හිටපු පකිස්තාන මහකොමසාරිස් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් වසර 15 කට පසු විත්තිකරුවන් නිදහස්

2006 වසරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවකට ශ්‍රී ලංකාවේ සිටි පකිස්තාන මහකොමසාරිස්වරයා ගමන් ගත් රථ පෙළ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වසර 15 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි LTTE විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (නොවැම්බර් 10 වැනිදා) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.
ඒ අනුව මෙම නඩුවේ චූදිතයන් ලෙස නම් කර සිටි යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා නොහොත් කරන්, කනගරත්නම් ආදිත්‍යන් නොහොත් ගිරි යන අය නිදොස් කොට නිදහස් කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවය.
ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා විසින් තම තීන්දුවේ සඳහන් කරනු ලැබීය.
මෙම විත්තිකරුවන් තුන්දෙනා වසර 15 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.වී.තවරාසා සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, SANKA VIDANAGAMA/AFP via Getty Images
'තරුණ්‍යය සොරකම් කළ පුද්ගලයින්ට දෙන දඬුවම කුමක් ද ?'
"මෙම නඩුවේ විත්තිකරුවන් අත්අඩංගුවට ගත්තේ 2009 වසරේදී. ඔවුන්ට එරෙහි නඩු විභාගය ආරම්භ වුණේ 2012 වසරේ. ඔවුන් වසර පහළොවකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා. එසේම ආදිත්‍යන් කනගරත්නම් නමැති විත්තිකරු ආරක්ෂක ලේකම් වරයාගේ නියෝග මත වසර පහළොවකට ආසන්න කාලයම රැඳවුම් නියෝග මත පසුවුණා. මෙම විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් දීර්ඝ වශයෙන් සාක්ෂි ඉදිරිපත් කළා. එහෙත් එම කුමන්ත්‍රණ චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වුණේ නෑ.මෙම නඩුවේ විත්තිකරුවන් වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ එන්. සත්‍යවේල් පියතුමා අධිකරණය හමුවේ කරුණු දක්වමින්." මෙම විත්තිකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටියා. අවුරුදු 15 ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස් වීම සතුටට කරුණක්. මොවුන්ට නඩු පවරා තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. මොවුන් තුන්දෙනාම අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 30 සීමාව පසුවන්නට පෙරයි. ඔවුන් නිදහස ලබන විට ඔවුන්ගේ වයස අවුරුදු 40 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔවුන්ගේ තාරුණ්‍ය සොරකම් කර තිබෙනවා. මින් පැහැදිලි වෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබෙන භයානකත්වය. මේක ඛේදවාචකයක්. ඔවුන්ගේ තරුණ්‍යය සොරකම් කළ පුද්ගලයින්ට දෙන දඬුවම කුමක්ද? දඬුවම් දෙන්නේ කවුද? ඔවුන්ට සිදු වූ අගතියට වන්දි ගෙවන්නේ කවුද."යනුවෙන් ප්‍රශ්න කළ සත්‍යවේල් පියතුමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා ජනතාව පාලකයින්ට බල කළ යුතු බවත් අවධාරණය කළේය.
2006 වසරේ අගෝස්තු මස 14 වැනි දා කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවකට ශ්‍රී ලංකාවේ ධුරය දැරූ පකිස්නාත මහ කොමසාරිස් බසීර් අලි මොහොමඩ් ගමන් ගත් රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා නොහොත් කරන්, කනගරත්නම් ආදිත්‍යන් නොහොත් ගිරි යන LTTE විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 25ක් යටතේ නඩු පවරා තිබුණි.































