ට්‍රම්ප්ගේ සහයට තෝරා ගත් චරිත 10

- Author, බර්න්ඩ් ඩෙබ්‍යුස්මාන් Jr
- Role, බීබීසී මාධ්‍යවේදී
ජනවාරි 20 වන දින ධවල මන්දිරයට පැමිණි පසු, පළමු දිනයේ සිට ඉක්මන් හා සැලකිය යුතු වෙනස්කම් සිදු කරන බවට ට්‍රම්ප් පොරොන්දු වී තිබේ.
ට්‍රම්ප් විසින් බලවත් තනතුරු සඳහා නම් කරනු ලැබ ඇති පුද්ගලයින් සියල්ලන්ගේ ම එක් සමාන ලක්ෂණයක් තිබේ. ඒ ඔහුට ඇති පක්ෂපාතීත්වය යි. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ එක් එක් පුද්ගලයාට තමන්ගේ ම අදහස් ඇත.
ට්‍රම්ප්ගේ වඩාත් ම කතාබහට ලක්වූ පොරොන්දු කිහිපයක් ඉටු කිරීම සඳහා වගකීම භාර වී ඇති කණ්ඩායම් පහක් කෙරෙහි අප අවධානය යොමු කරන අතර, මෙහි සිටින ප්‍රධාන චරිත සිය වගකීම් ඉටු කිරීමේදී කෙතරම් ඵලදායී හෝ ගැටලුසහගත විය හැකි ද යන්න අගැයීමට අපි බලාපොරොත්තු වෙමු.

දේශසීමා සුරක්ෂිත කිරීම සහ නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට ඇතුළු වූ පුද්ගලයින් ඉවත් කිරීම ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රචාරණ පොරොන්දුවලින් එකකි.
එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම පිටුවහල් කිරීම සිදු කිරීමට ට්‍රම්ප් පොරොන්දු වී ඇති අතර, ඒ සඳහා ඇති සහයෝගය ද වර්ධනය වන බව ඇතැම් සමීක්ෂණවලින් පෙනී ගොස් තිබේ. කෙසේ වෙතත්, එය ක්‍රියාත්මක කරන ආකාරය හෝ ඒ සඳහා අරමුදල් සපයා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ විස්තර තවමත් පැහැදිලි නැත.

ක්‍රිස්ටි නොයෙම්, අභ්‍යන්තර ආරක්ෂක ලේකම්
"අපේ රටට පැමිණි සෑම නීතිවිරෝධී විදේශිකයෙකුගේ ම පළමු ක්‍රියාව වූයේ නීතිය උල්ලංඝණය කිරීම යි."
2018 වසරේදී දකුණු ඩැකෝටාහි ආණ්ඩුකාර ධූරයට පත්වූ, සිව් වරක් කොංග්‍රස් සභිකවරියක ලෙස පත්වූ ක්‍රිස්ටි නොයෙම්, කෝවිඩ් වසංගතය අතරතුර මුහුණු ආවරණ පැළඳීමේ නියෝගයන්ට සහ ලොක්ඩවුන් පියවරයන්ට දැඩි ලෙස විරුද්ධ වීම නිසා ජාතික අවධානය දිනා ගත්තා ය.
කොවිඩ් වසංගතය අතරතුරදී එළඹුණු ඇමෙරිකාවේ නිදහස් දිනය, නොයෙම් සිය ප්‍රාන්තයේ මවුන්ට් රෂ්මෝර් ජාතික ස්මාරකය ආසන්නයේදී සමරනු ලැබුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප් සමගිනි.
ඇය වත්මන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න්ගේ දේශසීමා ප්‍රතිපත්ති ද දැඩි ලෙස විවේචනය කර තිබේ.
නොයෙම් ඇෆ්ඝන් සරණාගතයින් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර, දේශසීමා බලාත්මක කිරීමට සහය වීම සඳහා ප්‍රාන්තයේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයින් ටෙක්සාස් වෙත යැවූ පළමු ආණ්ඩුකාරවරිය බවට ද පත්වූවා ය.
ඇයගේ පත්වීම, එක්සත් ජනපද සෙනෙට් සභිකයින් විසින් තහවුරු කරනු ලැබීම අවශ්‍ය වේ.

ටොම් හෝමන්, දැඩි දේශසීමා පාලකයා
"9/11 ප්‍රහාරයට පසුව ඇති වූ විශාලතම ජාතික ආරක්ෂක තර්ජනය මෙය වන අතර අප එයට විසඳුම් ලබා දිය යුතු යි."
එක්සත් ජනපද දේශසීමා බලාත්මක කිරීමේ දශක ගණනාවක වෘත්තීය අත්දැකීම් සහ ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) හිටපු ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති හිටපු පොලිස් නිලධාරියෙකු වූ ටොම් හෝමන්, ට්‍රම්ප්ගේ ප්‍රධාන පොරොන්දුවලින් එකක් ඉටු කිරීම සඳහා කදිම තේරීමක් බව පෙනේ.
ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ වඩාත් මතභේදාත්මක සංක්‍රමණික ප්‍රතිපත්තියක් වූ, නිසි ලියකියවිලි නොමැතිව දේශසීමාව තරණය කළ දරුවන්, ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් හෝ භාරකරුවන්ගෙන් වෙන් කිරීමේ ක්‍රියාවලියේ පළමු පෙළේ ආධාරකරුවෙකු ලෙස ද හෝමන් ක්‍රියා කළේ ය.
ගතානුගතික රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවල නිරන්තරයෙන් පෙනී සිටින හෝමන්, ෆෙඩරල් සංක්‍රමණ නීති බලාත්මක කිරීමේ ප්‍රයත්නයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන ඩිමොක්‍රටික් දේශපාලනඥයන් කෙරෙහි ගැටුම්කාරී ආකල්ප ප්‍රදර්ශනය කර තිබේ.

විශ්ලේෂණය: ඉවත් කිරීමට ගන්නා පියවර
ආර්ථිකය හැරුණු විට, සංක්‍රමණ ගැටලුව සහ මෙක්සිකෝ දේශසීමාව යන ප්‍රශ්න ඡන්දදායකයින්ගේ ඉහළ ම අවධානය දිනාගත් පොරොන්දු බව සමීක්ෂණවලින් දිගින් දිගට ම පෙනී ගොස් තිබේ. දේශසීමා ප්‍රතිපත්ති අධීක්ෂණය කරන දැඩි මතධාරී ස්ටීවන් මිලර් සමග හෝමන් සහ නොයෙම් පත් කිරීම, ඔහුගේ පොරොන්දු ඉටු කිරීමෙහි ලා ට්‍රම්ප්ගේ කැපවීම පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, සමූහ පිටුවහල් කිරීම් සහ සේවා ස්ථාන වැටලීම් මගින්, එයට විරුද්ධ ඩිමොක්රටික් බලය වැඩි ප්‍රාන්ත සහ අධිකරණ බලප්‍රදේශ සමඟ ගැටුම් ඇති විය හැකිය. සිය ආර්ථිකයන් අර්ධ වශයෙන් සංක්‍රමණික ශ්‍රමය මත රඳා පවතින ඇතැම් ලිබරල් ප්‍රාන්ත ද මෙයට විරුද්ධ වීමේ ඉඩ තිබේ. පවුල් නැවත වෙන් කළහොත් හෝ ඇමෙරිකානු පුරවැසියන් ලේඛනගත නොකළ ඥාතීන් සමග පිටුවහල් කරනු ලැබුවහොත්, ඉතා කෙටි කාලයක් තුළ මහජන මතය ඉක්මනින් මෙම ක්‍රියාවට එරෙහිව පැති මාරු වීමේ ඉඩක් තිබේ.

විදෙස් ප්‍රතිපත්ති: දැඩි චීන ප්‍රතිපත්ති
බොහෝ ගතානුගතික පුද්ගලයින් චීනය සලකන්නේ, ආර්ථික හා මිලිටරිමය වශයෙන් එක්සත් ජනපදයේ අඛණ්ඩ ගෝලීය ආධිපත්‍යයට ඇති විශාලතම තර්ජනය ලෙස ය.
ට්‍රම්ප්, චීනයට එරෙහි සිය විවේචන බහුතරයක් චීනයේ වෙළෙඳ ප්‍රතිපත්තිවලට සීමා කර තිබේ. ඔහු සිය විදෙස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැඩි බලයක්, චීනය විවේචනය කරන, ඉහළ තීරුබදු සඳහා වන ඔහුගේ පොරොන්දුව ඉටු කිරීමට සහය දක්වන කණ්ඩායම් වෙත ලබා දීමේ වැඩි ඉඩක් තිබේ.

මාකෝ රුබියෝ, රාජ්‍ය ලේකම්
"මෙම සියවසේ අනිවාර්ය, විශාල ම තර්ජනය වන්නේ චීනය යි. එයට එරෙහිව සටන් කිරීම සඳහා රජය පමණක් නොව, සමස්ත සමාජයේ ම සහය අපට අවශ්‍ය වනු ඇත."
2011 සිට ෆ්ලොරිඩාහි සෙනෙට් සභිකයෙකු වන කියුබානු-ඇමෙරිකානු සම්භවයක් සහිත රුබියෝ, වරක් ද්විපාර්ශවීය සංක්‍රමණික ප්‍රතිපත්තියට සහය දුන් පළපුරුදු රාජ්‍ය නිලධාරියෙකු වන අතර ට්‍රම්ප්ගේ මුල් කාලීන විවේචකයෙකි.
රුබියෝ 2016 වසරේදී රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කර අසාර්ථක වූ කාලයේ ඔවුන් දෙදෙනා අතර සමහර විට උණුසුම් ගැටුම් ඇති වූ නමුත් පසුව ඔහු ට්‍රම්ප්ගේ ක්‍රියාකාරකම් අනුමත කළේ ය.
මෑත වසරවලදී, ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී මෙන් ම මාධ්‍ය ඉදිරියේ ද ට්‍රම්ප්ව දැඩි ලෙස ආරක්ෂා කර තිබේ.
සෙනෙට්, බුද්ධි හා විදේශ සබඳතා කමිටු සාමාජිකයෙකු ලෙස ඔහු ඉරාන අර්බුදය, රුසියානු-යුක්රේන ගැටුම සහ චීනය පිළිබඳ දැඩි ස්ථාවරයක් දැරූ අයෙකු ලෙස ප්‍රකට ය.
53 වන වියේ පසු වන ඔහුට තවමත් ජනපති ධූරය පිළිබඳ අභිලාසයන් තිබිය හැකි අතර, රට පුරා ඔහුගේ කීර්තිය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඔහුගේ තනතුර භාවිත කළ හැකි ය.

මයිකල් වෝල්ට්ස්, ජාතික ආරක්ෂක උපදේශක
"එය සාධාරණ වුවත් නැතත්, ඒකාධිපති පාලන තන්ත්‍රයන් සමාජ දුර්වලතා විසින් ගක්තිමත් කරනු ලැබේ. එය ඔවුන් අවබෝධ කර ගන්නා ආකාරය පිළිබඳ ගැටලුවකි. එමෙන් ම එය නැවැත්විය හැක්කේ, ශක්තිමත් වීමෙනි."
හමුදා විශේෂ බළකායේ උසස් තනතුරක් දරා ඇති වෝල්ට්ස්, රුබියෝ මෙන් ම ෆ්ලොරිඩාව නියෝජනය කරන කොංග්‍රස් සභිකයෙකි.
සෙනෙට් අනුකමිටුවක සභාපති ලෙස කටයුතු කරන ඔහු, පැසිෆික් කලාපයේ ගැටුම් සඳහා එක්සත් ජනපදය වැඩි වැඩියෙන් සූදානම් විය යුතු බව පවසන අතර, ඔහු චීනය සම්බන්ධයෙන් ද දැඩි ස්ථාවරයක් අනුගමනය කරයි.
2022 වසරේදී බෙයිජිංහි පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි කොංග්‍රසයේ පළමු සාමාජිකයා වූයේ ඔහු ය.
ඇෆ්ඝනිස්ථානයේ හමුදා ඉවත් කර ගැනීම ඇතුළු ප්‍රතිපත්ති වෙනුවෙන්, ඔහු ධූරයෙන් ඉවත්ව යන පරිපාලනය විවේචනය කර ඇත.
ඔහු ඇමෙරිකානු මිලිටරි ප්‍රතිපත්ති ද විවේචනය කර ඇත්තේ, හමුදාවට බඳවා ගැනීමේදී යුද සටන් කිරීමේ හැකියාවට වඩා වාර්ගික හා ස්ත්‍රී පුරුෂ විවිධත්වය සහ සමානාත්මතාව ඇති කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව කියමිනි.

විශ්ලේෂණය: වඩාත් සුවිශේෂී සම්බන්ධතාව
සිය පළමු ධුර කාලය තුළදී ට්‍රම්ප් බීජිං සමග වෙළෙඳ යුද්ධයක් ආරම්භ කළ අතර, ඔහු කොවිඩ් වසංගතය හැඳින්වූයේ "චීන වෛරසය" ලෙසට ය. එහෙත් ඔහු චීන ජනාධිපති ෂී ජිං පිං "යකඩ හස්තයකින්" රට පාලනය කරන "දීප්තිමත්" නායකයෙකු ලෙස හඳුන්වමින් ප්‍රශංසා කළේ ය. ඔහු දක්වන මෙම අවිනිශ්චිතතාව ඇමරිකාවේ වැදගත් ම මූලෝපායික සම්බන්ධතාව හැසිරවීම වඩාත් සංකීර්ණ කළ හැකි ය. රුබියෝ ට්‍රම්ප්ගේ ජාතික බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස තේරී පත්වූ තුල්සි ගබාඩ් සමග ද ගැටුම් ඇති කර ගත හැකි අතර ඔහු මීට, ගාබාඩ්ව විවේචනය කළේ, ඔහු "නියෝ කොන්සර්වටිව් යුධමය සංස්ථාපිතයේ" කොටසක් ලෙස හඳුන්වමිනි.

කාර්යක්ෂමතාව: පිරිවැය කපා හැරීම
ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණෙන විට, "රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (Doge)" නමින් පිරිවැය අඩු කරමින්, අමතර නිලධාරීන් විසුරුවා හැරීමේ සැලැස්මට මුලපිරීමක් සඳහා ඊලොන් මස්ක් සහ විවේක් රාමස්වාමි යන තාක්ෂණික චරිත දෙක පත් කර තිබේ.
මස්ක්, ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2ක් හෙවත් පවුම් ට්‍රිලියන 1.6ක වැය කප්පාදු කිරීමක් යෝජනා කර ඇති අතර, රජයට එයින් විශාල වෙනසක් කරන බවට පොරොන්දු වී ඇත.
රාමස්වාමි, බදු එකතු කිරීමේ ඒජන්සිය වන අභ්‍යන්තර ආදායම් සේවා දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තු අහෝසි කිරීමට සහය පළ කර තිබේ.
රජයේ නිල දෙපාර්තමේන්තුවක් නොවන Doge ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න තවවමත් පැහැදිලි නැත.

ඊලෝන් මස්ක්, රජයේ කාර්යක්ෂමතාව
"ප්‍රජාතන්ත්‍රවදයට තර්ජනයක්? නැහැ, නිලධාරිවාදයට තර්ජනයක්!!"
දකුණු අප්‍රිකාවේ උපත ලැබූ, X, Tesla සහ SpaceX සහ වෙනත් ව්‍යාපාරවල ප්‍රධාන විධායක නිලධාරී මස්ක්, ලෝකයේ ධනවත් ම පුද්ගලයා වේ.
ඔහු, රජයේ අධිනියාමනයට විරුද්ධ වීම, ආක්‍රමණශීලී සමාජ මාධ්‍ය හැසිරීම සහ X (කලින් ට්විටර්) අත්පත් කර ගැනීමෙන් පසු ඔහුගේ ප්‍රබල පිරිවැය කප්පාදු කිරීමේ ක්‍රියාමාර්ගය ආදිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ය.
මස්ක් දිගු කලක් තිස්සේ ඔහුගේ දේශපාලන සහය ප්‍රසිද්ධියේ කිරීමෙන් වැළකී සිටි නමුත් 2024 දී ට්‍රම්ප්ගේ ඉහළම මූල්‍ය ආධාරකරුවන්ගෙන් කෙනෙකු බවට පත් විය. ඔහුගේ නැවත තේරී පත්වීමේ මැතිවරණයට මස්ක් මිලියන සිය ගණනක් වියදම් කරමින් දායක වූ අතර ප්‍රාන්තවල පැවති ප්‍රධාන උත්සවවලදී ට්‍රම්ප් සමග පෙනී සිටියේ ය.
නව තාක්ෂණය අනුගමනය කිරීමෙන් රජය, කුඩා සහ වඩාත් ඵලදායී හා කාර්යක්ෂම බවට පත් කළ හැකි බව ඔහු පවසා තිබේ.

විවේක් රාමස්වාමි, රජයේ කාර්යක්ෂමතාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"එෆ්.බී.අයි. ප්‍රතිසංස්කරණය කරන්න බැහැ. එය වසා දැමිය යුතු යි. ජනාධිපතිට ඒක කරන්න පුළුවන්. මම ඒක කරනවා."
ඉන්දියානු-ඇමෙරිකානු ධනපතියෙකු වන රාමස්වාමි, ජෛව තාක්ෂණ ව්‍යවසායකයෙකු ලෙස සාර්ථක වීමෙන් අනතුරුව වත්කම් කළමනාකරණ සමාගමක් ආරම්භ කළේ ය.
ඔහු 2024 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළේ, ට්‍රම්ප්ගේ "ඇමරිකාව පළමුව" ප්‍රතිපත්තිය දිගට ම පවත්වාගෙන යන බවට පොරොන්දු වෙමිනි.
මාස කිහිපයක් තිස්සේ, පක්ෂය තුළ ඔහුගේ ජනප්‍රියත්වය වර්ධනය වූ අතර, ඔහු ට්‍රම්ප් මග හැරිය ජනාධිපති විවාදවල කැපී පෙනෙන චරිතයක් වෙමින් මාධ්‍ය අවධානය දිනාගත්තේ ය.
ඔහු අවසානයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා අපේක්ෂකත්වයෙන් ඉවත්වූ නමුත් ඒ වන විටත් ඔහුගේ සම්මත නොවූ ප්‍රචාරණ ක්‍රමෝපායන් සහ කුමන්ත්‍රණ න්‍යායන් කෙරෙහි අවධානය යොමු වී තිබිණි. 2020 මැතිවරණ ජය, තාක්ෂණය විසින් ට්‍රම්ප්ගෙන් උදුරා ගනු ලැබූ බවත්, 2021 කැපිටල් ගොඩනැගිල්ලේ කලබලකාරී වාතාවරණය "අභ්‍යන්තර වැඩක්" බවත් ප්‍රකාශ කිරීම ආදිය එයට ඇතුළත් විය.
ඔහු ෆෙඩරල් රජයෙන් ප්‍රබල කප්පාදුවක් ඉල්ලා ඇති අතර, සමූහ වෙඩි තැබීම් සහ සමස්ත ආයතන සහ දෙපාර්තමේන්තු තුරන් කිරීම් ද ඔහුගේ ඉල්ලීම්වලට ඇතුළත් වේ.

විශ්ලේෂණය: මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබලයන් සවිබල ගැන්වීම
මෙම පත්කිරීම් මගින් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට මස්ක්ගෙන් සහ රාමස්වාමිගෙන් ලද සහය අගය කර තිබේ. කෙසේ වෙතත්, දෙපාර්තමේන්තුව නිල ආයතනයක් නොවන අතර එය අර්ධ වශයෙන් කොංග්‍රසය විසින් පාලනය කරනු ලබන නිසා, ඔවුන්ට ලැබෙන්නේ වියදම් පිළිබඳ උපදෙස් පමණක් ලබා දීමට පමණකි. එබැවින් ඔවුන්ට කොපමණ බලයක් ලැබෙනු ඇත්දැයි සලකා බැලිය යුතුව තිබේ. දැඩි කප්පාදු කිරීම් මධ්‍යයේ වුවද, සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය වියදම් කප්පාදු නොකිරීමේ ට්‍රම්ප්ගේ පොරොන්දු හා ඔවුන් ගැටීමට ද ඉඩ තිබේ.

සියලු වෙනස්කම්: අභියෝග කරන්නන්
ට්‍රම්ප් ලබා දුන් මෙම පත්වීම් අතරේ වර්තමාන තත්ත්වයන්ට අභියෝග කිරීමේ අරමුණින් ලබා දුන් භූමිකාවන් ද තිබේ.
නව ජනාධිපතිවරයා ඔවුන් අධීක්ෂණය කරනු ලබන ක්ෂේත්‍රවල විශේෂිත ගැටලු ඉලක්ක කර තිබේ. ඒ අතර සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව කෙනඩි වෙතටත් ජාතික බුද්ධි අධ්‍යක්ෂක ලෙස ගබාර්ඩ් පත් කිරීම් ද විශේෂ ය.

රොබර්ට් එෆ්. කෙනඩි, සෞඛ්‍ය සහ මානව සේවා
"කෘත්‍රිම ලෙස සැකසූ ආහාර, තරබාරුකමට හේතු වී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණි විට සහ මම වොෂින්ටනයට ගිය විට, අපි අපගේ විකෘති වුණු ආහාර පුරුදු නිවැරදි කර ඇමෙරිකාව නැවත නිරෝගී කරනවා."
ට්‍රම්ප්ගේ මෙම තේරීම, දිගු කාලීන නීතිඥයෙකු සහ පරිසරවේදියෙකු වන අතර ප්‍රසිද්ධ ම ඩිමොක්‍රටික් පවුලේ සාමාජිකයෙකි.
ඔහුට වෛද්‍ය ක්ෂේත්‍රයේ සුදුසුකම් නොමැති වුව ද, විදේශයන්ගෙන් එන එන්නත් අනුමත කිරීම් අධීක්ෂණය කිරීම් ඇතුළුව එක්සත් ජනපද ෆෙඩ්රල් සෞඛ්‍ය ආයතනවල පුළුල් බලයක් තිබේ.
කෙනඩිගේ ප්‍රකාශිත අරමුණුවලින් සමහරක්, (උදාහරණයක් ලෙස ජලයට ෆ්ලෝරයිඩ් එකතු කිරීම වැනි) වැරදි තොරතුරු මත පදනම් වී තිබේ.
ආහාර සැපයුම් පද්ධති පරීක්ෂා කිරීම සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිතය වැනි කරුණුවලදී ඔහුට වැඩි මහජන සහයෝගයක් ඇත.
කෙනඩි මුලින් 2024 ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටි අතර පසුව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසට තරග බිමට පිවිසියේ ය.
අවසානයේදී ඔහු ජනපති ධූරය සඳහා තරග කිරීම අතහැර, කිසිවෙකු අනුමාන නොකළ පරිද්දෙන් හිටපු ජනාධිපතිවරයාට සහය පළ කළ අතර, සෙනෙට් සභාව තහවුරු කළහොත්, ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන තනතුරක් ලබා ගත හැකි වනු ඇත.

තුල්සි ගැබාර්ඩ්, ජාතික බුද්ධි සේවය
"ට්‍රම්ප් අපේ නායකයාගෙන් අප බලාපොරොත්තු වන ධෛර්යය ඔහු තුළ තිබෙනවා. සාමය හඹා යාමේදී විරුද්ධවාදීන්, ඒකාධිපතියන්, සහචරයින් සහ හවුල්කරුවන් සමග සමානව ගනුදෙනු කිරීමට තරම් ඔහු නිර්භීත බව පෙන්නුම් කළා. ඔහු යුද්ධය සලකන්නේ අවසාන විකල්පය ලෙසට යි."
හමුදා ප්‍රවීණයෙකු ලෙස ඉරාකයේ වෛද්‍ය ඒකකයක සේවය කර ඇති ගැබාර්ඩ් ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට දිගින් දිගට ම විරුද්ධ විය.
2017 දී ඩිමොක්‍රටික් කොංග්‍රස් මන්ත්‍රීවරියක ලෙස සේවය කරමින් සිටියදී, ගැබාර්ඩ්, සිරියාවේ එවකට ජනාධිපති වූ බෂාර් අල් අසාද් හමුවී මාරාන්තික රසායනික අවි භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කරමින් පළවූ එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තා පිළිබඳව සැක පළ කළා ය.
ඉන් වසර පහකට පසු රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, ගැබාර්ඩ් නේටෝවට දොස් පැවරූ අතර එක්සත් ජනපද අරමුදල් සහිත ජෛව විද්‍යාගාර යුක්රේනයේ ඇති බවට ක්‍රෙම්ලිනය විසින් එල්ල කරන යෝජනා පුනරාවර්තනය කළා ය.
බර්නි සැන්ඩර්ස්ගේ වාමාංශික ආධාරකාරියකව සිට ට්‍රම්ප් වෙනුවෙන් හඬ නගන නීතිඥයෙකු බවට මාරුවීම දක්වා ඇය පැමිණ ඇත්තේ අසාමාන්‍ය දේශපාලන ගමනකි.
කෙසේ වෙතත්, ඇගේ සංස්ථාපිත විරෝධී සහ මැදිහත්වීම් විරෝධී අදහස් මුළු කාලය පුරා ම නොවෙනස්ව පැවතිණි.

විශ්ලේෂණය: නිර්භය විවේචකයන්ව භාවිතා කිරීම
කෙනඩි සහ ගැබාර්ඩ්, නිලධාරිවාදය ඉවත් කිරීමේ ට්‍රම්ප්ගේ සැලැස්මේ වඩාත් ම අධිෂ්ඨානශීලී ආධාරකරුවන් විය හැක. මේ දෙදෙනා ම කුමන්ත්‍රණ න්‍යායයන් පිළිගන්නන් ලෙස ප්‍රකට ය. කෙසේ වෙතත්, මේ දෙදෙනා පාලනය කිරීම අපහසු කටයුත්තක් වීමට ඉඩ තිබේ. කෙනඩි හට ගොවිතැන් කර්මාන්ත පිළිබඳ දැඩි රෙගුලාසි පැනවීමේ අවශ්‍යතාවයක් ඇති අතර එය ට්‍රම්ප්ගේ රජයේ පිරිස අඩු කිරීමේ ඉලක්කය සමඟ ගැටිය හැකිය. එමෙන්ම ඇමරිකානු බලය පිළිබඳ ප්‍රබල විවේචකයෙකු වන ගැබාර්ඩ්, ඉරානයට එරෙහි ක්‍රියාමාර්ග වැනි ක්‍රියාමාර්ග ගන්නා ජනාධිපතිවරයෙකු වෙනුවෙන් කටයුතු කරනු ඇත.

ආර්ථිකය: බදු ක්‍රියාත්මක කරන්නන්
ප්‍රධාන නිලධාරීන් ඇමරිකානු රැකියා ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් ට්‍රම්ප් බලාත්මක කිරීමට යන වෙළෙඳ හා තීරුබදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට නායකත්වය දෙනු ඇත.
චීනය, කැනඩාව සහ මෙක්සිකෝව වැනි ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ට ද ඇතුළුව එක්සත් ජනපදයට පැමිණෙන භාණ්ඩ සඳහා ට්‍රම්ප් පනවන බවට පවසා ඇති ආනයන බදු බලාත්මක කිරීම ඔවුන්ට පැවරිය හැකි ය.

හවර්ඩ් ලුට්නික්, වාණිජ ලේකම්
"එය අපිට වාසිසහගත යි. අපිට තීරු බදුවලින් විශාල ආදායමක් උපයා ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන්, අනෙක් අය අප සමග සාකච්ඡා කරනු ඇත."
ලුට්නික් යනු 9/11 ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයෙන් සිය සේවකයින් 658 ක් අහිමි වීමෙන් පසු ඔහු විසින් නැවත ගොඩනඟන ලද මූල්‍ය සමාගම වන කැන්ටර් ෆිට්ස්ජෙරල්ඩ් හි බිලියනපති ප්‍රධාන විධායක නිලධාරියා ය.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වූ ලුට්නික්, අන්තර්වාර කණ්ඩායමේ සම-සභාපති ලෙස පත් වූ අතර එහිදී ඔහු නව පරිපාලනයේ තනතුරු දහස් ගණනක් පිරවීමට උපකාරී වනු ඇත.
ඔහු වාණිජ කටයුතු ලේකම්වරයා ලෙසඩ් ට්‍රම්ප් විසින් තෝරාගෙන තිබේ.
ට්‍රම්ප්ගේ ආර්ථික සැලසුම්වලට දැඩි ලෙස සහාය දී ඇති ඔහු, පුළුල් තීරුබදු පැනවීම, ක්‍රිප්ටෝ මුදල් නියාමනය කිරීම සහ ආදායම් බදු ඉවත් කිරීම ඇතුළුව වාණිජ දෙපාර්තමේන්තුවේ තීරණ බලාත්මක කරනු ඇත.
මෙම අදහස් සඳහා ඔහු සහයෝගය ලබා දීම ගැන, ඔහුගේ කර්මාන්තයේ බොහෝ දෙනෙකුගේ අකමැත්ත හිමි වී තිබේ. ඔහු ද මේ වන විට සහය දීමට එකඟ වී ඇති තීරුබදු, ඇමරිකාවේ වාණිජ සමාජයට හානිකර ලෙස සැලකේ.

ස්කොට් බෙසන්ට්ස්, භාණ්ඩාගාර ලේකම්
"ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් මෙන්ම, ඇමරිකානු පවුල් සහ ව්‍යාපාර දියුණු කිරීම වෙනුවෙන් තීරුබදු බලය භාවිතා කිරීමට අප බිය නොවිය යුතුයි"
බෙසෙන්ට් ද අත්දැකීම් බහුල මූල්‍යකරුවෙකු වන අතර ඔහුගේ පත්වීම වෝල් ස්ට්‍රීට්හි බොහෝ දෙනා සැලකුවේ ආරක්ෂිත පත් කිරීමක් ලෙසට ය.
ක්‍රියාකාරී ඩිමොක්‍රටික් මැතිවරණ දායකයෙකු වන බිලියනපති ජෝර්ජ් සොරෝස් සමඟ වැඩ කිරීම ආදියෙහි ඔලු ලබා ඇති පුළුල් පරාසයක අත්දැකීම්, භාණ්ඩාගාර ලේකම්ගේ පුළුල් කාර්යභාරය සඳහා ඔහුට අවශ්‍ය ප්‍රමාණයට සුදුසුකම් ලබා දී තිබේ.
බෙසෙන්ට් දැන් කොන්සර්වේටිව් කඳවුරේ ප්‍රතිපත්ති සමඟ හොඳින් එකඟ වී ඇති අතර, අයවැය කප්පාදුවට, නියාමනයට සහ එක්සත් ජනපදයේ තෙල් නිෂ්පාදනය සඳහා ආයෝජන වැඩි කිරීමට සහාය දක්වයි.
ආනයන මත නව තීරුබදු සඳහා ට්‍රම්ප් කර ඇති යෝජනාවලට ඔහු ද සහය දක්වයි. ලුට්නික් මෙන්ම ඔහු ද විශ්වාස කරන්නේ ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම යෝජනා කර ඇත්තේ මූලික වශයෙන්ම සාකච්ඡා කිරීමේ මෙවලමක් ලෙස විනා එක්සත් ජනපද ආදායමේ ස්ථිර ප්‍රභවයක් ලෙස නොවන බවයි.

විශ්ලේෂණය: ට්‍රම්ප්ගේ කේවල් කිරීමේ ප්‍රවීණයා
ආර්ථික උපාය මාර්ගයක් ලෙස සහ විවිධ ගැටලු සම්බන්ධයෙන් රටවල්වලට බලපෑම් කිරීමේ මෙවලමක් ලෙස ට්‍රම්ප් දිගින් දිගට ම තීරුබදුවලට ඇති කැමැත්ත පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ මෙම සැලසුම්, ශක්තිමත් කොටස් වෙළෙඳපොළක් පවත්වා ගැනීම සහ උද්ධමනය අඩු කිරීම ආදී ඔහුගේ අනෙකුත් අභිලාසයන් සමග ගැටේ. ට්‍රම්ප්ගේ ආර්ථික කණ්ඩායම ඔහුගේ පරිපාලනයේ වඩාත් ම පළපුරුදු සාමාජිකයින්ගෙන් සමන්විත ය. ඔවුන් ඔහුගේ අදහස්වලට පක්ෂපාතී වුවත්, ඔවුන් පැමිණි විවිධ මධ්‍යස්ථ පසුබිම් වෙළෙඳපළ සුරක්ෂිත වන බවට සහතික කර තිබේ. ට්‍රම්ප් වෝල් ස්ට්‍රීට්හි මතයට ලබා දී ඇති වැදගත්කම සහ ඔහුගේ පරස්පර විරෝධී ආර්ථික අරමුණු සමතුලිත කිරීමේදී ඔහුගේ කණ්ඩායම ක්‍රියා කළ යුතු සියුම් ආකාරය යන දෙක ම මෙයින් පිළිබිඹු වේ.

ස්තුතිය
සටහන: ඇන්තනි සර්චර්, ලෝරා බ්ලේසි, ජේම්ස් ෆිට්ස්ජෙරල්ඩ්, ටොම් ජෝඝිගන්, බර්න්ඩ් ඩෙබ්‍යුස්මන්, නටාලී ෂර්මන්, ටොම් බේට්මන් සහ මයික් වෙන්ඩ්ලිං.
සැකසුම: ඔලිව්ර් බොත්වෙල්, ෆ්‍රංෂුවා මොන්ට්‍රිමි සහ ජෙනී ලෝ.
නිෂ්පාදනය සහ සංස්කරණය: ටොම් ෆින්, පෝල් සාර්ජන්ට් සහ ඩොමිනික් බේලි.
ඡායාරූප: Getty














