ඇමරිකානු මැතිවරණය 2020: උප ජනාධිපති ධුරයට තේරුණු කමලා හැරිස් කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට තේරී පත් වූ පළමු කාන්තාව ලෙස කමලා හැරිස් ඉතිහාස ගත විණි.
කැලිෆෝර්නියා ප්‍රාන්තය නියෝජනය කරන ඩිමොක්‍රටික් පාක්ෂික සෙනෙට් මන්ත්‍රීවරියක වන 55 හැවිරිදි ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව ජනාධිපති ධුරය පිළිබඳ මුලින් සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරමින් ධවල මන්දිරය කෙරෙහි බැලුම් හෙළුවාය.
එහෙත්, ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුරාපේක්ෂකත්වය සඳහා වූ තරගයේදී ජෝ බයිඩන් ට ඇය පරාජය වුව ද සිය උප ජනාධිපති අපේක්ෂක ලෙස එක්වන ලෙසට බයිඩන් කළ ආරාධනය හමුවේ ඇය යළි කරළියට පැමිණියාය.
පළමු කාන්තාව වීමට අමතරව, ජැමෙයිකානු හා ඉන්දියානු සම්භවය හේතුවෙන් උප ජනාධිපති ධුරයට පත් පළමු සුදු ජාතික නොවන පුද්ගලයා බවට ද කමලා හැරිස් පත් විය.
කමලා හැරිස් යනු කවුද?
සංක්‍රමණික මා පිය යුවලකට දාව ඕක්ලන්ඩ් හි උපන් කමලා ගේ මව ඉන්දියාවේ උපත ලද තැනැත්තියක වූ අතර පියා ජැමෙයිකාවේ උපන්නෙකි.
දෙමාපියන් දික්කසාද වීමෙන් අනතුරුව කමලා හැදී වැඩුණේ සිය හින්දු භක්තික මව ශ්‍යාමලා ගෝපාලන් හැරිස් සමග ය. ඇය පිළිකා පිළිබඳ පර්යේෂිකාවක මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියකද වූවාය.

ඡායාරූප මූලාශ්‍රය, Kamala Harris
ඉන්දියානු උරුමය සමග බැඳෙමින් වැඩුණු කමලා මව ඉන්දියාවට ගිය ගමන්වලදී ඇය හා එක් වුවද, සිය දියණියන් දෙදෙනා - කමලා සහ මායා - සමග ඕක්ලන්ඩ් හි පැවති කළු සංස්කෘතියට සිය මව අනුගතව විසූ බව කමලා පවසන්නීය.
සිය ස්වයං ලිඛිත චරිතාපදානයේ කමලා සඳහන් කළේ "තමන් කළු දියණියන් දෙදෙනෙක් ඇතිදැඩි කරන බව මගේ අම්මා ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටියා." යනුවෙනි.
"ඇය අනුගත වූ නිජබිම මායා සහ මා කළු තරුණියන් ලෙස දකිනු ඇතැයි ඇය දැන සිටි අතරම අපි විශ්වාසයෙන් යුතු, සාඩම්බර කළු කාන්තාවන් ලෙස වැඩෙනු තහවුරු කරන්නට ඇය අදිටන් කර සිටියා," කමලා පවසයි.
මොන්ට්‍රියෙල් හි ගෙවූ අවුරුදු
කමලා හැරිස් සෙනෙට් මන්ත්‍රීවරියගේ මුල් අවධියේ කෙටි කලක් කැනඩාවේ ගත කළාය. මව, ශ්‍යාමලා ගෝපාලන් හැරිස් හට මැක්ගිල් සරසවියේ ඉගැන්වීම් රැකියාවක් ලද විට ඇය සමග කමලා සහ මායා එහි ගියහ. ඒ අනුව අවුරුදු පහක කාලයක් ඔවුහු මොන්ට්‍රියෙල්හි පාසල් ගියහ.
එක්සත් ජනපදය තුළ උසස් පාසල් අධ්‍යාපනය ලද කමලා, ඓතිහාසිකව එක්සත් ජනපදය තුළ කළු ජනතාව යොමු වූ විද්‍යාල හා විශ්ව විද්‍යාල අතරින් එකක් වන හවර්ඩ් විශ්ව විද්‍යාලයේ (Howard University) වසර හතරක් ගත කළාය. එය සිය ජීවිතය හැඩගැන්වූ අත්දැකීම් අතරින් එකක් බව කමලා විස්තර කළාය.
සිය අනන්‍යතාව පිළිබඳ නිතර සෑහීමට පත්වන බව කී ඇය සරලව තමන් "ඇමෙරිකානුවෙක්" ලෙස හඳුන්වා දෙන්නීය.
2019 දී වොෂිංටන් පොස්ට් පුවත් පතට ඇය කියා සිටියේ සමේ පැහැය හෝ පසුබිම මත දේශපාලනඥයින් රාමුවලට කොටුවිය යුතු නැති බවකි. "මා කියන්නේ මෙයයි. මම, මා යි. ඒ ගැන මම සෑහීමට පත්වෙනවා. ඇතැම්විට ඔබ ඒ ගැන සොයා බලන්න අවශ්‍ය ඇති, නමුත් මම එයින් සෑහෙනවා."
නීතිඥ ඩග් එම්හොෆ් සමග 2014 දී විවාහ වූ ඇය ඔහුගේ දරු දෙදෙනාට සුළු මව වූවාය.
නීති කේෂේත්‍රයේ ඉහළට නැගීම
හවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිව් වසරින් පසු කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලද ඇය සිය වෘත්තීය ඇරඹුවේ ඇලමීඩා කෝරලයේ දිස්ත්‍රික් නීතිඥ කාර්යාලයෙනි.
2003 වසරේදී කමලා සැන් ෆ්‍රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිඥ - ඉහළ ම නීති නිලධාරී - තනතුරට පත් වූවාය. ඉන් අනතුරුව, ඇමෙරිකාවේ වැඩි ම ජනගහණයකින් යුතු ප්‍රාන්තය වන කැලිෆෝර්නියා හි ඉහළ ම නීතිඥයා මෙන්ම නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා වන ප්‍රාන්ත නීතිපති තනතුරට පත් කමලා එම ධුරයේ සේවය කළ පළමු කළු තැනැත්තා මෙන්ම පළමු කාන්තාව ද විණි.
නීතිපති ලෙස දෙවරකට ආසන්න නිල කාලයක් ගෙවූ ඇය, ඩිමොක්‍රටික් පක්ෂයේ නැගී එන තරුවක් ලෙස ලද කීර්තිය උපයෝගී කරගෙන මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් 2017 වසරේදී කැලිෆෝනියා හි කණිෂ්ඨ සෙනෙට් මන්ත්‍රීවරිය වූවාය.

ඡායාරූප මූලාශ්‍රය, The Mercury News via Getty Images
සෙනෙට් මණ්ඩලයට පත්වූ තැන් සිට, ඇය ප්‍රගතිශීලීන්ගේ කැමැත්ත දිනාගත්තේ මුල් පෙළේ සෙනෙට් මණ්ඩල විමර්ශනවලදී එවක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස යෝජනා කෙරුණු බ්‍රෙට් කැවනෝ සහ නීතිපති විලියම් බාර් ඉතා දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් කිරීම හේතුවෙනි.
ධවල මන්දිරය ගැන බලාපොරොත්තු
තමන් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ඕක්ලන්ඩ් හිදී 20,000 ට අධික පිරිසක් ඉදිරියේ පසුගිය වසරේදී ප්‍රකාශ කිරීමෙන් පසු ආරම්භයේදී ඒ පිළිබඳ උනන්දුවක් දැල්විණි.
නමුත් නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ වෘත්තීය පසුබිමකින් යුතු කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන ඇය, පක්ෂයේ ප්‍රගතිශීලී හා මධ්‍යස්ථ කඳවුරු දෙක අතර තියුණු ගමනක යාමට උත්සාහ දැරුව ද එම කණ්ඩායම් දෙකෙහි ම ආකර්ෂණය දිනා ගැනීමට නොහැකි විය. 2020 වසර මුල් සමයේ අයෝවා ප්‍රාන්තය තුළ ඩිමොක්‍රටික් පක්ෂ තරගය පවත්වන්නට පෙර කමලා සිය අපේක්ෂකත්වය දෙසැම්බර් මාසයේදී අවසන් කළාය.
මාර්තුවේදී, ජෝ බයිඩන් ගේ අපේක්ෂකත්වය අනුමත කළ ඇය, "මගේ සියලු බලය යොදමින් ඔහු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තෝරාගැනීමට මා උදව් දෙනවා" යැයි පැවසුවාය.
ඩිමොක්‍රටික් පක්ෂයෙන් උප ජනාධිපති අපේක්ෂකත්වය ලද පසු, උප ජනාධිපති මයික් පෙන්ස් ට එරෙහිව දැඩි ක්‍රියාකාරීත්වයක් ප්‍රකට කළ අතර ඔක්තෝබරයේ පැවති උප ජනාධිපති විවාදයේදී මාතෘකා ගණනාවක් ඔස්සේ ඔවුහු උද්වේගකර වාදයක පැටලිණි.
"උප ජනාධිපතිතුමනි, මම කතා කරනවා" යනුවෙන් ඇය පෙන්ස් හට සිහි කැඳවූයේ ඔහු යළි යළිත් කළ බාධා හමුවේ ය. උප ජනාධිපති විවාදයකට එක්වූ ප්‍රථම කළු කාන්තාව ලෙස ඇය දැරූ එම ප්‍රයත්නය අන්තර්ජාලය ඔස්සේ අවධානයකට ලක්විය.
අපරාධ හා නීතිය ක්‍රියාත්මක කිරීම ගැන ඇගේ වාර්තාව
සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ තැන් සිට, කැලිෆෝනියාවේ ඉහළම නීති නිලධාරියා ලෙස ඇය සතු වාර්තාව දැඩි විමර්ශනයකට ලක්විණි.
සමරිසි විවාහ සහ මරණ දඬුවම සම්බන්ධයෙන් වාමාංශික දෙසට බරවූ ස්වභාවයක් පෙන්නුම් කළ ද ඇය ප්‍රමාණවත් තරම් ප්‍රගතිශීලී නොවී යැයි ප්‍රගතිශීලීන්ගේ නිරන්තර දෝෂ දර්ශනයට ලක්වූවාය.
පොලිසියට ප්‍රතිසංස්කරණ ගෙන ඒම, මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිසංස්කරණ මෙන්ම වැරදි සහගත ලෙස වරදට ලක්කිරීම යන කරුණු සම්බන්ධයෙන් ප්‍රගතිශීලීන් ගෙන ගිය සටන් කමලා විසින් මගහරින ලද බව සැන් ෆ්‍රැන්සිස්කෝ සරසවියේ නීතිය පිළිබඳ මහාචාර්ය ලාරා බැසෙලොන් පැවසීය.
"ප්‍රගතිශීලී නීති නිලධාරියෙකු" ලෙස තමන්ව හඳුන්වා ගනු ලැබූ කමලා වමට බර වූ සිය උරුමය ඇතැම් අංග අවධාරණයට උත්සාහ දැරුවේ, කැලිෆෝර්නියා හි නීති දෙපාර්තමේන්තුවේ ඇතැම් විශේෂ නිලධාරීන් ශරීරයේ පළඳින කැමරා සහිත විය යුතු වූ වැඩපිළිවෙලක් ගෙන එමිනි. එවැනි පියවරක් ගත් ප්‍රාන්තය පුරා පැතිරුණු පළමු රාජ්‍ය ආයතනය එය වූ අතර අපරාධ පිළිබඳ සංඛ්‍යා ලේඛන ඇතුළත් මහජනයාට විවෘත වූ දත්ත ගබඩාවක් ද දියත් කෙරිණි.
වාර්ගික ක්‍රියා හා පොලිස් කෘරත්වයෙන් එක්සත් ජනපදය වෙලා ගනිද්දී ප්‍රගතිශීලී හඬ තීව්‍ර කිරීම සඳහා කමලා හැරිස් ඉදිරියෙන් සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජනපදය පුරා පොලිසියේ භාවිතයට වෙනස්කම් එක් විය යුතු බව ඇය සංවාද වැඩසටහන්වලදී කීවාය.
කෙන්ටකි ප්‍රාන්තයේ 26 හැවිරිදි බ්‍රෙයෝනා ටේලර් නම් අප්‍රිකානු - ඇමෙරිකානු කාන්තාව මරා දැමූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස ට්විටර් ඔස්සේ ආයාචනයක් කළ කමලා හැරිස් පද්ධති තුළ ඇති වර්ගවාදය ඉවත් කළ යුතු බව කීය.
කොන්කරන ලද පිරිස් නියෝජනය කිරීම සඳහා තමන්ගේ අනන්‍යතාව ඊට ම ආවේණිකව ගැලපෙන බව ඇය නිතර සඳහන් කළාය.
දැන්, ධවල මන්දිරයට හද ගැහෙන දුරින් හිඳින, උප ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින කමලා හැරිස් නිල වශයෙන් සිය රාජකාරී ආරම්භ කළ තැන් සිට පොරොන්දු ප්‍රකාර කෙසේ ක්‍රියා කරනු ඇත්දැයි යන්න පිළිබඳ ඉතා සමීප නිරීක්ෂණයකට ලක්වනු ඇත.
මෙම තොරතුරු ද දැනගන්න:








