කෘත්‍රිම මානව DNA නිර්මාණය කිරීමේ මතභේදාත්මක ව්‍යාපෘතිය අරඹයි

A stylised drawing of the DNA double Helix with 1s and 0s appearing in the bonds between the molecules to illustrate its synthetic nature

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නිර්මිත රූප සටහනක්: මිනිස් DNA අණුවල එක් එක් කොටස් මුල සිට ම ගොඩනැගීම මෙහි අරමුණයි
    • Author, පල්ලබ් ගෝෂ්, විද්‍යා වාර්තාකරු සහ ග්වින්ඩාෆ් හියුස්, විද්‍යා වීඩියෝ ශිල්පී

ලොව ප්‍රථම වරට සිදුවන බවට විශ්වාස කෙරෙන, මානවයාගේ ප්‍රවේණික තොරතුරු අන්තර්ගත DNA අණුවල එක් එක් කොටස් මුල සිට ම නිර්මාණය කිරීමේ මතභේදාත්මක ව්‍යාපෘතියක් ආරම්භ වී තිබේ.

ජානමය වශයෙන් වෙනස් කරන ලද දරුවන් හෝ අනාගත පරම්පරා කිනම් බලපෑමක් ඇති කරනු ඇති දැයි යන්න සම්බන්ධයෙන් පැවති කනස්සල්ල හේතුවෙන් මෙම පර්යේෂණය මේ දක්වා සදාචාරාත්මකව පිළිගත නොහැකි දෙයක් යැයි සැලකිණි.

නමුත් දැන් ලොව විශාලතම වෛද්‍ය පුණ්‍යායතනය වන Wellcome Trust, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මූලික වශයෙන් පවුම් මිලියන 10ක මුදලක් ලබා දී ඇති අතර එමගින් සුව කළ නොහැකි රෝග රැසකට ප්‍රතිකාර සොයා ගැනීම කඩිනම් කිරීමෙන් හානියකට වඩා යහපතක් කිරීමට එයට හැකියාවක් ඇති බව පවසයි.

මෙම ව්‍යාපෘතියේ සාමාජිකාවක වන කේම්බ්‍රිජ්හි MRC Laboratory of Molecular Biology ආයතනයේ ආචාර්ය ජූලියන් සේල් බීබීසී පුවත් වෙත පැවසුවේ, මෙම පර්යේෂණය ජීව විද්‍යාවේ ඊළඟ යෝධ පිම්මක් බව ය.

"අහස තමයි සීමාව. අපි බලන්නේ, මිනිස්සු වයසට යද්දී රෝග අඩු ගණනකින් සහ සෞඛ්‍ය සම්පන්න වයසට යාමකට මග පාදන මිනිසුන්ගේ ජීවිත වැඩිදියුණු කරන ප්‍රතිකාර දිහා."

"අක්මාවේ සහ හදවතේ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවා, හානියට පත් අවයව යථාතත්ත්වයට පත් කරන්න අපට භාවිත කළ හැකි රෝග-ප්‍රතිරෝධී සෛල ජනනය කිරීම සඳහා මෙම ප්‍රවේශය භාවිත කරන්න අපි බලාපොරොත්තු වෙනවා," ඔහු පැවසීය.

නමුත් මෙය විවේචනය කරන්නන් බිය පළ කරන්නේ, මෙම පර්යේෂණය වැඩිදියුණු කළ හෝ ජානමය වශයෙන් වෙනස් කළ මිනිසුන් නිර්මාණය කිරීමට උත්සහ කරන වංක අදහස් ඇති පර්යේෂකයින්ට මග විවර කර දෙනු ඇති බව ය.

Beyond GM කණ්ඩායමේ අධ්‍යක්ෂ ආචාර්ය පැට් තෝමස් මෙසේ පැවසීය: "සියලු ම විද්‍යාඥයින් ඉන්නේ යහපත කරන්න කියලා අපි හිතන්න කැමති යි. නමුත් විද්‍යාව හානි කරන්න සහ යුද්ධ සඳහා වගේ වෙන අරමුණුවලටත් යොදා ගන්න පුළුවන්."

මානව DNAවල සැකැස්ම හඳුනාගෙන එය සටහන් කළ Wellcome විසින් වැඩි වශයෙන් අරමුදල් සපයන ලද Human Genome Projectහි 25 වන සංවත්සරයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳ විස්තර බීබීසී පුවත් වෙත ලබා දෙන ලදී.

අපේ ශරීරයේ සෑම සෛලයක ම DNA නම් අණුවක් අඩංගු වන අතර එය ජානමය තොරතුරු රැගෙන යයි. DNA සෑදී ඇත්තේ A, G, C සහ T ලෙස හඳුන්වන එකිනෙකට වෙනස් ආකාරවලින් යුගලනය වන ඉතා කුඩා රසායනික ද්‍රව්‍ය හතරකිනි. පුදුමයට කරුණක් නම්, අපගේ භෞතිකව ස්වභාවය තීරණය වන සියලු ම ජානමය තොරතුරු එහි අඩංගු වීම යි.

Human Genome Project යන ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස විද්‍යාඥයින්ට මිනිස් සිරුරේ අඩංගු සියලු ම ජාන තීරු කේතයක් (bar code) මෙන් කියවීමට හැකි අවස්ථාව උදා කර දුන්නේ ය. දැන් සිදුවන නව ව්‍යාපෘතිය Synthetic Human Genome Project ලෙස හඳුන්වන අතර එය යෝධ පිම්මක් ලෙස සැලකේ. එමගින් පර්යේෂකයන්ට DNA අණුවක් කියවීමට පමණක් නොව, එහි කොටස් - ඇතැම් විට යම් දිනක ඒ සියල්ල - මුල සිට ම අණුවෙන් අණුව නිර්මාණය කිරීමට ඉඩ සලසනු ඇත.

A petri dish lit up with a bright light with white spots of yeast.

ඡායාරූප මූලාශ්‍රය, BBC News

ඡායාරූප ශීර්ෂ වැකිය, මානව DNAවල ඉතා වැදගත් කොටස් නිර්මාණය කිරීම සඳහා විද්‍යාඥයින් මෙවලම් සංවර්ධනය කිරීම ආරම්භ කරනු ඇත

විද්‍යාඥයින්ගේ පළමු අරමුණ වන්නේ, මිනිස් වර්ණ දේහයක් (chromosome) කෘත්‍රිමව ගොඩනගා ගන්නා අවස්ථාව දක්වා මිනිස් DNAවල විශාල කොටස් (larger blocks) ගොඩනැගීමේ ක්‍රම සංවර්ධනය කිරීම යි. මේවායේ අපගේ වර්ධනය, හානියට පත් අවයව යථාතත්ත්වයට පත් කරන සහ පැවැත්ම පාලනය කරන ජාන අඩංගු වේ.

ජාන සහ DNA අපගේ ශරීර නියාමනය කරන ආකාරය පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමට මේවා අධ්‍යයනය කර අත්හදා බැලිය හැකි ය.

Human Genome ව්‍යාපෘතියේදී DNA ගැන සිදු කළ අධ්‍යයනයෙන් වැඩි කොටසක් සිදු කළ Wellcome Sanger Instituteහි අධ්‍යක්ෂ මහාචාර්ය මැතිව් හර්ල්ස් පවසන පරිදි, මෙම ජානවල යම් වරදක් සිදුවූ විට බොහෝ රෝග ඇති වේ. එබැවින් මෙම නව අධ්‍යයනයන් වඩා හොඳ ප්‍රතිකාර සඳහා මග පෑදිය හැකි ය.

"මුල සිට ම DNA ගොඩනැගීමෙන් අපට DNA සැබවින් ම ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීමට සහ නව න්‍යායන් පරීක්ෂා කිරීමට ඉඩ සලසනවා. මොක ද දැනට අපට එය සැබවින් ම කළ හැක්කේ ජීව පද්ධතිවල දැනටමත් පවතින DNAවල DNA වෙනස් කිරීමෙන් පමණ යි."

Two scientists facing away from the frame at two high tech white sequencing machines tha tlook like fridges with a computer screen on top

ඡායාරූප මූලාශ්‍රය, BBC News

ඡායාරූප ශීර්ෂ වැකිය, මානව DNA කියවීමට භාවිත කරන මෙම යන්ත්‍ර ඉක්මනින් එහි කොටස් ලිවීමට භාවිත කෙරෙනු ඇත
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම ව්‍යාපෘතියේ කටයුතු විද්‍යාගාරයක් තුළට පමණක් සීමා වනු ඇති අතර, ඉන් කෘත්‍රිම ජීවයක් නිර්මාණය කිරීමට කිසිදු උත්සහයක් නොගනු ඇත. නමුත් මෙම තාක්ෂණය පර්යේෂකයන්ට මිනිස් ජීවන පද්ධති සම්බන්ධයෙන් පෙර නොවූ විරූ පාලනයක් ලබා දෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය වෛද්‍යමය වශයෙන් ලැබෙන ප්‍රතිලාභ අරමුණු කර ගත්ත ද වංක අදහස් ඇතිව කටයුතු කරන විද්‍යාඥයින් මෙම තාක්ෂණය අනිසි ලෙස භාවිත කිරීමේ අවදානමක් පවතී.

කෘත්‍රිම මිනිස් වර්ණ දේහ නිර්මාණය කිරීම සඳහා ක්‍රමයක් ගොඩනැගූ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ඉතා ගෞරවණීය ජාන විද්‍යාඥයෙකු වන මහාචාර්ය බිල් අර්න්ෂෝට අනුව, උදාහරණයක් ලෙස, ඔවුන් ජීව විද්‍යාත්මක ආයුධ, වැඩිදියුණු කළ මිනිසුන් හෝ මිනිස් DNA ඇති වෙනත් ජීවීන් පවා නිර්මාණය කිරීමට උත්සහ කළ හැකි ය.

"භූතයා බෝතලයෙන් එළියට ඇවිල්ලා ඉන්නේ," ඔහු බීබීසී පුවත් වෙත පැවසීය. "අපි දැන් යම් සීමා කිරීම් කළත් සුදුසු යන්ත්‍රෝපකරණ සඳහා ප්‍රවේශය තියෙන සංවිධානයක් මොනවා හරි දෙයක් හදන්න තීරණය කළොත්, අපිට ඒක නවත්තන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ."

පර්යේෂණයෙන් මතු වන ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කරන සෞඛ්‍ය සේවා සමාගම් මගින් තාක්‍ෂණය වාණිජකරණය කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ආචාර්ය තෝමස් කනස්සල්ලට පත්ව සිටී.

"අපි කෘත්‍රිම ශරීර කොටස් හෝ කෘත්‍රිම මිනිසුන් පවා නිර්මාණය කිරීමට සමත් වුණොත්, ඒවා අයිති වෙන්නේ කාට ද? ඒ වගේ ම මෙම නිර්මාණවලින් රැස් කර ගන්න දත්තවල අයිතිය කාට ද තියෙන්නේ?"

මෙම තාක්ෂණය අනිසි භාවිතයට ඇති ඉඩ සම්බන්ධයෙන් ගත් කල, Wellcome වෙත යොමු කිරීමට ඇති ප්‍රශ්නය වන්නේ, ඔවුන් එම ව්‍යාපෘතියට අරමුදල් සැපයීමට තෝරා ගත්තේ මන්ද යන්නයි. අරමුදල් සැපයීමට අනුමැතිය දුන් ආචාර්ය ටොම් කොලින්ස් පවසන පරිදි, මෙම තීරණය සැහැල්ලුවෙන් ගත් එකක් නොවේ.

"අපි අපෙන් ඇහුවා, එහෙම නොකර හිටියොත් මොන වගේ ප්‍රතිඵලයක් ද ඇති වෙන්නේ කියලා," ඔහු බීබීසී පුවත් වෙත පැවසීය.

"මෙම තාක්ෂණය කවදා හරි දවසක සංවර්ධනය කරනවා. ඒ නිසා ඒක දැන් කර එකෙන්, අපි අවම වශයෙන් එය හැකි තරම් වගකීමෙන් කරන්න සහ හැකි තරම් ආචාරධර්ම හා සදාචාරාත්මක ප්‍රශ්නවලට මුහුණ දීමට උත්සහ කරනවා."

ව්‍යාපෘතියේ විද්‍යාත්මක සංවර්ධනයට සමගාමීව කැපවූ සමාජ විද්‍යා වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර එය මෙහෙයවනු ලබන්නේ, කෙන්ට් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ජෝයි ෂැං විසිනි.

"තාක්ෂණයට ඔවුන් සම්බන්ධ වන ආකාරය හා එය ප්‍රයෝජනවත් විය හැකි ආකාරය සහ විශේෂයෙන් ඔවුන්ට ඇති ප්‍රශ්න වගේ ම උත්සුකයන් පිළිබඳව විශේෂඥයින්ගේ, සමාජ විද්‍යාඥයින්ගේ සහ විශේෂයෙන් මහජනතාවගේ අදහස් ලබා ගැනීමට අපට අවශ්‍ය යි," ඇය පැවසුවා ය.