ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර පළමු විවාදයේ වැඩි වාසිය කාට ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, හැරිස්-ට්‍රම්ප් විවාදය: ෆිලඩෙල්ෆියාහි සිදුවූ විවාදයේ ප්‍රධාන අවස්ථා නරඹන්න
    • Author, ජෙරමි හවෙල්
    • Role, බීබීසී ලෝක සේවය

ඇමෙරිකානු ජනාධිපතිවරණ විවාද මාලාවේ දෙවැන්න අඟහරුවාදා පැවැත්වෙන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් ජනාධිපතිවරණ විවාදයකදී මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය යි.

ඇමෙරිකාව තුළ ජනාධිපතිවරණ විවාද රූපවාහිනිය ඔස්සේ එරට ජනතාව බහුලව නරඹන අතර ඇමෙරිකානුවන් සිය ඡන්දය සම්බන්ධයෙන් ගන්නා තීරණය කෙරෙහි එමගින් විශාල බලපෑමක් එල්ල කළ හැකි ය.

කමලා හැරිස් විවාද සඳහා දක්‍ෂ බව පැවසෙයි. එහෙත්, ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 සහ 2020 වසරවලදී පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ විවාදවලදී තමන් බලවත් ප්‍රතිවාදියෙකු බව පෙන්නුම් කර තිබේ.

ජනාධිපතිවරණ විවාදය පැවැත්වෙන්නේ කවදා ද ? ඒ සඳහා බලපැවැත්වෙන ‍රෙගුලාසි මොනවා ද?

විවාදය සැප්තැම්බර් 10 වන දා ෆිලඩෙල්ෆියාහිදී පැවැත්වේ. එය ඇමෙරිකාවේ (නැගෙනහිර) වේලාවෙන් රාත්‍රී 9ට ආරම්භ වේ.

මෙය 2024 දී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දෙවන විවාදය යි. පළමු විවාදය ඉකුත් ජූනි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ජෝ බයිඩන් අතර පැවැත්විණි. ඒ, ජෝ බයිඩ්න් ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බව ප්‍රකාශයට පත් කිරීමට පෙර ය.

එම විවාදය ABC නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන අතර ABC News Live, Disney+ සහ Hulu ඔස්සේ ද විකාශය කෙරෙනු ඇත.

විවාදයේදී අපේක්ෂකයින්ට ලබා දෙන කාලය සම්බන්ධයෙන් සීමා තිබේ. සෑම අපේක්ෂකයෙකුට ම විවාදය මෙහෙයවන්නන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට උපරිම මිනිත්තු දෙකක කාලයක් හිමි වන අතර ප්‍රතිවිරෝධය දක්වන්නේ නම් ඒ සඳහා ද මිනිත්තු දෙකක් ලබා දෙයි.

ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා අදහස් දක්වන අවස්ථාවේදී අනෙකුත් අපේක්ෂකයින්ගේ මයික්‍රෆෝන නිහඬ කෙරෙනු ඇත. එමෙන්ම විවාදය පැවැත්වෙන ස්ථානයේ ප්‍රේක්ෂකයින් නොසිටිනු ඇත.

විවාදය පුරා මයික්‍රෆෝන ක්‍රියාත්මකව තැබීමට කමලා හැරිස්ට අවශ්‍ය වූ නමුත් පසුව ඇය ඉහත කී රෙගුලාසියට එකඟ වී තිබේ.

එම රෙගුලාසිය මීට වසර හතරකට පෙර හඳුන්වා දෙන ලද්දේ, ට්‍රම්ප් සහ බයිඩ්න් අතර පැවති පළමු ජනාධිපතිවරණ විවාදයට අවහිර කිරීම් සහ කෑ ගැසීම් හේතුවෙන් බාධා එල්ල වූ හෙයිනි.

අඟහරුවාදා පැවැත්වෙන විවාදය මෙහෙයවන්නන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන යනු ඇත. ඔවුන් දෙදෙනා ඩේවිඩ් මුයර් සහ ලින්සේ ඩේවිස් ය. ඔවුන් දෙදෙනා ම ABC නාලිකාවේ ප්‍රවෘත්ති සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෝ වෙති.

විවාද කරන්නියක ලෙස කමලා හැරිස් සතු ශක්තීන් මොනවා ද?

Kamala Harris (L) and Terrence Hallinan face off in a debate in the contest to become San Francisco district attorney in 2003

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කමලා හැරිස්ගේ පළමු ප්‍රචාරණ විවාදය 2003 වසරේදී පැවැත්විණි. ඒ, ඇය සැන් ෆ්‍රැන්සිස්කෝහි දිස්ත්‍රික් නීතීඥවරියක බවට පත්වීම සඳහා පැවති විවාදයකි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කමලා හැරිස්ගේ පළමු ප්‍රචාරණ විවාදය 2003 වසරේදී පැවැත්විණි. ඒ, ඇය සැන් ෆ්‍රැන්සිස්කෝහි දිස්ත්‍රික් නීතීඥවරියක බවට පත්වීම සඳහා පැවති විවාදයකි.

එමෙන්ම කමලා හැරිස් කැලිෆෝනියාවේ නීතිපතිවරිය ලෙසත්, කැලිෆෝනියාවේ සෙනෙට් සභිකවරියක ලෙසත් තේරී පත්වීම සඳහා වූ ප්‍රචාරක ව්‍යාපාරවලදී ද විවාදවලට ද සහභාගී වූවාය.

ඇය 2019 දී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා වූ වරණයේදී ජෝ බයිඩ්න් සමග විවාද සඳහා සහභාගී වූ අතර, 2020 දී උපජනාධිපති විවාදයේදි මයික් පෙන්ස්ට එරෙහිව විවාද කළා ය.

වේදිකාවේ පාලනය තමන් වෙත නතු කර ගත හැකි බව ඇය පෙන්වා දී ඇත. 2020 දී මයික් පෙන්ස් සමග පැවති විවාදයේදී ඇය තමාට බාධා කිරීම සම්බන්ධයෙන් පෙන්ස්ට තරයේ අවවාද කළා ය. ඒ "උප ජනාධිපතිතුමනි, දැන් කතා කරන්නේ මම යි," යනුවෙන් පවසමිනි.

කමලා හැරිස් අමෙරිකානු සෙනෙට් සභාවේ සහ ඊට පෙර කැලිෆෝනියාවේ උසාවියේ නීතිඥවරියක ලෙස විවාද සම්බන්ධයෙන් අත්දැකීම් රාශියක් ලබා ගෙන ඇත. එහිදී ඇය සතුවූ ප්‍රමුඛ දක්ෂතාවක් වූයේ, ප්‍රතිවාදියාගේ නඩුවක දුර්වලතා පෙන්වා දීම ය.

එම දක්ෂතා,මෙවර විවාදයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරනු ලබන තර්ක බිඳ හෙළීමට ඇයට ප්‍රයෝජනවත් විය හැකි ය.

කෙසේ වෙතත්, කමලා හැරිස් 2020 දී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට ගත් උත්සහය අසාර්ථක විය. ඇය අයෝවාහි පළමු වරණයට පෙර ඉවත් වූ අතර, එහිදී ඇයට එල්ල වූ විවේචනයක් වූයේ, ඇයට ස්ථාවර ප්‍රතිපත්ති නොමැති බව ය.

අඟහරුවාදා විවාදයේදී, හැරිස්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදය මෙහෙයවන්නන් දැඩි ප්‍රශ්න මතු කිරීමට ඉඩ තිබේ.

කමලා හැරිස් ප්‍රසිද්ධියේ කතා කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වචන භාවිත කරන බව පැවසේ.

උදාහරණයක් ලෙස, මෑතකදී CNN නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ඇය මෙසේ පැවසුවා ය: "නියමිත කාලසීමාවන් අනුව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් මිනුම් භාවිත කිරීම හදිසි කාරණයක්."

ජනාධිපතිවරණ විවාදවලදී අදහස් ප්‍රකාශ කිරීමට ඇති කාලය දැඩි ලෙස සීමා වන අතර, මැතිවරණ ප්‍රචාරක පණිවිඩ ඡන්දදායකයින් වෙත පැහැදිලිව ම ලබා දිය යුතු ය.

විවාදවලදී ට්‍රම්ප් දක්වා ඇති කුසලතා මොනවා ද?

Donald Trump stands behind Hillary Clinton during a US presidential debate in October 2016 2016 ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකා ජනාධිපති විවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් හිලරි ක්ලින්ටන් පිටුපසින් සිටී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2016 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති විවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන් පිටුපසින්

ප්‍රතිවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අඟහරුවාදා පැවැත්වෙන විවාදය කමලා හැරිස් ජනාධිපතිවරණ සටනට පිවිසීමෙන් පසු ඇයට මුහුණ දීමට සිදුවන විශාලතම අභියෝගය වනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 සහ 2020 වසරවලදී ජනාධිපතිවරණ විවාද දෙකක් සඳහා සහභාගී වී ඇති අතර, ඔහු ඉතා සටන්කාමී සහ සාම්ප්‍රදායික නොවන ප්‍රතිවාදියෙකු බව එහිදී ඔප්පු කර තිබේ.

2016 දී හිලරි ක්ලින්ටන්ට එරෙහි විවාදවලදී, ඔහු වේදිකාව වටා ඇවිද ගිය අතර, ඇය විවාදයේ අදහස් දක්වන විට ඇයට පිටුපසින් සිටගත් අතර, ඇය එම අවස්ථාව පිළිබඳව පැවසුවේ, "තමන් තැති ගත්" බව ය.

2020 ජනාධිපතිවරණයේ පළමු විවාදයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්, ජෝ බයිඩන්ට නිරන්තරයෙන් බාධා කළේ, "කරුණාකරලා කට වහගන්නවා ද?" යනුවෙන් පවසමිනි.

මෙම උපක්‍රමය හේතුවෙන් ඔහුගේ ප්‍රතිවාදීන් ව්‍යාකූල වූ අතර ඔහුට අවධානය හිමි විය.

කෙසේ වෙතත්, ට්‍රම්ප් බොහෝ අවස්ථාවලදී විවාදවල මාතෘකාවෙන් බැහැරව ගොස් ඇති අතර පරීක්ෂකයින් විසින් අසත්‍ය ලෙස පෙන්වා දුන් ප්‍රකාශ ද සිදු කර ඇත.

ඡන්ද සටනේ ඉදිරියෙන් සිටින්නේ කුමන අපේක්ෂකයා ද?

පසුගිය ජූලි මාසයේදී ජෝ බයිඩ්න් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කිරීමට පෙර ජාතික වශයෙන් සහ ජයග්‍රහණය අවිනිශ්චිත ප්‍රාන්ත කිහිපයක ඡන්දදායකයින්ගේ ඡන්ද විමසීම්වලදී ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා පසුපසින් සිටියේ ය.

ජාතික ඡන්ද විමසීම්වල මත විමසුම් ප්‍රතිපල ඉදිරිපත් කරන දේශපාලන විශ්ලේෂණ සංවිධානයක් වන RealClearPolitics පවසන්නේ, කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව ලෙස තේරී පත් වීමෙන් පසුව ට්‍රම්ප්ට වඩා ජනප්‍රියත්වයට පත්ව ඇති බව ය. සැප්තැම්බර් 3 වන දා වන විට ඇය ජාතික වශයෙන් ට්‍රම්ප්ට වඩා ලකුණු 1.9කින් ඉදිරියෙන් සිටි බව එහි සඳහන් වේ.

කෙසේ වෙතත්, හිලරි ක්ලින්ටන් ද 2016 වසරේදී ජාතික මතවිමසුමකදී එම අගයෙන් ම ලකුණු පහකින් ඉදිරියෙන් සිටි නමුත් ජනාධිපතිවරණයේදී ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට පරාජය විය.

ජාතික ඡන්ද විමසීම්වලට වඩා ප්‍රාන්ත තුළ ඡන්ද විමසීම් වැදගත් ලෙස සැලකේ. එක් එක් ප්‍රාන්තවල මැතිවරණ ප්‍රතිඵල මැතිවරණ විද්‍යාලය තුළ අපේක්ෂකයෙකු ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව තීරණය කරන අතර මැතිවරණ විද්‍යාලය ජනාධිපති වන්නේ කවුරුන්ද යන්න තීරණය කරයි.

අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක ප්‍රාන්ත ලෙස සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, උතුරු කැරොලිනා සහ පෙන්සිල්වේනියා වැනි අවිනිශ්චිත ප්‍රාන්ත කිහිපයක් තිබේ. එම සෑම ප්‍රාන්තයක ම දැඩි තරගකාරීත්වයක් පවතී.

RealClearPolitics ආයතනය සැප්තැම්බර් මස මුලදී පැවසුවේ, කමලා හැරිස් මිචිගන් සහ ජෝර්ජියාවේ ඡන්ද විමසීමේදී ට්‍රම්ප් අභිබවා යාමට සමත් වන බව ය. පෙන්සිල්වේනියාවේදී ඇය ඔහු සමග සමව සිටින නමුත් ඇරිසෝනා සහ උතුරු කැරොලිනාහි තවමත් කමලා හැරිස් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පසුපසින් සිටින බව එම ආයතනය කියයි.

දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ, මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව අනාවැකි පළ කිරීමට තවමත් කල් වැඩි බව ය.

යම් අපේක්‍ෂකයකු ජනාධිපති ධූරයට පත්වීමට නම් මැතිවරණ විද්‍යාල 270 ක් ජයග්‍රහණය කිරීම අවශ්‍ය වේ. දැනට සිදු කර ඇති මත විමසුම් පුරෝකථනය කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයට මැතිවරණ විද්‍යාල ඡන්ද 226ක් හිමි වනු ඇති බව සහ රිපබ්ලිකන් පක්ෂයට මැතිවරණ විද්‍යාල 219 ක් හිමි වනු ඇති බව ය. ඉතිරි 93 ඕනෑ ම ආකාරයකින් බෙදී යා හැකි බව ඔවුහු පවසති.