ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය කමලා හැරිස්ට

Kamala Harris wears a blue suit and looks out of frame while standing at a microphone

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, රැෂල් ලුකර් සහ හොලී හොන්ඩ්‍රික්
    • Role, බීබීසී පුවත්

එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් පක්ෂ නියෝජිතයින්ගේ ඡන්දයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ කඩඉම පසු කරනු ලැබුවාය.

ඇය කියා සිටියේ, මෙම මස අගදී චිකාගෝ හි පැවැත්වෙන ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයට (ඩීඑන්සී) පෙර පක්ෂයේ “ජනාධිපති අපේක්ෂකත්වය හිමිවීම තමාට ගෞරවයක්” බවයි.

කමලා හැරිස් ධවල මන්දිරයට තරග කිරීම දක්වා එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ඉහළම ස්ථානය දක්වා ගමන් ගත් පළමු කළු ජාතික කාන්තාව සහ පළමු දකුණු ආසියානු කාන්තාව වේ.

නොවැම්බර් මාසයේදී ඇය රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කළහොත් ඇමරිකාවේ පළමු ජනාධිපතිවරිය වනු ඇත.

කවුද මේ කමලා හැරිස්?

ජෝ බයිඩ්න් තම ප්‍රචාරණ කටයුතු අවසන් කරන බවට සහ ඔහුගේ සහයෝගය ඇය හමුවේ තබන බව නිවේදනය කිරීමත් සමග, කමලා හැරිස් අවසානයේ ඇය දිගු කලක් අපේක්ෂා කළ ස්ථානය වන ඩිමොක්‍රටික් අපේක්ෂක ප්‍රවේශයේ ඉහළ ම සහ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට ළඟා වූවාය.

එහෙත්, ඇය පැමිණි ගමන, විශේෂයෙන් මෑත මාසවල පීඩාකාරී මෙන් ම දුෂ්කර ප්‍රශ්නවලින් පිරී තිබිණි.

වසර හතරකට පෙර, ඩිමොක්‍රටික් නාම යෝජනා සඳහා එක් වරක් පමණක් ඉදිරිපත් වූ අපේක්ෂකයා පක්ෂයේ ප්‍රශංසාව පිළිගනු ඇත. 2024 ජූලි මාසය වන විට, කමලා හැරිස් වඩාත් අස්ථිර තත්ත්වයක පසුවූ අතර, තරග කිරීමකින් ලැබීමට නියමිත අපේක්ෂක ප්‍රවේශ පත්‍රයේ කොටසක් ලෙස, බයිඩ්න්ගේ කාර්ය සාධනයට හිමි විය හැකි තවත් අවස්ථාවක් සමග ඇයට හිමි වන අවස්ථා සම්බන්ධ වී තිබිණි.

විවාදයේ පරාජයෙන් පසු පැය 24ක් තුළ කමලා හැරිස්, ජෝ බයිඩ්න් වෙත දැඩි පක්ෂපාතීත්වයක් පළ කළා ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

උප-ජනාධිපතිවරිය CNN, MSNBC රූපවාහිනී නාලිකා ඔස්සේ සහ ප්‍රචාරක රැලියකදී ජනතාව ඇමතුවා ය. ඇය තම දේශපාලන සහකරුවාගේ ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටි අතර, ඔවුන්ගේ ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කළා ය.

"අපි අපේ ජනාධිපති ජෝ බයිඩන් විශ්වාස කරනවා, ඔහු පෙනී සිටින දේ අපි විශ්වාස කරනවා," ඇය රැලියේදී පැවසුවා ය.

ඩිමොක්‍රටික් පක්ෂය තුළ විවේචකයින් බයිඩ්න්ට විශ්‍රාම ගන්නා ලෙස බල කරද්දී සහ ඇයට විශේෂත්වයක් හිමි වෙද්දී කමලා හැරිස් නොසැලී සිටියා ය.

තවමත්, එය රටේ පළමු කාන්තාවට මෙන් ම උප-ජනාධිපති ලෙස සේවය කරන පළමු කළු ජාතික සහ ආසියානු-ඇමෙරිකානුවෙකුට ඇමෙරිකාවේ ජනාධිපතිවරණ ව්‍යාපාරයක හිමි වන දෙවන අවස්ථාව ය.

2020 වසරේදී ඡන්දදායකයින් වෙත ආයාචනා කිරීමට අරගල කළත්, උප-ජනාධිපතිනිය ලෙස කටයුතු කරන කාලය තුළ ශ්‍රේණිගත කිරීම්වල පහළ මට්ටමක පසු වෙද්දීත්, හැරිස්ගේ ආධාරකරුවෝ ඇය ප්‍රජනන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, කළු ජාතික ඡන්දදායකයින්ගේ ඉල්ලීම් සහ නීතිඥවරියක ලෙස ඇයගේ පසුබිම පෙන්වා දෙති.

"ඡන්ද අයිතිය සහ සංක්‍රමණික ප්‍රතිසංස්කරණ වැනි ප්‍රධාන ගැටලු විසඳීමට ඇය මුල් වූ මම විශ්වාස කරනවා," ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන වැඩසටහනේ අධ්‍යක්ෂ නාදියා බ්‍රවුන් පැවසීය.

"ගබ්සාවට ප්‍රවේශය සහ කළු ජාතික ප්‍රජාවන්ට වඩාත් සමීප වීම පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් බයිඩ්න්ගේ බලවත් ම ආදේශකයා වුණේත් ඇය."

කමලා උප-ජනාධිපති තෙක් ඉහළට ආ හැටි

වසර පහකට පෙර, කමලා හැරිස් කැලිෆෝනියාවේ සෙනෙට් සභිකවරිය බවට පත් වූයේ, ජනාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් නාම යෝජනා දිනා ගැනීමේ අපේක්ෂාවෙනි.

ඇමෙරිකාවේ වඩාත් ම ජනාකීර්ණ ප්‍රාන්තයේ ඉහළ ම නීතීඥයා සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියා වන කැලිෆෝනියාවේ නීතිපති ලෙස සේවය කළ පළමු කාන්තාව සහ පළමු කළු ජාතිකයා බවට පත් වීමට පෙර, ඇය ඇලමෙඩා ප්‍රාන්තයේ දිස්ත්‍රික් නීතිපති කාර්යාලයේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, 2003 වසරේදී සැන් ෆ්‍රැන්සිස්කෝහි දිස්ත්‍රික් නීතිඥ - ඉහළ ම නීතිවේදියා - බවට පත් වූවා ය.

ඇය 2017 වසරේදී කැලිෆෝනියාවේ කනිෂ්ඨ සෙනෙට් සභිකයා ලෙස තේරී පත්වීමට මෙම ගම්‍යතාව භාවිත කරමින් ඩිමොක්‍රටික් පක්ෂයේ නැගී එන තරුවක් ලෙස කීර්තියක් හිමි කර ගත්තා ය.

එහෙත්, 2020 වසරේදී ඇයගේ ජනාධිපතිවරණ අරමුණු අසාර්ථක විය.

දුර්වල ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති සඳහා සාධාරණයක් ඉටු කිරීමට ඇයගේ දක්ෂ විවාද හැකියාව ප්‍රමාණවත් නොවී ය.

ඇගේ ප්‍රචාරක ව්‍යාපාරය වසරකටත් අඩු කාලයකදී අවසන් වූ අතර, මේ වන වට 59 හැවිරිදි වියේ පසු වන ඇයට ඔහුගේ ටිකට් පත ලබා දී ඇයව ජාතික අවධානයට යොමු කළේ බයිඩ්න් ය.

2013 වසරේදී හැරිස්ගේ සන්නිවේදන අධ්‍යක්ෂ තනතුර දැරූ ගිල් ඩුරාන්, ඇය ජනාධිපතිවරණ නාම යෝජනා සඳහා ඉදිරිපත් වීම විවේචනය කළ අතර, එය හැඳින්වූයේ "කමලා හැරිස්ගේ වාසනාවේ විශාල පරාජයක්," ලෙසිනි.

"බොහෝ දෙනෙක් හිතුවේ නැහැ, ඉක්මනින් ධවල මන්දිරයේ තනතුරක් සඳහා ඉහළට යන්න ඇයට විනයක් සහ ඉලක්කයක් තිබුණා කියලා... එහෙම වුණත්, ජනතාව දැනගෙන හිටියා ඇයට අරමුණක් සහ තරුවක් වීමේ හැකියාවක් තිබුණ බව. ඇයට යමක් ඉක්මනින් අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබුණ බව නම් පැහැදිලි යි," ඩුරාන් පැවසීය.

Kamala Harris wears a purple suit and places her hand on a book as she takes the oath of office

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කමලා හැරිස් 2021 වසරේදී උප-ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා ය

කමලා හැරිස් ධවල ​​මන්දිරයේ සිටියදී ප්‍රධාන ක්‍රියාන්විතයන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ අතර, බයිඩන් පරිපාලනයේ වඩාත් ම කතාබහට ලක්වූ ජයග්‍රහණ සඳහා ඇය මූලික වූවා ය.

කාන්තාවන්ට තම ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇති බව අවධාරණය කරමින්, ඇය රට පුරා "Fight for Reproductive Freedoms" (ප්‍රජනන නිදහස සඳහා වූ සටන) චාරිකාවක් ආරම්භ කළා ය. ඇය ගබ්සා කිරීම් තහනම් කිරීම් නිසා සිදුවන හානිය ඉස්මතු කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගතානුගතික විනිසුරුවරුන් 2022 වසරේදී ගබ්සා කිරීමට ඇති ව්‍යවස්ථාපිත අයිතිය අවලංගු කිරීමෙන් පසු රෝට එරෙහි වේඩ් නඩු තීන්දුව යළි ක්‍රියාත්මක කරන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලා සිටියා ය.

සෙනෙට් සභා ඉතිහාසයේ උප-සභාපතිවරයෙකු/වරියක විසින් ප්‍රකාශ කරන ලද වැඩි ම සම ඡන්ද සංඛ්‍යාව බිඳ දැමීමේ ඡන්ද (tie-breaking votes) සම්බන්ධයෙන් කමලා හැරිස් නව වාර්තාවක් පිහිටුවීය. ප්‍රබෝධක ගෙවීම් ඇතුළුව කොවිඩ් සහන අරමුදල් සැපයූ ඇමෙරිකාව රැකගැනීමේ සැලසුම සහ උද්ධමනය අඩු කිරීමේ පනත සම්මත කර ගැනීමට ඇයගේ ඡන්දය උපකාරී විය.

කේතන්ජී බ්‍රවුන් ජැක්සන් විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම තහවුරු කිරීම සඳහා ද ඇයගේ සම ඡන්ද බිඳීමේ ඡන්දය වැදගත් විය.

කෙසේ වෙතත්, ඇය සෑම අතකින් ම විවේචනවලට මුහුණ දෙමින්, ඇමෙරිකානුවන් අතර පුළුල් ඉල්ලුමක් ඇති කර ගැනීමට සමත් වූයේ නැත.

සමරිසි විවාහ සහ මරණීය දණ්ඩනය වැනි කාරණා සම්බන්ධයෙන් වාමවාදී නැඹුරුවක් තිබුණ ද, ඇතැම් ඩිමොක්‍රටික් ඡන්දදායකයින්ට ප්‍රමාණවත් ප්‍රගතිශීලීත්වයක් පෙන්නුම් නොකළ හෙයින්, ඇය දිගින් දිගට ම ප්‍රහාරවලට මුහුණ දුන්නා ය. "කමලා පොලිස් නිලධාරියෙක්" යනු 2020 ප්‍රචාරක මාවතේ පොදු බාධක වාක්‍යයක් විය.

වාර්තාගත සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් ඇමෙරිකා-මෙක්සිකෝ දේශ සීමාවට පලා ගිය බැවින් සංක්‍රමණයට මූලික හේතු විසඳීමට උත්සහ කරන ලෙස ජෝ බයිඩ්න්, කමලා හැරිස්ගෙන් ඉල්ලා සිටි අතර, විරුද්ධවාදීන් පෙන්වා දෙන්නේ, එය ඇය ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා ගැනීමට අසමත් වූ කාර්යයක් ලෙස ය.

තනතුරට පත්වීමෙන් පසු දේශසීමා වෙත සංචාරයක් සැලසුම් කිරීමට මාස හයක් ගත කිරීම නිසා ඇයට රිපබ්ලිකන් හිතවාදීන් සහ ඇතැම් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් දැඩි විවේචන එල්ල විය.

එහෙත්, මෑත සතිවලදී, නොවැම්බරයේ පැවැත්වෙන ඡන්දය ජයග්‍රහණය කිරීමට බයිඩ්න් සතු හැකියාව පිළිබඳ අනුමාන පැතිර යද්දී, ඇය නව සහයක පදනමක් සොයා ගත්තා ය.

කමලා හැරිස්ගේ අනන්‍යතා රැසක්

ඉන්දියාවේ උපත ලද මවකට සහ ජැමෙයිකාවේ උපත ලද පියෙකුට දාව කමලා හැරිස් කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හි උපත ලැබී ය. ඇය 5 හැවිරිදි වියේ පසු වෙද්දී ඇගේ දෙමාපියන් දික්කසාද වූ අතර, ඇයව මූලිකව හදාවඩා ගනු ලැබුවේ, පිළිකා පර්යේෂිකා සහ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක වූ ශ්‍යාමලා ගෝපාලන් හැරිස් නමැති ඇගේ තනිකඩ හින්දු මව විසිනි.

ඇය හැදී වැඩුණේ ඇයගේ ඉන්දීය උරුමයන් සමගින් වන අතර, තම මව සමග ඉන්දියාවේ සංචාරවල ද නිරත වෙමිනි. එහෙත්, හැරිස් පවසා ඇත්තේ, තම මව ඕක්ලන්ඩ්හි කළු ජාතික සංස්කෘතිය අනුගමනය කරමින්, ඇගේ දියණියන් දෙදෙනා වන කමලා සහ ඇගේ බාල සොහොයුරිය මායා ද එම සංස්කෘතියට නතු කළ බව ය.

"මගේ අම්මා හොඳින් තේරුම් අරගෙන හිටියා එයා කළු ජාතික දූවරු දෙන්නෙක් හදාගන්නේ කියලා," ඇය සිය ස්වයං චරිතාපදානය වූ The Truths We Hold නමැති කෘතියෙහි ලියා තිබේ. "එයා දැනගෙන හිටියා, මායා සහ මම කළු ජාතික ගැහැනු ළමයින් විදිහට ඇය ජීවත් වුණු භූමිය පිළිගනියි කියලා. එයා අධිෂ්ඨාණ කර ගත්තේ, අපි ආත්ම විශ්වාසයකින් යුත්, ආඩම්බර කළු ජාතික කාන්තාවන් බවට පත් කිරීමට යි."

ඇගේ ද්විවාර්ගික මූලයන් සහ ඒවා තුළ හැදී වැඩීම යන්නෙන් අදහස් කරන්නේ, බොහෝ ඇමෙරිකානු අනන්‍යතා සමග සම්බන්ධ වීමට සහ ඒවාට අනුගත වීමට හැකියාවක් ඇය තුළ පවතින බව ය. ශීඝ්‍ර ජන විවිධත්වයක් දැකිය හැකි, කලාපයක දේශපාලනය වෙනස් කළ හැකි රටේ එම ප්‍රදේශ ඇය තුළින් අභිලාෂකාමී සංකේතයක් දකියි.

A little girl in a yellow coat, a little girl in a red coat and an Indian woman dressed in black and white stand on a sidewalk

ඡායාරූප මූලාශ්‍රය, Kamala Harris

ඡායාරූප ශීර්ෂ වැකිය, කමලා කුඩා කාලයේ සිය මව සහ බාල සොහොයුරිය මායා සමග

කෙසේ වෙතත්, එය ඓතිහාසික වශයෙන් රටේ ප්‍රමුඛතම කළු ජාතික විද්‍යාල සහ විශ්වවිද්‍යාලවලින් එකක් වන හොවාර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇය ගත කළ කාලය, ඇගේ ජීවිතයේ වඩාත් ම පරිවර්තනීය අත්දැකීම් ලැබූ කාලය ලෙස ඇය විස්තර කර ඇත.

ලීටා රොසාරියෝ-රිචඩ්සන්ට කමලා හැරිස් මුණ ගැසුණේ, 1980 ගණන්වල හොවාර්ඩ් විශ්වවිද්‍යාලයේදී සිසුන් විශ්වවිද්‍යාල භූමියේ රැස්වී දේශපාලනය, විලාසිතා සහ ඕපාදූප ගැන සාකච්ඡා කරන අතරතුරකදී ය.

"ඇයට තර්ක කිරීමේ තියුණු හැකියාවක් තියෙන බව මම දැක්කා," ඇය පැවසුවාය.

ඔවුන් විශ්වවිද්‍යාල රිපබ්ලිකාන්වාදීන් සමග ප්‍රබල විවාදයක් සඳහා එකඟතාවක් ඇති කර ගත් අතර, තනිකඩ මව්වරුන් සමග හැදී වැඩුණු ඔවුන්ගේ අත්දැකීම්, පමණක් නොව සිංහ ලග්නය පවා සමාන විය. එය දේශපාලනික වශයෙන් ද පරිවර්තනීය යුගයක් විය.

"රේගන් එවකට ජනාධිපති වූ අතර එය වර්ණභේදවාදී යුගයක්. 'ට්‍රාන්ස් අප්‍රිකා' සහ මාටින් ලූතර් කිං නිවාඩු ප්‍රශ්නය සමග විකුණා දැමීම් ගැන බොහෝ දේ කතා කළා," රොසාරියෝ-රිචඩ්සන් පැවසුවා ය.

"වහල් මිනිසුන්ගෙන් පැවත එන්නන් සහ යටත් විජිතකරණයෙන් එළියට එන අඳුරු සමක් සහිත මිනිසුන් වීම නිසා අපට විශේෂ කාර්යභාරයක් ඇති බවත්, අධ්‍යාපනයක් තිබීමෙන් සමාජයේ විශේෂ ස්ථානයක් හිමි වන බවත් අපි දන්නවා," ඇය පැහැදිලි කළා ය - එය දර්ශනයක් මෙන් ම හැරිස් ජීවත් වූ විශ්වවිද්‍යාල අත්දැකීමේ කොටසක් වූ කාර්ය භාරය සඳහා කරන ඉල්ලීමකි.

නමුත්, කමලා හැරිස් ප්‍රධාන වශයෙන් සුදු ප්‍රජාවන් සමග ද පහසුවෙන් කටයුතු කරයි. ඇයගේ මුල් අවධියට කැනඩාවේ ගත කළ කෙටි කාලයක් ද ඇතුළත් ය. ගෝපාලන් හැරිස්, මැක්ගිල් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ රැකියාවක් ආරම්භ කරන විට, කමලා සහ ඇගේ බාල සොහොයුරිය මායා වසර පහක් මොන්ට්‍රියල්හි පාසලකට යමින් සිටියහ.

හැරිස් පවසන්නේ, ඇය සැමවිට ම ඇගේ අනන්‍යතාවයෙන් අපහසුතාවට පත් නොවූ බව ය. ඇය තමන්ව සරලව විස්තර කරන්නේ "ඇමෙරිකානුවෙකු," ලෙසිනි.

2019 වසරේදී ඇය වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පැවසුවේ, දේශපාලනඥයන් ඔවුන්ගේ වර්ණය හෝ පසුබිම අනුව මැනීම් සිදු කිරීම නොකළ යුතු බව ය.

"මගේ අදහස නම්, මම මම ම තමයි. මට ඒක හොඳ යි. ඔබට ඒක තේරුම් ගන්න වෙනවා. මොනවා වුණත් ඒක මට අවුලක් නෑ," ඇය පැවසුවා ය.

කමලා බුද්ධිමත් 'විවාද සමාජය' ගොඩ නැගීම

ඇගේ මිතුරිය වන රොසාරියෝ-රිචඩ්සන් සහතික කරන පරිදි, මුල් කාලයේ සිට ම, බාධක බිඳ දැමිය හැකි කාන්තාවන් කිහිප දෙනාගෙන් කෙනෙකු වීමට ඉඩ සලසන කුසලතා ඇය පෙන්නුම් කළා ය.

"[හොවාර්ඩ් විශ්වවිද්‍යාලයේ] විවාද කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමට මා ආකර්ෂණය කළේ ඒ නිර්භීතකම යි," ඇය පැවසුවා ය.

එහි ආයුධ බවට පත්වූයේ, බුද්ධිය සහ හාස්‍යය යි. 2020 වසරේදී මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද වීඩියෝවක, ඇය ජයග්‍රහණය පිළිබඳ ප්‍රවෘත්තිය - ඉතා හෘදයාංගම සිනහවකින් - බයිඩ්න් සමග බෙදාගෙන තිබුණේ මෙසේ ය: "අපි ඒක කළා. අපි ඒක කළා ජෝ. ඔයා ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති වෙන්නයි යන්නේ!."

එම ප්‍රථම වැදගත් දුරකතන ඇමතුම ගන්නා විට ඇය එවකට තේරී පත් වූ ජනාධිපතිවරයාට ආචාර කළ සිනහව ඇගේ මිතුරිය වහා ම සහ සමීපව හඳුනාගත් එකකි.

"ඇය මැතිවරණ ප්‍රචාරක මාවතේ සිටි කෙටි කාලය තුළ පවා ඇයගේ පෞරුෂය පැහැදිලිව පෙන්නුම් කළා."

"ඇයට හැමදාමත් ඒ හිනාව තිබුණා, ඇයට හැම විට ම හාස්‍යෝත්පාදක හැඟීමක් තිබුණා, ඇයට - විශ්වවිද්‍යාල විවාදයක සන්දර්භය තුළ පවා - කරුණු තේරුම් ගැනීමට බුද්ධියක් තිබුණා."

සජීවී විවාදවලදී ඇගේ විරුද්ධවාදීන්ට උපහාසයක් ඇති කිරීමට ඇති හැකියාව ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ ලංසුව ආරම්භ කිරීම පිටුපස ඇති ගම්‍යතාවයේ සැලකිය යුතු කොටසකි.

කමලා, 'මමලා', ඉතිහාසය නිර්මාණය කරන්නී

Kamala Harris leans into her husband Doug Emhoff and smiles

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

2014 වසරේදී එවකට සෙනෙට් සභිකාවක ලෙස කටයුතු කළ හැරිස්, නීතිඥ ඩග්ලස් එම්හොෆ් සමග විවාහ වී ඔහුගේ දරුවන් දෙදෙනාට සුළුමවක වූවා ය.

ඇය 2019 වසරේදී කුඩම්මා කෙනෙකු වීමේ අත්දැකීම ගැන Elle සඟරාවට ලිපියක් ලියා පසුව බොහෝ සිරස්තලවල ආධිපත්‍යය දැරූ නමක් හෙළි කළා ය.

"මමයි ඩග්ලසුයි විවාහ වුණාට පස්සේ, කෝල්, එලා සහ මම එකඟත්වයකට ආවා 'කුඩම්මා' (stepmom) කියන නම හොඳ නෑ කියලා. ඒ වෙනුවට ඒගොල්ලො මට 'මමලා' කියන්න පටන් ගත්තා."

කාන්තා දේශපාලනඥයින් සම්බන්ධයෙන් තීරු ලිපි ගණනාවකට කරුණු සැපයූ ඔවුන් නූතන ඇමෙරිකානු "මිශ්‍ර" පවුලක සාරය වශයෙන් මාධ්‍ය විසින් ප්‍රතිරූපයක් නිරූපණය කරන ලදී.

බොහෝ දෙනෙකු තර්ක කරන්නේ, ඇය වෙනත් ආකාරයක පවුලකින් පැවත එන්නෙකු ලෙස සැලකිය යුතු බවත්, එය කළු ජාතික කාන්තා ක්‍රියාකාරීන්ගේ පරම්පරා ගණනාවක උරුමක්කාරිය වන බවත් ය.

"ඇය ධවල ​​මන්දිරයට මාවත විවර කර ගත් බිම් මට්ටමේ සංවිධායකයින්, තේරී පත්වූ නිලධාරීන් සහ අසාර්ථක අපේක්ෂකයින්ගේ උරුමක්කාරියක්. කළු ජාතික කාන්තාවන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන බලවේගයක් ලෙස සලකනු ලබනවා," පර්ඩියු විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ අප්‍රිකානු ඇමෙරිකානු අධ්‍යයන පිළිබඳ සහකාර මහාචාර්ය නාඩියා බ්‍රවුන් බීබීසීයට පැවසීය.

ෆැනී ලූ හේමර්, එලා බේකර් සහ සෙප්ටිමා ක්ලාර්ක් යනු ඇය අනුගමනය කරන්නන් කිහිප දෙනෙකු බව නාඩියා බ්‍රවුන් තර්ක කරයි.

"ඇයගේ ජයග්‍රහණය ඓතිහාසික එකක්, ඒත් ඒක ඇයට විතරක් අයිති නැහැ. මේක යථාර්ථයක් කරන්න කැපවුණු ගණනය කරන්න බැරි කළු ජාතික කාන්තාවන් අතර ඒ ජයග්‍රහණය බෙදී යනවා."