ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් 120කට අධික පිරිසක් මරුට

වීඩියෝ ශීර්ෂ වැකිය, තෙරපීමකින් ඉන්දියාවේ විශාල පිරිසක් මරුට
    • Author, ශාරන්‍යා හෘශිකෙෂ්
    • Role, බීබීසී පුවත්

උතුරු ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 121 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂක ජෙනරල් ශලබ් මාතුර් ප්‍රකාශ කර තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ 'සට්සංග්' නමැති හින්දු ආගමික උත්සවයකදී ය.

කාන්තාවන් විශාල ගණනක් සහ කුඩා දරුවන් පිරිසක් ඇතුළු මෙම සිදුවීමෙන් විපතට පත්වූවන් හඳුනා ගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

මුගල්ගාර්හි නම් ගම්මානයේ පැවති මෙම උත්සවයෙන් පිටව යාමට උත්සහ කිරීමේදී පුද්ගලයින් අනතුරට ලක් වූ ආකාරය දිවි ගලවා ගත් අය විස්තර කර ඇත.

මෙම තෙරපීම ඇතිවීමට හේතුව කුමක් ද යන්න තවමත් අපැහැදිලි ය. ඇසින් දුටුවන් පැවසුවේ, පිටවීමේ මාර්ගය ඉතා පටු වූ අතර මිනිසුන් පිටව යන විට දරුණු දූවිලි වළාවක් ඇති වී ඔවුන් ව්‍යාකූලත්වයට හා කලබලයට පත් වූ බව ත් ඒ හේතුවෙන් අවසානයේ බොහෝ දෙනෙකු පෑගීමට ලක් වුණු බව ත් ය.

නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ඇසින් දුටු සාක්ෂිකරුවෙකු බීබීසීයට පැවසුවේ, සියල්ල "හොඳින් සිදුවෙමින් තිබුණේ," නමුත් එක පාරට කෑගහන සද්දයක් ආවා. ඒ මොකක් ද කියලා මට තේරුම් යන්නත් කලින් මිනිස්සු එකා මත එකා ඇදගෙන වැටුණා."

‘ගොඩක් අය තෙරපීමට ලක් වුණා. මට මහ දෙයක් කරගන්න පුළුවන් උණේ නැහැ. මට දිවිගලවා ගන්න ලැබුණ එක වාසනාවක්.’

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

‘දේශනාව ඉවර වුණා ම හැමෝම එළියට දුවන්න පටන් ගත්තා,’ ඉන්දියාවේ 'ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා' ප්‍රවෘත්ති ඒජන්සියට ශකුන්තලා නම පමණක් ඇති කාන්තාවක් පැවසුවා ය.

‘මිනිස්සු පාර අයිනේ කාණුවට ඇදගෙන වැටුණා. එකා පිට එකා වැටෙන්න පටන් අරන් තෙරපිලා මැරුණා.’

අසල්වැසි ඒටා දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී උමේෂ් කුමාර් ත්‍රිපාති වාර්තාකරුවන්ට පැවසුවේ, ‘තෙරපීම’ හේතුවෙන් අවම වශයෙන් ළමුන් තිදෙනෙකු මිය ගොස් ඇති බව ය.

‘අවසාන සංඛ්‍යා ලේඛන නිකුත් කිරීමට පැය ගණනක් ගතවනු ඇති’ බව උත්තර් ප්‍රදේශ්හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසීය.

තෙරපීම සිදුවූ ස්ථානයේ කම්පනයට පත් කරවනසුලු ඡායාරූප ඉන්ටර්නෙට් පුරා සංසරණය වෙමින් පවතී. ඇතැම් වීඩියෝවල දැක්වෙන්නේ, තුවාලකරුවන් පික්-අප් ට්‍රක්, ටුක් ටුක් සහ යතුරුපැදිවලින් පවා රෝහල් වෙත ගෙන යන ආකාරය යි.

බීබීසීය විසින් නිරීක්ෂණය කරන ලද එක් වීඩියෝවක සටහන් වී තිබුණේ, මළ සිරුරු කිහිපයක් ළඟ තබා ගෙන ප්‍රාදේශීය රෝහලක දොරටුව අසල ඥාතීන් උදව් ඉල්ලා කෑගසන අයුරු ය.

‘මෙච්චර ලොකු සිද්ධියක් වෙලත් එක පොලිස් ලොක්කෙක් නෑනේ මෙතන,’ තවත් වීඩියෝවක ඥාතියෙක් පැවසුවේ ය. ‘කෝ මේ පරිපාලන නිලධාරීන්?’

එම ස්ථානයේ පමණ ඉක්මවා විශාල පිරිසක් රැස්ව සිට ඇති බව පැවසූ කුමාර්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කර ඇති බව පැවසීය.

‘ආණ්ඩුවේ මූලික අරමුණ වන්නේ තුවාල ලැබූවන්ට සහ මියගිය අයගේ ඥාතීන්ට හැකි සෑම උපකාරයක් ම ලබා දීමයි,’ ඔහු පැවසීය.

ප්‍රවෘත්ති ඒජන්සියක් වන පීටීඅයි විසින් නිකුත් කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහලකට ගෙන එන ආකාරය යි.

‘පශ්චාත් මරණ පරික්‍ෂණ සිද්ධ වෙමින් තියෙන්නේ සහ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙනවා,’ අසල්වැසි ඒටා දිස්ත්‍රික්කයේ නිලධාරියෙකු වන සත්‍ය ප්‍රකාශ් පැවසීය.

හත්‍රාස්හි, වේදනාවට පත් පවුල්වල සාමාජිකයින්ගේ වැළපුම් ප්‍රාදේශීය රෝහල්වලින් ඇසිය හැක.

බොහෝ දෙනෙක් තම ආදරණීයයන් සොයා ගැනීමට උත්සාහ කරති. නමුත් මෘත දේහ බොහොමයක අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

ගිලන්රථ හිඟයක් පවතින අතර එක් ගිලන්රථයකින් ප්‍රවාහනය කෙරෙන්නේ සිරුරු දෙක තුනක් පමණි. හත්‍රාස් දිස්ත්‍රික්කය බලාපොරොත්තු සුන් බවින් සහ සහ වේදනාවෙන් පිරී ගොස් ඇත.

ඉන්දියාවේ ආගමික උත්සවවලදී අනතුරු සාමාන්‍යයෙන් වාර්තා වන්නේ, ආරක්‍ෂිත ක්‍රමවේද එතරම් පිළිපැදීමකින් තොරව විශාල ජනකායක් ඉඩකඩ අඩු අවකාශයන්හි රැස්වන බැවිනි.

2018දී හින්දු ආගමික උත්සවයක් වන දුසේරා උත්සවය නරඹමින් සිටි පිරිසක් වෙත දුම්රියක් කඩාවැදී 60 දෙනෙක් පමණ මිය ගියහ.

2013 වසරේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 115 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

අතිරේක වාර්තාකරණය හත්‍රාස්හි අභිෂේක් මතුර් විසිනි