මාරාන්තික උපවාසයකින් මියගිය අන්නෙයි පූපති කවුද?

A convoy of Indian troops moves towards Jaffna Town, on october 15, 1987 from Elephant Pass, 25 miles south of the revel bastion under siege by Indian peace keeping forces, during the Sri Lankan Civil War and despite the Indo-Sri Lanka Peace Accord was signed on 29 July 1987

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1987 ඔක්‌තෝබර් 15 වැනිදා අලිමංකඩ සිට යාපනය නගරය දෙසට ගමන් කරන ඉන්දීය හමුදා රථ පෙළක්‌

වසර 35කට පෙර ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර ප්‍රදේශය ඉන්දීය හමුදාවේ අණසකට නතු වී තිබුණි.

එය 1987 වසරේ, ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඉන්දු- ලංකා ගිවිසුම් අත්සන් කළ කාල පරිච්ඡේදය යි. ජූලි මස 27 වනදා අත්සන් තැබූ මෙම ගිවිසුමෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට පළාත් සභා ද ස්ථාපනය කෙරුණි.

එය ඉන්දිය සාම සාධක හමුදාව විශේෂයෙන් ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල කඳවුරු ලා ගෙන සිටි කාලය යි. ඉන්දීය හමුදාව සාමය නමැති නාමයෙන් උතුරු නැගෙනහිර ජීවත්වූ දෙමළ ජනයා වෙත ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් සිටියහ.

එවැනි පසුබිමක අන්නෙයි පූපති මාරාන්තික උපවාසයක් ආරම්භ කළා ය.

කවුද මේ අන්නෙයි පූපති?

අන්නෙයි පූපති මඩකලපුව - අම්පාර මව් පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ තැනැත්තිය යි. 1932 වසරේ නොවැම්බර් මස තෙවැනිදා මඩකලපුව ප්‍රදේශයේ උපත ලද ඇය 56 හැවිදිරි වියේ දී ජීවිත පරිත්‍යාග කිරීමට තීරණය කළා ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ඉන්දීය සාම සාධක හමුදා අතර සටන් පැවැති කාලයේ දී, එම හමුදාවට විරුද්ධව හඬක් නැගීමට සහ සාමකාමී විරෝධය දැක්වීමට මඩකලපුව - අම්පාර මව් පෙරමුණ තීරණය කර තිබුණි.

ඔවුහු කොන්දේසි දෙකක් ඉදිරිපත් කරමින් ඉන්දිය රජයට විරුද්ධව මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

එම කොන්දේසි දෙක වූයේ,

  • වහා යුද්ධය නතර කළ යුතු යි
  • එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා ගත යුතු යි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම ඉල්ලීම් පෙරදැරි කරගෙන මඩකලපුව මාමාංග පිල්ලයාර් කෝවිලේ කුරුඳු ගස සෙවනෙහි 1988 මාර්තු 19 වන වන දා අන්නෙයි පූපති විසින් මාරන්තික උපවාසය ආරම්භ කරන ලදී.

මහත්මා ගාන්ධි අවිහිංසාවෙන් නිදහස ලබාගත් බවට ඉන්දියාව දිගින් දිගටම සිහිපත් කළ ද, අන්නෙයි පූපතිගේ අවිහිංසාවාදී සටන දෙස ඔවුන් අවධානය යොමු කළේ නැත.

උපවාසය ආරම්භ කිරීමට පෙර ඉන්දිය හමුදා නිලධාරීන් සමග අවස්ථා කිහිපයක දී සාකච්ඡා පවත්වන ලදී. මව් පෙරමුණේ ඉල්ලීම්වලට ඉන්දියාවෙන් සාධනීය පිළිතුරක් ලැබුණේ නැත.

කාන්තාවන් සංකේතාත්මක මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට උත්සහ කළ අවස්ථාවේ දී 1988 වසරේ ජනවාරි 4 වනදා මව් පෙරමුණට තිරුමලෛ ප්‍රදේශයට සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබීය. එහෙත් ඉල්ලීම්වලට එකඟත්වය පළ වූයේ නැත.

උපවාසය දිගටම සිදු විය. 1988 වසරේ පෙබරවාරි 10 වනදා මව් පෙරමුණේ විධායක කමිටු සාමාජිකයෝ කොළඹ දී ඉන්දිය බලධාරීන් සමග සාකච්ඡා කළහ.

නමුත්, සාකච්ඡා නතරවීමත් සමග මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට මව් පෙරමුණ තීරණය කළේ ය.

අන්නෙයි පූපති උපවාසය ආරම්භ කිරීමට පෙර එවක බොහෝ අය උපවාසයට ඉදිරිපත් වූහ. අවසානයේ දී කුසපත් ඇදීමෙන් නම් තෝරාගන්නා ලදී. එහි දී අන්නම්මා ඩේවිඩ් උපවාසය සඳහා තෝරාගැණින.

1988 වසරේ පෙබරවාරි 16 වනදා අමිර්තකලි මාමාංගේෂ්වර් කෝවිලේ දී අන්නම්මාගේ මාරාන්තික උපවාසය ආරම්භ විය. එහෙත් හමුදා විසින් උපවාසයේ නිරත වූ ඇය පැහැරගෙන යාමත් සමග ඇයට උපවාසය සම්පූර්ණ කිරීමට නොහැකි විය.

මාරාන්තික උපවාසයක්

අන්නෙයි පූපති 1988 වසරේ මාර්තු මස 19 වනදා සිය මාරාන්තික උපවාසය ආරම්භ කරනු ලැබුවේ මෙවැනි පසුබිමක ය. පෙර සූදානමක් ලෙස, “ස්වකැමැත්තෙන් මාරාන්තික උපවාසයේ නිරත වෙමි. මාගේ සිහිය නැතිවුවහොත් මාගේ සැමියා හෝ දරුවන් මාව රෝහලට ඇතුළත් කිරීමට උත්සහ නොකළ යුතු යි” යනුවෙන් ලිපියක් ලියා තැබුවා ය.

දරුවන් දස දෙනෙකුගේ මවක වූ ඇය ජලය පමණක් පානය කරමින් මෙම මාරාන්තික උපවාසය සිදු කළා ය. ඊට බොහෝ බාධා ඇති විය. මාරාන්තික උපවාසයට සහාය පළ කළ අයවත්, අන්නෙයි පූපතිගේ දරුවන් කිහිප දෙනෙකුවත් ඉන්දිය හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහෙත් උපාසය නතර කෙරුණේ නැත. ඇය දිගටම උපවාසයේ නිරත වූවා ය. කොන්දේසිවලට බලධාරීන් එකඟ නොවූ අතර අඛණ්ඩ උපවාසය ආරම්භ කර මසකින් අනතුරුව, 1988 වසරේ අප්‍රේල් 19 වනදා උදෑසන 8.45ට ඇය දිවි ගමනට සමු දුන්නා ය.

ඇගේ මරණය මඩකලපුව ජනයාගේ සිත් සසල කිරීමට හේතුවිය. මව් පෙරමුණේ සාමාජිකයින් අන්නෙයි පූපතිගේ දේහය වටා රැස්වී ඔප්පාරි තබා ඇඬුවේ ය. ඇගේ දේහය මෝදර විදීයේ පිහිටා තිබූ සීලාමුනෛ ක්‍රීඩා පිටියේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කරන ලදී.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

මඩකලපු අම්පාර ජනයා වැල නොකැඩී පැමිණ ඇයට මල් සහ මල් මාල දමා වැඳ සිය අවසන් ගෞරවය දැක්වූහ.

ජනයාගේ සිතෙහි තැති ගැන්මක් තිබුණි. එහෙත් ඉන්දිය හමුදාවේ බියගැන්වීම පසෙකලා ජනයා ඇයට අවසන් ගෞරවය දැක්වූහ.

පුවරු, පත්‍රිකා සහ දෙමළ මාධ්‍ය විසින් අන්නෙයි පූපති සිදුකළ ජීවිත පරිත්‍යාගය, ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කර තිබුණි.

1988 වසරේ අප්‍රේල් මස 19 වන අඟහරුවාදා පෙරවරු 8.45ට අවසන් හුස්ම පොද හෙළූ අන්නෙයි පූපතිගේ දේහය 1988 වසරේ අප්‍රේල් 22 වන සිකුරාදා දින දක්වා මෝදර වීදියේ පිහිටා තිබූ සීලාමුනෛ ක්‍රීඩා පිටියේ ජනතා ගෞරවය සඳහා තැන්පත් කර තිබුණි.

22 වනදා පස්වරු 2.15 පමණ අවසන් කටයුතු සඳහා දේහය රථ පෙළපාලියකින් රැගෙන යනු ලැබුණි.

සර්වාගමික නායකයින්, මහජනයා මෙන්ම මව් පෙරමුණෙහි සාමාජිකයන් සිය ගණනක් මෝදර වීදිය හරහා අරසඩි හන්දිය, කල්මුණෛ වීදිය, කල්ලඩි පාලම පසුකර වෙරළ වීදිය ඔස්සේ නාවලඩියට පැමිණ එදින පස්වරුවේ අන්නෙයි පූපතිගේ දේහය භූමදානය කළේ ය.

දහස් ගණනක් වූ ජනයා පස් අහුරු දමමින් ඇයට අවසන් ගෞරවය දැක්වූහ. නාවලඩි හි දී අදටත් අන්නෙයි පූපතිගේ සමාධිය එලෙසම පිහිටා තිබේ.

පසුගිය 2004 වසරේ දෙසැම්බර් 26 වනදා ඇති වූ සුනාමි ව්‍යවසනකයෙන් නාවලඩි ග්‍රාමය පූර්ණ බලපෑමට ලක් විය.

අන්නෙයි පූපතිගේ දේහය භූමදානය කර ඇති ස්ථානය නිසිලෙස නඩත්තු කිරීමට කිසිවෙකු නොමැති වීම හේතුවෙන් එය වල්බිහිව තිබේ.

තිස්පස් වසරකට පසුවත්, තම මෑණියන්ව කැලයක තබා ඇතැමුන් ඇගේ නාම භාවිත කරමින් දේශපාලනය කරන බවත්, මුදල් උපයාගන්නා බවත් ඇගේ දියණියක් කඳුළු සලමින් ප්‍රකාශ කළා ය.

අන්නෙයි පූපතිගේ දේහය භූමදානය කර ඇති ස්ථානය නියමිත පරිදි නඩත්තු කර එම ස්ථානය අලංකාරවත් කිරීම තම කැමැත්ත බවත්, මෙපමණ කාලයකට ඇය වෙනුවෙන් දානයක් ලබාදීමට නොහැකි අවාසනාවන්ත තත්ත්වයක් උදාවී ඇති බවත් ඇය ප්‍රකාශ කළා ය.

කෙසේවෙතත් මෙම වසරේ දී එම කාර්යය ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවාය.

අන්නෙයි පූපති දිවි ගමනට සමු දී වසර 35ක් සම්පූර්ණ වී තිබුණ ද ඇය සිදු කළ මෙම පරිත්‍යාගය උතුරු නැගෙනහිර ජනයාගේ සිත්වල අදටත් නොනැසී පවතියි.