නාසයෙන් ගලන සොටු දියරවල ස්වභාවය අනුව ඔබේ සෞඛ්‍යය පිළිබඳව පැවසිය හැක්කේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont
- Author, සොෆියා ක්වාග්ලියා
- Role, බීබීසී පුවත්
නාසයෙන් පිටවන තරල රෝග රැසකින් අපව ආරක්ෂා කරන අතර ම එහි වර්ණය අපගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ බොහෝ දෑ පවසයි.
ශරීරය නිරෝගීව හා සමතුලිතව තබා ගන්නා ශරීරයේ තරල හතරෙන් එකක් ලෙස පුරාණ ග්‍රීසියේදී සොටු දියර සැලකිණි.
සෙම, රුධිරය, කහ පිත සහ කළු පිත යනු පුද්ගලයෙකුගේ ස්වභාවය තීරණය කරන සමබරතාවයේ තරල හතර බවට හිපොක්‍රටීස් සිද්ධාන්තයක් ගොඩනැගුවේ ය. මේවා නියමිත ප්‍රමාණයට වඩා වැඩිවීම රෝගවලට හේතු විය හැකි ය.
උදාහරණයක් ලෙස මොළයේ සහ පෙනහලුවල ශ්ලේෂ්මල එකතු වන බවටත් සීතල, තෙත් කාලගුණය තත්ත්ව තුළදී එය අපස්මාරය වැනි රෝග දක්වා වර්ධනය විය හැකි බවටත් අතීතයේදී විශ්වාස කෙරිණි.
අධික ලෙස සෙම ඇති අයෙකු හුදෙකලා සහ උදාසීන අයෙකු විය හැකි ය.
නාසයෙන් සොටු දියර ගැලීම පුද්ගලයින්ගේ පෞරුෂයට බලපෑම් කිරීම මෙන් ම රෝගවලට හේතුවනවා පමණක් නොව ඒවා රෝගවලින් වැළකී සිටිමට ද උපකාර වන බව අපි දැන් දනිමු.
සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති විටකදී හෝ කිවිසුම් යාමකදී නාසයෙන් ගලන දියරයට කිසිවකු කැමති නොවුණ ද, නාසය තුළ ඇති මේ දියරය පුදුමාකාර ය.
එය බාහිරින් නාසයට යමක් ඇතුළු වීම වළක්වන අතර එහි පවතින අද්විතීය සංයුතියට අපගේ ශරීරය තුළ සිදුවන්නේ කුමක් දැයි හෙළි කළ හැකි ය.
රෝග හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට සොටු දියර ප්‍රයෝජනයට ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තුසහගතව පසුවෙති.
දැන්, විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ COVID-19 සහ නිධන්ගත පෙනහලු රෝග දක්වා සෑම රෝගයක් ම පාහේ වඩාත් හොඳින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමට මෙම ක්‍රමය භාවිත කිරීමට ය.
මෙම ඇලෙන සුළු ද්‍රව්‍යය නාස් කුහර මෘදුව තබා ගැනීමට සහ ශරීරයට ඇතුළු වීමට උත්සහ කරන ඕනෑ ම බැක්ටීරියා, වෛරස, අපිරිසිදු දෑ හා දූවිලිවලින් අපව ආරක්ෂා කරයි.
එය නාසයේ ඇති කුඩා රෝම සමග එක් වී අපගේ ශරීරය සහ බාහිර පරිසරය අතර බාධකයක් ලෙස ක්‍රියා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශ්වසන ආසාදන සහ ප්‍රතිශක්තිවේදය පිළිබඳ මහාචාර්ය ඩැනියෙලා ෆෙරෙයිරා පවසන්නේ, වැඩිහිටියකුගේ ශරීරය දිනකට සොටු දියර මිලිලීටර් 100ක් පමණ නිපදනවන බව ය. නමුත් ළමුන් තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතින අතර ඊට හේතු වන්නේ ඔවුන්ගේ ශරීර බාහිර පරිසරයේ පවතින අංශු සමග කටයුතු කරන්නේ කෙසේද යන්න ඉගෙන ගනිමින් සිටින නිසා ය.
නාසයෙන් පිටවන සොටු දියර දෘශ්‍ය උෂ්ණත්වමානයක් ලෙස දැකිය හැකි ය. ඝණ බවක් නොමැති පැහැදිලි ශ්ලේෂ්මල බොහෝ විට පෙන්නුම් කරන්නේ සයිනස් අවහිර කරන ඕනෑ ම අංශු හෝ දූවිලි ඉවත් කිරීමට උත්සහ කරන බව ය.
සුදු පැහැ ශ්ලේෂ්මලවලින් අදහස් කරන්නේ වෛරසයක් ඔබේ ශරීරයට ඇතුළු වී ඇති බව ය. බාහිරින් ඇතුළු වන ආගන්තුක අංශුවලට එරෙහිව සටන් කිරීමට සුදු රුධිරාණු එකතු වන නිසා ඒවා සුදු පැහැ ගැන් වේ.
ඝන බවින් යුතු කහ-කොළ පැහැයට හුරු ශ්ලේෂ්මල මගින් අදහස් කෙරෙන්නේ මිය ගිය සුදු රුධිරාණු බොහෝ ප්‍රමාණයක් එකතු වී ඇති බව ය. ඔබේ නාසයෙන් පිටවන ශ්‍රාවය රතු හෝ රෝස පැහැයක් ගනී නම් එහි රුධිරය අන්තර්ගත වී තිබිය හැකි ය. ඇතැම් විට ඔබ තදින් කිවිසුම් යැවීම නිසා ඔබේ නාසය ඇතුළතින් සීරීමට ලක්වීම මෙම තත්ත්වයට හේතු විය හැකි ය.
නමුත් නාසයෙන් දියරමය යමක් ගලා එන බව දැකීම පළමු පියවර පමණි.
සොටු දියරවල සිටින ක්ෂුද්‍ර ජීවීන්
බඩවැල් ආශ්‍රිතව සිටින ක්ෂුද්‍රජීවය යනු අපගේ ශරීරවල ජීවත්වන බැක්ටීරියා, වෛරස් සහ දිලීර එකතුවක් වන අතර බොහෝ අය ඒ ගැන දනිති.
විද්‍යාඥයන් සිතන්නේ, අපගේ නාසය හරහා ගලා යන ශ්ලේෂ්මලවල සිටින ක්ෂුද්‍ර ජීවීන් ද ඉතා වැදගත් බව ය. ඒවා මිනිස් සෞඛ්‍යයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ඉතා සංකීර්ණ ලෙස සම්බන්ධ බව විද්‍යාඥයෝ දැන් විශ්වාස කරති.
අපගේ නාසයෙන් ගලා යන සොටු දියර අප පිළිකුල් කළ යුත්තේ ඇයි?
එක්තරා ආකාරයකින්, නාසික ශ්ලේෂ්මල මිනිසුන් රෝගාතුර කරන බවට හිපොක්‍රටීස් ගොඩනැගූ න්‍යාය මුළුමනින් ම වැරදි නොවේ.
එය නාසයට ආරක්ෂිත බාධකයක් ලෙස ක්‍රියාකරන බවත්, සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වවලදී එය බැක්ටීරියා සහ වෛරස ව්‍යාප්තිය වළක්වන බවත් ෆෙරෙයිරා පවසයි.
අපි අපේ මුහුණු පිස දමන අතර විවිධ දෑ ස්පර්ශ කරන්නෙමු. එමෙන් ම කිවිසුම් ද යවන්නෙමු. දැන හෝ නොදැන අප එම ශ්ලේෂ්මල නාසයෙන් පිට කරන අතර ඒවා අප අවට පරිසරයට එක් වීම සිදුවේ.
අපගේ ශ්වසන පද්ධතිය විෂබීජ ආසාදනයකට ලක් වූ විට, සොටු දියර බැක්ටීරියා සහ වෛරස් තවත් වැඩි කිරීමට සහ පැතිරීම සඳහා වාහකයක් බවට පත් වේ. එබැවින් අපි එය තවත් පුද්ගලයින්ට සම්ප්‍රේෂණය කර ඔවුන් රෝගී කරන්නෙමු.
සෑම කෙනෙකුගේ ම නාසයෙන් ගලා යන සොටු දියරවල එක් එක් පුද්ගලයාට විශේෂ වූ ක්ෂුද්‍ර ජීවීහු සිටිති.
මේවා ලිංගභේදය, වයස, ස්ථානය, ආහාර, සහ ඔබ ඊ-සිගරට් භාවිත කරනවා ද නැද්ද යන කරුණු මත බලපෑමට ලක්වේ.
ක්ෂුද්‍ර ජීවීන්ගේ සංයුතිය (විශේෂයෙන් බැක්ටීරියා, වෛරස්, දිලීර සහ අනෙකුත් ඒවායේ එකතුව) බාහිරින් විවිධ අංශු ඇතුළු වීම වළක්වන අතර බොහෝ බලපෑම් සැලකිය යුතු ලෙස අඩු කරයි.
2024 වසරේදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, හානිකර ස්ටැෆිලොකොකස් බැක්ටීරියා නාසයේ රැඳී ආසාදනය වුවහොත් එය උණ සහ සැරව පිරුණු තුවාල ඇති කළ හැකි බව ත් ඒවායේ පැවැත්ම රඳා පවතින්නේ නාසයෙන් පිටවන බැක්ටීරියාවලින් ලබා ගන්නා යකඩ මත බව ත් ය.
ප්‍රෝබියොටික්ස් බඩවැල්වලට උපකාර කරන ආකාරයට ම, නාසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීම දායක විය හැකි ක්ෂුද්‍රජීවයක් මොනවා ද යන්න ෆෙරෙයිරා අධ්‍යයනය කරමින් සිටී. එවිට ඒවා අප දෛනිකව භාවිත කරන නාසික ඉසිනයට (nasal spray) එක් කර ගත හැකි ය.
"ඔයාගේ නාසයේ ඇති විෂබීජ හොඳ ඒවාට මාරු කරන්න පුළුවන් නම් කොහොම ද කියලා හිතලා බලන්න. ඒකෙන් හානිකර විෂබීජ ඇතුළු වීම සහ ඔයාව අසනීප කිරීම නවත්වනවා," යනුවෙන් ෆෙරේරා පවසයි.
ෆෙරෙයිරාගේ සගයින් නාසයට සුදුසු යැයි විශ්වාස කෙරෙන බැක්ටීරියා තෝරා ගෙන තිබේ. නාසයේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා මෙම බැක්ටීරියාවලට මිනිසුන්ගේ ශ්වසන මාර්ගය තුළ දිගු කාලයක් ආරක්ෂාකාරීව රැඳී සිටිය හැකි ද යන්න පිළිබඳ ඔවුහු පරීක්ෂණ සිදු කරති.

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont
ෆෙරෙයිරා සඳහන් කරන්නේ ශ්ලේෂ්මලවල අන්තර්ගත ක්ෂුද්‍ර ජීවී වර්ග ප්‍රතිශක්තිකරණ පද්ධතියට සමීපව සම්බන්ධ බැවින්, ඔවුන් ප්‍රතිශක්ති පද්ධතිය වැඩිදියුණු කරන්නේ කෙසේ ද සහ එන්නත් සඳහා එය වඩා හොඳින් ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න අධ්‍යනය කරමින් සිටින බව ය.
පුද්ගලයෙකු තුළ සිටින ක්ෂුද්‍ර ජීවි සංයුතිය ශරීරය එන්නතකට ප්‍රතිචාර දක්වන ආකාරය තීරණය කරන බව පර්යේෂණය මගින් පෙන්වා දෙයි.
උදාහරණයක් ලෙස COVID-19 එන්නත පිළිබඳ සිදු කළ අධ්‍යයනයන් පෙන්නුම් කරන්නේ එය ශ්ලේෂ්මලවල අන්තර්ගත ක්ෂුද්‍ර ජීවීන්ට බලපාන අතර, ක්ෂුද්‍රජීවීන් එන්නතෙහි ඵලදායීතාවට බලපෑ හැකි බව ය.
"COVID-19 එන්නත රෝගයෙන් අපව ආරක්ෂා කිරීමට සාර්ථක වුව ද වෛරසය තවමත් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරෙනවා. Covid-19 හෝ උණ හෝ වෙනත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරසයක් වුණත්, අනාගත පරම්පරාව රෝගී නොවන ලෙස අපට වඩාත් හොඳ එන්නත් නිර්මාණය කරන්න පුළුවන්. ඒ සියල්ල රඳා පවතින්නේ නාසයෙන් ගලා යන සොටු දියරවල ප්‍රතිශක්තිය මතයි," ෆෙරෙයිරා පැවසීය.
සොටු දියර මගින් හිතකර නාසික ක්ෂුද්‍ර ජීවී සංයුතියක් නිර්මාණය කිරීම සඳහා නිවැරදි සූත්‍රය ගොඩනැගීමට ෆෙරෙයිරාට වසර කිහිපයක් ගත විය හැකි නමුත්, ස්වීඩනයේ විද්‍යාඥයින් දැනටමත් නිරෝගී පුද්ගලයින්ගේ නාසයෙන් පිටවන ශ්ලේෂ්මල නාසික රෝග ඇති අයට බද්ධ කිරීම ආරම්භ කර ඇත.
පර්යේෂකයන් වැඩිහිටියන් 22 දෙනෙකුට පවසා තිබුණේ නිරෝගී මිතුරන්ගෙන් සහ සමීපතමයන්ගේ ලබා ගත් ශ්ලේෂ්මල පුරවන ලද සිරින්ජ දින පහක් ඔවුන්ගේ නාසයට ඇතුළු කරන ලෙස ය. එහිදී පර්යේෂකයින් සොයා ගනු ලැබුවේ මාස තුනක් ඇතුළත, අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකුට කැස්ස සහ මුහුණේ වේදනාව වැනි රෝග ලක්ෂණ සියයට 40කින් අඩු වී ඇති බව ය.
"මේක අපට ඉතා හොඳ ආරංචියක්, කවුරුත් ඔවුන්ට කිසිදු ගැටලුවක් තිබෙන බව පැවසුවේ නැහැ," අධ්‍යයනය මෙහෙයවූ ස්වීඩනයේ හෙල්සිංබර්ග් රෝහලේ කන්, නාසය, උගුර, හිස සහ ගෙළ ආශ්‍රිත ශල්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇන්ඩර්ස් මාටින්සන් පවසයි.
ඔහු පැහැදිළි කළේ මෙම අත්හදා බැලීම් සඳහා වෙනත් රසායනාගාරවල සිදු කරන ලද බඩවැල්වල ක්ෂුද්‍රජීවය සඳහා මලපහ බද්ධ කිරීම් පදනම් වූ බව ය.
පළමු නියමු වැඩසටහන මිනිසුන්ගේ නාසයේ සොටුදියර මත ඇති විෂබීජ වෙනස් වූ ආකාරය හෝ නාසයේ පවතින විශේෂිත බැක්ටීරියාවලට සිදු වූ දේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දී නොමැති වුව ද විශාල හා වඩා නිවැරදි පරීක්ෂණ දැන් සිදුවෙමින් පවතී.
ඇත්ත වශයෙන් ම, ඔබේ නාසය පිරිසිදු කිරීම දිගුකාලීන නාසය සහ පෙනහලු ආශ්‍රිත රෝග වළක්වා ගැනීමට උපකාරී වේ.

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont
The rise of testing to detect the disease රෝග හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණවල ඉහළ යාම
ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ උගුර, කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන ජෙනිෆර් මොලිගන්, නිදන්ගත රයිනෝසයිනසයිටීස් සහ නාසික පොලිප්ස් (ලෝක ජනගහනයෙන් සියයට 5 සිට 12 දක්වා බලපාන) ඇති පුද්ගලයින් අධ්‍යයනය කිරීම සඳහා ශ්ලේෂ්මල භාවිත කරයි.
ඇයගේ වෛද්‍ය දිවියේ පළමු වසර තුළදී, රයිනෝසයිනසයිටීස් ඇති රෝගීන්ගේ නාසයේ පටක ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදුවූ අතර එහිදී කැපුමක් යෙදීම අවශ්‍ය වූවා මෙන් ම ඊට සීමාවන් ද තිබිණි.
ඇයගේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ යම් අයෙකු රයිනෝසයිනසයිටීස් රෝගයෙන් පෙළෙන විට සොටු දියර මගින් ඔවුන්ගේ ශරීරයේ සිදුවන දේ පැහැදිලිව පෙන්නුම් කරන බව ය.
අතීතයේදී, රෝගීන්ට බොහෝ විට ප්‍රතිකාර කරනු ලැබුවේ අත්හදා බැලීමේ ක්‍රම හරහා වන අතර, සමහර ප්‍රතිකාර සඳහා ඩොලර් මිලියන ගණනක් වැය වන අතර මාස ගණනක් තිස්සේ ඒවා සිදු කිරීමට සිදු විය.
නාසයෙන් ගලන දියර පරීක්ෂා කිරීමෙන් නිවැරදි ප්‍රතිකාරය හෝ අවශ්‍ය ශල්‍යකර්මය නිවැරදිව හඳුනාගත හැකි බව මොලිගන් ප්‍රකාශ කරයි.
මොලිගන්ගේ තාක්ෂණය පිළිබඳ සායනික අත්හදා බැලීම් කිහිපයක් ම ලොව පුරා සිදුවෙමින් පවතී.
ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවන් විසින් ආරම්භ කරන ලද Diag-Nose වැනි සමාගම් සොටු දියර පරීක්ෂා කිරීම සඳහා AI පද්ධති සහ නාසයේ ක්ෂුද්‍ර අංශුවල සාම්පල ලබා ගැනීම සඳහා මෙවලම් සංවර්ධනය කරමින් සිටියි.
2025 දී ඔවුහු FDI මගින් අනුමත කරන ලද කුඩා නියැදි මෙවලමක් හඳුන්වා දුන්හ. එය නියැදි ක්‍රමය ප්‍රමිතිගත කිරීමට සහ පර්යේෂණවල පවතින දෝෂ අඩු කිරීමට නාසයේ පවතින ද්‍රාවණ වැනි දෑ එකතු කරයි.
මොලිගන් පවසන්නේ පටක සාම්පලවලින් වෙන කවරදාටත් වඩා බොහෝ දේ සොයාගෙන ඇති බව ය. "අපි රෝග තේරුම් ගන්නා ආකාරය සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇති අතර අනාගතයේදී රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර කරන ආකාරය ද වෙනස් කිරීමට නියමිතයි."
මිනිසුන්ට ගඳ සුවඳ නොදැනෙන්නේ ඇයිදැයි සොයා බැලීමට ද මොලිගන් සොටු දියර පිළිබඳ පරීක්ෂා කරයි. දුම් නිසා ගඳ සුවඳ දැනීම නැති වූ අයට එය නැවත ලබා ගැනීමට විටමින් D සහිත නාසයට ඇතුළු කරන දියර උපකාර විය හැකි බව ෆෙරෙයිරාගේ කණ්ඩායම සොයා ගෙන ඇත.














