කමලා හැරිස්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඇන්ඩෲ වෙබ්
- Role, බීබීසී ලෝක සේවය
එක්සත් ජනපද ජනාධිපතිවරණ අපේක්ෂක තරගයෙන් ඉවත් වූ පසු, ජනාධිපති ජෝ බයිඩන් ඔහු වෙනුවට උප-ජනාධිපති කමලා හැරිස් නම් කර තිබේ.
කමලා හැරිස් තවමත් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් තෝරාගෙන නැත. එහෙත්, ඇය ධවල මන්දිරයේ ඉහළ ම තනතුර සඳහා වන තරගයෙන් ජයග්‍රහණය කළහොත්, ඇය ඇමෙරිකාවේ පළමු කාන්තා ජනාධිපතිවරිය සහ එරට ඉන්දියානු සහ ජැමෙයිකානු සම්භවයක් ඇති පළමු ජනාධිපතිවරිය බවට පත් වනු ඇත.
1829 වසරේ ඇන්ඩෲ ජැක්සන්ගෙන් පසු, සංක්‍රමණිකයන්ගේ දරුවෙකු ජනාධිපති ධූරයට පත්වන පළමු පුද්ගලයා ද ඇය වනු ඇත.
ජාත්‍යන්තර ප්‍රශ්න සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් උප-ජනාධිපතිනි කමලා හැරිස්ට ඇති අත්දැකීම් සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ඇය දරන ස්ථාවරය දෙස කරනු ලබන විමසුමකි, මේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
යුක්රේනය
කමලා හැරිස් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වුවහොත් වෙනස් වීමට ඉඩ ඇති ප්‍රධාන විදේශ ප්‍රතිපත්තිවලින් එකක් වන්නේ යුක්රේනයේ සිදු කෙරෙන රුසියානු යුද්ධය යි.
ට්‍රම්ප්ගේ ස්ථාවරය රුසියාවේ ආක්‍රමණයට ප්‍රතිරෝධය දක්වන රටවල් අතර නොසන්සුන්තාවක් ඇති කරයි.
ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත්වුවහොත් යුක්‍රේනයට දක්වන සහයෝගය දුර්වල කරනු ඇති අතර, රුසියාවට සංයමයකින් තොරව ක්‍රියා කිරීමට දිරිමත් කරනු ඇතැයි යුක්රේනයට සහය දෙන යුරෝපීය ජාතීන් අතර බියක් පවතී.
2022 වසරේදී ඇරඹුණු රුසියානු ආක්‍රමණයට එරෙහි විරෝධය සඳහා යුක්‍රේනයට යුද්ධ උපකරණ යැවීම සම්බන්ධයෙන් කමලා හැරිස්, ජනාධිපති බයිඩ්න්ට ප්‍රසිද්ධියේ පූර්ණ සහයෝගය ලබා දී තිබේ.
"අපි යුක්රේනයටත්, ඊශ්‍රායලයටත් අරමුදල් ලබා දිය යුතු යි," ඇය පැවසුවා ය. "මේ ගැටලු සියල්ල වටා අප කළ යුතු දේ බරපතළ ලෙස වැදගත්."
රුසියානු යුද්ධ ටැංකි යුක්‍රේනය වෙත යාමට සති කිහිපයකට පෙර, 2022 මියුනෙක් ආරක්ෂක සමුළුවට සහභාගි වූ ඇමෙරිකානු දූත පිරිසෙහි ප්‍රධානියා වූයේ, ඇය යි.
2024 ජූනි මාසයේදී, ස්විට්සර්ලන්තයේ පැවති යුක්‍රේනයේ සාමය සඳහා වූ සමුළුවේදී ඇය ඇමෙරිකාව නියෝජනය කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, අවස්ථා දෙකේදී ම, ජර්මනියේ ම්‍යුනික්හි රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ස්විට්සර්ලන්තයේ ලුසර්න්හි ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් වැනි වඩා පුළුල් විදේශ ප්‍රතිපත්ති පිළිබඳ පළපුරුද්දක් ඇති නිලධාරීන් විසින් ඇයට සහය ලබා දෙන ලදී.
බයිඩ්න් සහ බොහෝ විදේශීය උසස් නිලධාරීන් මෙන් නොව, කමලා හැරිස් නිලයේ සිටියදී කිසි දිනෙක යුක්‍රේනයට ගොස් නැත. කෙසේ වෙතත්, ඇය යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි හය වරක් හමුවී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහකරු ලෙස ජේ.ඩී. වාන්ස් තෝරා ගැනීම හරහා ට්‍රම්ප්ගේ "පළමුව ඇමෙරිකාව" යන ප්‍රතිපත්තිය මගින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පිළිගන්නා ලෙස යුක්‍රේනයට බලපෑම් කළ හැකි බවට යුරෝපයේ කනස්සල්ල යළිත් මතු වී තිබේ.
යුරෝපීය ආණ්ඩු අතර පවතින භීතිය නම්, අනාගත ට්‍රම්ප් පරිපාලනයකින් සාම ගිවිසුමක් තුළින් යුක්‍රේනයේ භූමිය අත්හැරවීමට උත්සහ කරනු ඇතැයි යන්න ය.
රුසියාව සහ නේටෝ
යුරෝපීය සහ උතුරු ඇමෙරිකානු රටවල් අතර ආරක්ෂක සන්ධානය වන නේටෝ සංවිධානයට සහය දැක්වීම සඳහා ඇමෙරිකාව සැමවිට ම සිය වගකීම් ඉටු කරන බවට කමලා හැරිස් ප්‍රතිඥා දී තිබේ.
රටවල් තම දළ දේශීය නිෂ්පාදිතයෙන් (දළ දේශීය නිෂ්පාදිතය - රටක ආර්ථික ක්‍රියාකාරකම් මිනුම) නේටෝවට අවම වශයෙන් 2% ක් ලබා දීමට අපොහොසත් වුවහොත් සන්ධානයෙන් ඉවත් වන බවට ට්‍රම්ප් කළ තර්ජන ඇය දැඩි ලෙස විවේචනය කර ඇත.
අපේක්ෂිත 2% ගෙවීමට අපොහොසත් වන නේටෝ රටවල් ආක්‍රමණය කිරීමට රුසියාව දිරිමත් කරන බව ට්‍රම්ප් පවසා තිබේ.
"ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා කියන පරිදි, අපේ මිත්‍ර රටවල් ආක්‍රමණය කිරීමට ම්ලේච්ඡ ආඥාදායකයෙකු දිරිමත් කරන බවත්, ඇමෙරිකාව ඒ දෙස පැතතකට වෙලා බලා සිටින බවත් යන අදහස යි. පක්ෂ භේදයකින් තොරව මීට පෙර සිටි කිසිදු ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් රුසියානු ඒකාධිපතියෙකුට හිස නමා නැහැ," හැරිස් පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඊශ්‍රායලය සහ ගාසාහි යුද්ධය
2023 ඔක්තෝබර් 7 වන දා ප්‍රහාරයෙන් පසු, හමාස් සංවිධානයට එරෙහිව ආරක්ෂා වීමට අයිතියක් ඇති බව පවසමින් කමලා හැරිස් ඊශ්‍රායලයට ප්‍රසිද්ධියේ සහය පළ තිබේ.
2023 නොවැම්බර් මාසයේදී ඇය පැවසුවේ, "ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා අපි ලබා දෙන සහයෝගය මත අපි කිසිදු කොන්දේසියක් නිර්මාණය කිරීමට යන්නේ නැහැ," යනුවෙනි.
එහෙත්, මාසයකට පසුව, ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය අනුගමනය කළ යුද්ධමය ක්‍රියාමාර්ගයේදී "අහිංසක පලස්තීනුවන් විශාල සංඛ්‍යාවක් මරා දමා ඇති" බව පවසමින් ඇය බයිඩ්න් සහ අනෙකුත් රජයේ නිලධාරීන්ට වඩා ඊශ්‍රායලය සම්බන්ධයෙන් විවේචනාත්මක ස්ථාවරයක් ගත්තා ය.
"අහිංසක සිවිල් වැසියන් ආරක්ෂා කරන්න ඊශ්‍රායලය මීට වඩා යමක් කළ යුතු යි," ඇය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ වසරේ මාර්තු වන විට, ඇමෙරිකාවේ සහ ලොව පුරා පැවති දැවැන්ත විරෝධතාවලින් පසුව, කමලා හැරිස් පැවසුවේ ඊශ්‍රායලය "ආධාර ප්‍රවාහය සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමට වැඩි යමක් කළ යුතු යි - නිදහසට කරුණු වැඩක් නැහැ," යනුවෙනි.
දේශසීමා හරස් මාර්ග විවෘත කර මානුෂීය සේවකයින් ආරක්ෂා කරන ලෙස ඇය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියාය.
ජුලි 22 දා ගාසාහි හමාස් සංවිධානයට අයත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයන් 39,006 දෙනෙකු මිය ගොස් ඇති බව ය.
ට්‍රම්ප් සිය ජනාධිපති ධූර කාලය තුළ ඊශ්‍රායලයට ප්‍රබල සහයෝගයක් දැක්වීය. ඔහු එහි සංචාරයක යෙදී සිටියදී ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර බවට පත් කිරීමට ඇමෙරිකාවේ සහයෝගය ලබා දෙන බවට මතභේදාත්මක ප්‍රකාශයක් කළේ ය.
කමලා හැරිස් උප-ජනාධිපතිනිය ලෙස දෙවරක් මැද පෙරදිගට ගොස් ඇතත්, එම ධූරය දරද්දී ඊශ්‍රායලයට ගොස් නොතිබිණි. ට්‍රම්ප් ජනාධිපතිව සිටියදී එහි ගියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
මධ්‍යම ඇමෙරිකාව
මෙක්සිකානු දේශසීමාව හරහා සංක්‍රමණයන් සිදු වීමට හේතු සොයා බැලීම උප-ජනාධිපතිනිය ලෙස හැරිස්ගේ එක් වගකීමක් විය.
ට්‍රම්ප් සහ අනෙකුත් රිපබ්ලිකානුවන් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇයව සෘජුව ම විවේචනය කර ඇති අතර, ගොඩනැගෙමින් තිබූ මහජන රැල්ල වැළැක්වීමට ඇය අපොහොසත් වූ බව පවසති.
2021 මාර්තු මාසයේදී ග්වාතමාලාවේ සංචාරයකදී, NBC නිවේදකයෙකු වූ ලෙස්ටර් හෝල්ට්, කමලා හැරිස් ඇමෙරිකා-මෙක්සිකෝ දේශ සීමාවට නොපැමිණියේ මන්දැයි අභියෝග කළේ ය - ඇයගේ ප්‍රතිචාරය විචාරකයින්ගේ උපහාසයට හේතු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මධ්‍යම ඇමෙරිකාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වීමේ "මූලික හේතු" සම්බන්ධයෙන් කටයුතු කිරීම භාරව සිටින්නේ තමන් බව පැවසූ ඇය, තමන් "යුරෝපයට" ගොස් නැති බව ද සඳහන් කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුව ඇය 2021 වසරේ ටෙක්සාස්හි සංචාරයක් අතරතුර දේශසීමා නැරඹීමට ද ගියා ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රිපබ්ලිකානුවෝ කමලා හැරිස්, "දේශසීමා සාර් රැජිණ" ලෙස හඳුන්වන අතර, දකුණෙන් සංක්‍රමණය වීමට ඉඩ දීම ගැන බයිඩ්න් පරිපාලනය විවේචනය කරති.
ට්‍රම්ප්ගේ 2016 ප්‍රචාරක ව්‍යාපාරයේදී දේශසීමා තාප්පයක් ඉදිකිරීමට පොරොන්දු වීමෙන්, මෙක්සිකෝවේ සිට සිදුවන සංක්‍රමණ වැළැක්වීම ප්‍රධාන ඉලක්කයක් විය.
කමලා හැරිස් උප-ජනාධිපතිනිය ලෙස කටයුතු කරන කාලය තුළ, 2021, 2022 සහ 2023 වසරවල වාර්තා වූ නීති විරෝධී දේශසීමා සංක්‍රමණ සමස්තයක් ලෙස ඉහළ මට්ටමක පැවතිණි - ඇත්ත වශයෙන් ම, 2024 වසරේදී සංක්‍රමණ පහත වැටී ඇත.
බොහෝ සංක්‍රමණිකයන්ට සරණාගතභාවය පැතීම තහනම් කරමින් ජනාධිපති බයිඩ්න් විධායක නියෝගයක් නිකුත් කිරීමෙන් පසු, ජූනි මාසයේදී ඔවුහු වසර තුනක් තිස්සේ අවම සංක්‍රමණ මට්ටමකට ළඟා වූහ.
2021 දී දින තුනක් සහ 2022 දී එක් දිනක් - උප-ජනාධිපතිනිය ලෙස දෙවරක් පමණක් මධ්‍යම ඇමෙරිකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් කමලා හැරිස් විවේචනයට ලක්ව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
චීනය
ට්‍රම්ප් මෙන් ම හැරිස් ද චීනය විවේචනය කර ඇත. හිටපු ජනාධිපතිවරයා මෙන් නොව, ඇයගේ අවධානය යොමු වී ඇත්තේ, වෙළඳ ගාස්තු කෙරෙහි නොව, භූ දේශපාලන බල අරගල කෙරෙහි ය.
දකුණු චීන මුහුදේ භෞමික ආරවුල් සම්බන්ධයෙන් චීනය "හිරිහැර කිරීම" සම්බන්ධයෙන් ද ඇය චෝදනා කර ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන්, චීනය චෝදනා කර ඇත්තේ, මුහුදේ ගැටලු ආශ්‍රිතව පවතින උණුසුම් තත්ත්වය පසු පස "අදිසි හස්තයක්" ලෙස වොෂිංටනය ක්‍රියා කරන බවට ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උප-ජනාධිපතිනිය ලෙස ඇය ආසියාවේ කළ සංචාරයන් හතරකදී හැරිස් මහත්මිය දකුණු කොරියාවට ගොස් තිබේ.
ඇය දකුණ සහ උතුර අතර යුද්ධ මුක්ත කලාපය (DMZ) වෙත ඇතුළු වූ අතර කලාපය තුළ චීනයේ බලපෑම මැඩපැවැත්වීමේ උත්සහයන් පිළිබඳව අවධාරණය කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ට්‍රම්ප් 2019 වසරේදී ජනාධිපතිවරයා ලෙස යුද්ධ මුක්ත කලාපය වෙත කළ සංචාරයට ඔහු උතුරු කොරියාවට පිවිසීම සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමග අතට අත දීම ද ඇතුළත් විය.
ඔහු සිංගප්පූරුවේදී කිම් සමග සාකච්ඡාවකට ද එක් විය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ට්‍රම්ප්, කිම් සමග පැවති රැස්වීම් පිළිබඳව පුරසාරම් දොඩවද්දී, කමලා හැරිස් සාම්ප්‍රදායික මිත්‍ර පාක්ෂිකයින්ට වාචික සහය ලබා දෙමින් වඩාත් සාම්ප්‍රදායික ස්ථාවරයක් අනුගමනය කර ඇත.
ට්‍රම්ප්ගේ සහ බයිඩ්න්ගේ ජනාධිපති ධූර කාලවලදී, ඇමෙරිකාව චීනයට බදු පනවා තිබේ.
වත්මන් පරිපාලනය තමන්ගේ ම විදුලි වාහන කර්මාන්තය නගා සිටුවීම සඳහා චීන විදුලි වාහන ආනයනය කිරීමේදී මිල ඉහළ දමා තිබේ.
මේ අතර, ට්‍රම්ප්, හරිත කර්මාන්ත අඩු කිරීමට හෝ අවසන් කිරීමට පොරොන්දු වී තිබේ.
අප්‍රිකාව සහ මැද පෙරදිග
කමලා හැරිස්, 2023 වසරේදී අප්‍රිකාවේ සංචාරය කළ ඇමෙරිකානු නිලධාරීන් අතර වූවා ය.
අනෙකුත් ගෝලීය බලවතුන්ගෙන්, විශේෂයෙන් ම චීනයෙන් සහ රුසියාවෙන් වර්ධනය වන තරගකාරිත්වය හමුවේ අප්‍රිකානු ජාතීන් සමග එහි සම්බන්ධය බලවත් කිරීමට ඇමෙරිකානු පරිපාලනයේ වැඩෙන අභිප්‍රාය මෙම පියවරෙන් පිළිබිඹු වේ.
2024 මැයි මාසයේදී ඇය අප්‍රිකාවේ ජනගහනයෙන් 80%කට ඉන්ටර්නෙට් ප්‍රවේශය දෙගුණ කිරීමට සහය දෙන සැලසුම් නිවේදනය කළා ය.
දශකයකට ආසන්න කාලයක් යේමනයේ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා යේමන රජය සමග හවුල් වී සිදු කළ සෞදි අරාබියේ මෙහෙයුම් සීමා කිරීමට හැරිස් ක්‍රියාකාරී භූමිකාවක ද නිරත වී තිබේ.
සෙනෙට් සභිකයෙකු ලෙස, කමලා හැරිස් යේමනය තුළ සෞදි අරාබියේ ක්‍රියා සහ ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලයේදී වොෂින්ටන් පෝස්ට් මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියට ආයුධ අලෙවිය සීමා කිරීමට ඡන්දය ප්‍රකාශ කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Middle East Monitor handout via Reuters
යේමනයේ සිය මෙහෙයුම් සම්බන්ධයෙන් සෞදි අරාබිය සමග ඇමෙරිකාව සමග යුද්ධමය සහයෝගීතාව නතර කිරීමට ඇය 2018 සහ 2019 දී ඉදිරිපත් කළ පනත්වලට ඇය සම අනුග්‍රහය දැක්වීය.
කෙසේ වෙතත්, සෞදි අරාබිය හුදෙකලා කිරීම වළක්වා ගැනීමට ඇය ප්‍රවේශම් වී ඇත:
"ඇමෙරිකාවට සහ සෞදි අරාබියට තවමත් ත්‍රස්තවාදයට එරෙහි වීම වගේ අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ක්ෂේත්‍ර තිබෙනවා. ඒ වගේ කරුණුවලදී සෞදි රජය අපගේ ශක්තිමත් හවුල්කරුවන් වී තිබෙනවා," ඇය 2020 දී ඇමෙරිකාවේ විදේශ සබඳතා කවුන්සිලය වෙත ඇය පැවසුවා ය.
මානව හිමිකම්
සෞදි අරාබියට ආධාර සැපයීම සීමා කිරීමට ක්‍රියා කිරීම හැරුණු විට, කමලා හැරිස් වෙනත් සෑම ස්ථානයක ම පාහේ මානව හිමිකම් තහවුරු කිරීමේ නීතිවලට සහය දක්වා ඇත.
ශත වර්ෂයක් පුරා සෙසු නේටෝ සාමාජික රටවල් වන තුර්කිය සහ ආර්මේනියාව අතර ගැටුම් තත්ත්වයට මූලාශ්‍රයක් වූ ආර්මේනියානු ජන සංහාරය සැමරීම සඳහා නීති සම්පාදනය කිරීමට ඇය සහය දුන්නා ය.
ටෙහෙරාන්හි න්‍යෂ්ටික වැඩසටහන පාලනය කිරීම සඳහා ඉරානය සමග 2015 වසරේදී ඒකාබද්ධ පුළුල් ක්‍රියාකාරී සැලැස්මට කමලා හැරිස් සහාය දුන්නා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2020 වසරේදී ට්‍රම්ප්ගේ ජනාධිපති ධූරය යටතේ සිරියාවේදී ඉරානයේ ඉහළ ම ජෙනරල්වරයෙකු වූ කාසීම් සොලෙයිමානි ඝාතනය කළ හමුදා ප්‍රහාරයක් ද ඇය හෙළා දැක තිබිණි.
ඉරාන නායකයින්ට සහ ඉලක්කවලට එරෙහිව තවදුරටත් යුද්ධමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා අසාර්ථකත්වයට පත්වූ නීති සම්පාදනය කිරීමට ද කමලා හැරිස් කටයුතු කළා ය.













