'පොතක් ගැන ඇති වූ රණ්ඩුවක් නිසා' පාසල් දරුවෙක් වෙනත් සිසුවෙකු ඝාතනය කරයි: ඉන්දීය නගරයක් ගිනිබත් වෙයි

- Author, සෝයා මටීන්
- Role, බීබීසී, දිල්ලි
- Author, මොහාර් සිං මීනා
- Role, බීබීසී, රාජස්ථාන්
පසුගිය මාසයේදී එක ම පන්තියේ මිතුරෙකු විසින් 15 හැවිරිදි පිරිමි ළමයෙකු ඝාතනය කරනු ලැබීමේ සිද්ධිය ඉන්දියාවේ නගරයක ආගමික නොසන්සුන්තාවක් නිර්මාණය කර ඇති අතර, එක් පවුලක් ශෝකයට පත්වූ අතර අනෙක් පවුල අපරාධය නිසා බියට පත් විය.
අගෝස්තු 16 වන දා, හීනාට දැනගන්නට ලැබුණේ, ඇගේ 15 හැවිරිදි පුත් සකීර්* (සැබෑ නම නොවේ), රාජස්ථාන් ප්‍රාන්තයේ උදයිපූර්හි ඔහුගේ පාසලේ පන්තියේ ම මිතුරෙකුට පිහියකින් ඇනීමේ චෝදනාවකට ලක්ව ඇති බව ය.
සකීර් ඔහුගේ බෑගයෙන් පිහියක් පිටතට ගෙන, හින්දු පිරිමි ළමයෙකු වූ දේව්රාජ්ට පහර දුන් බව පැවසෙන අතර දින තුනකට පසු ඔහු රෝහලේදී මිය ගියේ ය.
මෙම සිද්ධිය ශෝකයේ හා කෝපයේ ප්‍රවාහයක් මෙන් ම පන්ති කාමරවලදී ප්‍රචණ්ඩත්වයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ සංවාදයක් ඇති කළේ ය.
මෙම සිද්ධියට ආගමික සම්බන්ධයක් නැතැයි ප්‍රාන්ත පොලිසිය පැවසීය. "කුණු ගෑවුණ අභ්‍යාස පොත් සම්බන්ධයෙන් ශිෂ්‍යයින් දෙන්නා අතරේ බහින්බස් වීමක් සිද්ධ වෙලා තියෙනවා," මෙම සිද්ධියේ විමර්ශන නිලධාරී චාගන් පුරෝහිත් බීබීසී පුවත් සේවයට පැවසීය.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවකට හේතු විය.
මුස්ලිම් ජාතිකයෙකු වන සකීර්, හින්දු පිරිමි ළමයෙකුට එරෙහිව ඝාතනය සැලසුම් කළ බවට පැතිර ගිය අසත්‍ය කටකතා WhatsApp හරහා පැතිර ගිය අතර, දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් වාහනවලට ගිනි තබමින් සහ මුස්ලිම් විරෝධී සටන් පාඨ කියමින් උදයිපූර්හි පැවති විරෝධතා, ඇඳිරි නීතිය පැනවීමට සහ ඉන්ටර්නෙට් අවහිර කිරීමට හේතු විය.

සකීර් අත්අඩංගුවට ගෙන බාලවයස්කරුවන් රඳවා තබන ළමා නිවාසයක් වෙත යැවූ බවත්, ඝාතනයට අනුබල දීමේ චෝදනා මත ඔහුගේ පියා අත්අඩංගුවට ගත් බවත් පුරෝහිත් පැවසීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පසු දා, භාරතීය ජනතා පක්ෂය පාලනය කරන (BJP) ප්‍රාන්තවල හුරුපුරුදු රටාවක් අනුගමනය කරමින්, බුල්ඩෝසර් මගින් හීනාගේ කුලී නිවස කඩා බිඳ දැමූ අතර, ඇය සහ ඇගේ දියණියන් සිව් දෙනාට හිසට සෙවණක් අහිමි විය.
"මගේ පුතා දඬුවම් ලබන්න ඕනෙ. මං හිතනවා, එයා යහපත් මනුස්සයෙක් වෙයි කියලා," හීනා පැවසීය. "ඇයි ඒගොල්ලෝ මුළු පවුලට ම දඬුවම් දුන්නේ?"
ප්‍රචණ්ඩත්වය පහව ගොස් ඇතත්, සරල සටනක් උත්සන්න වූ ආකාරය ගැන උදයිපූර් වැසියෝ කම්පාවට පත්ව සිටිති. කලක් ඒකාබද්ධ වී සිටි හින්දු-මුස්ලිම් අසල්වැසියන් ආගමික මත ඔස්සේ යළිත් වෙන් වනු ඇතැයි දැන් බොහෝ දෙනා බිය පළ කරති.
"තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. ඒක අපට දැනෙනවා," අනන්‍යතාව හෙළි කිරීමට අකැමැත්ත පළ කළ හීනාගේ අසල්වැසියෙක් පැවසීය.
දේව්රාජ්ගේ පවුල ගත් කල, තම පුතා අහිමි වීමේ වේදනාවට සාපේක්ෂව අනෙක් සියල්ල ඔවුන්ට එතරම් වැදගත් නැත.
"මේක තමා ඕන ම දෙමාපියෙක් භීතියට පත් කරන ප්‍රවෘත්තිය," ඔහුගේ පියා වූ පප්පු ලාල් බීබීසී පුවත් සේවයට පැවසීය.
කුවේට්හි සපත්තු මසන්නෙකු වූ ඔහු සිද්ධිය දැනගත්තේ, නිවසින් සැතපුම් දහස් ගණනක් ඈතින් සිටියදී ය. ඔහු නිවසට පැමිණෙන විට පුතා සිටියේ, සිහිසුන්ව ය. ඔහු මිය ගියේ, සිය පියා දෙස බැලීමකින් හෝ වචනයක් කතා කිරීමකින් තොරව ය.
මෙම කම්පනය, ඔහුගේ බිරිඳ සහ ඔහු අතිශයින් දුකට පත් කළ අතර ඔහු තුළ කෝපයක් ඇති කළේ ය.
"ඔවුන්ගේ ගෙදර විනාශ වුණා. ඒත් අපට නැතු වුණේ අපේ පුතාව," ලාල් පැවසීය. "ගෙදර නම් ආයෙත් හදා ගන්න පුළුවන්. ඒත් අපේ දරුවා ආයෙත් ගේන්න පුළුවන් ද? එයා කවදාවත් ආපහු එන්නෙ නෑ."

දේශපාලන වාසි තකා ආගමික ගැටුම් ඇති කරන බවට ඇතැම් විපක්ෂ නායකයින් භාරතීය ජනතා පක්ෂයට චෝදනා කිරීමෙන් පසුව, ඉන්දියාව සහ රාජස්ථාන් ප්‍රාන්තය පාලනය කරන එම පක්ෂයට මෙම සිද්ධිය දේශපාලනික වශයෙන් කැළලක් වී තිබේ.
බලධාරීන් පවසන්නේ, හීනාගේ නිවස වනාන්තර භූමියක නීතිවිරෝධී ලෙස ඉදිකර තිබූ බැවින් නිවස කඩා දැමූ බව ය. නිවස කඩා දමන බවට දැනුම් දී තිබුණේ, එය කඩා දැමූ දිනට පෙර දිනයේදී ය.
මේ අතර, නිවස හිමි ඇගේ සොහොයුරා වන මුක්තාර් අලාම් (සැබෑ නම නොවේ) ප්‍රශ්න කරන්නේ, කුලී නිවැසියන්ට පමණක් දැනුම් දී නිවසක් කඩා ඉවත් කරන්නේ කෙසේ ද? යන්න ය. "ඒ ගෙදර මගේ. මම ඒක හැදුවෙ ගොඩක් අමාරුවෙන්. ඒගොල්ලො මට කියන්නෙවත් නැතිව ඇවිත් ගෙදර කඩලා දාන්නෙ කොහොම ද?"
අදාළ නිවාස වනාන්තර භූමියක ඉදිකර ඇත්නම්, එහි ඇති අනෙක් නිවාස කඩා ඉවත් නොකළේ මන්දැයි ඔහු විමසයි.
උදයිපූර්හි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන මුකේෂ් සයිනි බීබීසී පුවත් සේවයට පැවසුවේ, "සුදුසු කාලය පැමිණි විට" එම නිවාසවලට එරෙහිව පියවර ගන්නා බව ය.
"දැන් ඒකට සුදුසු වාතාවරණයක් නෑ," ඔහු පැවසීය.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙම ක්‍රියාව සිදුවූ කාලය පිළිබඳව ප්‍රශ්න නගන අතර චෝදනා කරන ලද අපරාධයකට යමෙකුට දඬුවම් කිරීමට වෙනත් නීති භාවිත කිරීම පිළිගත නොහැකි බව ය.
භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරනු ලබන උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ් සහ ඇසෑම් වැනි ප්‍රාන්තවල, බුල්ඩෝසර් බොහෝවිට අපරාධවලට සම්බන්ධ සැකකරුවන්ගේ නිවාස ක්ෂණිකව කඩා දමයි. මෙය නීතිය හා සාමය පිළිබඳ ඔවුන්ගේ දැඩි ස්ථාවරයේ සාක්ෂියක් ලෙස නිලධාරීහු හුවා දක්වති. මෙවැනි ක්‍රියාවන්හිදී වින්දිතයින් හින්දු පවුල්වලට අයත් වන අතර, විපක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් තර්ක කරන්නේ මෙම කඩා බිඳ දැමීම් අසමානුපාතික ලෙස මුස්ලිම්වරුන් ඉලක්ක කරන බව ය. විශේෂයෙන් ආගමික ප්‍රචණ්ඩත්වය හෝ විරෝධතා දැක්වීම්වලට පසුව මෙවැනි ක්‍රියා සිදුවන බවට ද චෝදනා කෙරේ.
"එක් කෙනෙක් කරපු වරදකට සමූහයකට දඬුවම් දීම සහ බලධාරීන් ජනප්‍රියත්වය වෙනුවෙන් ක්‍රියා කිරීම හැර වෙනත් කිසි ම තර්කයක් මෙතන නැහැ," යනුවෙන් දේශපාලන විද්‍යාඥයෙකු වන අසීම් අලි පැවසීය.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී අපරාධවලට චෝදනා ලැබූ පුද්ගලයන්ට අයත් දේපළ විනාශ කිරීම විවේචනය කළ අතර, ඒ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කරන බව ප්‍රකාශ කළේ ය.
භාරතීය ජනතා පක්ෂයේ උදයිපූර් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්නා ලාල් රාවත් බීබීසී හින්දි සේවයට පැවසුවේ, නිවාසය කඩා දැමීම පිහි ඇනුමට සම්බන්ධයක් නැති බව ය. චූදිත සිසුවා "අන්තවාදීන්ගේ බලපෑමට ලක්ව සිටි" නිසා පිහි ඇනුම සිදුවූ බවට ද ඔහු චෝදනා කළ අතර, මෙම ඝාතනය "ඝාතන රැල්ලක" කොටසක් වීමට ඉඩ නොතබන බවට සහතික කරන ලෙස තමා පොලිසියෙන් ඉල්ලා සිටි බව පැවසීය.
මුස්ලිම් පුද්ගලයින් දෙදෙනෙකු හින්දු මිනිසෙකුගේ හිස ගසා දමා, පහරදීම රූගත කර ඉන්ටර්නෙට් වෙත මුදා හැරීමත් සමග 2022 වසරේ සිට උදයිපූර්හි නොසන්සුන්කාරී වාතාවරණයක් පැවතිණි. මුහම්මද් නබිතුමා සම්බන්ධයෙන් දේශපාලඥයෙකු විසින් කරන ලද භේදකාරී ප්‍රකාශයන්ට ඔහු සහය දැක්වීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ක්‍රියාව සිදු කළ බව ඔවුහු පැවසූහ.
එම ඝාතනය දින ගණනාවක් පුරා උදයිපූර් නගරයේ දැවැන්ත විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට හේතු විය.
"ඒ ඝාතනයේ මතක තවමත් මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා," අනන්‍යතාව හෙළි කිරීමට අකැමති රාජස්ථාන් පොලිස් නිලධාරියෙක් බීබීසී පුවත් සේවයට පැවසීය. "ඒ නිස යි දරුවන් දෙදෙනෙක් අතරේ ඇති වුණ රණ්ඩුවක් කෝලාහලයක් බවට පත් වුණේ. දේශපාලනය නිසා නගරයේ සාමයට කැළලක් වුණා."
එහෙත්, ලාල්ට තේරුම් ගත නොහැක්කේ මෙම රණ්ඩුවට මුල් වූ හේතුව කුමක් ද? යන්න ය.
සිය දරුවා යහපත් දරුවෙකු බව ඔහු පවසයි. 15 හැවිරිදි දරුවෙකුට සරිලන දඟකාරකම් පැවතිය ද, ඔහු ඉතා සුන්දර සහ අහිංසක දරුවෙකු බව ඔහු කියයි.
"එයා පාසලේ කිසි කෙනෙක් එක්ක රණ්ඩු කරලා නැහැ. එයාට ඕන වුණේ යුක්තියේ හඬක් විදිහට පොලිස් නිලධාරියෙක් වෙන්න," ඔහු පැවසීය. ඔහුගේ ඇස් විසිත්ත කාමරයේ මුල්ලක තබා ඇති දේව්රාජ්ගේ ඡායාරූපය දෙස යොමු වී තිබේ.

දෙව්රාජ්ගේ මරණයෙන් පසු, හින්දු සහ මුස්ලිම්වරුන් වසර ගණනාවක් සාමකාමීව එකට ජීවත් වූ කාර්ය බහුල අසල්වැසි ප්‍රදේශයක පිහිටි පවුලේ කුඩා නිවසට සිය ගණනක් ජනයා පැමිණෙමින් සිටිති.
එහෙත්, ලාල්ට සහ ඔහුගේ ශෝකයට පත් බිරිඳට, සියලු ශෝක ප්‍රකාශ අර්ථ විරහිත බවක් දැනේ.
ඔහු ප්‍රචණ්ඩත්වය හෝ එයට හේතු වන්නට ඇති දේ ගැන කතා කිරීම ප්‍රතික්ෂේප කරයි. ඊට පිළිතුරු දිය යුත්තේ පරිපාලනය බව පවසන ඔහු පවසන්නේ, "මට අවශ්‍ය මගේ පුතාට සාධාරණයක් පමණයි" යනුවෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසල ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතු වී තිබේ.
ලාල් චෝදනා කරන්නේ, කිසිදු ගුරුවරයෙකු දේව්රාජ් රැගෙන රෝහලට නොපැමිණි බවත්, ඔහුගේ පන්තියේ මිතුරන් දෙදෙනෙකු විසින් ඔහුව යතුරු පැදියකින් එහි ගෙන ගිය බවත් ය.
රාජකාරියේ නොසැලකිලිමත්කම හේතුවෙන් වැඩ තහනමකට ලක් කර ඇති පාසලේ විදුහල්පතිනි ඊෂා ධර්මාවත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා ය.
ප්‍රතිකාර ප්‍රමාද වීම වළක්වා ගැනීම සඳහා දෙව්රාජ් තම යතුරු පැදියේ නංවා ගන්නා ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටි බවත් තමා ඇතුළු ගුරුවරුන් සිව් දෙනෙකු ද වහා ම රෝහලට ගිය බවත් ඇය පැවසුවා ය.
නගරය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙද්දී, සිද්ධියේ ප්‍රතිවිපාක වඩාත් හොඳින් පෙනෙන්නේ එම දරුවන් ඉගෙනුම ලැබූ පාසලෙනි.

පිහි ඇනුමෙන් පසු, පාසල සතියක කාලයක් වසා දමා තිබා තිබිණි. එය යළි විවෘත කිරීමට සිදුවූයේ එක ශිෂ්‍යයෙකු සමගිනි.
දේව්රාජ් සමග රෝහලට ගිය සිසුන් දෙදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති අතර, ආරක්ෂාව පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් ඔවුහු නගරයෙන් පිටව ගියහ. තවමත් තම දරුවන් පාසල් යවන දෙමාපියෝ ඔවුන්ගේ ආරක්ෂාව ගැන කනස්සල්ලට පත්ව සිටිති.
"ළමයින් ලෝකයට මුහුණ දීමට සූදානම් වන තුරු ඔවුන් දේශපාලනයෙන් ඈත් කළ යුතුයි. මෙය අප සියල්ලන්ම කම්පා කරනවා," යැයි නම හෙළි කිරීමට අකැමති මවක් පැවසීය.
මේ අතර, හීනා ඇගේ ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට උත්සහ දරමින් සිටී.
"මගේ බඩු බාහිරාදිය අඩක් තවමත් [බිඳ දැමූ නිවසෙහි සුන්බුන් යට] වැළලිලා තියෙන්නේ. නිවස කඩා දැමීමෙන් පස්සේ කිසිවෙකු මට නිවසක් කුලියට දීමට කැමති නැහැ," ඇය පැවසුවාය.
මේ වන විටත් ඇය කල්පනා කරන්නේ, තම පුතාට පිහිය ලැබුණේ කෙසේ ද යන්න හෝ ඔහු තම මිතුරාට එරෙහිව එය භාවිත කළේ ඇයි ද යන්නයි. එය කඩා වැටෙන මානසික සෞඛ්‍යය, බොළඳ එදිරිවාදිකමක් හෝ වෙනත් දෙයක් ද? ඇය දන්නේ නැත.
නමුත් ඇය සදහට ම ප්‍රචණ්ඩත්වයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන වෛරයට සහය කරන්නියක් ලෙසත්, බිහිසුණු මවක ලෙසත් තමන්ව දකිනු ඇති බව ඇය දනී.
"මට තිබුණ ඔක්කොම උදුර ගත්තා. දැන් මිනිස්සුන්ට ඕන මගේ පුතාව එල්ලන්න නම්, එල්ලපුදෙන්. මං වෙන මොනවා කියන්න ද?"














