නිහඬ ඉවත්වීම: අකුරට වැඩ කරන රැල්ල ටික්ටොක් නිසා වෛරල් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔබ රැකියාවට බැඳෙන විට ලබාදුන්, ඔබේ තනතුරට අදාළ කාර්යය ලැයිස්තුවේ සඳහන් දේ පමණක් සිදුකිරීම ප්‍රමාණවත්යැ යි සලකන රැකියා ස්ථානයක් ගැන සිතා බලන්න? ඉහළ නිලධාරීන්ගේ සිත් දිනාගැනීමේ තැතක් ලෙස, ඔබට අදාළ නොවන වැඩකටයුතු ද සිදුකරමින් දිවා රෑ මහන්සිවීම එවිට අවශ්‍ය නොවේ.
කොවිඩ් වසංගතය පැමිණීමත් සමග ලොව පුරා රටවල රැකියාවන් සිදුකරන ආකාරය වෙනස්වූ අතර, රැකියා සංස්කෘතිය වෙනස්වීම නිසාවෙන් දැන් දැන් සමාජ මාධ්‍ය තුළ 'අකුරට වැඩ කිරීමේ' මනෝභාවයක් (quiet quitting/නිහඬ ඉවත්වීම) බිහිව තිබේ.
'නිහඬ ඉවත්වීම' යනු කුමක්ද?
අකුරට වැඩ කිරීමෙන් - වචනාර්ථයෙන්ම ගතහොත් 'නිහඬ ඉවත්වීමෙන්' - අදහස් වන්නේ ඔබ ඔබේ රැකියා තනතුරට අදාළ කර්තව්‍යයන් පමණක් ඉටුකරන බව යි.
ඔබ සත්‍ය වශයෙන්ම රැකියාව හැරදා යන වගක් මින් අදහස් නොවේ.
ඔබ ඔබේ රැකියා තනතුරින් ඔබ්බට වන අමතර කටයුතු කිසිවක් සිදු නොකරන අතර, නිසි වේලාවට රාජකාරියට වාර්තාකර, තමන්ගේ වැඩකොටස පමණක් ඉටුකරනු ලබයි. එනිසා, රැකියා වේලාවෙන් අනතුරුව රැකියා ස්ථානයෙන් පිටවූ පසු ඊමේල් බැලීමක් හෝ, රැකියා ස්ථානයේ දී අමතර වැඩ කටයුතුවලට උපකාරවීමක් මෙහිදී සිදුනොවේ.
කොවිඩ් වසංගතය ඇරඹීමෙන් පසු, තරුණයින් බොහෝ පිරිසක් තමා රාජකාරිවලට අමතරව සිදුකරන වැඩ කොටසට ආයතනවලින් කිසිදු අමතර ගෙවීමක් හෝ සැලකීමක් නොලැබීම පිළිබඳව වෙහෙසට පත්ව සිටිති.
මෙනිසා ඔවුන් රැකියාව නිසා තමා වෙහෙසට පත්කරගන්නවා වෙනුවට, රැකියාව සහ ජීවිතය අතර සමබරතාව පවත්වා ගනිමින් තමාගේ සිතේ නිදහස රැකගැනීම උදෙසා "පඩියට සරිලන වැඩ කිරීම" නමින් රැල්ලක් බිහිව තිබේ.
ඉංග්‍රීසියෙන් "quiet quitting" යන නමින් ඇරඹී ඇති මෙය ඇමරිකානු ටික්ටොක් නිර්මාණකරුවකු වන @zaidlepplin මෑතක දී පළකළ වීඩියෝවක් නිසා 'වෛරල්' විය.
පුදුමයට කරුණ වන්නේ, මෙම සමස්ත රැල්ලේ ආරම්භය චීනයෙන් මතුවූබවට සාක්ෂි තිබීම යි. රැකියා කාලය ඉක්මවා රැකියාවේ යෙදීමේ සංස්කෘතියට එරෙහිව හඬ නගන ලද #tangping (කෙලින්ම බොරු කියන්න) යන හෑෂ්ටැග් එක දැන් එරට රජය විසින් අවහිරව තිබේ.
'මම බලය ආපහු මගේ අතට ගත්තා'

ඡායාරූප මූලාශ්‍රය, Georgia Gadsby March
එක්සත් රාජධානියේ ඩෙවෝන්හි වෙසෙන 24-හැවිරිදි ජෝර්ජියා ගැඩ්ස්බි මාච්, සිල්ලර සහ ගෘහ උපකරණ සමාගමක අලෙවිකරණයේ නිරතව සිටින්නියකි. ඇය කිසිදු අමතර ගෙවීමක් නොමැතිව සේවා පැය ගණන ඉක්මවා රැකියාව කරමින් සිටියා ය.
තමන්ගේ තනතුරට අදාළ වගකීම් ඉක්මවා වැඩි වගකීම් ප්‍රමාණයක් බාරගත් ඇයට සතියට පැය 60ක් සේවය කරන්නට සිදුව තිබුණි.
මේ අමතර වගකීම් සඳහා ගෙවීමක් කරන්නැ යි ඇය තම කළමනාකරුවන්ගෙන් ඉල්ලා සිටියා ය.
"පඩි වැඩි කරන්නම් කිව්වට එහෙම මුකුත් වුණේ නැහැ. මට ලැජ්ජා හිතුණා," ඇය කියයි.
"කොවිඩ් කාලෙ වැඩ කරද්දි, ජොබ් එකෙන් අස්වෙලා අලුත් ජොබ් එකක් හොයනවා වෙනුවට අකුරට වැඩකරන එක හොඳයි කියලා හිතුණා. ඒක අමාරු කාලයක්නේ."
ජෝර්ජියා තම තනතුරේ වගකීම්වලට අයත් නොවන වැඩ කටයුතු බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම ඇරඹි අතර, ඇය වැඩ අතපසු කරන බවට චෝදනා සහ විවේචන එල්ලවිය.
නමුත් ඇය ඒවා ගණනකට නොගත්තා ය. "මට දැනුනේ, මම බලය ආපහු මගේ අතට ගත්තා වගේ," ඇය කියයි.
ජෝජියා අවසානයේ එම රැකියාව හැරගියා ය.
'පඩි වැඩි නොකරපු එකෙන් තමයි ඉවසීමේ සීමාව පැන්නේ'

ඡායාරූප මූලාශ්‍රය, Emma O'Brien
තිස්එක් හැවිරිදි එමා ඕ'බ්‍රයන් ලන්ඩනයේ සිල්ලර අංශයේ ආයතනයක පුද්ගලික සහකාරවරියකි. ඇය වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිවිට එය ප්‍රතික්ෂේප වූ නිසා අකුරට වැඩ කිරීමට පටන් ගත්තා ය.
"මගේ වැඩ රාජකාරී වැඩිකරලා තිබුණා. කොවිඩ් කාලෙ හැමෝගෙම වැඩ මට කරන්න සිද්ධවුණා," ඇය කියා සිටියා ය.
ඇය සති කිහිපයක් තිස්සේම සිය ප්‍රධානියා හමුවී පඩි වැඩිකරන ලෙස ඉල්ලා සිටිය ද, අවසානයේ ඔහු එය ප්‍රතික්ෂේප කළ නිසා "මගේ ඉවසීමේ සීමාව පැන්නේ එතැනින්යැ"යි එමා පවසයි.
"මම මගේ ජොබ් එකට අදාළ දේවල් විතරක් කළා. වැඩි වැඩ කරන්න ගියේ නැහැ."
"මට ලොකු ශක්තියක් දැනුනා, මොකද මට ඊට සති කීපයකට කලින් ඉඳලාම අස් වෙන්න හිතිලා තිබුණේ."
ඇය අකුරට වැඩ කිරීම අරඹා වසරකට පසු වෙනත් රැකියාවක් සොයා ගත්තා ය.
'නිහඬ ඉවත්වීම' හොඳ දෙයක් ද?
කෙසේ නමුත්, මෙම සංසිද්ධියට සෑම කෙනෙකුම එකඟවන බවක් පෙනෙන්නට නැත.
ආයතන සැරසිලි කිරීමේ විශේෂඥ පැටී එසෙයි මෙම TikTok වීඩියෝව හරහා තමා මීට එකඟ නොවනබව ප්‍රකාශ කළ අතර, ඇය පවසන්නේ එවන් මානසිකත්වයක් සමග ඔබට රැකියාවේ දී කිසිදා සාර්ථක විය නොහැකි බව යි.
"අකුරට වැඩ කරනවා කියන්නේ තමන්ට කරන්න තියෙන දේවල්වලටම සීමාවෙන එක," ඇය බීබීසී වෙත පැවසුවා ය.
"පඩි වැඩිවීම් ලැබෙන්නේ තමන්ගේ මට්ටම ඉක්මවා යන අයට මිසක් කරන්න තියෙන දේවල් ටිකම කරන අයට නොවෙයි."

ඡායාරූප මූලාශ්‍රය, Lauren Psyk
වෘත්තීය පුහුණුකරු සහ පෝඩ්කාස්ට් නිවේදක ජොඈන් මැලන් පවසන්නේ ඇය වෙත පැමිණෙන බොහෝ ගනුදෙනුකරුවන් අකුරට වැඩ කිරීම ඇරඹි අය බව යි.
තමා කිසිවිටෙකත් කිසිවෙකුට අකුරට වැඩ කරන ලෙස උපදෙස් නොදෙන අතර, එසේ කිරීමට හේතු මොනවාදැ යි ඔවුන්ගෙන් අසන බව ඇය පවසයි.
"ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතේ කොයියම්ම මොහොතක දී අකුරට වැඩ කරන්න, 'නිහඬව ඉවත්වෙලා' ඇති. ඒත් ඒකෙන් කියවෙන්නේ තමන්ට වෙන රස්සාවකට යන්න කාලය හරි කියන එක වෙන්න පුළුවන්," ඇය ප්‍රකාශ කරයි. ජෝර්ජියා සහ එමා ද අවසානයේ දී සිදුකළේ එය යි.











