ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ කමලා හැරිස්ගේ ජයග්‍රහණයට බලපෑ හැකි හේතු 10ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බෙන් බෙවින්ටන්
- Role, බීබීසී නිව්ස් - වොෂින්ටන්
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේවන විට ආරම්භ වී තිබේ.
වසර 130කට පසු පළමු වරට පරාජිත ජනාධිපතිවරයකු නැවත තේරී පත්වීමේ ඉතිහාසගත හැකියාව සමගින් අපි මෙම හේතු විමසා බලමු.
1. ඔහු බලයේ නොමැතිවීම
ඡන්දදායකයින් සඳහා අංක එකේ ප්‍රශ්නය ආර්ථිකයයි. විරැකියාව අඩු අතර කොටස් වෙලඳපොල වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, බොහෝ ඇමරිකානුවන් පවසන්නේ ඔවුන් දිනපතා ඉහළ මිල ගණන් සමඟ පොරබදමින් සිටින බවයි.
වසංගතයෙන් පසුව 1970 ගණන්වල සිට උද්ධමනය දක්නට නොලැබුණු මට්ටම් කරා ළඟා වූ අතර “ඔබට වසර හතරකට පෙර සිටියාට වඩා දැන් ඔබ හොඳද?” යනුවෙන් ඇසීමට ට්‍රම්ප්ට අවස්ථාව ලබා දුන්නේය.
පශ්චාත් කොවිඩ් සමයෙන් පසු අර්ධ වශයෙන් ඉහළ ජීවන වියදම හේතුවෙන් 2024 දී, ලොව පුරා සිටින ඡන්දදායකයින් කිහිප වතාවකදීම බලයේ සිටින පක්ෂය ඉවතට විසි කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපද ඡන්දදායකයින් ද වෙනසක් සඳහා නොඉවසිල්ලෙන් පසුවන බව පෙනේ.
ඇමරිකානුවන්ගෙන් හතරෙන් එකක් පමණක් පවසන්නේ රට යන දිශාව ගැන සෑහීමකට පත්වන බවයි, තුනෙන් දෙකකට දුර්වල ආර්ථික දැක්මක් ඇත.
හැරිස්, වෙනසක් කරන බව කියන අපේක්ෂකයා වීමට උත්සාහ දරා ඇත, නමුත් ජනප්‍රිය නොවන ජෝ බයිඩ්න්ගෙන් ඈත්වීමට උප ජනාධිපති ලෙස ඇය අරගල කර තිබේ.
2. ඔහු නරක ආරංචිවලට හසු නොවන බව පෙනේ
2021 ජනවාරි 6 ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර සිදුවූ කෝලාහලයෙන් බිඳ වැටීම, අධිචෝදනා මාලාවක් සහ පෙර නොවූ විරූ සාපරාධී වරදක් තිබියදීත්, ට්‍රම්ප්ට පවතින සහයෝගය වසර පුරා 40% හෝ ඊට වඩා වැඩි අගයක ස්ථාවරව පවතී.
ඩිමොක්‍රටික් පාක්ෂිකයින් සහ "කිසිදා ට්‍රම්ප් එපා " යැයි පවසන කොන්සර්වේටිව් මතධාරීන් ඔහු තනතුරට නුසුදුසු යැයි පවසන අතර තමා දේශපාලන දඩයමක ගොදුරක් බව ට්‍රම්ප් පවසන විට බොහෝ රිපබ්ලිකානුවන් ඊට එකඟ වේ.
තම ස්ථාවරය වෙනුවෙන් දැඩිව කැපවී සිටින දෙපාර්ශවයෙන්, ඔහුට අවශ්‍ය වන්නේ තමන් පිළිබඳ ස්ථාවර දැක්මක් නොමැතිව තීරණය නොකළ ඡන්දදායකයින්ගේ කුඩා පිරිසක් ප්‍රමාණවත් ලෙස දිනා ගැනීම පමණි.
3. නීති විරෝධී සංක්‍රමණ පිළිබඳ ඔහුගේ අනතුරු ඇඟවීමේ දෝංකාරය
ආර්ථිකයේ තත්ත්වයෙන් ඔබ්බට, මැතිවරණ බොහෝ විට තීරණය වන්නේ චිත්තවේගීය අවුළුවාලන ගැටලුවක් මගිනි.
ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එය ගබ්සාවක් යැයි බලාපොරොත්තු වන අතර, ට්‍රම්ප් එය සංක්‍රමණය යැයි ඔට්ටු අල්ලයි.
බයිඩන් යටතේ දේශසීමා ආශ්‍රිත වාර්තාගත සංක්‍රමණ මට්ටමක් කරා ළඟා වූ පසු හා පුද්ගල ගලා ඒම දේශසීමාවෙන් දුරස්ථ ප්‍රාන්තවලට ද බලපෑ පසු, ඡන්ද විමසීම් යෝජනා කරන්නේ ඡන්දදායකයින් සංක්‍රමණ සම්බන්ධයෙන් ට්‍රම්ප් කෙරෙහි වැඩි විශ්වාසයක් තබන බව සහ ඔහු පෙර මැතිවරණවලට වඩා ලතින් අමෙරිකානුවන් සමඟ වඩා හොඳින් කටයුතු කරන බවයි.
4. උපාධි ඇති අයට වඩා බොහෝ අයට උපාධි නැත
අමතක වූ සහ අතහැර ගිය බවට හැඟෙන ඡන්දදායකයින් සමග ට්‍රම්ප්ගේ සම්බන්ධ වීම එක්සත් ජනපද දේශපාලනය පරිවර්තනය කර තිබේ. ඒ, සම්ප්‍රදායික ඩිමොක්‍රටික් පාක්ෂිකයින්, උදාහරණ ලෙස වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් රිපබ්ලිකන් පාක්ෂිකයින් බවට පත් කිරීමෙන් සහ තීරුබදු මගින් ඇමරිකානු කර්මාන්ත ආරක්ෂා කිරීමෙනි.
තරගකාරී ප්‍රාන්තවල ග්‍රාමීය සහ තදාසන්න ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ නංවන්නේ නම්, මෙය මධ්‍යස්ථ, විද්‍යාල උගත් රිපබ්ලිකානුවන්ගේ පාඩුව ඔහුට පියවා ගත හැකිය.
5. අස්ථායී ලෝකයක ඔහු ශක්තිමත් මිනිසෙකු ලෙස සැලකේ
ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් පවසන්නේ ඔහු අධිකාරීවාදී නායකයින් සමඟ සුහදව සිටීමෙන් ඇමරිකාවේ සන්ධාන යටපත් කරන බවයි.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා ඔහුගේ අනපේක්ෂිත බව ශක්තියක් ලෙස සලකන අතර, ඔහු ධවල මන්දිරයේ සිටියදී විශාල යුද්ධ කිසිවක් ආරම්භ නොවූ බව පෙන්වා දෙයි.
එක්සත් ජනපදය යුක්රේනයට සහ ඊශ්‍රායලයට බිලියන ගණන් යැවීමත් සමඟ විවිධ හේතූන් මත බොහෝ ඇමරිකානුවන් කෝපයට පත් වී ඇති අතර බයිඩන් යටතේ ඇමෙරිකාව දුර්වල වී ඇතැයි සිතයි.
ඡන්දදායකයින්ගෙන් බහුතරයක්, විශේෂයෙන්ම ජෝ රෝගන්ගේ වැනි පොඩ්කාස්ට් හරහා ට්‍රම්ප්ට කැමැත්ත දක්වන පිරිමින්, ට්‍රම්ප් දකින්නේ හැරිස්ට වඩා ශක්තිමත් නායකයෙකු ලෙස ය.

1. ඇය ට්‍ර්ම්ප් නොවේ
ට්‍රම්ප්ගේ වාසි තිබියදීත්, ඔහු ගැඹුරින් දැඩි මතධාරී චරිතයක් ලෙස සිටියි.
2020 දී ඔහු රිපබ්ලිකන් අපේක්ෂකයෙකුට හිමිවූ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් නමුත් පරාජයට පත් වූයේ තවත් ඇමරිකානුවන් මිලියන හතක් බයිඩන්ට සහය දැක්වූ බැවිනි.
මෙවර, ට්‍රම්ප් නැවත බලයට පත්වීමේ ඍණාත්මක ප්‍රතිවිපාක අවධාරණය කිරීමට හැරිස් කටයුතු කර තිබේ. ඇය ඔහුව හැඳින්වූයේ "ෆැසිස්ට්වාදියෙකු" ලෙසයි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වන බව ද පෙන්වා දෙමින් ඉදිරියට යයි.
ජූලි මාසයේදී රොයිටර්ස්/ඉප්සෝස් මත විමසුමකින් පෙන්නුම් කළේ ඇමෙරිකානුවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුට රට පාලනයෙන් මිදී ඇති බවට හැඟී ඇති බවයි. හැරිස් ඇයව ස්ථාවරත්වයේ අපේක්ෂකයෙකු ලෙස දකින ඡන්ද දායකයින් බලාපොරොත්තු වෙයි - ඒ මධ්‍යස්ථ රිපබ්ලිකන් සහ ස්වාධීන පිරිස් ය.
2. ඇය බයිඩ්න් ද නොවේ
බයිඩ්න් තරගයෙන් ඉවත් වන විට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් නියත පරාජයකට මුහුණ දෙමින් සිටියහ. ට්‍රම්ප් පරාජය කිරීමේ අභිලාෂය තුළ එක්සත් වූ පක්ෂය ඉක්මනින් හැරිස් වටා රොක් විය. ස්ථාවර ආරම්භයේ සිට ආකර්ෂණීය වේගයකින්, ඇය වඩාත් ඉදිරි දැක්මක් සහිත පණිවිඩයක් ලබා දුන්නා ය.
රිපබ්ලිකානුවන් ඇයව බයිඩන්ට වඩාත් ජනප්‍රිය නොවන ප්‍රතිපත්තිවලට සම්බන්ධ කර ඇති අතර, හැරිස් මීට පෙර බයිඩන් ඉලක්ක කරගත් ඇතැම් විවේචන අනවශ්‍ය ලෙස සිදු කර ඇත.
මෙයින් පැහැදිලිම දේ වයසයි - ඡන්ද විමසීම් නිරන්තරයෙන් යෝජනා කළේ බයිඩන්ගේ නිල යෝග්‍යතාවය පිළිබඳව ඡන්දදායකයින් තුළ සැබෑ සැලකිල්ලක් ඇති බවයි. දැන් තරගය පෙරළී ඇති අතර, ධවල මන්දිරය ජයග්‍රහණය කළ වයස්ගතම පුද්ගලයා වීමට තරග වදින්නේ ට්‍රම්ප් ය.
3. ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා ය
ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය Roe v Wade සහ ගබ්සාව සඳහා ව්‍යවස්ථාපිත අයිතිය අවලංගු කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙයයි.
ගබ්සා කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැන සැලකිලිමත් වන ඡන්දදායකයින් හැරිස්ට විශාල වශයෙන් පිටුබලය දෙන අතර, පසුගිය මැතිවරණ වලදී එය අපි දුටුවෙමු - විශේෂයෙන් 2022 මධ්‍ය වාර මැතිවරණවලදී - මෙම ප්‍රශ්නය ඡන්දය ප්‍රකාශ කිරීම වැඩි කළ හැකි අතර ප්‍රතිඵලයට සැබෑ බලපෑමක් ඇති කළ හැකිය.
මෙවර, තරගකාරී ඇරිසෝන ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත 10ක ගබ්සාව නියාමනය කළ යුත්තේ කෙසේදැයි ඡන්දදායකයන්ගෙන් විමසන ඡන්ද මුල පිරීම් ඇත. මෙය හැරිස්ට පක්ෂව ඡන්දය දීම වැඩි කළ හැකිය.
පළමු කාන්තා ජනාධිපතිනිය වීමට ඇයගේ උත්සාහයේ ඓතිහාසික ස්වභාවය කාන්තා ඡන්ද දායකයින් අතර ඇයගේ සැලකිය යුතු ප්‍රමුඛතාවය ශක්තිමත් කළ හැකිය.
4. ඇයගේ ඡන්ද දායකයින් පෙනී සිටීමට වැඩි ඉඩක් ඇත
හැරිස්ට වඩාත් ප්‍රබල ලෙස ඡන්දය ප්‍රකාශ කරන කණ්ඩායම් අතර, එනම් විද්‍යාලීය අධ්‍යාපනය ලැබූ සහ වැඩිහිටි පුද්ගලයින්, ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි ඉඩක් ඇත.
ඩිමොක්‍රටික් පාක්ෂිකයින් අවසානයේ ඡන්දය ප්‍රකාශ කරන ඉහළ කණ්ඩායම් සමඟ වඩා හොඳින් ක්‍රියා කරන අතර ට්‍රම්ප් තරුණයින් සහ විද්‍යාල උපාධි නොමැති අය වැනි සාපේක්ෂව අඩු ඡන්දය ප්‍රකාශ කරන කණ්ඩායම් සමඟ ජයග්‍රහණ ලබා ඇත.
නිදසුනක් වශයෙන්, ට්‍රම්ප් ගත්විට නිව් යෝර්ක් ටයිම්ස්/සියානා මත විමසුමකට අනුව, 2020 දී ලියාපදිංචි වූ නමුත් ඡන්දය ප්‍රකාශ නොකළ අය අතර ඔහු පෙරමුණ ගෙන සිටියි.
එසේ නම්, ඔවුන් මෙවර පෙනී සිටින්නේද යන්න ප්‍රධාන ප්‍රශ්නයකි.
5. ඇය වැඩි මුදලක් රැස් කර - වැඩි මුදලක් වියදම් කර ඇත
ඇමරිකානු මැතිවරණ වියදම් අධික බව රහසක් නොවේ, සහ 2024 මෙතෙක් පැවති වියදම් අධිකම මැතිවරණය වීමට නියමිතයි.
නමුත් වියදම් කිරීමේ බලය සම්බන්ධයෙන් - හැරිස් ඉහළින්ම සිටී. මෑත ෆිනෑන්ෂල් ටයිම්ස් විශ්ලේෂණයකට අනුව, 2023 ජනවාරියේ සිට ට්‍රම්ප්ට වඩා ඇය ජූලි මාසයේ අපේක්ෂකයා බවට පත්වීමෙන් පසු වැඩි අරමුදල් ප්‍රමාණයක් උපයා ඇති අතර, ඇගේ ව්‍යාපාරය වෙළඳ ප්‍රචාරණයට වඩා දෙගුණයක් පමණ වියදම් කර ඇති බව සඳහන් කළේය.
මෙය ඉතා තියුණු තරගයක්ව පවතී. එය අවසානයේ තීරණය කරනු ඇත්තේ දැනට ඡන්ද දෝලනය වෙමින් පවතින ප්‍රාන්තවල ඡන්ද දායකයින් විසිනි.














