ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවියන් විසින් එවන ලදැයි විශ්වාස කරන දක්ෂිණාංශික කිතුනු භක්තිකයින්

US President Donald Trump and religious leaders pray in the Oval Office of the White House, in September 2017
ට්‍රම්ප් සිය ජනාධිපති ධූර කාලය තුළ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ආගමික නායකයන් සමග යාච්ඥා කරමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් ජනාධිපති ධූරය දැරූ සමයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පූජකවරුන් පිරිසක් සමඟ යාච්ඤාවක නිරත වෙමින්...
    • Author, සිසිලියා බරීයා
    • Role, බීබීසී පුවත් මුන්ඩෝ

ඇමෙරිකාවේ දකුණු දිගට වන්නට පිහිටි ඔක්ලහෝමා ප්‍රාන්තයේ පුද්ගලයන් 2,000ක් පමණ සිටින නගරයක් වන එල්ජින්හි ග්‍රේස් රෙපරමාදු බැප්ටිස්ට් දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙය ඇරඹීමට මිනිත්තු කිහිපයකට පෙර, දේවගැති ඩස්ටි ඩීවර්ස්, 36, එහි පැමිණ සිටියේ ඉතා පිළිවෙළට ඇඳ පැළඳ මුහුණේ විශාල සිනහවකින් යුතුව ය.

ඔහු දරුවන් බොහෝ දෙනෙකු සමග සිටි සුදු ජාතිකයින් පිරිසකට, එනම් පල්ලියේ සාමාජිකයින් 100 දෙනෙකුට පමණ ආචාර කරයි.

දේවස්ථානයේ ප්‍රවේශ ශාලාවේ, ප්‍රාණය නිරුද්ධ ළදරුවෙකුගේ චිත්‍රයක් සහිත කුඩා පොත් කිහිපයකි.

"ඔබ මෙම ඡේදය කියවන මොහොතේදී, ඇමෙරිකාවේ දරුවන් තුන් දෙනෙක් ඒ අයගේ අම්මලාගේ ගර්භාෂ තුළදී මරා දමලා," යැයි එහි ලියා ඇත්තේ ගබ්සාව අපේ කාලයේ "සමූල ඝාතනයක්" ලෙස සඳහන් කරමිනි.

නොවැම්බර් 5 වන දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ආර්ථිකය සහ සංක්‍රමණ සම්බන්ධ ගැටලු සමග ගබ්සාව ද ප්‍රධාන ප්‍රශ්නයකි.

මෙම කුඩා පොත් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට ඡන්ද දායකයින් සූදානම් වන මොතොතේ ඇමෙරිකාවේ වඩාත් ගතානුගතික දක්ෂිණාංශික රෙපරමාදු ඡන්ද දායකයින් අතර දේශපාලනය සහ ආගම එකට බද්ධ වී ඇති ආකාරය පිළිබඳ පැහැදිලි සලකුණකි.

Leaflet with the phrase: "How can we rescue those being taken away to death?"
ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රේස් රෙපරමාදු බැප්ටිස්ට් දේවස්ථානයේ ප්‍රවේශ දොරටුව අසල තිබී හමු වූ ගබ්සාවට එරෙහි කුඩා පොත්

මහ වැසි පහව යාමත් සමග උදා වූ මෙම උණුසුම් ගිම්හාන දිනයේ, සරල, ඉතා චාම් සහ සුදු පැහැති හිස් බිත්තිවලින් සමන්විත මෙම දේවස්ථානයේ දේව මෙහෙය පෙරවරු 10:45ට ඇරඹෙන්නේ, දේවගැතිවරයා ගිටාරය වාදනය කරමින් පල්ලියේ සාමාජිකයන් සමග ගීතිකා ගැයීමත් සමග ය.

සෙනෙට් සභිකයෙකු වන දරුවන් හය දෙනෙකු සිටින ඩීවර්ස් එල්ජින්හි උපත ලද අතර ආගමික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. දේපළ ව්‍යාපාරයකට ද සම්බන්ධකම් කියන ඔහු ඉරිදා දිනවලදී දේවස්ථානයේ ධර්මාසනයේ සිට ධර්මය දේශනා කරයි. නමුත් සඳුදා දිනවලදී ඔහු ඔක්ලහෝමා කැපිටල්හිදී නීති සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරනු දැකිය හැකි ය.

දේශපාලනඥයන් තම ප්‍රදේශයේ දේවස්ථානවල තනතුරු දැරීම හෝ ඒවා සමග සමීප සබඳතා පැවැත්වීම ඔක්ලහෝමාහි සාමාන්‍ය දෙයකි.

එල්ජින් නගරය ද අයත් වන ඇමෙරිකාවේ 'බයිබල් බෙල්ට්' හෙවත් 'බයිබල් තීරය' ලෙස හඳුන්වන කලාපයේ දේශපාලනය සහ ආගම යන ක්ෂේත්‍ර දෙකේ ම එකවර නායකත්වය දැරීම බහුලව දක්නට ලැබේ. රෙපරමාදු සහ රිපබ්ලිකන් හිතවාදී වැසියන් වැඩි වශයෙන් සිටින එම කලාපයට අවම වශයෙන් ප්‍රාන්ත 9ක් පමණ අයත් වේ. එය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ කලාපය ද වෙයි. (ජෝර්ජියාව හැරුණු කොට).

ඇමෙරිකාවේ දකුණු දෙසින් පිහිටා ඇති බයිබල් තීරය ගතානුගතික රෙපරමාදු නායකයින්ගේ දේශපාලන බලපෑම වර්ධනය වන කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇත.

එම තීරය මධ්‍යයේ දැඩි ආගමික ප්‍රාන්තයක් වන ඔක්ලහෝමා ප්‍රාන්තය පිහිටා තිබේ. එහි ප්‍රාන්ත රජයෙන් 80% වඩා වැඩි පිරිසක් රිපබ්ලිකන් දේශපාලනඥයෝ වෙති.

ආගම සහ ජාත්‍යාලය ඔක්ලහෝමා දේශපාලනයේදී ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ, ගතානුගතික ක්‍රිස්තියානි භක්තියකයින්ට තම සාම්ප්‍රදායික ජීවන රටාව වාමාංශික ලිබරල් දේශපාලනයේ තර්ජනයට ලක්ව ඇති බව හැඟෙන බැවිනි.

ආගමික-දේශපාලනික සම්බන්ධය

Pastor Dusty Deevers
ඡායාරූප ශීර්ෂ වැකිය, දේවගැති ඩස්ටි ඩීවර්ස් තර්ක කරන්නේ ඇමෙරිකාවේ බල ව්‍යුහයන් වෙනස් විය යුතු බවය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"දේව මෙහෙය ගැන මොක ද හිතන්නේ?" මාගේ ආගමික විශ්වාසයන් ගැන දැන ගැනීමේ පළමු උත්සහය ලෙස ඩීවර්ස් මගෙන් විමසීය.

දිගු සංවාදයකින් පසු, ඔහුගේ කෙටි කාලීන දේශපාලනික න්‍යාය පත්‍රය, ගබ්සාව නතර කිරීම, අසභ්‍ය ලිංගික චිත්‍රපට නැති කිරීම සහ ආදායම් හා දේපළ බදු අහෝසි කිරීම බව ඔහු මට පැවසීය.

නමුත් දිගුකාලීනව, ඩීවර්ස්ගේ ඉලක්කය වඩා ත් අභිලාෂකාමී ය: එනම් ඇමෙරිකාව ක්‍රිස්තියානි රාජ්‍යයක් බවට පත් කිරීම ය.

එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා වන උපාය මාර්ගයේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ, ඉහළ ම මට්ටම දක්වා දේශපාලන තනතුරු ලබා ගැනීම ය.

"ඔබට අවශ්‍ය ධවල මන්දිරය දෙවියන් වහන්සේගේ රාජ්‍යයක් බවට පත් කිරීමට ද?" මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. "මේ ලෝකේ තියෙන හැම දේ ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය තමයි," ඔහු පිළිතුරු දුන්නේ ය.

"අපි බල ව්‍යුහයන් වෙනස් කළ යුතු යි," මෙම රිපබ්ලිකන් සෙනෙට් සභිකයා පැහැදිලි කරයි.

බයිබල් තීරයේ වෙසෙන අනෙකුත් දේවගැතිවරුන් මෙන් ඩීවර්ස්ගෙන් මුළුමනින් ම පාහේ ට්‍රම්ප් නියෝජනය වන බවක් නොදැනේ.

"ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය වමට හරවමින් සිටිනවා," ඔහු තර්ක කරයි.

ඩීවර්ස් සමග එක්ව වැඩ කරන, දියණියන් පස් දෙනෙකුගේ පියෙකු වන, දැනට ඔක්ලහෝමාහි නව බැප්ටිස්ට් දේවස්ථානයක දේවගැතිවරයෙකු වීමට සූදානම් වෙමින් සිටින 37 හැවිරිදි එරන් හොෆ්මන්ගේ විශ්වාසය පල්ලිය සහ රාජ්‍යය අතර රේඛාව මකා දැමීමේ අර්ථයක් නොමැති බව ය.

"ක්‍රිස්තියානි ආගම දේශපාලනයෙන් ඈත් කරන්න විදියක් නෑ," කඳුළු පිරි දෑසින් ඔහු මා හා පවසන්නේ "ඇමෙරිකානුවන්ට ක්‍රිස්තුස් වහන්සේ අමතක වෙලා," යැයි පවසමිනි.

ආගමික තීන්දු

Susie Stephenson, former teacher in Oklahoma
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔක්ලහෝමාහි ගුරුවරියක ලෙස සේවය කළ සුසී ස්ටීවන්සන් සිය රැකියාවෙන් ඉල්ලා අස්විය

මේ සංස්කෘතික යුද්ධය සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපානවා ද? පිළිතුර 'ඔව්' යන්න ය.

මේ වසරේ පමණක්, අවම වශයෙන් බයිබල් තීරයේ ප්‍රාන්ත තුනක ආගමික මූලයන් ඇති දේශපාලන තීන්දු ගෙන තිබේ.

ලුසියානාහි, පාසල්වල සියලු ම පන්තිකාමරවල බිත්ති මත දස පනත සටහන් කර තැබිය යුතු බවට නියෝග කෙරුණු අතර, ඇලබාමාහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශීත කළ කළල "ළදරුවන්" බව තීන්දු කරන ලද අතර එය කෘත්‍රිම සංසේචන සායන තාවකාලිකව වසා දැමීමට හේතු විය.

ඔක්ලහෝමාහි, ඉහළ ම අධ්‍යාපන නිලධාරියා වන රයන් වෝල්ටර්ස්, ප්‍රාන්තයේ රජයට අයත් පාසල්වල බයිබලය ඉගැන්වීම අනිවාර්ය කරමින් ජූනි මාසයේදී නියෝග කිරීම රට පුරා පුවත් මැවූ සිදුවීමක් වූයේ දැඩි ලෙස මතභේදයට ද තුඩු දෙමිනි.

රටේ වැඩි ම ගුරු හිඟයක් පවතින ප්‍රාන්තවලින් එකක් ඔක්ලහෝමා වීමත් සමග, මෙම නියෝගය ආගමික නිදහසට පටහැනි බව පවසන බොහෝ ගුරුවරුන්ගෙන් මෙම ප්‍රවෘත්තියට එතරම් ප්‍රසාදයක් හිමි නොවිණි.

44 හැවිරිදි රෙපරමාදු ආගම් භක්තිකයෙකු සහ හිටපු ප්‍රාථමික පාසල් ගුරුවරියක වන සුසී ස්ටීවන්සන් පවසන්නේ, "අපි පල්ලිය රාජ්‍යයෙන් වෙන් කළ යුතු යි," යනුවෙනි.

ඇය 2023 මැයි මාසයේදී ඔක්ලහෝමා ගුරු සංගමය "ත්‍රස්තවාදී සංවිධානයක්" ලෙස හැඳින්වූ ක්‍රිස්තියානි රිපබ්ලිකානුවෙකු වන වෝල්ටර්ස් විවේචනය කරන්නී ය.

මන්ත්‍රීවරයෙකු වන වෝල්ටර්ස් සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වන ලෙසට බීබීසීය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

දෙමවුපියන් බොහෝ දෙනෙක් ද මෙම තීරණය ගැන කලකිරී සිටිති. ඔක්ලහෝමාහි ග්‍රාමීය පාසල් සන්ධානයේ නිර්මාතෘ එරිකා රයිට් ඒ අතරින් එක් අයෙකි.

"බයිබලය අනිවාර්ය කරනවා වෙනුවට, ඔවුන්ට පාසල්වල දුප්පත්කම ගැන හිතන්න තිබුණා."

ක්‍රිස්තියානි සහ රිපබ්ලිකන් ඔක්ලහෝමා වැසියෙකු වන රයිට් මා සමග පැවසුවේ, ප්‍රාන්තයේ පාසල්වලට ලැබෙන අරමුදල් පහළ මට්ටමක පවතින බවත් ග්‍රාමීය ප්‍රදේශවල ඇතැම් දරුවන්ට නිවසේදී පෝෂ්‍යදායී ආහාර නොලැබන බව ත් ය.

ඔක්ලහෝමා නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි නෝබල් හරහා ගමන් කරන විට අපට දැකගන්නට ලැබුණේ, තාවකාලිකව අටවා ගත් නිවාසවල ඇතැම් පිරිස් ජීවත් වන ආකාරය යි.

"බයිබලයක් ගන්නවත් සල්ලි නැහැ," ඇය පවසනවා. ඔක්ලහෝමාහි දරිද්‍රතාව ජනගහනයෙන් 15%ක් දක්වා ඉහළ යන නමුත් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල එය බෙහෙවින් ඉහළ ය.

මෙම සංස්කෘතික යුද්ධය මැද, දේශපාලනය සහ ආගම පිළිබඳ කෘති කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇති ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සැමුවෙල් පෙරී, මෙම නියෝගය පුළුල් න්‍යාය පත්‍රයක කොටසක් බවට විශ්වාස කරයි.

මෙම න්‍යාය පත්‍රය අන්තවාදී නායකයින් විසින් මෙහෙයවනු ලබන අතර එය ඇමෙරිකානු සිවිල් ජීවිතය සහ ගතානුගතික ඇන්ග්ලෝ-ප්‍රොතෙස්තන්ත ජනවාර්ගික සංස්කෘතිය අතර ඒකාබද්ධතාවක් ප්‍රවර්ධනය කරන දෘෂ්ටිවාදයක් වන ක්‍රිස්තියානි ජාතිකවාදයේ මූලධර්ම අනුගමනය කරන බව ඔහු විශ්වාසය යි.

"ක්‍රිස්තියානි ජාතිකවාදයේ ව්‍යාප්තිය ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්," ඔහු පවසයි.

'ට්‍රම්ප් එව්වේ දෙවියන් වහන්සේ'

Jackson Lahmeyer

ඡායාරූප මූලාශ්‍රය, Jackson Lahmeyer

ඡායාරූප ශීර්ෂ වැකිය, දේවගැති ජැක්සන් ලාමයර් පවසන්නේ, "මේ රට පාලනය කරන්න ට්‍රම්ප් එව්වේ දෙවියන් වහන්සේ" බව ය.

දැඩි ලෙස දුගී බවින් පෙළෙන ප්‍රජාවන් අතර කුඩා දේවස්ථාන පිහිටුවීමෙන්, බයිබල් තීරයේ දේවගැතිවරුන් විසින් ඇදහිලිවන්තයන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ලබන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එය රිපබ්ලිකන් පක්ෂයේ වඩාත් ගතානුගතික අදහස් වෙත යොමු කිරීමට භාවිත කරති.

එපමණක් නොව ට්‍රම්ප් මෑත වසරවලදී මෙම කණ්ඩායමට ප්‍රගතියක් ලබා ගැනීමට ඇති හොඳ ම මාධ්‍යය බවට පත්ව ඇත.

ඔක්ලහෝමා වැසියෙකු වන දේවගැති ජැක්සන් ලාමයර් ට්‍රම්ප්ගේ හිතවාදියෙකි.

"මේ රට පාලනය කරන්න ට්‍රම්ප්ව එව්වේ දෙවියෝ," යනුවෙන් Pastors4Trump (ට්‍රම්ප් වෙනුවෙන් දේවගැතිවරු) කණ්ඩායමේ නිර්මාතෘවරයෙකු වන ලාමයර් පවසයි.

ඔහුගේ අරමුණ මීළඟ මැතිවරණයේදී ට්‍රම්ප්ට සහය දැක්වීම සඳහා "එවැන්ජලිස්ත ඡන්ද දායකයින් බලමුළු ගැන්වීම" ය.

ජූලි මස මැද භාගයේ පැවති දේශපාලන රැලියකදී ඝාතන තැතකින් හිටපු ජනාධිපතිවරයා දිවි ගලවා ගැනීම "දිව්‍යමය ආශ්චර්යයක්" ලෙස ලාමයර් හඳුන්වයි.

ඔක්ලහෝමාහි ටුල්සා සිට දුරකතන සංවාදයකදී මෙම හිටපු සෙනෙට් අපේක්ෂකයා පැවසුවේ, "අපේ රට සිවිල් යුද්ධයට එක පියවරක් පිටිපස්සෙන් හිටියේ," යනුවෙනි.

මෙම රෙපරමාදු දේවගැතිවරයා සහ දේශපාලන ක්‍රියාකාරිකයා ක්‍රිස්තියානි ජාතිකවාදියෙකු ලෙස තමා හැඳින්වීම ප්‍රතික්ෂේප කරයි.

"ඒක අපි ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ලෙස පෙන්වන්න මාධ්‍ය අපිට අලවපු ලේබල් එකක්," ඔහු පවසයි. "ඒක ඇත්ත නෙවෙයි."

Paul Blair, pastor in Oklahoma
ඡායාරූප ශීර්ෂ වැකිය, පාස්ටර් පෝල් බ්ලෙයාර් තර්ක කරන්නේ කිතුනුවන් සැමවිට ම රජයට බලපෑම් කර ඇති බව ය.

ඔක්ලහෝමා නගරයේ උපනගරයක් වන එඩ්මන්ඩ්හි ෆෙයාර්වීව් බැප්ටිස්ට් දේවස්ථානයේ නායක දේවගැති පෝල් බ්ලෙයාර් තමන්ව එලෙස නිර්වචනය නොකරයි.

"මම ක්‍රිස්තියානි ද? ඔව්. මම ජාතිකවාදියෙක් ද? ඔව්," ඔහු ඔහුගේ දේවස්ථානය තුළදී මා සමග පවසයි. "නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, එයාලට ලේබල් කරන්න අවශ්‍ය විදිහට මම ක්‍රිස්තියානි ජාතිකවාදියෙක් කියලා."

"ක්‍රිස්තියානි ජාතිකවාදියෙක් වීම අපහාසයක් වෙලා," ඔහු පවසයි.

සිය මේසය මත හිඳගෙන, හිටපු ඔක්ලහෝමා සෙනෙට් අපේක්ෂකයයෙකු වන මෙම දේවගැතිවරයා 1980 ගණන්වල අග භාගයේ චිකාගෝ බෙයර්ස් කණ්ඩායමේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ඔහු කටයුතු කළ කාලයේ ඡායාරූප මට පෙන්වයි.

බ්ලෙයාර් මේ වන විට රෙපරමාදු නායකයින් දේශපාලනයේදී ඔවුන්ගේ ආගමික න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීමට ඉගෙන ගන්නා ලිබර්ටි පාස්ටර් පුහුණු කඳවුරු භාරව සිටියි.

බ්ලෙයාර් පවසන පරිදි පුහුණු කඳවුරුවලදී දේවගැතිවරු රජය තුළ ක්‍රිස්තියානි බලපෑම හෝ පුරවැසියන්ගේ නිදහස ආරක්ෂා කිරීම වැනි මාතෘකා අධ්‍යයනය කරති.

"මේ පුහුණුව නිර්මාණය කරලා තියෙන්නේ දේවගැතිවරුන්ට ජීවිතයේ සෑම අංශයක් ගැන ම බයිබලයට අනුකූලව සිතන්න පුරුදු කරන්න," ඔහු පවසයි. ඔහු "දේශප්‍රේමී දේවගැතිවරුන්" ලෙස තමන් ම හඳුන්වා ගන්නා ප්‍රොතෙස්තන්ත ප්‍රාදේශීය නායකයින් පිරිසක් නියෝජනය කරයි.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මෙන්, බ්ලෙයාර් සිතන්නේ ඇමෙරිකාව 1776 නිදහස් ප්‍රකාශනය අත්සන් කරන ලද එහි ආරම්භක මොහොතේ වටිනාකම් වෙත ආපසු යා යුතු බව ය.

"ඓතිහාසික වශයෙන් ගත්තා ම කිතුනුවන් සැමවිට ම රජයට බලපෑම් කළා," ඔහු පවසයි.

බ්ලෙයාර් විශ්වාස කරන්නේ, ට්‍රම්ප් 2020 මැතිවරණයේ නීත්‍යනුකූල ජයග්‍රාහකයා ලෙස ත් 2021 ජනවාරියේ 'ද කැපිටල්' ප්‍රහාරයට සහභාගී වීම නිසා සිරගත කරන ලද ජනතාව "දේශපාලන සිරකරුවන්" ලෙස ත් ය.

දැන් ඔහු බලාපොරොත්තු වන්නේ පසුගිය මැතිවරණයේදී 65%ක ඡන්ද ප්‍රතිශතයක් (රටේ ඉහළ ම බහුතරයක් සහිත) ලබා ගනිමින් ඔක්ලහෝමා ජයග්‍රහණය කළ ට්‍රම්ප් දෙවන වරටත් ඇමෙරිකාවේ ජනාධිපති ධූරයට පත් වනු ඇති බව ය.

බයිබල් තීරයේ ගතානුගතික රෙපරමාදු දේශපාලන නායකයින් අතර ඇති බලාපොරොත්තුවක් වන්නේ, ඔවුන්ගේ “දේව දූත මෙහෙවර” දේශපාලන බලය භාවිත කරමින් ප්‍රචාරය කිරීම ය.

කෙසේ හෝ ට්‍රම්ප් සහ ඔහුගේ උපජනාධිපති අපේක්ෂක ජේඩී වෑන්ස් එම දේශපාලන සටන මූර්තිමත් කරන පුද්ගලයින් බවට පත්ව ඇත.

ට්‍රම්ප් සහ ගබ්සාව


Evangelicals for Trump campaign event held at King Jesus International Ministry, Miami, in January 2020

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් විනිසුරුවන් පත් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගතානුගතික බහුතරයක් ස්ථාපනය කළ අතර, ගබ්සාවට එරෙහි බොහෝ විරෝධතාකරුවන්ට එය සතුටට කරුණක් විය.

ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ, අනෙක් දෑ තිබුණ ද, දශක කිහිපයක් පුරා බලපෑ හැකි රටේ ඉහළ ම අධිකරණය ගතානුගතික කරමින් ඔහුගේ පාලන සමයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ඓතිහාසික ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඔහුට ස්තූති කරති.

එම ගතානුගතික බහුතරයට ස්තූතිවන්ත වන්නට, ශ්‍රේෂ්ඨාධිකරණය අඩ සියවසකට ආසන්න කාලයක් රට තුළ ගබ්සා කිරීමේ අයිතිය සහතික කළ තීන්දුව 2022දී අවලංගු කළ අතර, එම තීරණය එක් එක් ප්‍රාන්තවලට ද ව්‍යාප්ත විය.

ඔක්ලහෝමා සහ ආකැන්සා වැනි බයිබල් තීරයේ ප්‍රාන්තවල ගබ්සාව සම්බන්ධයෙන් ඉතා සීමාසහිත නීති ඇත: එය කළ හැක්කේ මවගේ ජීවිතය අනතුරේ ඇති නම් පමණි.

කෙසේ වෙතත්, විවේචකයින් පවසන්නේ එවැනි ව්‍යතිරේකයක් සඳහා රෝගියා සුදුසුකම් ලබන බව නීත්‍යනුකූලව ඔප්පු කිරීම වෛද්‍යවරුන්ට පවා ඉතා අපහසු බව ය.

මෙවර මැතිවරණයේදී ගබ්සාව විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ, බයිබල් තීරයේ වැඩි බලයක් ඇති රිපබ්ලිකන් පක්ෂයේ දැඩි ගතානුගතික කොටස පූර්ණ වශයෙන් ගබ්සා තහනමක් දැකීමට කැමති බැවිනි. එය ට්‍රම්ප් නැවත බලයට පැමිණියහොත් කළ හැකි යැයි ඔවුහු සිතති.

ගැඹුරු ආගමික වටිනාකම් නොමැති අයෙකු ලෙස බොහෝ දෙනෙකු දකින හිටපු ජනාධිපතිවරයා සමග සැසඳීමේදී ඔවුන් වෙනස්කම් දුටුව ද, මෙම ධනපතියා ඔහුගේ පාලන සමයේ සුප්‍රසිද්ධ ගතානුගතික රෙපරමාදු නායකයින්ට ධවල මන්දිරයේ දොරටු විවෘත කළ අතර එවැන්ජලිස්ත දේවගැතිවරුන් සමග විශාල රැස්වීම්වලට සහභාගී වීම ඔහු තවදුරටත් සිදු කරයි.

ධවල මන්දිරයේ එවැන්ජලිස්තවරුන්?

A protester holds a Bible with the words "Thank God for Trump" written on it, in front of the Georgia state Capitol in November 2020.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් ආධාරකරුවන් රැසක් - ඇතැමෙකු බයිබලය අතැතිව - 2020දී වීදි බැස තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියහ.

ට්‍රම්ප් සිය පාලන කාලය තුළ, 'Faith and Opportunity Initiative' නමින් නව රජයේ කාර්යාලයක් ඇති කිරීම සඳහා විධායක නියෝගයකට අත්සන් කළේ ය.

"ආණ්ඩුවට වඩා ඇදහිල්ල බලවත්, දෙවියන්ට වඩා බලවත් කිසිවක් නැහැ," ඔහු ලේඛනයට අත්සන් කළ අවස්ථාවේ පැවසීය.

පසුව, ට්‍රම්ප් 2020 මැතිවරණයෙන් පරාජය වූ විට, ඊනියා "දේශප්‍රේමී දේවගැතිවරුන්" හෝ "මාගා [මේක් ඇමරිකා ග්‍රේට් අගේන්] දේවගැතිවරුන්" ඔහුගෙන් ජනාධිපති ධූරය සොරකම් කර ඇති බව ප්‍රකාශ කිරීමට ඉදිරිපත් විය. ඔක්ලහෝමා ව්‍යාපාරික ක්ලේ ක්ලාක්ගේ සම දායකත්වයෙන් ආරම්භ කරන ලද, අලුතින් පිහිටුවන ලද අන්ත දක්ෂිණාංශික ReAwaken America Tour ව්‍යාපාරයට බොහෝ දෙනෙක් සම්බන්ධ වූහ.

අද, මෙම ව්‍යාපාරය එවැන්ජලිස්තවරුන්, ගිනිඅවි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පිරිස්, සංක්‍රමණ විරෝධී පිරිස්, LGBTQ+ විරෝධී පිරිස් සහ කොමියුනිස්ට් විරෝධී ක්‍රියාකාරීන් මෙන් ම ට්‍රම්ප්ගේ ප්‍රකාශ තුළ නියෝජනය වන බව හැඟෙන ඕනෑ ම අයෙකු සහභාගී වන ජනහමු සංවිධානය කිරීම අඛණ්ඩව කරගෙන යයි.

බොහෝ අය පවසන්නේ, ඔවුන් වමට එරෙහිව ආධ්‍යාත්මික යුද්ධයක් කරන දෙවියන්ගේ සෙබළුන් බව ය. ෆෙඩරල් රජය සහ ඇමෙරිකානු ජීවිතවල ප්‍රධාන අංග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හිටපු ට්‍රම්ප් උපදේශකයින් විසින් ඉදිරිපත් කරන ලද මතභේදාත්මක යෝජනාවක් වන Project 25හි මෙම අදහස් කිහිපයක් ඇතුළත් වේ.

ට්‍රම්ප් එම ව්‍යාපෘතියෙන් ඈත් වී ඇතත්, රිපබ්ලිකානුවන් ධවල මන්දිරයට ආපසු ගියහොත්, එය පිටුපස සිටින බලගතු ගතානුගතික සහ ආගමික කණ්ඩායම් එම න්‍යාය පත්‍රය ඔහු මත පැටවීමට උත්සහ කරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති.