මෙවර මැයි දිනය තීරණාත්මකයි: "වැටුප් වැඩිවීමක් ඉල්ලන්න, එහෙම දෙන්න පුළුවන් ආණ්ඩුවක්, රටක් මේ වෙලාවේ නැහැ."

මෙවර මැයි දිනය තීරණාත්මකයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙවර ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව මැයි දිනය සමරන්නේ ඉතාමත් දුෂ්කර මෙන්ම අවිනිශ්චිත තත්ත්වයක් යටතේයි. මෙවර ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් මැයි දින පෙළපාලි සංවිධානය කර නොතිබීම සුවිශේෂී කරුණකි.

මේ වන විට රටේ වැඩ කරන ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින්නේ රටේ පවතින ආර්ථික අර්බුදය මේවනවිට දේශපාලන හා සමාජීය අර්බුදයක් දක්වා උඩු දුවා තිබීම හේතුවෙනි. එවන් මොහොතක මෙවර මැයි දිනය රටේ මුළුමහත් ජනතාවටම ඉතාමත් වැදගත් වෙයි ඒ මෙවර කම්කරුදිනයේදී ජනතාව වැටුප් වැඩිවීම ඉල්ලනවා වෙනුවට මෙවර ජීවත්වීමට සුදුසු පර්සරයක් ඉල්ලා අරගලයක නිරතවන බැවිනි.

"වැටුප් වැඩිවීමක් ඉල්ලන්න, එහෙම දෙන්න පුළුවන් ආණ්ඩුවක්, රටක් මේ වෙලාවේ නැහැ. කම්කරු ප්‍රජාවගේ වැඩකරන ජනතාවගේ උවමනාවන් කියන්න අහන්න කෙනෙක් මේ රටේ නැහැ. එහෙම වගකිව යුතු ජනාධිපතිවරයකේ, වගකිව යුතු අගමැතිවරයෙක් නැහැ, වගේම අපිට පේන්න නැහැ වගකිවයුතු පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂයක් හෝ දේශපාලන නායකයෙක්. ඔවුන් සියලු දෙනා මේ වෙලාවේ අර ගථානුගතික සම්ප්‍රදායික බල ලෝභි ක්‍රමය ඇතුළේ ඔවුන්ගේ පක්ෂය බලයට පත්වීම සඳහා රටේ තියෙන බරපතල අර්බුදය විකුණමින් ඉන්නවා. ඒවගේම ඒ සඳහා ව්‍යවස්ථාවට මුවාවෙමින් ඉන්නවා" මෙරට ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති නායකකයෙකු වන රවී කුමුදේශ් පැවසීය.

මැයි දින සැමරුම පිළිබඳ බීබීසිය සමග අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ "මේ රටේ ව්‍යවස්ථාව තව මාසයක් දෙකක් යන කොට තියෙන එකක් නැහැ. ඒ නිසා මේක තීරණාත්මකයි. දැනටමත් මේ රට බංකොළොත්, මේ බංකොළොත් රට ඇතුළේ හෙට අනිද්ද වෙනකොට අපේ රටේ බැංකු පද්ධතිය කඩා වැටෙන්න පුළුවන්. ඊට පස්සේ රජයට අපි මොනවා කිව්වත් වැටුප් ගෙවා ගන්නවත් මුදල් නැතිවෙන්න පුළුවන්."

"සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් වැසී යන තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. ඉතිං මේවා අපි බලාපොරොත්තුවන වනවාට වඩා එහා ගිය ගැටලු. මේ ගැටලුවලට සඳහා උත්තර හොයන කොට වැඩකරන ජනතාවට තමන්ගේ ප්‍රශ්න අමතක කරලා අමතර ප්‍රශ්න ගණනාවකට, ජීවත්වීමේ අරගලයක් දක්වා මේක ගිනියන්නට වෙයි.

ඒක බරපතලයි. තීරණාත්මකයි. නුමත් මේක අපේ රටේ පාලන තන්ත්‍රය හෝ පාර්ලිමේන්තුවට තේරිලා තියෙන බවක් අපිට පෙනෙන්නට නැතැයි, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් අවධාරණය කළේය.

රටපුරා මැයි දින සැමරුම්මැයි දිනය නිමිත්තෙන් අද දිනයේදී මැයි දින සමරු රැස්වීම් හා පෙළපාළි රැසක් ම දිවයින පුරා පැවැත්වීමට නියමිතව ඇත.

සාම්ප්‍රදායීකව ශ්‍රී ලංකාවේ මැයි රැලි බලයේ සිටින ආණ්ඩුවේ සහ දේශපාලන පක්ෂවල බලය පෙන්වීමේ ප්‍රයත්නයක් ලෙස පැවැත්වුණත් මෙවර එය වෙනස් ස්වරූපයක් ගෙන ඇත.

තුනෙන් දෙකක බලයක් සහිතව මීට වසර දෙකකට පෙර බලයට පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින පෙළපාලියක් නොපැවැත්වීම කැපී පෙනෙයි.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති සංවිධාන කරන රැලයක් අද නුගේගොඩදී පැවැත්වීමට නියමිතව ඇත.

නුගේගොඩ ආනන්ද සමරකෝන් රංගපීඨය අභියසදී අද සවස 3.00ට එම මැයි රැලිය පවත්වයි.

වත්මන් දේශපාලන අර්බුදය නිසා දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි දින රැලි මීට පෙර මෙන් විචිත්‍රවත් ලෙස හා විශාල ජන සහභාගිත්වයකින් යුතුව නොපැවැත්වෙන අතර මෙරට පැරණීම ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින පෙළපාලි නොපවත්වයි.

ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මහජන පක්ෂය හා දේශවිමුක්ති ජනතා පෙරමුණ ඒකාබද්ධව කොම්පඤ්ඤ වීදියේ සිට පෙළපාළියෙන් පැමිණ සවස 3.00ට හයිඩ් පිටියේදී මැයි රැලිය පැවැත්වීමට නියමිත ය.

එය පැවත්වෙන්නේ 'අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වහාම ගෙදර යනු, ජීවත්වීමේ අයිතිය ලබා දෙනු' යන තේමාව පෙරදැරිකරගෙනයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැයි දින රැලි ආසන හා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙනු ඇති බවට පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී මැයි දින උදෑසන සමරුවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර එක් මැයි දින රැලියක් පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතය.

ජාතික නිදහස් පෙරමුණේ මැයි දින රැලිය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද සවස 3.00ට පැවැත්වේ.

'අධිරාජ්‍යවාදී අතපෙවීම්වලට රට අස්ථාවර කිරීමට, ආණ්ඩුවේ නොහැකියාව ජනතාව මත පැටවීමට එරෙහිව අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට බල කරමු' මැයෙන් එය පැවැත්වෙනු ඇත.

සමගි ජන බලවේගය මහනුවරින් ආරම්භ කළ 'සමගි බල පා ගමන' නිමා කිරීමෙන් පසුව කොළඹ දී මැයි රැලියක් පැවැත්වීමට නියමිතයි.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන 'රතු මැයි රැලිය' කොළඹ, යාපනය, අනුරාධපුර හා මාතර දී 'අරගලය' මැයෙන් පියවර හතරක් වශයෙන් පැවැත්වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් පාගමනක් ආරම්භ කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන් කොළඹ නෙළුම්පොකුණ අසල ජනරැලයක් පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර මැයි දිනයේ තවත් සුවිශේෂී තත්ත්වය වනුයේ රට පුරාම පාහේ ජනතාව සංවිධානය කරන නිර්පාක්ෂික මැයි දින පාගමන් හා රැලි ද සංවිධාන කර තිබීමයි.