යාපනයේ තිලීපන් ස්මරණය අතර චෝදනා ලද LTTE ඝාතන ගැන ප්‍රදර්ශනයක්

යාපනයේ තිලීපන් ස්මරණය අතර චෝදනා ලද LTTE ඝාතන ගැන ප්‍රදර්ශනයක්

තිලීපන් ස්මරණය වෙනුවෙන් අද (සැප් 26) යාපනය නල්ලූර් ප්‍රදේශයේ දී සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කොට ඇත.

තිලීපන් මියගිය යාපනය, නල්ලූර් කෝවිල අසල පිහිටි තිලීපන් සැමරුම් ස්මාරකය අභියස දී ස්මරණයට සමගාමීව තිලීපන්ගේ ජීවිත කථාව හා ඔහු සම්බන්ධයෙන් ලියවුණ පුවත්පත් ලිපි, සඟරා ලිපි හා අනෙකුත් ලේඛන ඇතුළත් ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

චෝදනා ලද LTTE ඝාතන ගැනත් ප්‍රදර්ශනයක්

මේ අතර සිවිල් සංවිධාන කිහිපයක් විසින් එල්.ටී.ටි.ඊ. සංවිධානය ඝාතනය කළ බවට චෝදනා එල්ලවෙන මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයින්, විද්වතුන්, සිවිල් වැසියන්ගේ තොරතුරු හා ඡායාරූප දක්වමින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස ඊයේ (සැප් 25) ප්‍රදර්ශනයක් ද සංවිධානය කොට තිබිණ.

LTTE victims - exhibition in front of Jaffna kachcheri

එහිදී ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, ලක්ෂ්මන් කදිරගාමර්, රාජිනි තිරණාගම වැනි දේශපාලකයින් හා විද්වතුන්ගේ ජායාරූප හා අදාළ ඝාතන සිදු වූ දින වකවානු මහජන ප්‍රදර්ශනයට එක්කර තිබුණි.

එල්.ටී.ටි.ඊ. සංවිධානය ඝාතනය කළ බවට චෝදනා එල්ලවෙන මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයින්, විද්වතුන්, සිවිල් වැසියන්ගේ තොරතුරු හා ඡායාරූප දක්වමින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස පැවති ප්‍රදර්ශනය
ඡායාරූප ශීර්ෂ වැකිය, එල්.ටී.ටි.ඊ. සංවිධානය ඝාතනය කළ බවට චෝදනා එල්ලවෙන මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයින්, විද්වතුන්, සිවිල් වැසියන්ගේ තොරතුරු හා ඡායාරූප දක්වමින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස පැවති ප්‍රදර්ශනය

තිලීපන් රථ පෙළපාළිය

මීට පෙර ප්‍රහාරයට ලක් වූ තිලීපන් ස්මරණය වෙනුවෙන් පොතුවිල් ප්‍රදේශයේ සිට යාපනය දක්වා ගමන් ගත් රථ පෙළපාලිය ඊයේ (සැප් 25) දිනයේ යාපනය වෙත පැමිණි අතර, අදාළ රථ පෙළපාලිය පිළිගැනීමට හා තිලීපන්ගේ ජායාරූපය වෙත පුෂ්පෝපහාර දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටියහ.

උතුරේ සිංහල ජනාවාසකරණ නවතා දමන ලෙසට හා ඉන්දීය රජය එල්.ටී.ටි.ඊ. සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් 1987 සැප්තැම්බර් 15 වන දින සිට 1987 සැප්තැම්බර් 26 වැනිදා දක්වා උපවාසයක නිරතව සිටිය දී ජීවිතක්ෂයට පත්වූ තිලීපන් සැමරීම වෙනුවෙන් එලෙස සැමරුම් වැඩසටහන් පැවැත්විණි.

එල්.ටී.ටි.ඊ. සංවිධානයේ ක්‍රියාකාරියෙකු වූ රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන්, 1987 වසරේ සැප්තැම්බර් මස 15 වනදා ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ය.

Thileepan memorial Nallur
ඡායාරූප ශීර්ෂ වැකිය, නල්ලූර් කෝවිල අසල පිහිටි තිලීපන් සැමරුම් ස්මාරකය අභියස දී ස්මරණයට සමගාමීව තිලීපන්ගේ ජීවිත කථාව හා ඔහු සම්බන්ධයෙන් ලියවුණ පුවත්පත් ලිපි, සඟරා ලිපි හා අනෙකුත් ලේඛන ඇතුළත් ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

1987 සැප්තැම්බර් 13 වැනිදා ඔහු ඔහුගේ ඉල්ලීම් ඇතුළත් කළ සංදේශයක් එවක ඉන්දීය මහා කොමසාරිස් ජේ.එන්. ඩික්ෂිත් වෙත යොමුකර තිබිණ.

එම සංදේශයට පහත ඉල්ලීම් ඇතුළත් විය:

  • සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත්කර ගත යුතු යි
  • දෙමළ ජනයා වෙසෙන පළාත්වල දෙමළ ජනයාගේ අතුරු ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපනය මුවාවෙන් සිදුකෙරෙන සිංහල ජනපදකරණය නවතාලිය යුතු යි
  • දෙමළ ජනයා වෙසෙන උතුරු-නැගෙනහිර සිංහල පොලිස් ස්ථාන හා කඳවුරු අලුතින් පිහිටුවීම රජය විසින් නැවැත්විය යුතු යි
  • ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු යි
  • දෙමළ ප්‍රදේශවල පාසැල් තුළ රැඳී සිටින ශ්‍රී ලංකා හමුදා හා පොලිස් බල ඇණි ඒවායින් ඉවත්කළ යුතු අතර, රජය විසින් ග්‍රාමාරක්ෂකයන්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත ලබාගත යුතු යි

පැය 24ක් ඇතුළත ඔහුගේ ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ඔහු මාරන්තික උපවාසයක් ආරම්භ කරන බව ද තිලීපන් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත ලබා දී තිබූ සංදේශයේ සඳහන් කර තිබිණ.

ඉල්ලීම් වෙත නිසි පිළිතුරු නොලැබුණ බැවින් 1987 සැප්තැම්බර් 15 වැනිදා සිට මාරාන්තික උපවාසයක නිරත වූ තිලීපන් සැප්තැම්බර් මස 26 වනදා නල්ලූර් කන්දසාමි කෝවිල අසළ ස්ථාපිත ස්ථානයක දී මරණයට පත්විය.

තිලීපන්ගේ දේහය සැප්තැම්බර් 28 දින ඔහුගේ අවසන් කැමැත්ත අනුව යාපනය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය අංශයට භාර දීමට කටයුතු කර තිබිණ.