ට්‍රම්ප්ගේ නැවත පැමිණීමෙන් ලෝක ආර්ථිකයට සිදුවන දැවැන්ත බලපෑම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජොනතන් ජෝසෆ්ස්
- Role, ව්‍යාපාරික පුවත් වාර්තාකරු
උද්ධමනය, පොළී අනුපාත සහ තීරුබදු, ගෝලීය ආර්ථිකය වෙනුවෙන් 2025 වසර කුතුහලය දනවන වසරක් බවට පත් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ආර්ථික වර්ධනය "ස්ථාවර නමුත් අඩු" එනම්, 3.2%ක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙයින් අප සියල්ලන්ට ම සිදුවන බලපෑම කුමක් ද?
නත්තලට හරියට ම සතියකට පෙර, ණයගැතියන්ව සිටින මිලියන ගණනක් ඇමෙරිකානුවන්ට ත්‍යාගයක් ලැබිණි. ඒ තුන් වන වරට අඛණ්ඩව සිදුකළ පොළී අනුපාත කප්පාදුව යි.
කෙසේ වෙතත්, උද්ධමනයට එරෙහි සටන අඛණ්ඩව පවතින බැවින් 2025 දී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගත නොහැකි බව, ඇමෙරිකා මහ බැංකුවේ (US Federal Reserve) සභාපති ජෙරම් පවෙල් කළ පැහැදිලි කිරීමෙන් පසු කොටස් වෙළෙඳපොළ අගය දැඩි ලෙස පහත වැටිණි.
"මෙතැන් සිට ඇරඹෙන නව කාල පරිච්ඡේදයේදී නව කප්පාදු කිරීම් සිදු කිරීම ගැන අපි ඉතාමත් ප්‍රවේශම් වෙනවා," ඔහු පැවසුවේ ය.
COVID වසංගතය සහ යුක්රේනයේ යුද්ධය මෑත වසරවලදී ගෝලීය උද්ධමනය විශාල වශයෙන් ඉහළ යාමට හේතු විය. මිල ගණන් තවමත් ඉහළ ගියත්, ඉහළ යාමේ අනුපාතය සැලකිය යුතු ලෙස මන්දගාමී වී තිබේ.
නොවැම්බර් මාසයේදී, උද්ධමනය එක්සත් ජනපදයේ 2.7% දක්වා, යුරෝ කලාපයේ 2.2% දක්වා සහ එක්සත් රාජධානියේ 2.6% දක්වා ඉහළ ගියේ ය. බොහොමයක් මහ බැංකු ඔවුන්ගේ 2%ක් වන උද්ධමන ඉලක්කය කරා ළඟා වීමට නොහැකි වී සිටින අතර, ආර්ථිකයන් වර්ධනය වන්නේ නම් එය පහසුවෙන් ළඟා විය හැකි ඉලක්කයකි.
කෙසේ වෙතත්, ගෝලීය වර්ධනය සඳහා ඇති විශාලතම අභියෝගය වන්නේ, "අවිනිශ්චිතතාව යි. විශේෂයෙන් ට්‍රම්ප් නැවතත් ජනාධිපති වූ එක්සත් ජනපදයේ සිදුවිය හැකි දේ ගැන ඇත්තේ අවිනිශ්චිතතාවක්," ජේපී මෝගන්හි ගෝලීය සාර්ව පර්යේෂණ ප්‍රධානී ලුයී ඔගනස් පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය නොවැම්බරයේ පැවති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ දා සිට චීනය, කැනඩාව සහ මෙක්සිකෝව ඇතුළු ප්‍රධාන ඇමෙරිකානු වෙළෙඳ හවුල්කරුවන්ට නව තීරුබදු පනවන බවට දිගින් දිගට ම පවසා තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ඇමෙරිකාව වඩාත් හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, තීරුබදු ඉහළ නංවමින් ඇමෙරිකානු නිෂ්පාදන ආරක්ෂා කිරීමේ අරමුණක නියැලී සිටින," බව ඔගනස් පවසයි.
"මෙය කෙටි කාලීනව ඇමෙරිකානු ආර්ථිකයේ වර්ධනයට හේතුවක් වූවත්, ඇමරිකාව සමග ගනුදෙනු කිරීම මත රඳා පවතින බොහෝ ආර්ථිකයන්ට මෙය හානියක් වනු ඇති."
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ ජනාධිපති ඔබාමාගේ හිටපු ආර්ථික උපදේශක මොරිස් ඔබ්ස්ට්ෆෙල්ඩ් පෙන්වා දෙන්නේ, නව තීරුබදු මෙක්සිකෝවට සහ කැනඩාවට "විශේෂයෙන් විනාශකාරී" විය හැකි අතර, එය ඇමෙරිකාවට ද "හානිකර" විය හැකි බව ය.
ඔහු උදාහරණයක් ලෙස මෝටර් රථ නිෂ්පාදනය දක්වයි. මෙම කර්මාන්තය "රටවල් තුන පුරා විහිදී ඇති සැපයුම් දාමයක් මත රඳා පවතී. එම සැපයුම් දාමයට බාධා පැමිණවීමෙන් වාහන වෙළෙඳපොළට දැවැන්ත බාධා ඇති වනු ඇත."
මෙය මිල ගණන් ඉහළ යාමට, නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩු වීම සහ සමාගමේ ලාභ අඩු කිරීමට හේතු විය හැකි අතර එමගින් ආයෝජන මට්ටම් අඩු විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
ආර්ථික විද්‍යාව සඳහා වන පීටර්සන් ආයතනයේ සේවය කරන ඔබ්ස්ට්ෆෙල්ඩ් පැවසුවේ, "වෙළෙඳාම මත දැඩි ලෙස රඳා පවතින ලෝකයක මෙම ආකාරයේ තීරුබදු හඳුන්වා දීම මගින් හානි සිදු වීමට හැකි අතර ලෝක ආර්ථිකය අවපාතයකට ගෙන යා හැකි," බව ය.
මෙම තීරුබදු අවදානම කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝගේ ඉල්ලා අස්වීමට ද හේතුවක් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමෙරිකාව සහ චීනය එකිනෙකා අතරේ වෙළෙඳාම් කරන භාණ්ඩවලට ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ සිට ම බදු අය කර ඇතත්, මෙම නව තීරුබදු පැනවීමේ අවදානම ඉදිරි වසර තුළ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයට විශාල අභියෝගයක් වනු ඇත.
සිය නව අවුරුදු කතාවේදී චීන ජනාධිපති ෂී ජින්පිං, බාහිර පරිසරයේ අවිනිශ්චිතතාවන්ගෙන් අභියෝග එල්ල විය හැකි බව පිළිගත් නමුත් ආර්ථිකය ඉහළට ගමන් කරන බව ප්‍රකාශ කළේ ය.
චීනයේ කර්මාන්තශාලාවල නිපදවෙන මිලෙන් අඩු භාණ්ඩ අපනයනය කිරීම එහි ආර්ථිකයට ඉතා වැදගත් වේ. තීරුබදු නිසා මිල ගණන් ඉහළ යාමත් සමග ඉල්ලුම පහත වැටීම, දුර්වල පරිභෝජන වියදම් සහ ව්‍යාපාරික ආයෝජන ඇතුළු රජය විසඳීමට උත්සහ කරන බොහෝ දේශීය අභියෝග වඩාත් නරක අතට හැරෙනු ඇත.
මෙම ක්‍රියාමාර්ගවලින් ප්‍රයෝජන තිබේ. මක් නිසාද යත්, ලෝක බැංකුව පසුගිය දෙසැම්බරයේ කළ පුරෝකථනයන්ට අනුව, 2025 අවසානයේදී චීනයේ වර්ධනය 4.1% සිට 4.5% දක්වා ඉහළ නැංවෙනු ඇත.
බීජිං තවමත් 2025 සඳහා වර්ධන ඉලක්කයක් තබා නොමැති නමුත් එය පෙර වසරට සාපේක්ෂව 5%ක වර්ධනයක් සඳහා ගමන් කරනු ඇති බව විශ්වාස කරයි.
ලෝක බැංකුවේ චීනය සඳහා වන අධ්‍යක්ෂිකා මාරා වෝර්වික්ට අනුව, "දේපළ ක්ෂේත්‍රයේ අභියෝග ජයගැනීම, සමාජ ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම සහ පළාත් පාලන මූල්‍ය තත්ත්වයන් වැඩිදියුණු කිරීම ආදිය තිරසර ලෙස ආර්ථිකය ප්‍රතිසංස්කරණය සඳහා අත්‍යවශ්‍ය වනු ඇත."
චීනයේ ඇමෙරිකානු වාණිජ මණ්ඩල සභාපති මයිකල් හාර්ට් පවසන්නේ, චීන රජය සිය රට තුළ ඇති ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය බැවින් විදේශ ආයෝජන "වඩාත් සාදරයෙන් පිළිගන්නා" බව ය.
ඇමෙරිකාව සහ චීනය අතර ඇති අර්බුද මෙන් ම තීරුබදු ද බයිඩ්න්ගේ ජනාධිපති ධුර කාලයේ වැඩි වූ අතර, ඇතැම් සමාගම් සිය නිෂ්පාදන කටයුතු වෙනත් රටකට මාරු කිරීම ගැන සලකා බැලීමට පවා පෙළඹී තිබේ.
කෙසේ වෙතත් චීනයට එවැනි ශක්තිමත් නිෂ්පාදකයෙකු ලෙස නැගී සිටීමට වසර 30ත් 40ත් අතර කාලයක් ගත වූ බව පෙන්වා දෙන හාර්ට්, "එම අවදානම්වලින් සමහරක් අවම කිරීමට සමාගම් උත්සහ කර තිබෙනවා ... එමෙන් ම, චීනය සම්පූර්ණයෙන් ම අතහැර වෙනත් රටක් ඒ වෙනුවෙන් ආදේශ කරන්න දැන් ම කිසිවෙකුත් සූදානම් නැහැ," යි ද පවසයි.
විදුලි වාහන කර්මාන්තය වැනි කර්මාන්ත ගෝලීය වෙළෙඳ අර්බුදවල කේන්ද්‍රය වීමේ ඉඩක් තිබේ. පසුගිය වසරේදී චීනය විදුලි වාහන මිලියන 10කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අතර, ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා සංගමය (EU) ඒවා මත තීරුබදු පනවා ඇත.
මෙම තීරුබදු අසාධාරණ බවත්, ලෝක වෙළෙඳ සංවිධානය හමුවේදී ඒවාට අභියෝග කරන බවත් බෙයිජිං පවසා තිබේ.
කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂා කරන තීරුබදු පැනවීම ගැන යුරෝපා සංගමය සිය අවධානයට යොමු කර තිබේ.
යුරෝපීය මහ බැංකුවේ සභාපතිනි ක්‍රිස්ටීන් ලැගාර්ඩ් පසුගිය මාසයේදී "වෙළඳාම සීමා කිරීම සහ ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම ආර්ථික වර්ධනයට සහාය නොදක්වන අතර එය උද්ධමනය කෙරෙහි ඇති කරන්නේ අවිනිශ්චිත බලපෑමකි. කෙසේ වෙතත්, ඒවා කෙටිකාලීනව උද්ධමනකාරී වීමට ඉඩ තිබේ," යි කියා සිටියා ය.
සම්ප්‍රදායිකව ම යුරෝපයේ ආර්ථික වර්ධනයේ මූලිකත්වය ගන්නා ජර්මනිය සහ ප්‍රංශය පසුගිය වසර තුළ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් අර්බුදවලට මුහුණ දී තිබේ. මෑත කාලීන ආර්ථික වර්ධනයක් තිබියදී පවා, දුර්වල ලෙස ක්‍රියාත්මක වීමේ ගැටලු සහ දේශපාලන අස්ථාවරභාවයන් හේතුවෙන් යුරෝපා කලාපයට ඉදිරි වසර තුළදී ආර්ථික වර්ධන වේගය අහිමි වීමේ අවදානමක් ඇත.
පාරිභෝගිකයින් වැඩි මුදලක් වියදම් නොකරන්නේ නම් සහ ව්‍යාපාර ඔවුන්ගේ ආයෝජන වැඩි නොකරන්නේ නම් මේ තත්ත්වය සිදුවීමේ බොහෝ ඉඩක් තිබේ.
එක් සමීක්ෂණයකට අනුව එක්සත් රාජධානියේ මිල ඉහළ යාම, බදු සහ වැටුප් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ද සිදුවිය හැක.
උද්ධමනය 4.2% ක මට්ටමක පැවතීම යුරෝපා කලාපයේ පොළී අනුපාත පහත හෙළීමට ඇති එක් බාධාවක් වී තිබේ. එය 2% ඉලක්කය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි. එමෙන් ම, දැඩි වැටුප් පීඩනය ද උද්ධමනය තවදුරටත් අඩු කිරීම දුෂ්කර කර තිබේ.
ලොව විශාලතම රැකියා සඳහා නව බඳවා ගැනීම් සමාගම වන රැන්ඩ්ස්ටැඩ්හි ප්‍රධාන විධායක සැන්ඩර් වෑන් ට් නූර්ඩෙන්ඩ් පවසන්නේ එක්සත් ජනපදයේ තත්ත්වයද මෙයට සමාන බවයි.
"ඇමෙරිකාවේ, වැටුප් උද්ධමනය 2024 දී 4%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඇතැම් බටහිර යුරෝපීය රටවල, එය පවතින්නේ ඊටත් වඩා ඉහළ මට්ටමක යි"
"මම හිතන්නේ මෙයට බලපාන සාධක දෙකක් තියෙනවා: දක්ෂතා හිඟකම සහ මිනිසුන් ඔවුන් කරන වැඩ සඳහා ඉහළ වැටුපක් ඉල්ලා සිටීමත් සමග ඇති වන උද්ධමනය ඒ සාධක දෙක යි."
බොහෝ සමාගම් මෙම අමතර පිරිවැය තම ගනුදෙනුකරුවන්ගෙන් අය කර ගන්නා අතර එය සමස්ත උද්ධමනය ඉහළ දැමීම සඳහා ද දායක වන බව වෑන්ට් නූර්ඩෙන්ඩ් වැඩිදුරටත් පවසයි.
ගෝලීය රැකියා වෙළෙඳපොළේ පසුබෑම සමාගම්වල "ක්‍රියාශීලීත්වය" නොමැති වීමෙන් පිළිබිඹු කරන අතර ආර්ථිකය වර්ධනය කිරීම සඳහා එය ආපසු හැරවීම අත්‍යවශ්‍ය වන බව ද ඔහු පවසයි.
"ආර්ථිකය හොඳින් නම්, ව්‍යාපාර වර්ධනය වෙනවා, ඔවුන් රැකියා සඳහා මිනිසුන් බඳවා ගන්නවා. ඒ වගේ ම, මිනිසුන්ට සිත්ගන්නාසුලු රැකියා අවස්ථා හිමි වන අතර එමගින් රැකියා වෙළෙඳපොළේ විචල්‍යයන් වැඩි වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2025 දී නව භූමිකාවක් ආරම්භ කරන එක් පුද්ගලයෙකු වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. බදු කප්පාදුව සහ නියාමනය ඇතුළු ඔහුගේ ආර්ථික සැලසුම්, ඇමෙරිකාවේ ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වීමට උපකාරී වනු ඇත.
ඔහු එළඹෙන ජනවාරි 20 වන දින ධවල මන්දිරයට පැමිණීමට පෙර, ඔහුගේ සැලසුම් බොහොමයක් අනාවරණය නොවනු ඇතත්, "ලෝකයේ සෙසු රටවල වියදමින් තමන්ගේ සියලු කටයුතු කර ගැනීමේ ඇමෙරිකාවේ සුවිශේෂී පුරුද්ද ඔහු ද අඛණ්ඩව පවත්වාගෙන යනු ඇතැයි," ජේපී මෝගන්හි ඔගන්ස් පවසයි.
උද්ධමනය සහ පොළී අනුපාත ගෝලීය වශයෙන් අඛණ්ඩව අඩු වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන නමුත්, එයින් බොහොමයක්, විශේෂයෙන් ම ඇමෙරිකාවේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති මත සිදුවනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.














