ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තිය ගැන දැනගත යුතු කරුණු

Graphic of US capitol in front of red and purple striped design
    • Author, ඇනා ෆේගී
    • Role, බීබීසී පුවත්, වොෂිංටන්

ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා (ජන. 20) ධවල මන්දිරය වෙත ආපසු පැමිණීමට නියමිත ය.

පදවිප්‍රාප්ති දිනය නිල දිවුරුම් දීම් උත්සවයකින් මෙන් ම සංගීත සංදර්ශන සහ නිල උත්සව කිහිපයකින් සමන්විත වනු ඇත. නමුත් මෙම වසරේ පවතින දැඩි සීත කාලගුණය හේතුවෙන් මෙම උත්සව ගෘහස්ථව පැවැත්වීමට නියමිත අතර ට්‍රම්ප් සහ උපජනාධිපති ලෙස තේරී පත්වූ ජේ.ඩී. වාන්ස් එක්සත් ජනපදයේ කැපිටල් රොටුන්ඩාහිදී දිවුරුම් දීමට නියමිත ය.

සාම්ප්‍රදායික පදවිප්‍රාප්ති පෙළපාළියට ද කාලගුණය විසින් බාධා එල්ල කරනු ලැබ තිබේ.

Staff inside US Capitol building line up to set up inauguration ceremony

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාර්ය මණ්ඩල සහ රහස් සේවයේ සේවකයින් එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ ගෘහස්ත සමාරම්භක උත්සවය සඳහා සූදානම් වෙමින්

පදවිප්‍රාප්තිය යනු කුමක් ද?

පදවිප්‍රාප්තිය යනු, එක් ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය අවසන් කර අනුප්‍රාප්තිකයාගේ පාලනයේ ආරම්භය සනිටුහන් කරන නිල උත්සවය යි.

එය ඇමෙරිකානු ආණ්ඩුවේ නායකයින් අතර බල සංක්‍රමණයේ ඉහළ ම අවධානයක් දිනා ගන්නා කොටස යි.

උත්සවයේ ප්‍රධාන කොටසක් වන්නේ, තේරී පත්වූ ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම ය: "එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස විශ්වාසවන්තව කටයුතු කරන බවටත්, මාගේ උපරිමයෙන් එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකීමට, ආරක්ෂා කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටින බවට ත් මම දිවුරා පොරොන්දු වෙමි."

නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ද, ට්‍රම්ප් නිල වශයෙන් 47 වන ජනාධිපතිවරයා බවට පත්වන්නේ එම වචන කිහිපය ප්‍රකාශ කිරීමෙන් පසුව ය. ඔහු මීට පෙර 2017 සහ 2021 අතර කාලය තුළ එරට 45 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.

වාන්ස් ද නිල වශයෙන් උපජනාධිපති ධූරයේ වැඩ භාර ගැනීමට පෙර එලෙස දිවුරුම් දෙනු ඇත.

ජනවාරි 20 වන දාට යෙදී ඇති පදවිප්‍රාප්ති දිනයේදී සිදුවන්නේ මොනවා ද?

ට්‍රම්ප්ගේ දෙවන පදවිප්‍රාප්ති දිනය ආරම්භ වන්නේ ඓතිහාසික වොෂින්ටනයේ, ලෆායෙට් චතුරශ්‍රයේ පිහිටා ඇති ඓතිහාසික දේවස්ථානයක් වන සාන්ත ජෝන් දේවස්ථානයේ දේව මෙහෙයකින් පසුව ධවල මන්දිරයේ සිදුවන තේ පැන් සංග්‍රහයකින් පසුව ය.

සංගීත සංදර්ශන සහ සමාරම්භක ප්‍රකාශයන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8:00 ආරම්භ වීමට නියමිත ය.

ඉන් අනතුරුව කැපිටල් ගොඩනැගිල්ල තුළදී ට්‍රම්ප් සහ වාන්ස් දිවුරුම් දීම සිදුවනු ඇත. ඔවුන් පොතක් මත අත තබා - සාමාන්‍යයෙන්, නමුත් සෑම විට ම නොව, බයිබලයක් මත අත තබා දිවුරුම් දෙනු ඇත.

මේ වසරේදී ට්‍රම්ප් පොත් දෙකක් භාවිත කරනු ඇත. ඉන් එකක් 1955දී ඔහුගේ මව විසින් ඔහුට ලබා දෙන ලද පෞද්ගලික බයිබලය සහ 1861දී ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ පදවිප්‍රාප්ති උත්සවයේදී භාවිත කරන ලද වෙල්වට් බැඳි වෙළුමක් වන ඓතිහාසික ලින්කන් බයිබලය යි.

ට්‍රම්ප් - වාන්ස් පදවිප්‍රාප්ති කමිටුව පවසා ඇත්තේ, වාන්ස් ඔහුගේ මවගේ මිත්තණියගේ පවුලට අයත් බයිබලයක පිටපතක් මත අත තබා දිවුරුම් දෙන බව ය.

The Capitol Rotunda, pictured, is a large gilded and frescoed dome surrounded by marble walls

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් සිය මංගල දේශනය පවත්වන කැපිටල් රොටුන්ඩා ගොඩනැගිල්ල ඇතුළත

අනතුරුව ට්‍රම්ප් විසින් සිය මංගල දේශනය පවත්වනු ලබනු ඇති අතර, එහිදී ඔහු ඉදිරි වසර හතර සඳහා වන සිය ඉලක්ක පිළිබඳව සඳහන් කරනු ඇත. ඔහුගේ කතාවේ තේමාව එක්සත්කම, ශක්තිය සහ 'සාධාරණත්වය' වනු ඇති බවට වාර්තා වේ.

ට්‍රම්ප් ඉන්පසුව ප්‍රධාන ලේඛනවලට අත්සන් කිරීම සඳහා සෙනෙට් සභා ගර්භය අසල පිහිටි ජනාධිපති කාමරයට යනු ඇත.

අනතුරුව ඔහු පදවිප්‍රාප්ති උත්සව පිළිබඳ ඒකාබද්ධ කොන්ග්‍රස් කමිටුව විසින් පවත්වනු ලබන දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වනු ඇත.

මෙහිදී සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ කැපිටල් ගොඩනැගිල්ල ඇති පෙන්සිල්වේනියා මාවතේ සිට ධවල මන්දිරය දක්වා යන පෙළපාළියකි. නමුත් මෙම වසරේ පෙළපාලිය වෙනස් වන්නේ වන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත.

සවස් වරුවේ, ට්‍රම්ප් නගරය පුරා පැවැත්වෙන පදවිප්‍රාප්ති උත්සව තුනක් සඳහා සහභාගි වනු ඇත. ඒවා නම්, Commander-in-Chief Ball, Liberty Inaugural Ball සහ Starlight Ball ලෙස නම් කර තිබේ.

එම උත්සව තුනේදී ම ඔහු පැමිණ සිටින පිරිස් ආමන්ත්‍රණය කරනු ඇතැයි අපේක්ෂා කරයි.

පදවිප්‍රාප්ති උත්සවය පැවැත්වෙන්නේ කොහේ ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සාමාන්‍යයෙන් පදවිප්‍රාප්ති උත්සවයේ කටයුතු එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටත සිදු වන අතර එය නැෂනල් මෝල් දක්වා වන වපසරියක සිට ජනතාවට නැරඹිය හැකි වේ.

කෙසේ වෙතත්, අද දින වොෂින්ටන් නගරයට සීතල සහ සුළං දැඩි ලෙස බලපානු ඇති බවට අනාවැකි පළ කර තිබේ. උෂ්ණත්ව මට්ටම සෙල්ෂියස් -11ත්, සෙල්ෂියස් -5ත් අතර පවතිනු ඇති බවට අපේක්ෂා කෙරේ.

සිකුරාදා, ට්‍රම්ප් සමාජ මාධ්‍ය හරහා නිවේදනය කළේ කාලගුණය හේතුවෙන් ස්ථානය වෙනස් කරන ලෙස ඉල්ලා ඇති බව ය. ඔහුට "කිසි ම ආකාරයකින් මිනිසුන්ට අනතුරක් හෝ තුවාල වීමක් සිදුවනු දැකීමට අවශ්‍ය නැත", ඔහු ලිවීය.

මංගල දේශනය, කතා සහ අනෙකිත් කටයුතු ද ඇතුළුව නරඹන්නන්, නීති සම්පාදකයින් සහ සම්භාවනීය අමුත්තන් සඳහා වන ස්ථාන මෙවර කැපිටල් කැපිටල් තුළට ගෙන යනු ඇත.

අනෙකුත් සහභාගිවන්නන්ට, පුද්ගලයින් 20,000කට පමණ රැස් විය හැකි Capital One Arenaහි සිට සජීවී විකාශය ඔස්සේ නැරඹිය හැකි ය. කාලගුණය හේතුවෙන් පෙළපාළිය අවලංගු කර ඇත. සිය දිවුරුම් දීමෙන් පසු ක්‍රීඩා පිටියේ සිටින ජනතාව බැලීමට තමන් පැමිණෙන බව ට්‍රම්ප් පවසයි.

අයහපත් කාලගුණය පදවිප්‍රාප්ති උත්සවය පැවැත් වෙන ස්ථානය වෙනස් කළ පළමු අවස්ථාව මෙය නොවේ. 1985දී, ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පදවිප්‍රාප්තිය ගෘහස්ථව පැවති අතර අසාමාන්‍ය ලෙස ශීත කාලගුණය හේතුවෙන් සම්ප්‍රදායික පෙළපාලිය ද අවලංගු කෙරිණි.

Ronald Reagan holds his hand on a bible and takes the oath of office as people look on in the Capitol Rotunda.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රොනල්ඩ් රේගන් 1985දී ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින්

පදවිප්‍රාප්ති උත්සවයට සහභාගි වන්නේ කවුද?

ට්‍රම්ප් ආධාරකරුවන් සහ විරෝධතාකරුවන් ද ඇතුළුව වොෂින්ටන් වෙත 200,000ක පමණ පිරිසක් පැමිණෙනු ඇතැයි ප්‍රාදේශීය සහ ෆෙඩරල් නිලධාරීහු අපේක්ෂා කරති.

එක්සත් ජනපද සෙනෙට් සභිකයින් බොහෝ දෙනෙකු සහ සභා සාමාජිකයින් මෙන් ම නව පරිපාලනයේ අමුත්තන් ද ඊට සහභාගි වනු ඇත.

ට්‍රම්ප්, වෑන්ස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් පසුව, මීළඟ වැදගත් ම සහභාගිවන්නන් වන්නේ, ධූරයෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා සහ උපජනාධිපතිවරයා ය. මෙයින් අදහස් වන්නේ, නොවැම්බර් මැතිවරණයෙන් ට්‍රම්ප්ට පරාජය වූ ජනාධිපති ජෝ බයිඩන් සහ උපජනාධිපතිනිය කමලා හැරිස් සහ ඔවුන්ගේ සහකරුවන් වන ජිල් බයිඩන් සහ ඩග් එම්හොෆ් අපට දැකීමට ඉඩ ලැබෙනු ඇති බව ය.

හිටපු ජනාධිපතිවරුන් සහ ජනාධිපති ආර්යාවන් බොහෝ විට අමුත්තන්ගේ ලැයිස්තුවේ සිටින නමුත් හිටපු ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා මෙවර පදවිප්‍රාප්ති උත්සවයට සහභාගී නොවන බව ඇගේ කාර්යාලය පවසයි.

ඔබාමා මහත්මිය හිටපු ජනාධිපති ජිමී කාටර් වෙනුවෙන් පැවති ගුණ අනුස්මරණ උත්සවයට නොපැමිණි අතර ඇය ඒ වන සිටියේ හවායිහි ය. 2017දී ට්‍රම්ප්ගේ ප්‍රථම දිවුරුම් දීම ඇතුළුව 2009දී ඇගේ සැමියාගේ සිට සෑම පදවිප්‍රාප්ති උත්සවයකට ම ඇය සහභාගි වී තිබේ.

ඇයගේ ස්වාමිපුරුෂයා වන බැරක් ඔබාමා තවත් හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ඔහුගේ බිරිඳ ලෝරා බුෂ් සමග ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවත් ඩිමොක්‍රටික් පාක්ෂිකාවක වන හිටපු කතානායක නැන්සි පෙලෝසි ඊට සහභාගි නොවනු ඇත.

ප්‍රකෝටිපති තාක්ෂණික සමාගම්වල හිමිකරුවන් වන ඊලෝන් මස්ක්, ජෙෆ් බෙසොස් සහ මාර්ක් සකර්බර්ග් ද උත්සවයට සහභාගී වීමට නියමිත බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වීමට ඉඩ තිබුණු තහනමට දිනකට පසු TikTokහි ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සී චූ ද ඊට සහභාගි වනු ඇතැයි වාර්තා වේ.

මෙම අවස්ථාවට චීනයේ උපජනාධිපති හන් ජෝන්ග් ද සහභාගී වීමට නියමිත ය.

ප්‍රාසංගික ඉදිරිපත් කිරීම් කරන්නේ කවුද?

ගායිකාවක සහ American Idol ජයග්‍රාහිකාවක වන කැරී අන්ඩර්වුඩ් උත්සවය අතරතුර 'America the Beautiful' ගීතය ඉදිරිපත් කිරීමට නියමිත ය.

"මම අපේ රටට ආදරෙයි සහ පදවි ප්‍රාප්ත උත්සවයේදී ගායනා කිරීමට ලැබීම වගේ ම මෙම ඓතිහාසික උත්සවයේ කුඩා කොටසක් වීමට ලැබීම මට ගෞරවයක්," අන්ඩර්වුඩ් ප්‍රකාශයක නිකිත් කරමින් පැවසීය. "අපි සියලු දෙනා ම එකතු විය යුතු මොහොතක ඒ ඉල්ලීම පිළිගැනීමට තරම් මම නිහතමානී වෙනවා."

ඔපෙරා ගායක ක්‍රිස්ටෝෆර් මැකියෝ මෙන් ම ට්‍රම්ප්ගේ දිගුකාලීන මිතුරා සහ සගයා වන ගායන ශිල්පිනී ලී ග්‍රීන්වුඩ් ද පදවිප්‍රාප්ත උත්සවයේදී ගායනා ඉදිරිපත් කරනු ඇත.

ඇමෙරිකානු ඩිස්කෝ සංගීත කණ්ඩායමක් වන The Village People, ඉරිදා පැවැත්වෙන ට්‍රම්ප්ගේ ජයග්‍රාහී රැලියේදී සහ සඳුදා පැවැත්වෙන උත්සවවලින් එකක ඉදිරිපත් කිරීමක් සිදු කරනු ඇත.

මැතිවරණ ව්‍යාපාරය අතරතුර, ට්‍රම්ප් ඔහුගේ රැලිවලදී මෙම කණ්ඩායමේ ගීත - YMCA සහ Macho Man - නිතර වාදනය කළේ ය.

"අපි දන්නවා, මේක ඇහුවා ම සමහර අයට සතුටක් දැනෙන එකක් නැහැ. නමුත් අපි විශ්වාස කරනවා, දේශපාලනයෙන් තොරව සංගීතය රස විඳින්න පුළුවන් වෙන්න ඕනේ," සංගීත කණ්ඩායම සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පැවසීය.

"අපගේ YMCA ගීතය ගෝලීය වශයෙන් ජනප්‍රිය ගීතයක්. අපි කැමති අපේක්ෂකයා පරාජය වුණු, කලහකාරී හා බෙදුණු මැතිවරණ ව්‍යාපාරයකින් පස්සේ රට එකතු කරන්න උදව් වෙන."

අනෙකුත් කලාකරුවන් ට්‍රම්ප්ගේ ඉරිදා රැලියට සහ සවස පැවැත්වෙන උත්සවවලට සහභාගී වීමට නියමිත ය. ඔවුන්ගෙන් බොහොමයක් කිඩ් රොක්, බිලී රේ සයිරස්, ජේසන් ඇලඩියන් අහ රස්කල් ෆ්ලැට්ස් වැනි කන්ට්‍රි ගායන ශිල්පීන් වනු ඇත. ගායක ගැවින් ඩිග්‍රෝ සහ රැප් ගායක නෙලී ද ඉදිරිපත් කිරීම් සිදු කරනු ඇත.

Workers set up rows of chairs on the lawn of the Capitol building and the national mall

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සේවකයින් කැපිටල් ගොඩනැගිල්ලේ සහ නැෂනල් මෝල්හි තණකොළ සහිත පිට්ටනියේ ආසන සූදානම් කරමින්

පදවිප්‍රාප්ති උත්සවය නැරඹිය හැක්කේ කෙසේ ද?

පදවිප්‍රාප්ති උත්සවය පෞද්ගලිකව නැරඹීමට සාමාන්‍යයෙන් ඉහළ ඉල්ලුමක් පවතින අතර ප්‍රවේශපත්‍රවල මිල ඉතා ඉහළ අගයක් ගනී.

කොංග්‍රසයේ සාමාජිකයින්ට උත්සවය සඳහා නිශ්චිත ප්‍රවේශපත්‍ර සංඛ්‍යාවක් ලැබෙන අතර, ඒවා ඔවුන්ගේ ඡන්ද දායකයින්ට බෙදා හැරිය හැකි ය.

මෙම ප්‍රවේශපත්‍ර නොමිලේ ලබා දෙන නමුත් ඒවා ලබා ගැනීම බොහෝ විට අභියෝගාත්මක ය. ඇමරිකානුවන්ට ප්‍රවේශපත්‍ර සඳහා ඔවුන්ගේ කොංග්‍රස් සාමාජිකයා ඍජුව ම සම්බන්ධ කර ගත හැක.

ඔබට පෞද්ගලිකව එයට සහභාගී වීමට නොහැකි නම්, එය දූරස්ථව නැරඹීමට බොහෝ ක්‍රම තිබේ.

ධවල මන්දිරය පදවිප්‍රාප්ති උත්සවය සජීවීව විකාශය කරනු ඇත.

බීබීසීය රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව ඔස්සේ එම උත්සවය සජීවීව ආවරණය කරනු ඇත. එක්සත් රාජධානියේ ප්‍රේක්ෂකයින්ට ද BBC One ඔස්සේ එය එරට වේලාවෙන් පස්වරු 3:30 සිට නැරඹිය හැකි ය.

ඔබට අපගේ වෙබ් අඩවිය ඔස්සේ පදවි ප්‍රාප්තිය නැරඹිය හැකි අතර අපගේ සජීවී පිටුව ඔස්සේ ඒ පිළිබඳව දැනුවත් විය හැකි ය. ඒ ඔස්සේ අප ඔබට එහි නවතම තොරතුරු, විශ්ලේෂණයන්, ප්‍රධාන අවස්ථා එසැණින් ගෙන එනු ඇත.

ශ්‍රාවකයින්ට බීබීසී ලෝක සේවයේ සහ එක්සත් රාජධානියේ, BBC Radio 4 ඔස්සේ ඊට සවන් දිය හැක. Americast සහ The Coming Storm විශේෂ කොටස් පොඩ්කාස්ට් ඔස්සේ ඔබට පිරිනමනු ඇත.