'මේක නේවි එකට එන ආදායමක් නෙවෙයි, රජයට එන ආදායමක්' : ශ්‍රී ලංකා නාවික හමුදාවට නැවතත් සමුද්‍රීය ආරක්ෂණ සේවා සැපයීමේ බලය

 Navy battleship by the Sri Lankan Air Force during the 76th Independence Day in Colombo, Sri Lanka, on February 4, 2024.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකා නාවික හමුදාවට වෙළඳ නෞකා සඳහා සේවා සපයන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂණ සේවාවන් ලබා දෙන සමාගම් සඳහා සේවා සැපයීමට බලය ලබා දෙමින් ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

2025 අගෝස්තු 10 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති අතර, එම ගැසට් පත්‍රය නාවික හමුදා පනතේ 21 වන වගන්තියේ (1) වන උපවගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර තිබේ.

නාවික හමුදාවට හිමිවන බලතල මොනවා ද?

ගැසට් පත්‍රයේ සඳහන් වන ආකාරයට, විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂණ සමාගම් සඳහා සේවා හා පහසුකම් සැපයීමට මෙහෙයුම් පවත්වාගෙන යාම හා එම ව්‍යාපෘතියේ මෙහෙයුම්, පරිපාලන හා මූල්‍ය කටයුතු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ සුදුසු පරිදි සිදු කිරීම සඳහා එම සමාගම්වලට අයත් ගිනි අවි සහ අනෙකුත් උපාංග නාවික හමුදා ගබඩාවල ගබඩා කිරීම ඒවා ප්‍රවාහනය කිරීම සහ ප්‍රවාහනය කරන යාත්‍රා සඳහා ආරක්ෂාව ලබා දීම වැනි කාර්යයන් සඳහා එයින් අවසර ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් නාවික නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාන්ඩර් බුද්ධික සම්පත්ගෙන් විමසීමක් සිදු කරන ලදී.

"ගැසට් එකේ කියලා තියෙන විදිහට වාණිජ නෞකාවන්ට සමුද්‍රීය ආරක්ෂක සේවාවන් වෙනුවෙන් පහසුකම් සැපයීමට නාවික හමුදාවට බලය ලැබිලා තියෙනවා. නාවික හමුදාවට මේ සම්බන්ධයෙන් මෙහෙයුම්, පරිපාලන කියන කාර්යයන් ප්‍රධාන වශයෙන් අයිති වෙනවා," නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේ ය.

"ඊට අමතරව මෙයින් එන මූල්‍ය කටයුතු හැසිරවීම ත් නාවික හමුදා අධීක්ෂණයෙන් සිදු වෙනවා."

අවි ආයුධ සම්බන්ධයෙන් හිමි ව ඇති බලය

එහිදී අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව නාවික හමුදාවට එම සමුද්‍රීය ආරක්ෂණ කටයුතුවල දී ආයුධ ගබඩා කිරීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් හිමි ව ඇති බලය පිළිබඳව ද බීබීසි සිංහල විසින් මාධ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් විමසා සිටින ලදී.

"මෙහෙයුම් කිව්ව ම ලොකු පරාසයක් අයිති වෙනවා. අවි ආයුධ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම, අවි සුරක්ෂිතව ගබඩා කිරීම, අවි ආයුධ ප්‍රවාහනය කිරීම, අවි ආයුධ වෙනත් රටකට ප්‍රවාහනය කිරීම, අවි ආයුධ වරායේ සිට වාණිජ නෞකා වෙත ප්‍රවාහනය කිරීම, ඒ ප්‍රවාහනය කරන යාත්‍රා සඳහා ආරක්ෂාව ලබා දීම, රට තුළ ඒ අවි ආයුධ ප්‍රවාහනය කරන වාහන සඳහා ආරක්ෂාව ලබා දීම වගේ ලොකු පරාසයක් අයිති වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.

'රජයට එන ආදායමක්'

මීට පෙර ද මෙම බලය නාවික හමුදාවට ලබා දී තිබු අතර එය වරින් වර වෙනස් වූ බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

එමෙන් ම මෙම සේවාවන් ලබා දීමට හැකි වීමෙන් රජයට ආදායමක් ද එකතු වන බව ඔහු පැවසුවේ ය.

"මේක නේවි එකට එන ආදායමක් නෙවෙයි, රජයට එන ආදායමක්. අපි වෙළඳ වාණිජ නෞකා සඳහා සිදු කරන මේ කියන මෙහෙයුම්වලින් රටට ආදායමක් එනවා."

'නාවික හමුදාවට මේ කටයුත්ත සංවිධානාත්මකව කරගෙන යන්න හොඳ හැකියාවක් තියෙනවා'

මෙම කටයුත්ත කරගෙන යාම සඳහා නාවික හමුදාවට ඇති ශක්‍යතාවය සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් කමාන්ඩර් බුද්ධික සම්පත්ගෙන් විමසන ලදී.

"අපි වෘත්තීයමය ආයතනයක්. මෙවැනි දෙයක් සම්බන්ධයෙන් අපට තියෙන වෘත්තීමය දැනුම ඉතා ඉහළයි. මේ සඳහා ඉන්න විශ්වාසදායක ආයතනයක් තමයි අපි."

"අවි ආයුධ ගබඩා කිරීම, ප්‍රවාහනය, ආරක්ෂාව ලබා දීම වගේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න වෘත්තීමය ආයතනය තමයි නාවික හමුදාව කියන්නේ. ඒක ත් සමග ම රටේ ජාතික ආරක්ෂාව කියන කාරණාවේදීත් නාවික හමුදාව ප්‍රධාන වෙනවා. එතකොට මේ දෙක ම එකතු වුණා ම නාවික හමුදාවට මේ කටයුත්ත සැලසුම් කරලා මනාව සංවිධානාත්මකව කරගෙන යන්න හොඳ හැකියාවක් තියෙනවා."