ඊද් අල්-අදා: ආගම්වල සත්ව බිලි පූජා සිදුවන්නේ ඇයි?

A sketch of a man leading a goat away for slaughter

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අතීතයේ සිට ම බොහෝ සමාජවල සත්ව බිලි පූජා සිදු කර ඇත
    • Author, ඕර්චි ඔතොන්ද්‍රිලා
    • Role, බීබීසී ලෝක සේවය

ඊබ්‍රහීම් නබිතුමන් තම පුතු පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කිරීම සිහිපත් කෙරෙන මුස්ලිම් වැසියන්ගේ ඊද් අල්-අදා උත්සවය හෙවත් පරිත්‍යාගයේ මංගල්‍යය සෙනසුරාදා ආරම්භ විය. ඊබ්‍රාහීම් යන නම ක්‍රිස්තියානි ආගමේ සහ යුදෙව් ආගමේ ආබ්‍රහම් ලෙස හැඳින්වේ.

විශ්වාසය නම්, අවනතභාවය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවක් ලෙස තම පුත් ඉස්මයිල් පූජා කරන්නැයි අල්ලා දෙවියන්ගෙන් ලද පණිවිඩයක් ලෙස ඊබ්‍රහීම් නබිතුමන් සිහිනයක් දුටු බව ය. ඔහු මේ බව තම පුතුට දැනුම් දුන් විට, ඉස්මයිල් එය පිළිගෙන, අණට කීකරු වන ලෙස තම පියාගෙන් ඉල්ලා සිටියේ ය. ඊබ්‍රහීම් තම පුත්‍රයා මරා දැමීමට සූදානම්වද්දී, අල්ලා දෙවියන් ඔහුව නවතා ඒ වෙනුවට ඔහුට පූජා කිරීම සඳහා ‘බැටළුවෙකු’ ලබා දුන්නේ ය.

[එහි ප්‍රතිඵලයක් ලෙස] ලොව පුරා සිටින මුස්ලිම් වැසියෝ, කෘෂිකාර්මික කටයුතු සඳහා ඇති දැඩි කරන විවිධ වර්ගයේ ගෘහාශ්‍රිත සතුන් චාරිත්‍රානුකූලව බිලි දීම සිදු කරති. සාම්ප්‍රදායිකව, යමෙකු තම අවශ්‍යතාවට වඩා වැඩි ධනයකට උරුමකම් කියන්නේ නම්, එම ක්‍රියාව සිදු කිරීම අනිවාර්ය වේ.

එසේ නම්, අනෙකුත් ප්‍රධාන ආගම් ගැන කුමක් කිව හැකි ද? සතෙකු බිලි දීම හින්දු ආගමේ, යුදෙව් ආගමේ සහ ක්‍රිස්තියානි ආගමේ දකින්නේ කෙසේ ද?

යුදෙව් ආගම

Members of the 'Beit Yisrael' sect, part of the African Hebrew Israelite Nation of Jerusalem, march before they slaughter a lamb during a Passover sacrifice ceremony on 12 April 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් කණ්ඩායම් තවමත් යුදෙව් ආගමික උත්සවවලදී සතුන් බිලි දීමේ චාරිත්‍රය ඉටු කරති

ඉස්ලාම් ආගමේ ඉතිහාසය යුදෙව් ආගම හා ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසයට බොහෝ සෙයින් සමාන වේ.

යුදෙව් ආගමික ග්‍රන්ථවල විවිධ පූජාවන් ගැන සඳහන් කරන අතර ම එක් එක් පූජා සිදුකළ යුතු නිශ්චිත වේලාවන් සහ ස්ථාන ද දැක්වෙන බව එක්සත් රාජධානියේ ලියෝ බෑක් විද්‍යාලයේ අධ්‍යයන සේවා අංශයේ ප්‍රධානී, යුදෙව් ධර්මාචාර්යවරයෙකු වන ගැරී සෝමර්ස් පවසයි. (රැබයි [Rabbi] යනු, යුදෙව් ධර්මාචාර්යවරුන් හඳුන්වන නාමය යි.]

"දැන් අපි මේ බිලි පූජා පවත්වන්නේ නැහැ, මොක ද මේ පුද පූජා පැවැත්වූ දේවමාලිගාව දැන් නැති නිසා. ඒ වෙනුවට අපි යාච්ඤාවෙන් මේ පරිත්‍යාග කිරීම් සිහිපත් කරනවා," ඔහු පවසයි.

යුදෙව් ධර්මාචාර්ය, ආචාර්ය බ්‍රැඩ්ලි ෂැවිට් ආර්ට්සන් යනු, ඇමෙරිකානු යුදෙව් විශ්වවිද්‍යාලයේ උපසභාපතිවරයා වන අතර ඔහු සිග්ලර් රැබිනික් අධ්‍යයන පාසලේ (Ziegler School of Rabbinic Studies) ඇබ්නර් සහ රොස්ලින් ගෝල්ඩ්ස්ටීන් ඩීන්ස් චෙයාර් (Abner & Roslyn Goldstine Dean’s Chair) ධූරය දරයි.

"රෝමවරුන් විසින් දෙවන දේවමාලිගාව විනාශ කිරීමත් සමග යුදෙව් ආගමේ සත්ව බිලි පූජාව තහනම් වුණා. බොහෝ අය විශ්වාස කරන්නේ ඒක දැන් ස්ථිරව ම තහනම් කරලා තියෙන්නේ කියලා. ඒත් තවත් සමහරක් විශ්වාස කරනවා, මෙසියස්ගේ පැමිණීමෙන් පසු ඒක යථා තත්ත්වයට පත් වේවි කියලා," ඔහු පැහැදිලි කරයි.

මෙහි සඳහන් දේවමාලිගාව යනු, ජෙරුසලමේ පැරණි නගරයේ අල්-අක්සා පල්ලිය මේ වන විට පිහිටා ඇති 'ටෙම්පල් මවුන්ට්' නම් ස්ථානය යි.

යුදෙව්වන් දේවමාලිගාව නැවත ගොඩනගන ලෙසට යාච්ඤා කරන්නේ, එය නැවත ගොඩනගන ලද පසු සත්ව බිලි පූජා යළි පැවැත්විය හැකි යි යන විශ්වාසයෙනි.

Samaritans standing around a pen with sheep in it in the occupied West Bank

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල හමුදා වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේදී අප්‍රේල් 22 වන දා ගත් මෙම ඡායාරූපයේ සමරිතානුවන් තවමත් යුදෙව් පාස්කු සමයේ සතුන් බිලි දෙන ආකාරය දැක්වේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බොහෝ යුදෙව්වන් දේවමාලිගාව නොමැති වීම නිසා සත්ව බිලි පූජා නොපවත්වන නමුත් සමරිතානුවන් වැනි ජෙරුසලමේ සිටින ඇතැම් කණ්ඩායම් තවමත් පාස්කු සමයේදී බිලි පූජා පවත්වති. අනෙක් අය බිලි දෙන සතෙකුගේ වටිනාකමට සමාන මුදලක් පරිත්‍යාග කරති.

බැටළුවෙකු, මී හරකෙකු, ගවයෙකු හෝ එළුවෙකු හෝ වේවා, පරිත්‍යාග කරන ලද සත්වයා ආගමික වශයෙන් සුදුසු හෝ 'කොෂර්' විය යුතු ය. ඉතිහාසය ගැන විස්තර කිරීමට ආචාර්ය ආර්ට්සන් පැහැදිලි කරයි: "ඝාතන කරන්න අවසර ලැබුණේ කොෂර් සතුන් විතරයි. ඒවායින් කොටසක් අල්තාරය මතදී පුළුස්සා දැමුවා. සමහරක් පූජකයන්ගේ පවුල්වලට ලබා දුන්නා. තවත් කොටසක් මේ උත්සවයට සම්බන්ධ වුණු අය සහ ඒ අගයේ පවුල් විසින් පරිභෝජනය කළා."

ඍජුව ම සතුන් බිලි දීම සාමාන්‍ය දෙයක් නොවූවත්, බොහෝ උත්සව සඳහා මාංශ පරිභෝජනය අනිවාර්ය විය. සත්ව බිලි පූජා සඳහා ඇති යුදෙව් චාරිත්‍ර විවිධ වන අතර ඒවා පූජාවේ අරමුණ අනුව වෙනස් වේ.

අතීතයේ, යුදෙව් ආගමික උත්සව තුනක් වන පාස්කුව, සති මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය යන උත්සවවලදී සත්ව බිලි පූජා සඳහා වැදගත් ස්ථානයක් හිමි විය.

එක්සත් රාජධානියේ ලියෝ බෑක් විද්‍යාලයේ අධ්‍යයන සේවා අංශයේ ප්‍රධානී, යුදෙව් ධර්මාචාර්ය ගැරී සෝමර්ස්, යුදෙව් අලුත් අවුරුද්ද (රොෂ් හෂානා) සහ සමාදානයේ දිනය (යොම් කිපූර්) වැනි අනෙකුත් උත්සවවලට ද සත්ව බිලි පූජාවන් ඇතුළත් වූ බව පැහැදිලි කරයි.

ආබ්‍රහම් නබිතුමන්ගේ පරිත්‍යාගය පිළිබඳ කතාව යුදෙව් ආගමික ග්‍රන්ථවල ද දක්නට ලැබේ. කෙසේ වෙතත්, සත්ව බිලි පූජා පැවැත්වීමේ නියෝගය පසුව පැමිණි අතර එය යුදෙව්වන්ගේ එම පිළිවෙත තරමක් වෙනස් විය.

ක්‍රිස්තියානි ධර්මය

Jesus Christ nailed to the cross with clouds behind him

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිස්තියානි බයිබලයේ ද මුස්ලිම් ආගමික ග්‍රන්ථවල සඳහන් ඊබ්‍රහීම් තම පුතු බිලි දීමට කැමැත්ත පළ කිරීමට සමාන සිදුවීමක් සඳහන් කරන නමුත් එහි ඊබ්‍රහීම් ආබ්‍රහම් ලෙස හඳුන්වා තිබේ

ක්‍රිස්තියානි ධර්මයේ මූලයන් යුදෙව් ආගමේ ඇති අතර යුදෙව් ආගමික ග්‍රන්ථවල සහ ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුම අතර බොහෝ සමානකම් පවතී.

"පුරාණ ගිවිසුමේ පොත්වල, විශේෂයෙන් ම ලෙවී කතාව 17 සහ ද්විතීය කතාව, සත්ව බිලි පූජා පවත්වන ආකාරය විස්තර කරනවා. සාමාන්‍යයෙන් උදේ සහ සවස කාලයේ වගේ ම විවිධ උත්සව අවස්ථාවලදී ඒවා සිද්ධ වුණා," ඩකාහි කෆ්රුල් කතෝලික පල්ලියේ දේවගැතිවරයා වන ආචාර්ය ප්‍රොෂාන්තෝ ටී රෙබෙයිරෝ පවසයි.

එකල සත්ව බිලි පූජා සිදු කරනු ලැබුවේ, පවිටු ක්‍රියා හේතුවෙන් ඇති වන පශ්චාත්තාපයෙන් ගැළවීමේ සහ ඒවාට සමාව ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

නමුත් එම චාරිත්‍රය තවදුරටත් ආගමික වශයෙන් ක්‍රියාත්මක නොවන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය පරම පරිත්‍යාගය ලෙස සලකන බැවිනි. ක්‍රිස්තියානි ධර්මය තුළ යේසුස් වහන්සේ සලකන්නේ ‘දෙවියන්ගේ බැටළු පැටවා’ ලෙස ය.

A lamb

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කිතුනුවන් යේසුස් ක්‍රිස්තුස්ව හඳුන්වන්නේ 'දෙවියන්ගේ බැටළු පැටවා' ලෙස ය

බිලි පූජා සඳහා ආගමික ප්‍රතිපාදන නැතත්, බොහෝ අවස්ථාවලදී "යමෙක් දෙවියන්ට භාරයක් හෝ පොරොන්දුවක් ලබා දෙන්නේ නම්, සතුන් බිලි දීම වෙනත් ආකාරයකින් සිදුවේ."

යුදෙව් සම්බන්ධය හැරුණු කොට, මැවුම්කරුගේ නාමයෙන් සත්ව බිලි පූජා පැවැත්වීමේ සම්ප්‍රදායක් ක්‍රිස්තියානි ධර්මයේ නොතිබූ බව ආචාර්ය රෙබෙයිරෝ සඳහන් කරයි.

කෙසේ වෙතත්, මාංශ පරිභෝජනය සඳහා සීමාවන් නොමැත. බොහෝ රටවල, යුදෙව් පාස්කු උත්සවයේදී බැටළු මස් අනුභව කිරීම සම්ප්‍රදායක් වන අතර, රෙබෙයිරෝ සඳහන් කරන්නේ, ඔහු ඉතාලියේ සිටි කාලය තුළ පාස්කු ඉරිදාට පෙර බැටළු මස් අනුභව කිරීම අනිවාර්ය කටයුත්තක් ලෙස හැඟුණු බව ය.

කෙසේ වෙතත්, ක්‍රිස්තියානි ධර්මය තුළ කුර්බාන් චාරිත්‍රයක් නොමැත. කුර්බාන් යනු, ආගමික අරමුණු සඳහා සතුන් බිලි දීමේ යුදෙව් සම්ප්‍රදාය යි.

හින්දු ධර්මය

A priest dances holding a sacrificial goat over his back during Deodhani festival at Kamakhya Temple on 19 August 2022 in Guwahati, Assam, India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කාමඛ්‍යා කෝවිලේ දෙව්ධානී උත්සවය අතරතුර බිලි දීම සඳහා වන එළුවෙකු අලාගෙන පූජකයෙකු නර්තනයේ යෙදෙන අයුරු

හින්දු ආගමේ සත්ව බිලි පූජාව සම්බන්ධයෙන් විවිධ මතභේද පැවතිය ද, එය හින්දු භක්තිකයන්ගෙන් කොටසක් අතර ක්‍රියාත්මක වී ඇත.

නිදසුනක් වශයෙන්, ඉන්දියාවේ හෝ බංග්ලාදේශයේ බොහෝ ප්‍රදේශවල, දුර්ගා පූජා සහ කාලි පූජා වැනි උත්සව ඇතුළු ආගමික චාරිත්‍රවලදී සතුන් බිලි දෙනු ලැබේ.

“රාමායනය [සහ] මහා භාරතය වැනි විවිධ පුරාණ හින්දු ග්‍රන්ථ සහ [පුරාණ වැනි] ආගමික ග්‍රන්ථ, මෙම සත්ව බිලි පූජා ගැන සඳහන් කරනවා," චිතගොං විශ්වවිද්‍යාලයේ (බංග්ලාදේශයේ) සංස්කෘත අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය කුෂාල් බරන් චක්‍රබෝර්ති පවසයි.

"හින්දු ආගමේ පැරණි ආගමික ග්‍රන්ථවලින් එකක් වන ඍග්වේදයේ, බිලි දෙන ලද සත්වයාට විමුක්තිය ලැබෙන බව [සහ] වහල්භාවයෙන් නිදහස් වන බව සඳහන් වෙනවා," ඔහු ගෙනහැර දක්වයි.

ක්‍රිස්තු පූර්ව 1500 සහ 500 අතර වෛදික යුගයේ සත්ව බිලි පූජා බහුලව සිදු වූ බවට විශ්වාස කෙරිණි. එම මාංශ දෙවිවරුන්ට පූජා කර පසුව උත්සවලදී පරිභෝජනය කරන ලදී. කෙසේ වෙතත්, නූතන ඉන්දියාවේ විශේෂඥයින් අතර සත්ව බිලි පූජා පිළිබඳ විවිධ මත තිබේ.

ඇතැම් පුරාණ කෝවිල්වල තවමත් සත්ව බිලි පූජා පවත්වන බව ආචාර්ය චක්‍රබෝර්ති පවසයි. ඔහු බංගලාදේශයේ ධකේශ්වරී, සහ ඉන්දියාවේ ත්‍රිපුර සුන්දරී, කාමඛ්‍යා සහ කාලිඝට් කාලි වැනි කෝවිල් ගෙනහැර දක්වයි.

කෙසේ වෙතත්, හින්දු ආගම පිළිබඳ තවත් විශේෂඥවරියක වන ආචාර්ය රෝහිණී ධර්මපාල් පවසන්නේ, නූතන ඉන්දියාවේ සත්ව බිලි පූජා බහුලව සිදුවන බවට තමන් නොසිතන බව ය.

ආචාර්ය චක්‍රබෝර්ති සඳහන් කරන්නේ, හින්දු ආගමේ සත්ව බිලි පූජා සිදු කිරීමේ නවීන පිළිවෙත් බොහෝ විට අධ්‍යාත්මික වැදගත්කමට වඩා ආත්ම තෘප්තිය, තරගකාරිත්වය හෝ අස්වැසිල්ල කෙරෙහි අවධානය යොමු කරන බව ය. එමගින් එහි පූජනීයත්වය හීන කරන බව ඔහුගේ අදහසයි.

ඉන්දියාවේ කණ්ඩායම් කිහිපයක් විවිධ ආගමික ස්ථානවල සත්ව බිලි පූජා සිදු කිරීම ස්වේච්ඡාවෙන් නවතා ඇති අතර ආගමික කටයුතු සඳහා සතුන් මැරීම තහනම් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාව සහ නේපාලය හින්දු භක්තිකයන් විසින් සිදු කරනු ලබන සත්ව බිලි පූජා තහනම් කර ඇත. නමුත් එම තහනම සැමවිට ම පිළිපදින බවක් දක්නට නොලැබේ.