෙන් නිෂේධ බලයක් ඇති බව ව්‍යවස්ථා මධ්‍යස්ථානය පැහැදිලි කළේ ය.
දේශපාලනික වශයෙන් විධායක නියෝග සංවේදී ඇයි?
විධායක නියෝග මතභේදාත්මක වන්නේ ඒවා කොංග්‍රසයේ අනුමැතිය මග හරිමින්, ජනාධිපතිවරයාට තනිව ම ක්‍රියා කිරීමට ඉඩ සලසන බැවිනි.
රිපබ්ලිකානුවන් ඔබාමාට ඔහුගේ 2010 සෞඛ්‍ය සේවා වෙනස්කම්වලින් කොටසක් සම්බන්ධයෙන් සාර්ථකව නඩු පවරන ලද අතර, ඔහු රක්ෂණ ආවරණ කාලසීමාව ඒකපාර්ශ්විකව ප්‍රමාද කළ විට ඔහු තම ව්‍යවස්ථාපිත අධිකාරිය ඉක්මවා ගිය බවට තර්ක කළේ ය.
ඇතැම් බහුතර මුස්ලිම් රටවලට පනවා තිබූ ට්‍රම්ප්ගේ සංචාරක තහනම බෙහෙවින් මතභේදයට තුඩු දුන් අතර, බයිඩ්න් ධවල මන්දිරයට ඇතුළු වීමෙන් පසු එය අවසන් කළේ ය.
කොංග්‍රසයේ සාමාජිකයින් ඉතා සෙමින් ක්‍රියා කරන විට හෝ නව නීතියක් පිළිබඳ විස්තර ඔහුට අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට හැඟෙන විට ජනාධිපතිවරයෙකුට නියෝගයක් නිකුත් කළ හැකි ය.
විධායක නියෝග කොපමණ වාරයක් නිකුත් කරන්නේ ද?
ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් වැඩි ම නියෝග ගණනක් නිකුත් කළ අතර, ඔහුගේ වසර 12ක කාලය තුළ නියෝග 3,721ක් නිකුත් කළ අතර වුඩ්‍රෝ විල්සන් සහ කැල්වින් කූලිජ් පිළිවෙළින් නියෝග 1,803ක් සහ 1,203කට අත්සන් කළේ ය.

ට්‍රම්ප් සිය පළමු ධූර කාලය තුළ විධායක නියෝග 220කට අත්සන් තැබුවේ ය.
ඊට සාපේක්ෂව ජෝ බයිඩ්න් විධායක නියෝග 160ක් නිකුත් කළ අතර, අඛණ්ඩව වාර දෙකක් සේවය කළ බරැක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පිළිවෙලින් 277 සහ 291 නිකුත් කළහ.
නව ජනාධිපතිවරයෙකුට පෙර ජනාධිපතිවරයාගේ නියෝග අවලංගු කළ හැකි ද?
මෑත කාලයේදී ජනාධිපතිවරු කලින් සිටි ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් ආපසු හැරවීමට විධායක නියෝග බොහෝ විට භාවිතා කළහ.
2017 දී ට්‍රම්ප් ඔබාමාකෙයාර් ව්‍යාපෘතිය අවසන් කිරීම අරමුණු කර ගත් විධායක නියෝගයකින් වැඩ ආරම්භ කළේ ය.
ට්‍රම්ප්ගේ මෙක්සිකානු දේශසීමාවේ තාප්පයක් ඉදිකිරීමට අරමුදල් සැපයීමේ හදිසි නියෝගය බයිඩ්න් අවලංගු කළ අතර, ඇතැම් බහුතර මුස්ලිම් රටවලට පනවා තිබූ සංචාරක තහනම ද ඉවත් කළේ ය.
ඔහු පැරිස් දේශගුණික ගිවිසුමට ඇමෙරිකා එක්සත් ජනපදය නැවත ගෙන ආවේ ය.
දැන් ට්‍රම්ප් දෙවන ධූර කාලය සඳහා නැවත පැමිණීමත් සමග, සංක්‍රමණ සහ පිටුවහල් කිරීමේ සිට පරිසරය සහ සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් දක්වා වූ ගැටලු ආවරණය කරමින්, ධූර කාලය ආරම්භ කර මොහොතක් ඇතුළත විධායක නියෝගවලට කඩිනමින් අත්සන් කිරීමට ඔහු පොරොන්දු වී තිබේ.














