ටික්ටොක්හි ප්‍රධානී ෂෝ සි චු යනු කවුරුන් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජනපදය විසින් චීනයේ TikTok ඇප් එක තහනම් කිරීමට තුඩුදිය හැකි බවට වන ගෝලීය සැකය මධ්‍යයේ, දැන් එහි ප්‍රධාන විධායක ෂෝ සි චු වෙත අවධානය යොමු වී ඇත.
මේ 40-හැවිරිදි සිංගප්පූරු ජාතිකයා, ටික්ටොක් යෙදුමේ දත්ත ආරක්ෂාව සහ පෞද්ගලිකත්ව භාවිතයන් සහ චීන රජය සමග ඇති බව කියන සබඳතා පිළිබඳව එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලශක්ති සහ වාණිජ කමිටුව හමුවේ සාක්ෂි දෙනු ලැබීය
සමාගම තුළ ඔහු මෙහෙයුම් කරන ආකාරය ගැන හෝ සමාගම තුළ සත්‍ය වශයෙන්ම ඔහුට කොපමණ බලයක් තිබේ ද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් නොමැත.
ටික්ටොක් හි ප්‍රසිද්ධ මුහුණුවර වී ඇත්තේ එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී වැනේසා පපාස් ය. චීනය වෙත එක්සත් ජනපද දත්ත ගලායාම පිළිබඳව කොන්ග්‍රසය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ දී ගැඹුරට විමර්ශනය කරන ලදී.
TikTok සහ ByteDance හිටපු විධායකයින් උපුටා දක්වමින්, පසුගිය සැප්තැම්බරයේ නිව් යෝර්ක් ටයිම්ස්, චුගේ තීරණ ගැනීමේ හැකියාව සීමිත බවත්, ByteDance නිර්මාතෘ ෂැං යිමිං සමාගමෙහි පාලනය දරණ බවත් යෝජනා කර තිබුණි.
එහෙත් චීන රජය සමග TikTokහි සම්බන්ධතා දැඩි පරීක්ෂාවට ලක්ව ඇති මොහොතක, TikTok සමාගම විසින් චු දැන් ප්‍රසිද්ධිය මධ්‍යයට ඉදිරිපත්කර ඇත.
එය පසුගිය ජුනි මාසයේ දී ඇමෙරිකානු නීති සම්පාදකයින්ට ලිපියක් යවමින්, මව් සමාගම වන ByteDance සමාගමෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන බව අවධාරණය කරමින් මෙන්ම චු චීන නොව "සිංගප්පූරුවේ සිටින සිංගප්පූරු ජාතිකයෙකු" බව සඳහන් කිරීමට සමාගම දැඩි උත්සාහයක නිරත විය.
සිංගප්පුරුවේ ඉපදී හැදී වැඩුණු ඔහු ඉහළ පෙළේ චීන භාෂා පාසලකට ඇතුළත් වූ අතර, ඉංග්‍රීසි සහ මැන්ඩරින් යන භාෂා දෙකෙම චතුර ලෙස කතා කරයි. ඔහු සිංගප්පූරුවේ සන්නද්ධ හමුදාවේ නිලධාරියෙකු වූ අතර හමුදා සේවයේ යෙදී සිටියදී උසස් තනතුරක් හොබවනු ලැබීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ෂෝ සි චු, Harvard Business School වෙතින් අධ්‍යාපනය ලබා MBA උපාධියක් ලබා ගැනීමට පෙර ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් වෙතින් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේ ය. ඔහු සමාජ මාධ්‍ය දැවන්තයෙකු වන Facebookහි පුහුණුව ලබා ඇත්තේ එය ආරම්භක අවධියේ තිබියදීය.
මාධ්‍ය වාර්තාවලට අනුව, ඔහු DST ආයෝජන සමාගමෙහි වසර පහක කාලයක් සේවය කර ඇති අතර 2013 දී ByteDance හි මුල් ආයෝජකයින් බවට පත් වූ කණ්ඩායමකට නායකත්වය දී ඇත. ඔහු වසර දෙකක් ගෝල්ඩ්මන් සැක්ස්හි ආයෝජන බැංකුකරුවෙකු ලෙස ද සේවය කළේය.
ෂෝ සි චු පසුව චීනයේ දැවැන්ත ස්මාර්ට්ෆෝන් සමාගමක් වන Xiaomi හි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය. ඒ, එහි ප්‍රධාන මූල්‍ය නිලධාරි සහ ජාත්‍යන්තර ව්‍යාපාරික සභාපති වී 2018 දී ලැයිස්තුගත කිරීම හරහා සමාගම පවත්වා ගෙන යෑමෙනි.
2021 මාර්තු මාසයේ දී ඔහු ByteDance සමාගම සමග එක්වූ අතර එම මාධ්‍ය දැවැන්තයාගේ ප්‍රධාන මූල්‍ය නිලධාරී භූමිකාව පුරවන පළමු පුද්ගලයා බවට පත්විය.
ඉන් මාස දෙකකට පමණ පසුව, ෂෝ සි චු TikTokහි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්විය. ඒ, TikTok හි එක්සත් ජනපද වත්කම් විකිණීමට ට්‍රම්ප් පරිපාලනය බල කිරීමට ගත් උත්සාහයන් මධ්‍යයේ, ඔහුගේ පූර්වගාමියා වූ කෙවින් මේයර්ගේ හදිසි ඉල්ලා අස්වීම හේතුවෙනි.
ලොකුම අභියෝගය
සමාගමට එහි එක්සත් ජනපද වත්කම්වල අයිතිය ඉවත් කරන ලෙස හෝ තහනමකට මුහුණ දෙන ලෙස එක්සත් ජනපද මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින බැවින්, ෂෝ සි චු දැන් TikTok සමග ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශාලතම අභියෝගයකට මුහුණ දී සිටියි.
මේ ප්‍රශ්නය චීනයට ද ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.
රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ග්ලෝබල් ටයිම්ස් සිය මතය කියා පාමින් අනාවරණය කළේ TikTok තහනම සඳහා වන තල්ලුව "විෂ සහිත ඇමෙරිකානු දේශපාලන වාතාවරණයක්" විසින් මෙහෙයවනු ලබන අතර, එය නිදහස් වෙළඳපල මූලධර්ම උල්ලංඝනය කිරීමක් වනු ඇති බවය. "ඇමෙරිකානු නිලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ ඇසින්, TikTok හි චීන පසුබිම 'මූල පාපයකි'," ග්ලෝබල් ටයිම්ස් වැඩිදුරටත් සඳහන් කළේ ය.
දෙපාර්ශ්වයේම සමීප පරීක්‍ෂණයකට මුහුණ දෙමින්, ෂෝ සි චු මෑත මාසවලදී ආකර්ෂණීය ප්‍රහාරයක් එල්කරමින් ඇති බව පෙනී යයි.
TikTok සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රධානීධුරය භාර ගෙන වසරකට ආසන්න කාලයකට පසු - ඔහුගේ පෞද්ගලික ජීවිතයේ දසුන් ප්‍රදර්ශනය කිරීම සඳහා ෂෝ සි චු පසුගිය පෙබරවාරි මාසයේ දී ඔහුගේම TikTok ගිණුම @shou.time ආරම්භ කළේය.
ඔහු සුපර් බෝල් සහ එන්බීඒ ක්‍රීඩාවලට සහභාගී වීම, බිල් මරේ වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් හමුවීම සහ ගායිකා සියාරා සමග අමුතු ලෙස නර්තනයකට උත්සාහ කිරීම වැනි අවස්ථාවන් දැකීමෙන් අනතුරුව ඔහු වටා අනුගාමිකයෝ 18000කට අධික පිරිසක් රැස්ව සිටිති.
ඔහු ගොල්ෆ් ක්‍රීඩා ලෝලියෙකු සහ විකට නළු කෙවින් හාර්ට්ගේ රසිකයෙකු බව සම්මුඛ සාකච්ඡාවලදී හෙළි කරමින් මාධ්‍ය සමග කටයුතු කර ඇත.
ආයෝජන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී විවියන් කාඕ සමග විවාහ වී සිටින දෙදරු පියෙකු වන ඔහු පවසා ඇත්තේ තම දරුවන් “ලාබාල” බැවින් TikTok භාවිතා කිරීමට තමා ඉඩ නොදෙන බවය.
මෑත දිනවල ඔහු එක්සත් ජනපදයේ ප්‍රධාන මාධ්‍ය ආයතන වෙත අදහස් දක්වමින් TikTok එක්සත් ජනපද අභිලාෂයන්ට තර්ජනයක් නොවන බවට නැවත නැවතත් සහතික විය.
ඔහු යෙදුමේ එක්සත් ජනපද පරිශීලකයින්ගෙන් සෘජුවම උදව් ඉල්ලා ඇත.
වොෂින්ටනයේ TikTokහි නිල ගිණුමේ සඳුදා සවස පළ කරන ලද වීඩියෝවකින් ඔහු පරිශීලකයින්ගෙන් ඉල්ලා ඇත්තේ, ඇමෙරිකානු නීති සම්පාදකයින්ට පැවසීමට අවශ්‍ය දේ තමාට කියන ලෙස ය.
මිලියන භාගයකට වඩා වැඩි ලයික්ස් ලබාගෙන ඇති ඔහුගේ එම වීඩියෝවේ ඔහු මෙසේ කියයි: "අපට තීරණාත්මක මොහොතක දී යි මෙය පැමිණ තිබෙන්නේ. මෙයින්, මිලියන 150ක් වන ඔබ සියල්ලන්ගෙන් TikTok උදුරාගන්නට හැකියි."












