ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව: දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සිට ධවල මන්දිරය දක්වා

Donold trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇමෙරිකානු ජනාධිපති ධූරයට අඛණ්ඩව තෙවරක් තරග කිරීමට පෙර දීර්ඝ කාලයකට ඉහතදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ වඩාත් ආකර්ෂණීය ම බිලියනපතියා විය.

2015 - 2016 නොසිතූ විරූ ධවල මන්දිර තරගය දක්වා ගත වූ නිව් යෝර්ක් දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයාගේ ජීවිතය දශක කිහිපයක් ටැබ්ලොයිඩ් පත්තර සහ රූපවාහිනිය අතර ගෙවී ගියේ ය.

ඔහුගේ පවුල් නාමය සහ ඍජු ප්‍රචාරණ ආකෘතිය පළපුරුදු දේශපාලනඥයන් පරාජය කිරීමට සහය වූ නමුත්, මතභේදයන්ගෙන් පිරී ගිය නිල කාලය, ඔහුව තනි වාරයකට පසුව කාර්යාලයෙන් ඉවතට ඇද දැමුවේ ය.

මේ වන විට, වයස 78ක පසු වන රිපබ්ලිකන් සාමාජිකයා යළිත් වරක් ජනාධිපති ධූරයට පත්ව සිටී.

උරුමක්කාරයා

Donald trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1971 දී පවුලේ ව්‍යාපාර ඔහු අතට පත්විය.

ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව් යෝර්ක්හි දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ සිව් වන දරුවා ය.

ධනවත් පවුලක් වුව ද, ඔහුට සිය පියාගේ සමාගම තුළ පහළ මට්ටමේ රැකියාවක් කිරීමට සිදුවූ අතර, පාසලේදී නරක ලෙස හැසිරීම නිසා වයස අවුරුදු 13 දී ඔහුව මිලිටරි පාසලකට ඇතුළත් කරන ලදී.

ඔහු පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වර්ටන් පාසලෙන් උපාධියක් ලබා ගැනීමෙන් පසු, ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ෆ්‍රෙඩ් ගුවන් නියමු වෘත්තිය තෝරාගත් හෙයින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පියාගේ අනුප්‍රාප්තිකයා වීමට කැමති විය.

ෆ්‍රෙඩ් ට්‍රම්ප් අධික ඇල්කොහොල් භාවිතය නිසා වයස අවුරුදු 43දී මිය ගිය අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, සිය ජීවිත කාලය පුරාවට ම ඇල්කොහොල් සහ සිගරට් භාවිතයෙන් වැළකීමට එය හේතු වූ බව ය.

Donald trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහු සමාගමේ කේන්ද්‍රස්ථානය බෲක්ලින් සහ ක්වීන්ස් සිට ආකර්ෂණීය මැන්හැට්න් වෙත මාරු කළේ ය.

ට්‍රම්ප් පවසන්නේ, ඔහුගේ පියාගේ සමාගමට එක් වීමට පෙර දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට පිවිසීම සඳහා සිය පියාගෙන් ඩොලර් මිලියනයක 'පුංචි' ණයක් ලබා ගත් බව ය.

ඔහු නිව් යෝර්ක් නගරයේ සිය පියාගේ දැවැන්ත නිවාස ව්‍යාපෘතිවල පුළුල් ආයෝජනයන් කළමනාකරණයට සහය වූ අතර, 1971 දී ඔහු 'Trump Organization' ලෙස සමාගමේ නම වෙනස් කර ඔහු යටතට ගත්තේ ය.

ට්‍රම්ප් විසින් "මගේ ආදර්ශය" ලෙස හඳුන්වන ඔහුගේ පියා 1999 දී මිය ගියේ ය.

සන්නාමය

Donald trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රසිද්ධ සහ මාධ්‍ය ඔස්සේ ගොඩනැගුණු පෙනුම ඔහුගේ ව්‍යාපාර අධිරාජ්‍යය සමග පුළුල් විය.

ට්‍රම්ප් යටතේ ඔහුගේ පවුලේ ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය බෲක්ලින් හා ක්වීන්ස්හි නිවාස ඒකකවල සිට ආකර්ෂණීය මැන්හැට්න් ව්‍යාපෘති දක්වා මාරු විය.

මතභේදයට තුඩු දුන් සුප්‍රසිද්ධ ට්‍රම්ප් කුලුන වසර ගණනාවක් ඔහුගේ නිවහන වී තිබිණි. කොමඩෝර් හෝටලය පසුව ග්‍රෑන්ඩ් හයට් ලෙස නැවත ගොඩනැගීය.

ට්‍රම්ප්ගේ සන්නාමය සහිත වෙනත් වත්කම් වන කැසිනෝ, අයිතිය බෙදාගෙන ඇති දේපළ වෙළඳාම් ව්‍යාපාරය, ගොල්ෆ් පිටි සහ හෝටල්, අත්ලාන්තික් නගරය, චිකාගෝ සහ ලාස් වේගාස් සිට ඉන්දියාව, තුර්කිය සහ පිලිපීනය දක්වා ඉදි කර තිබේ.

පළමුව Miss Universe, Miss USA සහ Miss Teen USA රූපලාවණ්‍ය තරගවල හිමි කරු ලෙසත්, පසුව NBC රූපවාහිනී සේවයේ රියැලිටි වැඩසටහනක් වන The Apprentice හි ආරම්භක ඉදිරිපත් කරන්නා ලෙසත් විනෝදාස්වාද ලෝකය තුළ ඔහුගේ තරුමය තත්ත්වය වර්ධනය වීම අඛණ්ඩව සිදුවිය.

Donald trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහුගේ දරුවන් ද සහභාගි වූ රියැලිටි වැඩසටහනක් වන The Apprentice හි අදියර 14ක වැඩසටහන ඉදිරිපත් කරන්නා වූයේ, ඔහු ය.

අදියර 14ක් පුරා, Apprentice තරගකරුවන් ඔහුගේ ව්‍යාපාර අධිරාජ්‍යයේ කළමනාකරණ රැකියා සඳහා තරග කළ නිසා ඔහුගේ වෙළෙඳ ලකුණ වූ "You're fired!" යන්න "the Donald" ගෘහස්ත නාමයක් බවට පත් කළේ ය.

ට්‍රම්ප් පොත් කිහිපයක් ලියා, චිත්‍රපට සහ මල්ලවපොර වැඩසටහන්වල පෙනී සිට ඇති අතර, බීම වර්ගවල සිට ටයි පටි දක්වා සියලු ම දේ අලෙවි කර ඇත. නමුත් මෑත වසරවල ඔහුගේ ශුද්ධ වටිනාකම් පහත වැටී ඇති අතර, ෆෝබ්ස් ඔහු සතු වත්කම් ඇස්තමේන්තු කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න බවට යි.

ට්‍රම්ප් වෙනස් අවස්ථා හයකදී Trump Steaks සහ Trump University ඇතුළු ව්‍යාපාර කඩාවැටීම්වලට මුහුණ දී තිබේ.

ඔහු ඔහුගේ බදු පිළිබඳ තොරතුරු වසන් කර ඇති අතර, 2020 නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවකින් වසර ගණනක ආදායම් බදු පැහැර හැරීම් සහ දීර්ඝ කාලීන මූල්‍ය පාඩු සම්බන්ධයෙන් හෙළිදරව් කළේ ය.

පවුල

Donald trump and Ivana

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉවානා සෙල්නිකෝවා සහ ට්‍රම්ප් අතර විවාහය සහ දික්කසාදය දැඩි මහජන උනන්දුවකට හේතු විය.

ට්‍රම්ප්ගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරුවලට පුළුල් ප්‍රචාරයක් හිමි විය.

ඔහුගේ පළමු සහ විවාදයට තුඩු දෙන ආකාරයෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූ බිරිඳ වූයේ, චෙක් ජනරජයේ මලල ක්‍රීඩිකාවක සහ නිරූපණ ශිල්පිනියක වූ ඉවානා සෙල්නිකෝවා ය. 1990 ඔවුන්ගේ දික්කාසදයට පෙර ඔවුන්ට ඩොනල්ඩ් ජූනියර්, ඉවන්කා සහ එරික් ලෙස දරුවන් තිදෙනෙක් වූහ.

ඔවුන්ගේ දුෂ්කර අධිකරණ සටන සහ ට්‍රම්ප් පිළිබඳ නව චිත්‍රපටයකට පාදක වූ, අභාවප්‍රාප්ත ට්‍රම්ප් මහත්මියට එල්ල වූ ගෘහස්ත හිංසන චෝදනා ඕපාදූප තීරුවල පළ විය.

ඔවුන්ගේ එක ම දරුවා වූ ටිෆනිගේ උපතෙන් මාස දෙකකට පසු ඔහු 1993 දී මාර්ලා මේපල්ස් නමැති රංගන ශිල්පිනියක විවාහ කර ගත් අතර, ඔවුහු 1999 දී දික්කසාද වූහ.

Donald trump and family

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහු වත්මන් බිරිඳ මෙලානියා ට්‍රම්ප් සමග වයස අවුරුදු 18ක පුත්‍රයෙකු බෙදා ගනියි.

ට්‍රම්ප්ගේ වත්මන් බිරිඳ හිටපු ස්ලෝවේනියානු නිරූපණ ශිල්පිනියක වන මෙලානියා නාස් ය. ඔවුහු 2005 දී විවාහ වූ අතර, ඔවුන්ට මෑතකදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුතෙකු සිටියි.

ලිංගික විෂමාචාර සහ අසම්මත සබඳතා පිළිබඳව දේශපාලඥ ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කර තිබේ.

මෙම වසර මුලදී, ට්‍රම්ප්, ලේඛිකාවක වන ඊ. ජීන් කැරොල් එල්ල කළ ලිංගික හිංසන පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඇයව අපකීර්තියට පත් කර ඇති බවට වෙනස් ජූරි සභා දෙකකින් තීන්දු කළේ ය. ඩොලර් මිලියන 88ක් ගෙවීමට ඔහුට නියෝග කර ඇති නමුත් [ඔහු] අභියායචන ඉදිරිපත් කර තිබේ.

2006 දී සිදු කළේ යැයි පැවසෙන අසම්මත හමුවක් සම්බන්ධයෙන් වැඩිහිටි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල්ස් සමග ඇති කර ගත් රහස් මුදල් ගනුදෙනුව වසන් කිරීමට ව්‍යාජ ව්‍යාපාරික වාර්තා සකස් කිරීම සම්බන්ධයෙන් ද ට්‍රම්ප් අපරාධ චෝදනා 34කට වරදකරු විය.

අපේක්ෂකයා

1980 පැවති සම්මුඛ සාකච්ඡාවකදී 34 හැවිරිදි ට්‍රම්ප් දේශපාලනය "පහත් ජීවිතයක්" ලෙස හැඳින්වූ අතර, "වඩාත් දක්ෂ පුද්ගලයන්" ඒ වෙනුවට ව්‍යපාරික ලෝකය තෝරා ගන්නා බව පැවසීය.

1987 වන විට, ඔහු ජනාධිපති අපේක්ෂක්ෂකත්වයක් වෙනුවෙන් වෙහෙසෙමින් සිටියේ ය. ඔහු රිෆෝම් පක්ෂය සමග 2000 දී තරගයට ඒමට උත්සහ කළ අතර, නැවත 2012 දී රිපබ්ලිකන් පක්ෂය සමග තරගයට පිවිසියේ ය.

බරැක් ඔබාමා ඇමෙරිකාවේ උපත ලැබුවේ ද යන්න ප්‍රශ්න කරන කූට "උත්පත්තිවාදී" න්‍යායේ ප්‍රධාන වාචික යෝජකයන් අතර ට්‍රම්ප් සිටියේ ය. ඔහු 2016 වන තෙක් එය බොරුවක් බවට පිළි නොගත් අතර, කිසි විටෙකත් සමාව ඉල්ලුවේ නැත.

It all started with a ride down the golden escalator at Trump Tower

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සියල්ල ආරම්භ වූයේ ට්‍රම්ප් ටවර්හි රන්වන් විදුලි සෝපානයකින් පහළට බැසීමත් සමග ය

ඇමෙරිකානු සිහිනය මිය ගිය නමුත් "එය නැවතත් වඩාත් විශාලව සහ හොඳින් සැබෑ කිරීමට," පොරොන්දු වෙමින් නිල වශයෙන් ධවල මන්දිරය සඳහා තරග කරන බවට 2015 ජූනි මාසය වන තුරු නිවේදනය කළේ නැත.

ධනය සහ ව්‍යපාරික සාර්ථකත්වය පිළිබඳව ඔහු පුරසාරම් කී අතර, හිතට එන ඕනෑ ම දෙයක් කියන ආකාරයේ පුද්ගලයෙකු වූ ඔහු ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය, අපරාධ සහ දූෂකයන් එවීම සම්බන්ධයෙන් මෙක්සිකෝවට චෝදනා කර, දේශසීමා තාප්පයක් කෙරෙහි රටේ අවධානය යොමු කිරීමට පොරොන්දු විය.

විවාද වේදිකාවේ ආධිපත්‍යය තහවුරු කර ගැනීම සහ මතභේදාත්මක ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම හරහා ආධාරකරුවන්, උග්‍ර විවේචකයන් සහ මාධ්‍යවල අවධානය ද ආකර්ෂණය කර ගැනීමට සමත් විය.

Donald trump on the debate stage

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2015-16 රිපබ්ලිකන් අපේක්ෂකයා තෝරන මූලික වටයේදී ඔහු ඉහළින් ම සිටියේ ය

"නැවතත් ඇමෙරිකාව විශිෂ්ටත්වයට පත් කිරීමේ," ප්‍රචාරණ පාඨය යටතේ, ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්ට මුහුණ දීම සඳහා රිපබ්ලිකන් පක්ෂයේ පැරණි ප්‍රතිවාදීන්ව පහසුවෙන් පරාජය කළේ ය.

ලිංගික අපයෝජනයක් ගැන පුරසාරම් දොඩවන හඬ පටයක් පිටවීමක් සහ ඔහු මහ මැතිවරණය පුරා මත විමසුම්වලින් පහළට යාම නිසා මෙම ආධුනික ප්‍රචාරණ ව්‍යාපාරය විනාශ විය.

නමුත් අත්දැකීම් බහුල දේශපාලනඥයෙකුට එරෙහිව ඔහුගේ විස්මිත ජයග්‍රහණය සමග ඔහු විද්වතුන්ට සහ ජනමත විමසන්නන්ට එරෙහිව අවසන් සිනහව පෑවේ ය. ඔහු 2017 ජනවාරි 20 වන දා රටේ 45වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

ජනාධිපතිවරයා

නිතර ම Twitter (දැන් X) හි නිල නිවේදන පළ කරමින් සහ විදේශීය නායකයන් සමග විවෘතව ගැටෙමින්, මුල් පැයවල සිට ම ඔහු සම කළ නොහැකි නාට්‍ය රූපී බවත් රැකියාව වෙත ගෙන ආවේ ය.

The Trump presidency was an uncertain time for US allies

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලය ඇමෙරිකාවට මිත්‍ර රටවලට අවිනිශ්චිත කාලයක් විය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ප්‍රධාන දේශගුණ සහ වෙළෙඳ ගිවිසුම්වලින් ඉවත් වී, මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් සිටින රටවල් 5කට [එක්සත් ජනපදයට] සංචාරය තහනම් කර, වෙනත් දැඩි සංක්‍රමණ නීති පනවා, චීනය සමග වෙළෙඳ යුද්ධයක් දියත් කර, වාර්තාගත බදු කපා හැරීම් ක්‍රියාත්මක කර මැද පෙරදිග සම්බන්ධතා නැවත හැඩගැස්වීමට ඔහු කටයුතු කළේ ය.

2016 ට්‍රම්ප් ප්‍රචාරණ ව්‍යාපාරය සහ රුසියාව අතර ඇති වූයේ යැයි චෝදනා කරන ගැටුම පිළිබඳ ව, වසර දෙකකට ආසන්න කාලයක් විශේෂ නීතීඥයෙක් විභාග කළේ ය. පරිගණක හැක් කිරීම සහ මූල්‍ය අපරාධ වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනෙකු අපරාද චෝදනාවලට මුහුණ දුන් නමුත් ට්‍රම්ප් ඒවාට මුහුණ දුන්නේ නැත.

ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා, ජෝ බයිඩ්න්ට එරෙහිව මඩ ගැසීමට විදෙස් ආණ්ඩුවකට බල කළේ යැයි චෝදනා මත, දෝෂාභියෝගයක් එල්ල වූ ඇමෙරිකා ඉතිහාසයේ තුන්වන ජනාධිපතිවරයා බවට පත් විය. ඩිමොක්‍රටික් පක්ෂය මෙහෙය වූ නියෝජිත මණ්ඩලය විසින් ඔහුව දෝෂාභියෝගයට ලක් කළ නමුත්, රිපබ්ලිකන් විසින් මෙහෙය වූ සෙනට් සභාව ඔහුව එයින් නිදහස් කළේ ය.

ඔහුගේ 2020 මැතිවරණ වසරේදී, කොරෝනාවෛරස් වසංගතය ආධිපත්‍ය්‍ය දැරීය

ශරීරයට විෂබීජ නාශක දියර එන්නත් කර වෛරසයට ප්‍රතිකාර කළ හැකි දැයි පර්යේෂණ සිදු කිරීමට යෝජනා කිරීම වැනි, මරණ, ආසාදන සහ විවාදාත්මක අදහස් සඳහා එක්සත් ජනපදය මෙහෙයවමින් සිදු කළ ඔහුගේ අර්බුද හැසිරවීම සම්බන්ධයෙන් තියුණු විවේචනයන්ට මුහුණ දුන්නේ ය.

ඔහුට කොවිඩ්-19 වැළඳීමෙන් පසුව ඔක්තෝබර් මාසයේදී ඔහුට මැතිවරණ ප්‍රචාරණයෙන් විවේක ගැනීමට බල කෙරිණි.

බලයේ සිටි වෙනත් ඕනෑ ම ජනාධිපතිවරයෙකුට වඩා ඔහු අවසානයේ ඡන්ද මිලියන 74ක් හිමි කර ගත් නමුත්, ඔහු ඡන්ද මිලියන 7කින් බයිඩ්න්ට පරාජය විය.

2020 නොවැම්බර් සිට 2021 ජනවාරි දක්වා, අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණු නඩු 60කටත් පවරමින්, ඡන්ද සොරකම් සහ පුළුල් ලෙස පැතිරුණු මැතිවරණ වංචා ගැන ඔහු විස්තර කළේ ය.

ප්‍රතිඵල භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින්, බයිඩ්න්ගේ ජයග්‍රහණය නිල වශයෙන් කොංග්‍රසය විසින් තහවුරු කළ යුතු බවට පවසමින් ඔවුන්ට අගනුවර වෙත එක් රැස්වෙන ලෙස බල කරමින් ට්‍රම්ප් ජනවාරි 06 දා ඔහුට සහය දක්වන්නන් වොෂිංටන් වෙත කැඳවූයේ ය.

නීති සම්පාදකයන් සහ ඔහුගේ ම උපසභාපති අනතුරේ හෙළන දෝෂාභියෝගයකට තුඩු දුන් එම රැළිය කෝලාහලයක් දක්වා දුරදිග ගියේ ය. ට්‍රම්ප්ව සෙනට් සභාව විසින් නැවතත් නිදොස් කොට නිදහස් කළේ ය.

එදින ඔහුගේ ක්‍රියාවන් දැන් අපරාධ නඩු දෙකකට මූලික වී තිබේ.

පුනරාගමනය

කැපිටල් ගොඩනැගිල්ලෙහි ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසුව ට්‍රම්ප්ගේ දේශපාලන ගමන මිය ගියා වැනි විය. අරමුදල් ලබා දෙන්නන් සහ පාක්ෂිකයන් නැවත කිසි විටෙකත් ඔහුට සහය ලබා නොදෙන බවට අදහස් පළ කළ අතර, ඔහුගේ සමීපතමයෝ පවා ප්‍රසිද්ධියේ ඔහුට විරෝධය පළ කළ හ.

ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ සමාරම්භක උත්සවය මග හැර ඔහු පවුල සමග ෆ්ලොරීඩා වෙත ගිය නමුත්, තවමත් ඔහුගේ පසුපසින් සිටින රසික හමුදාවක් සමග රිපබ්ලිකන් පක්ෂය මත විශාල බලයක් තහවුරු කළේ ය.

ඇතැම්විට ඔහුගේ ජනාධිපති ධූරයේ වඩාත් ම කල් පවත්නා උරුමය පැමිණියේ ඔහුගේ ධූර කාලය අවසන් වී, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කළ දක්ෂිණාංශික විනිසුරුවරුන් තිදෙනා විසින් වසර 50කට ආසන්න ජාතික ගබ්සා අයිතිවාසිකම් අවසන් කිරීම තහවුරු වූ විට ය.

2022 මධ්‍ය වාර මැතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ දුර්වල පුනරාගමනයක් කෙරෙහි දොස් පවරනවා වෙනුවට, ට්‍රම්ප් නිවේදනය කළේ, ජනාධිපතිවරණයට නැවත වරක් තරග කිරීම සහ වැඩි කලක් නොගොස් ඔහු පක්ෂයේ ප්‍රමුඛයෙකු වන බව ය.

ඔහුගේ හිටපු උපජනාධිපති ඇතුළුව ප්‍රතිවාදීන් ඔහුට අභියෝග කළ නමුත්, ට්‍රම්ප් විවාද වේදිකා මග හරිමින් බයිඩ්න්ට එරෙහි සිය ප්‍රහාර සැලසුම් කළේ ය.

ට්‍රම්ප් මහ මැතිවරණයට පිවිසෙන විට අපරාධ නඩු හතරක අපරාධ චෝදනා 91කට මුහුණ දෙමින් සිටි නමුත්, නඩු කල් දමා ගැනීමේ ඔහුගේ උපාය මාර්ගය බොහෝ දුරට සාර්ථක වී තිබේ.

පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති ප්‍රචාරණ රැලියකදී ට්‍රම්ප් ඝාතනය කිරීමට වයස අවුරුදු 20ක තුවක්කුකරුවෙකු ජුලි 13 වන දා උත්සහ කළේ ය. ස්නයිපර්කරුවන් විසින් තුවක්කුකරු මරා දැමීමට පෙර තෝමස් මැතිව් කෲක්ස් විසින් ට්‍රම්ප්ගේ දකුණු කන තුවාල කරමින් ඒ.ආර්. පන්නයේ රයිෆලයකින් වෙඩි උණ්ඩ අටක් තැබුවේ ය.

දින ගණනකට පසු, රිපබ්ලිකන් ජාතික සම්මේලනයේදී බයිඩ්න් සමග නැවත පැහැදිලි ලෙස පෙනෙන තරගයක් ඇති කරමින් ඔහු රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස නැවත කිරුළු පළඳවමින් පක්ෂය ඔහුව අගය කළේ ය.

ඓතිහාසික වශයෙන් මහ ජනයාට ප්‍රිය නොවූ ජනාධිපතිවරයෙකු, පශ්චාත් වසංගත ආර්ථික සහ යටිතල පහසුකම් දියුණු කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ධූර කාලය අවසන් කළ නමුත්, උද්ධමනය ඉහළ යාම ද නීති විරෝධී සංක්‍රමණ රැලි සහ විදේශ ප්‍රතිපත්ති වියවුල් වැඩි විය.

බයිඩ්න් පැත්තකට වී ඔහුගේ දෙවැනියා වූ කමලා හැරිස් අනුමත කිරීමෙන් පසුව, මධ්‍යම සාර්ථකත්වය සමග ඇයව පරිපාලන අසාර්ථකත්වයන්ට සම්බන්ධ කිරීමට ට්‍රම්ප් උත්සහ කළේ ය.

ඔහුගේ පාක්ෂිකයන්ට පැවසුවේ, ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වූ 2024 නොවැම්බර් 05 වන දා "ඉතිහාසය තුළ අපේ රටට වැදගත් ම දිනය" වනු ඇති බව ය.