ජනාධිපතිවරණ සටන උඩු යටිකුරු කරමින් බයිඩන් අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නැවත තේරී පත්වීමේ උත්සහය අවසන් වූ අයුරු
    • Author, ග්‍රෑම් බේකර් සහ මයිකල් ෂේල්ස් මැක්නමී
    • Role, බීබීසී පුවත්, වොෂින්ටන් සහ ලන්ඩන්

මේ වන විටත් තියුණු තරගයක් බවට පත්ව ඇති ජනාධිපතිවරණ සටන උඩු යටිකුරු කරමින් ජනාධිපති ජෝ බයිඩන් නැවත වරක් ජනාධිපති ධූරයට තරග කිරීමේ සිය ප්‍රයත්නය අවසන් කර ඇති අතර මීළඟ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස උප-ජනාධිපති කමලා හැරිස් වෙත සහය පළ කරන බවට ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

81 හැවිරිදි බයිඩන් ඉරිදා ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "විශිෂ්ටතම ගෞරවය" සේවය කිරීමට ලැබීම නමුත් ඔහු ඉවත් වන්නේ, තම "පක්ෂයේ සහ රටේ යහපත වෙනුවෙන්" බව ය.

ජූනි 27 වන දා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඔහුගේ ඇතැම් විට නොගැළපුණු රූපවාහිනි විවාදයෙන් ආරම්භ වූ එක්සත් ජනපද දේශපාලනයේ කැලඹිලිසගහත කාල පරිච්ඡේදයක් මෙම නිවේදනයත් සමග අවසන් වනු ඇත.

59 හැවිරිදි හැරිස් පැවසුවේ, [බයිඩන්ගේ] සහය ප්‍රසිද්ධියේ ම ලැබීම තමාට "ගෞරවයක්" බව ත් "මෙම නාමයෝජනාව දිනා ගැනීමට කැපවී කටයුතු කරන බව" සහ ට්‍රම්ප් අභිබවා යමින් රට එක්සත් කරන බව ත් ය.

"මැතිවරණ දිනයට අපට දින 107ක් තියෙනවා," ඇය පැවසුවා ය. "එක්ව, අපි සටන් කරමු. සහ එක්ව අපි දිනමු."

හැරිස් වෙත පක්ෂයේ බොහෝ ප්‍රබල පුද්ගලයින්ගෙන් සහය ලැබෙන නමුත් ඇයගේ අපේක්ෂකත්වය තවමත් නිල වශයෙන් ප්‍රකශයට පත් කර නොමැති අතර එය අගෝස්තු මාසයේ ඩිමොක්‍රටික් ජාතික සමුළුව තෙක් සිදු නොවනු ඇත.

මේ අතර, නැවත නැගිටිමින් සිටින ට්‍රම්ප් මත විමසුම්වල ඉදිරියෙන් සිටින අතර ඝාතන තැතකින් දිවි ගලවා ගෙන දින පහකට පසු, එනම්, මිල්වාකිහි පැවති පක්ෂයේ සම්මේලනයේදී ඔහුගේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය තහවුරු විය.

බයිඩන්ගේ තීරණයෙන් පසුව, ඔහු ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා "තරග කිරීමට සුදුසු නැහැ.... ඒ වගේ ම සේවය කරන්නත් සුදුසු නැහැ," යනුවෙනි. අනෙකුත් ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් දේශපාලනඥයින් ද ඔහුගේ මෙම විවේචනයට සහය පළ කරමින්, ඩිමොක්‍රටික් අපේක්ෂකත්වයෙන් පමණක් නොව වහා ම ධවල මන්දිරයෙන් ද පිටව යන ලෙස බයිඩන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ප්‍රතිවාදීහු හැරිස් සමග පෙළ ගැසෙති

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

".ආරංචි මාර්ග බීබීසීයට පැවසුවේ, බයිඩන් හැරිස් සහ තවත් අතළොස්සක් සමග පූර්ව සංවාදයක යෙදී තිබුණ ද ඔහුගේ තීරණය ගැන ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයට සහ මැතිවරණ ප්‍රචාරක නිලධාරීන්ට පවා දැනුම් දී ඇත්තේ ඉරිදා පස්වරුවේ සිය ප්‍රකාශය නිකුත් කිරීමට මොහොතකට පෙර බව ය.

හිටපු ජනාධිපති බරක් ඔබාමා, සෙනෙට් නායක චක් ෂූමර් සහ හිටපු කතානායක නැන්සි පෙලෝසි ඇතුළු ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් දේශපාලනඥයින් සහ ප්‍රබලයින් විශාල ගණනක් එසැණින් එම තීරණය පිළිබඳව ප්‍රශංසා කළ අතර බයිඩන් ධූර කාලයේ සිටියදී අත්පත් කර ගත් ජයග්‍රහණ ගැන ගුණ වැයූහ.

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ 2016 ජනාධිපති ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් කියා සිටියේ, නොවැම්බර් ඡන්දය සඳහා පක්ෂයේ අපේක්ෂකයා ලෙස කමලා හැරිස් නම් කිරීමේ තීරණයට තමන් සහය දුන් බව ත් "ඇය තෝරා පත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු දෑ කරන" බව ත් ය.

ඒ අතරතුර, "විශිෂ්ට අපේක්ෂකයෙකු නමක් මතු වනු ඇති බවට" තමා සතුව "දැඩි විශ්වාසයක්" පැවති බව ඔබාමා පැවසුව ද ඔහු ඍජුව හැරිස්ට හෝ වෙනත් අපේක්ෂකයෙකුට සහය පළ නොකළේ ය.

පෙලෝසි අදහස් දක්වා නැත.

නැවත තේරී පත්වීමේ උත්සහය අතහැර දමන ලෙස බයිඩන්ගෙන් ඉල්ලා සිටි පළමු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයා වන පීටර් වෙල්ච්, හැරිස් නම් කිරීමේ "ක්‍රියාවලිය විනිවිදභාවයකින්" සිදු කරන ලෙස ඉල්ලා සිටියේ ය.

නමුත් බයිඩන් පසෙකට වුවහොත් නාමයෝජනා භාර දිය හැකි ප්‍රතිවාදීන් ලෙස හුවා දක්වා තිබුණු ඉහළ පෙළේ දේශපාලනඥයින් ඇතුළුව පක්ෂයේ බොහෝ දෙනෙකු ඇය පිටුපස පෙළ ගැසෙන බවට දැනටමත් ලකුණු තිබේ.

ජනාධිපතිරයෙකු බවට පත් වීමේ අභිලාෂයන් ඇති බවට විශ්වාස කෙරෙන කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්, බයිඩන් "පරාර්ථකාමී" යැයි පවසමින් ප්‍රශංසාවට ලක් කළ අතර ට්‍රම්ප්ට මුහුණ දීමට තරම් "නිර්භීත" සහ "ප්‍රබල" චරිතයක් වන හැරිස් වෙත සහය දුන් බව පැවසීය.

පෙන්සිල්වේනියා ආණ්ඩුකාර ජොෂ් ෂපීරෝ පැවසුවේ "ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස කමලා හැරිස් තේරී පත්වීමට කළ හැකි සෑම දෙයක් ම කරන" බව ය.

වත්මන් ප්‍රවාහන ලේකම් සහ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු වන පීට් බූටජජ්, බයිඩන් "ඇමෙරිකානු ඉතිහාසයේ සැලකිය යුතු බලපෑමක් ඇති කළ ජනාධිපතිවරුන්ගෙන් කෙනෙක්" යනුවෙන් පැවසුවේ, "කමලා හැරිස් මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට කළ හැකි සෑම දෙයක් ම කරනවා," යනුවෙන් ද සඳහන් කරමිනි.

මිචිගන් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රේචන් විට්මර් ප්‍රකාශ කළේ, ඇයගේ කාර්යය "එලෙස ම පවතිනවා... ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු තෝරා පත් කර ගැනීමට සහ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවැත්වීමට මට කළ හැකි සෑම දෙයක් ම කරනවා," යනුවෙනි.

මේ අතර, ඩිමොක්‍රටික් ජාතික කමිටුව සිය අරමුදල් රැස්කිරීමේ කමිටුවල නම්, Harris Victory Fund සහ Harris Action Fund ලෙස සංශෝධනය කිරීමට ඉල්ලා සිටියේ ය.

ප්‍රධාන ඩිමොක්‍රටික් ආධාරකරුවන් දෙදෙනෙකු වන LinkedInහි සම-අරමුදල්කරු රීඩ් හොෆ්මන් සහ ආයෝජක ඇලෙක්සැන්ඩර් සෝරෝස් හැරිස් වෙත ප්‍රසිද්ධියේ සහය පහළ කළහ.

බයිඩන්ගේ ප්‍රකාශයෙන් පැයක් ඇතුළත, ට්‍රම්ප් හිතවාදී අරමුදල් සපයන ව්‍යාපාරයක් වන 'Make America Great Again' ව්‍යාපාරය හැරිස්ට පහර දෙමින් දැන්වීමක් පළ කළේ, "ඇය ජෝගේ පැහැදිලි මානසික වියවුල් තත්ත්වය වසන් කළා" යනුවෙනි.

ට්‍රම්ප් මෙසේ ද පැවසීය: "කවුරු වමෙන් ආවත් දැන් වෙනසක් වෙන්නේ නැහැ."

Biden and Trump at the 27 June debate

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බයිඩන් සහ ට්‍රම්ප් ජූනි 27 විවාදයේදී

සති ගණනක් පුරා පැවති දැඩි නිරීක්ෂණය

ජූනි මාසයේදී පැවති විවාදයේ සිදු කළ ඉදිරිපත් කිරීමේ සිට බයිඩන් දැඩි ලෙස නිරීක්ෂණයට ලක් විය. සති දෙකක පමණ පෙර, ඔහු වොෂින්ටනයේදී නේටෝ නායකයන් සමග ඉහළ මට්ටමේ සමුළුවක් පැවැත්වීය.

මෙම අවස්ථාව ඔහුගේ ම පක්ෂය තුළ පැවති කනස්සල්ල තුරන් කිරීමට කළ දෙයක් නොවීය. එහිදී ඔහු වැරදීමකින් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි "ජනාධිපති පූටින්" ලෙස හැඳින් වූ අතර, හැරිස් මහත්මිය "උප-ජනාධිපති ට්‍රම්ප්" ලෙස හඳුන්වනු පෙනෙන්නට විය.

එක් අවස්ථාවක ඔහු සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, තමාව ඉවත් කළ හැක්කේ, "සර්වබලධාරී දෙවියන්ට" පමණක් නමුත් පසුව සෞඛ්‍ය හේතූන් ඇත්නම් ඒ පිළිබඳව සලකා බලන බව ය. සිකුරාදා, කොවිඩ් වැළඳීමෙන් පසු හුදකලාව සිටියදී, ඔහු ඉදිරි සතියේ නැවත ප්‍රචාරක කටයුතුවලට පැමිණෙන බව පැවසීය.

ඉරිදා සිය ප්‍රකාශයේදී, බයිඩන් හැරිස් වෙත ස්තූති කරමින් කියා සිටියේ, ඇය "විශිෂ්ට සහකරුවෙකු" වූ බව ය.

"මා කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් ඇමෙරිකානු ජනතාව වෙත මගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කිරීමට මට ඉඩ දෙන්න," ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

"මම අද ත් හැමදාමත් විශ්වාස කරනවා: ඇමෙරිකාවට කළ නොහැකි දෙයක් නෑ - ඒ දේ අපි එක්ව කරන විට. අප මතක තබා ගත යුත්තේ අපි ඇමෙරිකා එක්සත් ජනපදය කියලා විතරයි."

ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ නිලධාරීහු ඉරිදා සවස හදිසි රැස්වීමක් පැවැත්වූහ.

අගෝස්තු 19 වන දා ආරම්භ වීමට නියමිත පක්ෂයේ ජාතික මහා සම්මේලනය කෙරෙහි දැන් අවධානය යොමු වනු ඇත.

පක්ෂයේ ප්‍රාථමික මැතිවරණවලදී බයිඩන් බහුතර ඡන්ද ගණනක් දිනා ගත් අතර එයින් අදහස් වන්නේ, සම්මේලනයේ එක් එක් ප්‍රාන්ත නියෝජනය කරන නියෝජිතයින්, දැන් වෙනත් අපේක්ෂකයෙකුට ඡන්දය ලබා දීමට බලාපොරොත්තු වුව ද ඔහුට ඡන්දය දීමට පොරොන්දුව සිටි බව ය.