2024 ඇමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සියල්ල මෙතැනින් දැනගන්න

- Author, සෑම් කබ්රාල්
- Role, බීබීසී පුවත්, වොෂින්ටනය
නොවැම්බර් 5 වන අඟහරුවාදා පැවැත්වෙන මැතිවරණයේදී ඇමෙරිකානුවෝ ඔවුන්ගේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කරති.
ඡන්ද විමසීම අවසන් වූ පසු, තරගය කෙතරම් තියුණු ද යන්න මත පදනම්ව ජයග්‍රාහකයා කවුරුන් ද යන්න අනුමාන කිරීමට පැය කිහිපයක්, දින හෝ සති කිහිපයක් දක්වා කාලයක් ගත විය හැක.
2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය අපේක්ෂා කළ හැක්කේ කවදා ද?
වත්මන් උපජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික කමලා හැරිස් සහ හිටපු ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් සති ගණනාවක් තිස්සේ කරට කර තරගයක නිරත වෙමින් සිටිති.
නොවැම්බර් 5 වන දා ආසන්නවත් ම පෙනී යන්නේ ජාතික මට්ටමින් සහ තියුණු තරගයක් ඇති ප්‍රාන්ත මට්ටමින් පැවති මත විමසුම්වල ප්‍රතිඵලවල ඉතා සුළු ගණනක වෙනසක් ඇති බව ය. එබැවින් ස්ථාන කිහිපයක ජයග්‍රහණය ඉතා සුළු ගණනකින් තීරණය විය හැකි අතර ඇතැම් විට නැවත ඡන්ද ගණන් කිරීම පවා සිදුවිය හැකි ය.
ප්‍රධාන පක්ෂ දෙක සඳහා සමාන සහයක් ඇති ප්‍රාන්ත 7 ඇතුළුව, එක් එක් ප්‍රාන්ත 2020 සිට මැතිවරණ කටයුතු සිදුකර ඇති ආකාරයේ වෙනස්කම් හේතුවෙන් මෙම වසරේ ඇතැම් ප්‍රාන්තවල ප්‍රතිඵල පැමිණීම ප්‍රමාද විය හැකිය.
අනෙක් අතට, මිචිගන් වැනි ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම වේගවත් කර ඇති අතර, කොවිඩ් වසංගතය අතරතුර පැවති පසුගිය මැතිවරණයට වඩා මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉතා අඩු වනු ඇත.
මෙයින් අදහස් කරන්නේ විය හැකි දෑ ගණනාවක් ඇති බව ය. එනම්, මැතිවරණ දින රාත්‍රියේ, පසුදා උදෑසන හෝ ඇතැම් විට දින හෝ සති කිහිපයකට ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම සිදුවිය හැකි ය.
2020 ජනාධිපතිවරණ ප්‍රතිඵලය ලැබුණේ කවදා ද?
2020 මැතිවරණය නොවැම්බර් 3 අඟහරුවාදා පැවැත්විණි. නමුත් එක්සත් ජනපද රූපවාහිනී නාලිකා නොවැම්බර් 7 සෙනසුරාදා උදෑසන වන තුරු ජෝ බයිඩන් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ නොකළේ ය.
ඇමෙරිකානුවන් මැතිවරණ රාත්‍රියේ නින්දට යන විට, ජයග්‍රහණය ආසන්න බව ට්‍රම්ප් ආධාරකරුවන්ට හැඟී ගිය නමුත්, ඇත්ත වශයෙන් ම, අපේක්ෂකයින් දෙදෙනා ම ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල 270ට ළඟා විය හැකි මට්ටමක සිටියහ.
ප්‍රාන්තවලින් අතිමහත් බහුතරයක් පැය 24ක කාලසීමාවක් තුළ තම අවසන් ප්‍රතිඵලය නිකුත් කළ ද පෙන්සිල්වේනියාව සහ නෙවාඩා ඇතුළු ප්‍රධාන ප්‍රාන්ත අතළොස්සක් එසේ නොකළේ ය.
කෙසේ වෙතත්, පෙන්සිල්වේනියාව, එහි ඡන්ද 19ත් සමග, ඩිමොක්‍රටික් අපේක්ෂකයින් දෙසට නැඹුරු වී ඇති අතර, සෙනසුරාදා උදෑසන, තියුණු තරගයක් ඇති මෙම ප්‍රාන්තයේ නැවුම් ඡන්ද සමූහයක් බයිඩන් එහි ජයග්‍රහණය කරනු ඇතැයි අනුමාන කිරීමට රූපවාහිනී නාලිකාවලට විශ්වාසයක් ලබා දුන්නේ ය.
CNN ප්‍රතිඵලය ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කළ අතර ඉන් පසු ඊළඟ මිනිත්තු 15 තුළ අනෙක් නාලිකා එම ප්‍රතිඵලය ම ප්‍රකාශයට පත් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන්නේ කවදා ද?
සාමාන්‍යයෙන්, ඡන්දදායකයින් හුරු වී ඇත්තේ, මැතිවරණය දා රාත්‍රියේ නින්දට යන විට හෝ අවම වශයෙන් පසුදා පාන්දර වන විට ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් ද යන්න දැන ගනු ඇතැයි යන අදහසට ය.
නිදසුනක් වශයෙන්, 2016දී, ට්‍රම්ප් ප්‍රථම වරට ජනාධිපති ධූරයට පත් වූ විට, මැතිවරණයට පසු දින අලුයම 3:00ට (0700 GMT) ඉතා සුළු වෙලාවකට පෙරඔහු ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
2012දී, බරක් ඔබාමා දෙවන වරටත් ජනාධිපති ධූරයට පත් වූ අවස්ථාවේ, ඔහුගේ ජයග්‍රහණය ඡන්ද විමසීම පැවති දිනයේ ම මධ්‍යම රාත්‍රියට පෙර පුරෝකථනය කෙරිණි.
එහෙත් එක් කැපී පෙනෙන මෑත කාලීන වෙනස් සිදුවීම වූයේ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ජෝන් කෙරී තරග වැදුණු 2000 මැතිවරණය යි.
ෆ්ලොරිඩාවේ ඡන්ද දිනා ගැනීම සඳහා ඔවුන් දෙදෙනා තියුණු තරගයක යෙදුණු අතර දෙසැම්බර් 12 වන දා ශ්‍රේෂ්ඨාඅධිකරණය විසින් ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණනය කිරීමේ ක්‍රියාවලිය නතර කරන ලෙස නියෝග කරනු ලබන තුරු ම එහි අවසන් ප්‍රතිඵලය තීරණය නොවිණි. අධිකරණ නියෝගයේ ප්‍රතිඵලයක් ලෙස බුෂ්ගේ ජයග්‍රහණය සහතික කෙරුණේ ධවල මන්දිරයේ යතුරු ද ඔහුට භාර දෙමිනි.
නිරීක්ෂණය කළ යුතු ප්‍රධාන ප්‍රාන්ත මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රට පුරා, පළමු ඡන්ද විමසීම ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 10:00ට අවසන් වන අතර අවසන් ඡන්ද විමසීම ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් බදාදා අලුයම අලුයම 5:00 අවසන් වේ.
නමුත් මෙම තරයේ අවසන් ප්‍රතිඵලය ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන තීරණාත්මක ප්‍රාන්ත ප්‍රතිඵල මත තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් රාත්‍රී 11:00 - ජෝර්ජියාවේ හා තවත් ප්‍රාන්ත පහක, සහ අර්ධ වශයෙන් තවත් ප්‍රාන්ත තුනක ඡන්ද විමසීම අවසන් වේ. කෙන්ටකි වැනි අඩු තරගකාරීත්වයක් ඇති ප්‍රාන්තවල ජයග්‍රාහකයින් කවුරුන් විය හැකි ද යන්න එක්සත් ජනපද රූපවාහිනී නාලිකා ප්‍රකාශය කරන වේලාව ද මෙය වේ.
ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් රාත්‍රී 11:30 - හැරිස් 2008 සිට ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයින්ගේ පරාජයන් මාලාවක් අවසන් කිරීමට බලාපොරොත්තු වන උතුරු කැරොලිනා ඇතුළු ප්‍රාන්ත හතරක් පුරා ඡන්ද විමසීම අවසන් වේ.
ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12:00 - පෙන්සිල්වේනියාවේ සහ අනෙකුත් ප්‍රාන්ත 16ක මෙන් ම අර්ධ වශයෙන් මිචිගන් සහ තවත් ප්‍රාන්ත හතරක ඡන්ද විමසීම් අවසන් වේ.
ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් අලුයම 1:00 - මිචිගන්හි ඉතිරි සියලු ම ඡන්ද විමසීම් අවසන් වේ. ඇරිසෝනා, විස්කොන්සින් සහ තවත් ප්‍රාන්ත 12ක ද ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වේ.
ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් අලුයම 2:00 - නෙවාඩා සහ තවත් ප්‍රාන්ත දෙකක සහ අර්ධ වශයෙන් තවත් ප්‍රාන්ත දෙකක ඡන්ද විමසීම් අවසන් වේ.
ඡන්ද ගණන් කිරීම ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
සාමාන්‍යයෙන්, මැතිවරණ දිනයේදී ප්‍රකාශ කරන ලද ඡන්ද ප්‍රථමයෙන් ගණනය කරනු ලැබේ. පසුව මැතිවරණ දිනයට පෙර ප්‍රකාශ කරන ලද ඡන්ද සහ තැපැල් ඡන්ද ගණනය කරනු ලබන අතර ඉන් අනතුරුව ගැටලු සහිත ඡන්ද සහ පසුව විදෙස් රටවල සිට මෙන් ම හමුදා සාමාජිකයින් විසින් ප්‍රකාශ කරන ලද ඡන්ද ගණනය කරනු ලැබේ.
ඇතැම් විට පත් කරන ලද, ඇතැම් විට තේරී පත් වූ ප්‍රාදේශීය මැතිවරණ නිලධාරීහු 'කැන්වසින්' ලෙස හැඳින්වෙන ක්‍රියාවලියකදී ඡන්ද එකින් එක පරීක්ෂා කිරීම, සැකසීම සහ ගණනය කිරීම සිදු කරති.
ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීමේදී ප්‍රකාශිත සංඛ්‍යාව සක්‍රීය ඡන්ද දායකයින් සංඛ්‍යාව සමග සංසන්දනය කිරීම සිදුවේ. දිග හැර ඒවා ඉරී ඇති ද, පැල්ලම් හෝ වෙනත් හානි තිබේ ද සහ කිසියම් නොගැලපීම් තිබේ නම් ඒවා සටහන් කර ගැනීම මෙන් ම ඒ පිළිබඳව සොයා බැලීම ද මෙහිදී සිදුවේ.
විද්‍යුත් ස්කෑනර් යන්ත්‍ර මගින් ඡන්ද ගණනය කිරීම සිදු කෙරේ. ඇතැම් අවස්ථාවලදී අතින් ගණනය කිරීම් හෝ සම්පූර්ණ ගණන නිවැරදි ද යන්න දෙවරක් පරීක්ෂා කළ යුතු වේ.
සෑම ප්‍රාන්තයකට ම සහ ප්‍රදේශයකට ම ගණනය කිරීමේ කටයුතු සඳහා සහභාගී විය හැක්කේ කාට ද, ඡන්ද ගණනය කිරීමේ අනුපිළිවෙල සහ මහජනතාවට විවෘතව ඇති කොටස් මොනවා ද, පක්ෂවල නිරීක්ෂණය කරන්නන්ට ඡන්ද ගණන් කිරීමේදී නිරීක්ෂණය කිරීම සහ ඊට මැදිහත් විය හැකි ආකාරය ඇතුළුව දැඩි නීති පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රමාද විය හැකි හේතු මොනවා ද?
අපේක්ෂකයින් ලබා ගත් ඡන්ද ගණන සුළු ගණනකින් වෙනස් වීම හේතුවෙන් මාධ්‍ය ආයතනවලට නිගමනවලට එළඹීමට වැඩි කාලයක් ගතවනු ඇති අතර එය ඡන්ද නැවත ගණනය කිරීමේ සහ නෛතික අහියෝගයට ලක්වීමේ අවදානම ද මතු කරයි.
උදාහරණයක් ලෙස, පෙන්සිල්වේනියාවේ, ජයග්‍රාහකයා සහ පරාජිතයා සඳහා ප්‍රකාශ කරන ලද ඡන්ද අතර වෙනස 0.5%ක් නම් ස්වයංක්‍රීයව ම නැවත ඡන්ද ගණන් කිරීම ක්‍රියාත්මක වේ. 2020දී, වෙනස සියයට 1.1කට වඩා වැඩි විය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබීම සහ ඡන්ද හිමි නාමලේඛන කළමනාකරණය කරන ආකාරය ඇතුළුව රිපබ්ලිකානුවන් විසින් දැනටමත් රට පුරා පූර්ව මැතිවරණ නඩු 100කට වඩා වැඩි ගණනක් ගොනු කරනු ලැබ ඇත. මෙම නඩු සම්බන්ධයෙන් නිකුත් කෙරෙන අධිකරණ තීන්දු මැතිවරණ සටන දිනෙන් දින හැඩගස්වමින් තිබේ.
ප්‍රමාදයන් ඇති කළ හැකි අනෙකුත් අවස්ථා අතර, විශේෂයෙන් ම ඡන්ද මධ්‍යස්ථානවල මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා සහ 2020දී සිදුවූ ජෝර්ජියාවේ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානයක ජල නළයක් පුපුරා යාම වැනි ඡන්ද ගණන් කිරීමට ඇති බාධා ඇතුළත් වේ.
ජනාධිපතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් වුවහොත් කුමක් සිදුවේ ද?
සෑම වලංගු ඡන්දයක් ම අවසාන ප්‍රතිඵලවලට ඇතුළත් වූ පසු, නැවත ගණන් කිරීම වැනි ක්‍රියාවලීන් අවසන් වූ පසු, මැතිවරණ ප්‍රතිඵල සහතික කරනු ලැබේ. එනම්, පළමුව ප්‍රාදේශීය අධිකරණ බල ප්‍රදේශවල, පසුව ප්‍රාන්ත මට්ටමින් එය සිදු කෙරේ.
ප්‍රාන්තයේ විධායක නිලධාරියෙක්, සාමාන්‍යයෙන් ආණ්ඩුකාරවරයා, පසුව මැතිවරණ විද්‍යාලය තුළ තම ප්‍රාන්තය නියෝජනය කරන නියෝජිතයින්ගේ නම් ලැයිස්තුව සඳහා සිය සහතියක ලබා දෙයි. මෙම නියෝජිතයින් දෙසැම්බර් 17 වන දින සෙසු ප්‍රාන්තවල ඔවුන් වැනි නියෝජිතයින් සමග රැස්වී ඡන්දය ප්‍රකාශ එය වොෂින්ටනය වෙත යැවීම සිදු කෙරේ.
ජනවාරි 6 වන දින, නව එක්සත් ජනපද කොන්ග්‍රසය, මාසය ආරම්භයේ අසුන්ගෙන, මැතිවරණ ඡන්ද ගණන් කිරීම සඳහා වන ඒකාබද්ධ සැසියකදී රැස්වන්නේ වත්මන් උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
2020 මැතිවරණයෙන් පසු, ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර බයිඩන්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා කොන්ග්‍රසය රැස්වෙමින් සිටියදී එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල වෙත පා ගමනක් යාමට ආධාරකරුවන් රැස් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු සිය උපසභාපති මයික් පෙන්ස්ගෙන් ඉල්ලා සිටි නමුත් පෙන්ස් එය ප්‍රතික්ෂේප කළේ ය.
කෝලාහලය සමනය කර කොංග්‍රසයේ සාමාජිකයින් නැවත රැස් වීමෙන් පසුව පවා ට්‍රම්ප්ගේ පරාජය අවලංගු කිරීමට රිපබ්ලිකානුවන් 147 දෙනෙකු ලබා දුන් ඡන්දය අසාර්ථක උත්සහයක් විය.
එතැන් සිට මැතිවරණ ප්‍රතිසංස්කරණ, නීති සම්පාදකයින්ට එක් එක් ප්‍රාන්තවලින් එවන ලද සහතික කළ ප්‍රතිඵලවලට විරුද්ධ වීම දුෂ්කර කර ඇති අතර, ඡන්ද විද්‍යාලවල ඒකපාර්ශ්විකව ප්‍රතික්ෂේප කිරීමට උපජනාධිපතිවරයාට බලයක් නොමැති බව ද පැහැදිලි කර ඇත.
එසේ වුව ද, මැතිවරණ නිරීක්ෂකයින් පුළුල් ලෙස අපේක්ෂා කරන්නේ, 2024 මැතිවරණයේ ප්‍රතිඵල සහතික කිරීම ප්‍රමාද කිරීමේ ප්‍රයත්නයන් ප්‍රාදේශීය හා ප්‍රාන්ත මට්ටමින් සිදු විය හැකි බවත්, මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ සැකයක් වැපිරීමට කණ්ඩායම් කිහිපයක් සූදානම් වෙමින් සිටින බවත් ය.
ට්‍රම්ප්, ඔහුගේ සහකරු ජේ.ඩී. වෑන්ස් සහ කැපිටල් හිල්හි ඉහළ ම රිපබ්ලිකන් නායකයින් ඔහු පැරදුණහොත් මැතිවරණ ප්‍රතිඵල පිළිගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කිරීම අවස්ථා කිහිපයකදී ම ප්‍රතික්ෂේප කර ඇත.
ජනාධිපති පදවි ප්‍රාප්තිය කවදා ද?
තේරී පත් වන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය 2025 ජනවාරි 20 සඳුදා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිලි සංකීර්ණ ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙනු ඇත.
එය එක්සත් ජනපද ඉතිහාසයේ 60 වන ජනාධිපති පදවිප්‍රාප්තිය වනු ඇත.
මෙම උත්සවයේදී නව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවට ප්‍රතිඥා දී සිය මංගල දේශනය සිදු කරනු ඇත.














