ඔබේ වැසිකිළි ආසනයෙන් ඔබට බෝ විය හැකි රෝග මෙන්න

වැසිකිළි කඩදාසි රෝලක් අල්ලාගෙන වැසිකිළියේ වාඩි වී සිටින කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සොෆියා ක්වාලියා
    • Role, BBC Future

දිනකට සිය ගණනක් පුද්ගලයින් විසින් භාවිත කරනු ලබන වැසිකිළියක ඉඳ ගන්නා විට, නාන කාමරවල රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් කොපමණ කලක් ජීවත් වනවා ද යන්න ගැන ඔබ සිතනවා විය හැකි ය.

පොදු වැසිකිළියකට පා තැබූ විගස ම ඔබට දැනෙන අධික 'පිළිකුල' වළක්වා ගැනීමට නොහැකි විය හැකි ය. වැසිකිළි ආසනය සහ වැසිකිළියේ බිම පුරා විසිරී ඇති මුත්‍රා, වෙනත් කෙනෙකුගේ ශරීර තරලවල අමිහිරි ගන්ධය සමග, ඔබේ සංවේද ඉන්ද්‍රීයන්ට දැඩි අපහසුතාවක් ඇති කළ හැකි ය. ඇතැම් විට ඔබ වැසිකිළියේ දොර වැලමිටෙන් විවෘත කර, පාදය භාවිත කර වතුර ගසා, එසේත් නැතිනම් ආසනය වැසිකිළි කඩදාසිවලින් (toilet paper) ආවරණය කර, එහි තවදුරටත් ඉඳ ගැනීමට අප්‍රිය නම්, එය ස්පර්ශ නොවන ලෙස වාඩි වීම සිදු කළ හැකි ය.

නමුත් වැසිකිළි ආසනයේ ඉඳගත් පමණින් ඔබට රෝග වැළඳිය හැකි ද? නමුත් එය ස්පර්ශ වීම වළක්වා ගැනීම සඳහා ඇතැමෙකු භාවිත කරන සංකීර්ණ උපක්‍රම ඇත්තෙන් ම අවශ්‍ය ද? ඒ සම්බන්ධයෙන් ක්ෂුද්‍රජීව විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි දෙයකි.

ඔබට (ඇතැම් විට) බෝ විය නොහැකි රෝග

දකුණු ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජිල් රොබට්ස් පවසන්නේ "න්‍යායාත්මකව, ඔව්, [ඔයාට වැසිකිළික ආසනයකින් ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන්], නමුත් එහෙම වෙන්න තියෙන අවදානම ගොඩක් අඩුයි," යනුවෙනි.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STD) සලකා බලමු. ගොනෝරියා සහ ක්ලැමීඩියා වැනි ආසාදන ඇති කරන බැක්ටීරියා සහ වෛරස්වලට ශරීරයකින් පිටත දිගු කලක් ජීවත් විය නොහැකි අතර, වැසිකිළි ආසනයක් වැනි සීතල, තද මතුපිටක් මත ඒවාට නොනැසී පැවතීමට ඇති අවස්ථාව ඉතා අඩු ය.

බොහෝ ලිංගාශ්‍රිත රෝග පැතිරෙන්නේ ලිංගික අවයව ඍජුව ගැටීමෙන් සහ ශරීර තරල හරහා පමණක් බව විශ්වාස කරන්නේ එබැවිනි. රොබට්ස් පවසන පරිදි ඔබ අවදානමට ලක් විය හැකි එක ම ක්‍රමය නම්, වෙනත් පුද්ගලයෙකුගේ නැවුම් ශරීර තරල, අතින් හෝ වැසිකිළි කඩදාසි මගින් ආසනයේ තිබී ලිංගික අවයවවල ස්පර්ශ වීම ය. එසේ වීමට කෙනෙකු අශිතය අවාසනාවන්ත විය යුතු ය. වැසිකිළි භාවිතයේදී අපිරිසිදු වැසිකිලි භාවිතයෙන් වැළකීම වැනි පුරුදු අනුගමනය කිරීමෙන් සනීපාරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් විය යුතු නමුත් අවදානම ඉතා අඩු බැවින් ඒ ගැන ඕනෑවට වඩා කරදර විය යුතු නැත.

Covering a toilet seat with paper won't stop the spread of germs because the paper is too porous

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කඩදාසිවල ඇති සජිද්‍ර බව, එනම් සිදුරු සහිත බව හේතුවෙන් වැසිකිළි ආසනයක් මත කඩදාසි ඇතිරීමෙන් විෂබීජ පැතිරීම නතර නොකරයි

"ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග වැසිකිළි ආසනවලින් [පහසුවෙන්] පැතිරෙනවා නම්, අපි ඒවා සෑම වයස් කාණ්ඩයක ම අය අතරේ වගේ ම ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉතිහාසයක් නොමැති පුද්ගලයින් තුළ පවා නිතර දකින්න පුළුවන්," රොබට්ස් පවසයි.

එමෙන් ම, වැසිකිළි ආසනයකින් ඔබට රුධිර මගින් බෝ වන රෝගයක් වැළඳීමේ සම්භාවිතාව අඩු බව ද රොබට්ස් පවසයි. ඇය සිතන්නේ පළමුව, කිසිවෙකුගේ රුධිරය වැසිකිලි අසුන මත පවතින්නේ නම් ඔබ බොහෝ විට එය මගහැර යන බව ය. ලිංගික ක්‍රියාකාරකම් හෝ අපිරිසිදු එන්නත් කටු භාවිතයකින් තොරව, රුධිරයෙන් බෝ වන රෝග කාරක සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩකඩ අඩු බව ඇය පැහැදිලි කරයි.

රොබට්ස් පවසන්නේ වෙනත් පුද්ගලයෙකුගේ මුත්‍රා ආසාදන (UTI) ඔබට වැසිකිළි අසුනක් මගින් වැළඳීමට ඉඩක් නොමැති බව ය. වැසිකිළි ආසනයේ ඇති මලපහ මුත්‍රා මාර්ගයට ඇතුළු වුවහොත් පමණක් UTI ඇති විය හැකි බව ත්, එසේ වුව ද එයට සැලකිය යුතු ප්‍රමාණයක් අවශ්‍ය වන බව ත් ඇය පවසයි. මුත්‍රා ආසාදනයක් ඇති වීමට වැඩි ඉඩක් ඇත්තේ, මල පහ කිරීමෙන් අනතුරුව ඔබේ ලිංගේන්ද්‍රයේ ස්පර්ශ වන ලෙස පශ්චාත් කොටස පිස දැමීමෙන් බව ඇය තවදුරටත් පවසයි.

ඔබට වැළඳිය හැක්කේ මොනවා ද?

එසේ වුව ද ශරීරයෙන් පිටත දිගු කාලයක් නොනැසී පැවතිය හැකි ලිංගිකව සම්ප්‍රේෂණය වන ඇතැම් රෝග තිබේ. නිදසුනක් වශයෙන්, ලිංගික ඉන්නන් ඇති කරන මානව පැපිලෝමා වෛරසයට (HPV) පෘෂ්ඨ මත සතියක් පමණ පැවතීමේ හැකියාව පවතී. "මේ ඉතා කුඩා වෛරස්වල ප්‍රබල ප්‍රෝටීන් ආවරණ තියෙන නිසා ඒවාට පරිසරය තුළ දිගු කාලයක් පවතින්න පුළුවන්," නෙවාඩාහි ටූරෝ විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාර්ය කැරන් ඩූස් පවසයි.

Thanks to plumes from toilets and urinals, the dirtiest place in a public toilet can often be the floor

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වැසිකිළි (toilets) හා කැසිකිළි (urinals) ෆ්ලෂ් (flush) කිරීමේදී කුඩා ජල බිඳිති පිටවන බැවින් පොදු වැසිකිළියක අපිරිසිදු ම ස්ථානය බොහෝ විට පොළොව විය හැකි ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මානව පැපිලෝමා වෛරසය දෑත් පිරිසිදුකාරක දියර (hand sanitiser) මගින් විනාශ කිරීම අපහසු ය. ඩූස් පවසන්නේ එහි දැඩි ප්‍රෝටීන් ආවරණය බිඳ දැමීමට 10% බ්ලීච් සාන්ද්‍රණයක් අවශ්‍ය බව ය. එහෙත්, මෙම වෛරසයට සම හරහා ඔබේ ශරීරයට ඇතුළු විය හැක්කේ ඔබේ ලිංගික ප්‍රදේශයේ, තුවාලයක් හෝ දද වැනි තත්ත්වයක් ඇති ඔබ වැසිකිළිය භාවිත කරන විට පමණි. එබැවින්, මානව පැපිලෝමා වෛරසය බොහෝ විට සමට සම ගෑවීම, මුඛය, ගුද මාර්ගය හෝ යෝනි මාර්ගය හරහා සිදුව වන ලිංගික සංසර්ගයකදී වැනි ලිංගික සම්බන්ධතා මගින් සම්ප්‍රේෂණය වෙයි.

ඒ හා සමානව, එක්සත් ජනපදය පදනම් කරගත් සෞඛ්‍ය සේවා සේවාවක් වන Treated.comහි සායනික ප්‍රධානී ඩැනියෙල් ඇට්කින්සන් පැහැදිලි කරන්නේ, න්‍යායාත්මකව බැලූ විට, සක්‍රීය ලිංගික හර්පීස් තත්ත්වයක් ඇති පුද්ගලයෙකුගෙන් එම වෛරසය වැසිකිළි ආසනයක් මත ඉතිරි කර යා හැකි බවත්, එය කැඩුණු සම ​​හෝ දුර්වල ප්‍රතිශක්තිය ඇති අදාළ පුද්ගලයාගෙන් පසුව වැසිකිළිය භාවිත කරන්නන්ට අවදානමක් ඇති කළ හැකි බවත් ය. කෙසේ වෙතත්, එවැනි සම්ප්‍රේෂණය කලාතුරකින් සිදු වන්නක් බව ඔහු අවධාරණය කරයි.

එබැවින්, ඔබ වැසිකිළි ආසනය ආවරණය කළ යුතු ද, නැතහොත් එය මත උක්කුටිකයෙන් වාඩි විය යුතු ද, එසේත් නොමැති නම් එය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු ද?

වාඩි වීමට පෙර වැසිකිළි ආසනය කඩදාසිවලින් ආවරණය කිරීම හෝ වැසිකිළි ආසන ආවරණයක් භාවිත කිරීම පොදු වැසිකිළියක් භාවිත කිරීමට ඇති පිරිසිදු ම ක්‍රමය ලෙස සිතිය හැකි ය.

පර්යේෂණ කණ්ඩායමක් වන YouGov විසින් 2023 වසරේ කරන ලද එක් මත විමසුමකට අනුව, ඇමෙරිකානුවන්ගෙන් 63%ක් පමණ පොදු වැසිකිළිවල අසුන් ගන්නා නමුත් ඉන් අඩක් පමණ පළමුව වැසිකිළි කඩදාසිවලින් ආසනය ආවරණය කරති. එම මත විමසුමෙන් පෙනී ගියේ, මිනිසුන්ගෙන් 20%ක් පමණ ඒ වෙනුවට වැසිකිළි ආසනයේ ශරීරය ස්පර්ශ නොවන ලෙස වාඩිවන සිටින බව ය.

"එක්සත් ජනපදයේ, විශ්වවිද්‍යාලයක අපි පරීක්ෂා කරපු පොදු වැසිකිළිවලට වඩා නිවෙස්වල වැසිකිළිවල විෂබීජ තියෙනවා" - චාල්ස් ජර්බා

කෙසේ වෙතත්, වැසිකිළි කඩදාසි හෝ ආසන ආවරණ ඔබව රෝග කාරකවලින් ආරක්ෂා නොකරනු ඇත. ඒවා සිදුරු සහිත ද්‍රව්‍යවලින් සාදා ඇති බැවින්, ඒවාට විෂබීජ ඔබේ ලිංගික අවයව වෙත සම්ප්‍රේෂණය වීම සහ ස්පර්ශ කිරීම නැවැත්විය නොහැක. ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ වෙක්ස්නර් වෛද්‍ය මධ්‍යස්ථානයේ ශ්‍රෝණි සෞඛ්‍ය විශේෂඥවරියක වන ස්ටෙෆනි බොබින්ගර් පැහැදිලි කරන්නේ, උක්කුටිකයෙන් වාඩි වීම යහපතට වඩා හානියක් කළ හැකි බව ය.

කාන්තාවන් මුත්‍රා කිරීමට උක්කුටිකයෙන් වාඩි වන විට ඔවුන්ගේ ශ්‍රෝණි මාංශ පේශි සංකෝචනය වීම සිදුවේ. මෙය මුත්‍රාශයෙන් මුත්‍රා ගලා යාමට බාධා කරන අතර, එමගින් ශ්‍රෝණිය මත අනවශ්‍ය පීඩනයක් යෙදීමට සහ තදින් තල්ලු කිරීමට සිදුවේ. එමෙන් ම, කාන්තාවන්ට මෙම ක්‍රියාවලියේදී ඔවුන්ගේ සමස්ත මුත්‍රාශය ම හිස් වන ලෙස මුත්‍රා පහ කිරීමට නොහැකි විය හැකි අතර, එය ඇතැම් විට මුත්‍රා ආසාදනවලට පවා හේතු විය හැක.

සැබෑ ගැටලුව

පොදු වැසිකිළියේ පැල්ලම් සහිත අපිරිසිදු වැසිකිළි බඳුනක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දිනකට සිය ගණනක් පුද්ගලයින් විසින් භාවිත කරනු ලබන වැසිකිළියක ඉඳ ගන්නා විට, නාන කාමරවල රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් කොපමණ කලක් ජීවත් වනවා ද යන්න ගැන ඔබ සිතනවා විය හැකි ය

සාමාන්‍යයෙන් නාන කාමරය තුළ රෝග වැළඳීමේ අවදානම, ඔබේ ලිංගික අවයව වැසිකිළි ආසනය ස්පර්ශ වීමෙන් ඇති වන්නෙක් නොවේ.

රොබට්ස්ට අනුව, වැඩි අවදානමක් ඇත්තේ ඔබේ දෑත් වැසිකිළි ආසනය ස්පර්ශ කර, ශරීර තරලවලින් බැක්ටීරියා හෝ වෛරස් ඒවායේ තැවරී, පසුව එම අපිරිසිදු දෑත් ඔබේ මුඛයට හෝ මුහුණ වෙත යාමෙනි. "අනතුර පවතින්නේ ඔයාගේ පසුපස ප්‍රදේශයට නෙවෙයි, ඒක තියෙන්නේ ඔයාගේ අත්වලින් ඔයාගේ මුඛයට," රොබට්ස් පවසයි.

පොදු වැසිකිළි තුළ වැසිකිළි ආසනවල මෙන් දොරෙහි හැඬලය මත ද විෂබීජ තිබිය හැකි ය.

නිදසුනක් ලෙස, වැසිකිළි අසුනක් මත ඇති කුඩා මලපහ කොටස්වල E. coli, Salmonella, Shigella, Staphylococcus හෝ Streptococcus වැනි රෝග කාරක බැක්ටීරියා තිබිය හැකි ය. ඒවා ශරීරගත වූ විට ඔක්කාරය, වමනය සහ පාචනය වැනි ආමාශගත රෝග ඇතිවිය හැකි ය.

මළපහවල නොරෝ වෛරස කොටස් අඩංගු විය හැක. ඉතා පහසුවෙන් බෝ වන මෙම රෝග කාරකය අපිරිසිදු පෘෂ්ඨ මගින් මෙන් ම ආහාර හෝ පාන වර්ග මගින් හෝ අසනීපව සිටින කෙනෙකු සමග ඍජු සම්බන්ධතා පැවැත් වීම මගින් පහසුවෙන් පැතිරෙයි. ඊට දැඩි ඔරොත්තු දීමේ හැකියාවක් පවතී. අතම්න් පෘෂ්ඨයන් මත, එය මාස දෙකක් දක්වා පැවතිය හැකි ය. ඉන් සුළු ප්‍රමාණයකට පුද්ගලයෙකු රෝගියෙකු බවට පත් කිරීමේ හැකියාව තිබේ. වෛරසයේ අංශු 10ත් 100ත් අතර ප්‍රමාණයක් කෙනෙකුට ආසාදනය වීමට ප්‍රමාණවත් විය හැකි බවට විශ්වාස කෙරේ.

සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන නමුත් වැඩිහිටියන් හෝ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් තුළ දරුණු රෝගාබාධ ඇති කළ හැකි වෛරසයක් වන කොවිඩ්-19 හෝ ඇඩිනෝ වෛරසය හා සසඳන විට, අපිරිසිදු වැසිකිළිවල මතුපිට ස්පර්ශ කිරීමෙන් මිනිසුන්ට නොරෝ වෛරස ආසාදනය සම්භාවිතාව වැඩි බව එක් අධ්‍යයනයකින් හෙළි විය.

කෙසේ වෙතත්, මෙවැනි මාර්ගවලින් රෝගී වීමට පවතින අවදානම ඉතා අල්ප වේ. "වැසිකිළි ඉස්සර වගේ අපිරිසිදු නෑ, ඒවා නිතර පිරිසිදු කරනවා," රොබර්ට්ස් පවසයි. ඇගේ ක්ෂුද්‍රජීව විද්‍යා ශිෂ්‍යයන් විවිධ පරිසරයන් තුළ ක්ෂුද්‍ර ජීවීන් සොයා ගන්නා විට, පරිගණක විද්‍යාගාරවල ඔවුන් සොයා ගන්නා ප්‍රමාණය වැසිකිළි කුටිවලට වඩා බෙහෙවින් වැඩි බව ඇය සඳහන් කරයි.

ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ වෛරස විද්‍යාව පිළිබඳ මහාචාර්ය චාල්ස් ගර්බා පවසන්නේ, "එක්සත් ජනපදයේ, අපි අධ්‍යයනය කරපු විශ්වවිද්‍යාලයේ පොදු වැසිකිළිවලට වඩා නිවාස වැසිකිළිවල බොහෝ සෙයින් විෂබීජ සහිතයි," යනුවෙනි. "බොහෝ තැන්වල නිවසේ වැසිකිළි භාවිත කරනවාට වඩා පොදු වැසිකිළියක් භාවිත කිරීම ආරක්ෂිතයි [බොහෝ දුරට].

ගර්බාගේ සමීක්ෂණවලින් පෙනී යන්නේ පොදු වැසිකිළි සාමාන්‍යයෙන් දිනකට කිහිප වතාවක් පිරිසිදු කරන බව ත්, බොහෝ නිවාස සතියකට වරක් පමණක් පිරිසිදු කරන බව ත් ය. ඉහළ සනීපාරක්ෂාවක් සඳහා ඔහුගේ රසායනාගාරයෙන් නිර්දේශ කරන්නේ සෑම දින තුනකට වරක් ගෘහස්ථ වැසිකිළි පිරිසිදු කළ යුතු බව ය.

වැසිකිළි තුළ පවතින 'ජල බිඳිති' ගැන සැලකිලිමත් වෙන්න

බොහෝ පුද්ගලයින් තම දෑතින් වැසිකිළි ආසන ස්පර්ශ කරමින් එහා මෙහා නොයන බව සත්‍යයකි. බොහෝ අය අපි විශ්වාස කරනවාට වඩා බොහෝ අඩුවෙන් අත් සෝදන අතර, අප සිතන්නේ ඔබ වැසිකිළි ගිය වහා ඔබේ දෑත් මුඛයට දමා නොගන්නා බව ය. කෙසේ වෙතත්, වැසිකිළියක් තුළදී රෝගයක් වැළඳීමේ තවත් මාර්ග පවතී.

දැන් අවධානය යොමු කරන්නේ, වැසිකිළි තුළ පවතින 'ජල බිඳිති' ගැන ය. ඔබ ෆ්ලෂ් කරන විට, වැසිකිළි බඳුනේ ඇති විෂබීජ විසිරී වාතයට සහ පොළව මතට මුසුවන අතර ඔබ තවදුරටත් එහි සිටී නම් ඒවා ඔබේ ශරීරයට පවා පතිත වීම සිදුවේ.

ගණිත ආකෘතිවලින් පෙන්නුම් කරන්නේ වැසිකිළි බඳුනක ඇති අංශුවලින් 40-60%කට වාතයට හෝ පෘෂ්ඨ මතු පිටට එක් විය හැකි බව ය. ඇතැම් පිරිස් මෙය හඳුන්වන්නේ 'toilet sneeze' ලෙස බව ගර්බා පවසයි.

"'විෂබීජ අධික ම' තැන ඇත්ත වශයෙන් ම පොළව."

බොහෝ විට රෝහල්වල දක්නට ලැබෙන සහ තුරන් කිරීමට අපහසු Clostridium difficile බැක්ටීරියාව වැසිකිළියක් ෆ්ලෂ් කිරීමකින් පසු වාතය හරහා පැතිර යා හැකි බව අධ්‍යයනවලින් සොයා ගෙන තිබේ. ඉන්පසු ඒවා ඉතා කුඩා අංශු ලෙස පැතිර යා හැකි ආශ්වාස වීම පවා විය හැකි ය.

එබැවින්, අවදානම් ස්ථානය වැසිකිළි ආසන පමණක් නොවේ. ඔබේ දෑතින් ස්පර්ශ කරන වැසිකිළි පියන, දොරේ හැඬලය, සින්ක් හැන්ඩ්ලය සහ තුවා ඩිස්පෙන්සර් ද අවදානම් ස්ථාන වේ. ගර්බා පවසන්නේ පොළව යනු ඇත්ත වශයෙන් ම අපිරිසිදු ම ස්ථානය බව ය.

නාන කාමරවල මුත්‍රා හෝ මළපහවලට සම්බන්ධ නොවන කිවිසුම් යාම සහ කැස්ස හරහා පැතිරෙන රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් ද අඩංගු විය හැක. නිදසුනක් වශයෙන්, උණ සඳහා හේතු වන වෛරසය ඇතැම් විට නාන කාමරවල පෘෂ්ඨවලින් හමු වේ.

වැසිකිළිය පිරිසිදු කරමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂඥයන් යෝජනා කරන්නේ ඔබේ නිවස වැසිකිළිය දින තුනකට වරක් හෝ පිරිසිදු කළ යුතු බව ය

වැසිකිළිය භාවිත කිරීමේදී රෝග වැළඳීම වළක්වා ගන්නේ කෙසේ ද?

නිවසේදී හෝ ඕනෑ ම පොදු වැසිකිළියකින් විෂබීජ පැතිරීමේ අවදානම අවම කර ගැනීම සඳහා ඔබට ගත හැකි සරල පියවර කිහිපයක් තිබේ. එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ ජල සනීපාරක්ෂක ඉන්ජිනේරුවරියක වන එලිසබෙත් පැඩී, විවිධ පෘෂ්ඨ ස්පර්ශ කිරීම අවම කිරීමට උපදෙස් දෙයි. (වැසිකිළි නිෂ්පාදකයින්ට ස්පර්ශ කිරීමකින් තොර ෆ්ලෂ් කිරීම, සබන් ඩිස්පෙන්සර්, අත් වියළන යන්ත්‍ර සහ ඒ හා සමාන විශේෂාංග හඳුන්වා දීමෙන් ආරක්ෂාව වැඩි කළ හැකි බව ඇය තවදුරටත් පවසයි.)

වැසිකිළි බඳුනෙන් විෂබීජ විසිර යාම වැළැක්වීම සඳහා ෆ්ලෂ් කිරීමට පෙර වැසිකිළි පියන වසා දැමීම විෂබීජ පැතිරීම නැවැත්වීමට හොඳ ක්‍රමයක් ලෙස පෙනුන ද පියන වසා එය විවෘත කිරීමෙන් එහි විශාල වෙනසක් සිදු නොවන බව ගර්බා පවසයි. 2024 වසරේදී ඔහු සිදු කළ අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ පියන තදින් නොවැසෙන නිසා වෛරස්වලට පැතිවලින් පිටතට යා හැකි බව ය. පොදු වැසිකිළි බොහෝ විට ජලය ඉතිරි කර ගැනීම සඳහා වැඩි පීඩනයකින් ෆ්ලෂ් කිරීම ද එයට හේතුවකි.

ඇත්ත වශයෙන් ම වැරදීමකින් හෝ මිනිසුන් පියන සහ ආසනය ස්පර්ශ කිරීම නැවැත්වීම සඳහා නානකාමර උපකරණ නිෂ්පාදකයින් වැසිකිළි පියන ඉවත් කළ යුතු බව පැඩී සිතයි. ඇය පවසන්නේ, "පියන තවදුරටත් ඉදිරියට රැගෙන යා යුතු නැති," බව ය.

වැසිකිළි බඳුන සහ ආසනය අතර පළිහක් සහිතව නිර්මාණය කර ඇති වැසිකිළි (toilet bowls with shields) වැනි වඩාත් ඵලදායී පියවර පැඩී පෙන්වා දෙයි. මේවා බොහෝ දුරට රෝහල් තුළ දක්නට ලැබෙන අතර, එහිදී ඒවා සේදීමේදී නිකුත් වන රෝග කාරකවලින් කාර්ය මණ්ඩලය ආරක්ෂා කරයි. වායු නැවුම්කාරක දියර ඉසීම නාන කාමර වාතය සහ මතුපිට සනීපාරක්ෂාව සඳහා උපකාරී වන බවත්, වැසිකිළි 'කිවිසුම් යාමෙන්' රෝග කාරක පැතිරීම අඩු කරන බවත් ඇය සඳහන් කරයි.

තවත් ක්‍රමයක් වන්නේ ෆ්ලෂ් කර නාන කාමරයෙන් ඉක්මනින් ඉවත් වීම ය. "මම සාමාන්‍යයෙන් ෆ්ලෂ් කරලා ඉක්මනට එළියට එනවා," ගර්බා පවසයි. වෙනත් අයෙකු භාවිත කළ පසු පොදු වැසිකිළියක් භාවිත කිරීමට පෙර විනාඩි 10ක් රැඳී සිටීමට ද ඔහු යෝජනා කරන නමුත් මෙය ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු විය හැකි ය.

"ඔබ ඔබේ දුරකතනය වැසිකිළියට රැගෙන යන්නේ නම් එහි පැතිර පවතින රෝග කාරක ඒ මත පැතිරීමේ අවදානමක් පවතී"

අනතුරුව ඔබේ ජංගම දුරකතන ගැන සිතන්න. වැසිකිළිය තුළ දුරකතනය භාවිත කිරීම කිසිසේත් නිර්දේශ නොකරන බව රොබට්ස් පවසයි. ඔබ එය සෑම තැනක ම ගෙන යන නිසා දුරකතන ඉතා අපිරිසිදු වේ. ඔබ එය වැසිකිළියට ගෙන එන්නේ නම්, ඒ මත වාතයේ ඇති විෂබීජ තැන්පත් විය හැකි ය. එවිට, ඔබේ අත් සේදීමෙන් පසුව පවා ඔබ එම විෂබීජ රැගෙන යයි.

පහසු ම පියවර වන්නේ නාන කාමරය භාවිත කළ වහා ම හැකි ඉක්මනින් අත් සේදීම බව ගර්බා පවසයි. ගර්බා පෙන්වා දෙන පරිදි ඇරිසෝනා ප්‍රාන්තයේ ටක්සන් ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයෝ සාමාන්‍යයෙන් තත්පර 11ක් පමණක් අත් සෝදති. නමුත් එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය නිර්දේශ කරන්නේ තත්පර 20ක් අත් සේදිය යුතු බවට ය. "ප්‍රමාණවත් ලෙස දෑත් සෝදන්නේ පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ‍යි," ගර්බා පවසයි.

පොදු විවේකාගාර තුළදී රෝගී වීම වළක්වා ගැනීම සඳහා ඔබේ දෑත් සේදිය යුතු ය. වඩා හොඳ ආරක්ෂාවක් සඳහා, දෑත් පිරිසිදු කර කිරීමට පිරිසිදුකාරක දියර (hand sanitiser) වර්ග ද භාවිත කිරීම සිදු කළ යුතු ය. අත් සේදීම පමණක් සිදු කිරීමට වඩා මෙම සංයෝජනය වඩාත් ආරක්ෂිත ය. වැසිකිළිවල සැඟවී ඇති රෝග කාරක පිළිබඳ බියට ඔබව රාත්‍රියේදී අවදියෙන් තැබීමට ඉඩ නොදෙන්න. මන්ද ඔබට ඇති අවදානම (බොහෝ විට) ඔබ සිතනවාට වඩා අඩු ය.

*සැලකිය යුතුයි: මෙම ලිපියේ අන්තර්ගත සියලු ම කරුණු සාමාන්‍ය දැන ගැනීම සඳහා පමණක් වන අතර, මෙය ඔබේ වෛද්‍යවරයා හෝ වෙනත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු ලබා දෙන වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස නොසැලකිය යුතු ය. මෙම වෙබ් අඩවියේ අන්තර්ගතය මත පදනම්ව පරිශීලකයෙකු විසින් සිදු කරනු ලබන ඕනෑ ම රෝග විනිශ්චයක් සඳහා බීබීසී වග නොකියන අතර, කිසිදු බැඳීමක් නැත. ලැයිස්තුගත කර ඇති කිසිදු බාහිර වෙබ් අඩවියක අන්තර්ගතයන් සඳහා බීබීසී වගකිව යුතු නොවන අතර, කිසිදු නිෂ්පාදනයක් හෝ සේවාවක් ප්‍රවර්ධනය නොකරයි. ඔබේ සෞඛ්‍යය ගැන ඔබට කිසියම් ආකාරයක ගැටලුවක් ඇති නම්, සෑම විට ම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.