අප මිය යන විට අපගේ මොළය තුළ සිදුවන්නේ කුමක් ද?

A scientist looking at MRI tests

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, මාගරීටා රොඩ්‍රිගෙස්
    • Role, බීබීසී මුන්ඩෝ

"මිය යාම ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක්" වුව ද, අප මිය යන විට මොළයේ සිදුවන්නේ කුමක් ද යන්න ගැන "කිසිවක් ම පාහේ" අප නොදන්නා බව වටහාගත් විට ස්නායු විද්‍යාඥ ජීමෝ බෝර්ජිගින් පුදුමයට පත් වූවා ය.

මෙම අවබෝධය ලැබුණේ, දශකයකට පමණ පෙර සිදුවූ "වළක්වා ගත නොහැකි වූ අනතුරක්" හේතුවෙනි.

"අපි මීයන් පිළිබඳව අත්හදා බැලීම් කරමින් සිටි අතර ශල්‍ය කර්මයකින් පසු ඔවුන්ගේ මොළයේ ස්නායු ආශ්‍රිත රසායනික ස්‍රාවයන් නිරීක්ෂණය කරමින් සිටියා," ඇය බීබීසී මුන්ඩෝ පුවත් සේවය වෙත පැවසීය.

හදිසියේ, ඔවුන්ගෙන් දෙදෙනෙක් මිය ගියහ.

එමගින් ඔවුන්ගේ මොළය මිය යන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ඇයට හැකි විය.

"එක මීයෙක් සෙරටොනින් ගොඩක් ස්‍රාවය කරල තිබුණා. ඒ මීයා මායාවක වෙලී සිටියා ද?" ඇය පුදුමයට පත්වූවා ය. "සෙරටොනින් මායා සිතිවිලිවලට සම්බන්ධයි," ඇය පැහැදිලි කළා ය.

මනෝභාවය නියාමනය කරන රසායනික ද්‍රව්‍යයක් වන සෙරොටොනින් ස්‍රාවය වීම ඇගේ කුතුහලයට හේතු විය.

"ඒ නිසා මේ ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි කියල හිතලා මම සති අන්තයේ ලිඛිත වාර්තා ආශ්‍රිතව පර්යේෂණ කරන්න පටන් ගත්තා. මිය යාමේ ක්‍රියාවලිය ගැන අප දන්නේ ඉතා අල්පයක් බව දැනගත්තා ම මට පුදුම හිතුණා."

එතැන් සිට, මිචිගන් විශ්වවිද්‍යාලයේ අණුක සහ සමෝධානික කායික විද්‍යාව සහ ස්නායු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන ආචාර්ය බෝර්ජිගින්, අප මිය යන මොහොතේ මොළය තුළ සිදුවන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමට කැපවී සිටී.

එමෙන් ම, ඇය සොයා ගත් දෙය, උපකල්පනය කළ දෙයට පටහැනි බව ඇය පවසයි.

මරණය පිළිබඳ අර්ථදැක්වීම

illustration of a brain and an heart

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

හෘදයාබාධයකින් පසු යමෙකුට හෘද ස්පන්ධනය සිදු නොවන්නේ නම්, ඔවුන් සායනිකව මිය ගිය පුද්ගලයින් ලෙස අර්ථ දැක්විය හැකි බව ඇය පැහැදිලි කරයි.

මෙම ක්‍රියාවලියේදී අවධානය යොමු වී ඇත්තේ හෘදය දෙසට ය: "ඒක හඳුන්වන්නේ හෘදයාබාධයක් කියලා. ඒකට මොළයේ ආබාධයක් කියලා කියන්නෙ නෑ.

"විද්‍යාත්මක අවබෝධය අනුව මොළය ක්‍රියා නොකරන බව පෙනෙන්නේ ප්‍රතිචාරයක් නැති නිසා: මේ අයට කතා කරන්න බැහැ, නැගිටින්න බැහැ, වාඩි වෙන්න බැහැ."

මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා ඔක්සිජන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. හදවත රුධිරය සංසරණය නොකළහොත්, මොළය කරා ඔක්සිජන් ළඟා වන්නේ නැත.

"ඒ නිසා මතුපිටින් පෙනෙන සියලු ම ලක්ෂණවලින් පේන්නේ මොළය තවදුරටත් ක්‍රියා නොකරන බව. නැත්නම් අවම වශයෙන් මොළයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒක අධික්‍රියාකාරී තත්ත්වයක් නෙවෙයි,” ඇය පැහැදිලි කරයි.

කෙසේ වෙතත්, ඇයගේ කණ්ඩායම කළ පරියේෂණයෙන් පෙනී යන්නේ, තරමක් වෙනස් තත්ත්වයකි.

මොළය අධික්‍රියාකාරී ගමනක

2013 වසරේදී මීයන් පිළිබඳ අධ්‍යයනයකදී ( https://pubmed.ncbi.nlm.nih.gov/23940340/ ) සතුන්ගේ හදවත් නතර වූ පසු ස්නායු සම්ප්‍රේෂක කිහිපයක දැඩි ක්‍රියාකාරකම් සිදුවන ආකාරය ඔවුහු නිරීක්ෂණය කළහ.

"සෙරොටොනින් 60 ගුණයකින් වැඩි වූ අතර, සිතට සහනයක් ඇති කරන රසායනික ද්‍රව්‍යයක් වන ඩොපමින් 40-60 ගුණයකින් විශාල ලෙස වැඩි වුණා."

"සිත ඉතා අවධානයෙන් තබන නොරිපිනෙෆ්‍රයින් 100 ගුණයකින් පමණ වැඩි වුණා."

සත්වයා ජීවත්ව සිටින විට එවැනි ඉහළ මට්ටම් දැකිය නොහැකි බව ඇය පවසයි.

2015 වසරේදී මෙම කණ්ඩායම මිය යමින් සිටින මීයන්ගේ මොළය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයක් පළ කළේ ය.

"මෙම අවස්ථා දෙකේදී ම, සතුන්ගෙන් 100%ක්ම දැවැන්ත මොළයේ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරලා තියෙන්නේ," ඇය පවසයි.‍

"මොළය වේගවත්, ඒක අධික්‍රියාකාරී තත්ත්වයක තියෙන්නේ."

ගැමා තරංග

drawing of neurons

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2023 වසරේදී, ඔවුන් පර්යේෂණ ලිපියක් (https://pubmed.ncbi.nlm.nih.gov/37126719/) ප්‍රකාශයට පත් කරන ලද අතර, එහිදී මොළයේ ක්‍රියාකාරීත්වය ස්කෑන් කර බැලීමට විද්‍යුත් එන්සෙෆලෝග්‍රැෆි පරීක්ෂාව සඳහා ඉලෙක්ට්‍රෝඩ සවි කර තිබූ කෝමා තත්ත්වයේ සිටින සහ ජීවිත ආධාරක මත සිටින රෝගීන් සිව් දෙනෙකු කෙරෙහි අවධානය යොමු කළහ.

එම සිව් දෙනා මිය යමින් සිටියහ. වෛද්‍යවරුන් සහ පවුල්වල සාමාජිකයෝ "ඔවුන්ට උපකාර කළ හැකි සීමාවක නොසිටි බව විශ්වාස කළා. ඒ නිසා ඔවුන් තීරණය කළා ඔවුන්ට මිය යන්න ඉඩ දෙන්න."

ඥාතීන්ගේ අවසරය ඇතිව, ඔවුන් සජීවීව තබාගෙන සිටි වෙන්ටිලේටර් ක්‍රියාවිරහිත කෙරිණි.

ඉන් රෝගීන් දෙදෙනෙකුගේ මොළයේ ඉහළ සක්‍රීයතාවක් පැවති බවත්, එය සංජානනීය ක්‍රියාකාරකම් පෙන්නුම් කරන බවත් පර්යේෂකයින්ට දක්නට ලැබිණි.

වේගවත් ම මස්තිස්ක තරංග ලෙස සැලකෙන ගැමා තරංග ද සොයා ගැනිණි. ගැමා තරංග ක්‍රියාත්මක වන්නේ, සංකීර්ණ තොරතුරු සැකසීම සහ ආවර්ජනය කිරීම වෙනුවෙනි.

එක් රෝගියෙකුට මොළයේ දෙපස ඇති තාවකාලික ඛණ්ඩිකාවල ඉහළ ක්‍රියාකාරිත්වයක් තිබිණි.

වෛද්‍ය බෝර්ජිගින් පෙන්වා දෙන්නේ, නිවැරදිව එකට එකතු වෙන සන්ධිය, සහකම්පනය සඳහා ඉතා වැදගත් බව ය:

"හෘදයාබාධයෙන් දිවි ගලවා ගත් [සහ මරණාසන්න අත්දැකීම් (NDEs) ඇති බොහෝ රෝගීන් පවසන්නේ, එය ඔවුන්ව වඩා හොඳ පුද්ගලයෙකු බවට පත් කළ බවත්, ඔවුන්ට අන් අය කෙරෙහි සහකම්පනයක් ඇති බවත්ය."

මරණාසන්න අත්දැකීම්

illustration of an out-of-body experience

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මරණාසන්න අත්දැකීම් ලැබූ ඇතැමුන් පවසන්නේ, ඔවුන්ගේ ජීවිතවල, ප්‍රධාන අවස්ථා ක්ෂණිකව මතකයට නැගෙන බවය.

බොහෝ අය පවසන්නේ, තමන් දැඩි ආලෝකයක් දුටු බව ය. තවත් අය ශරීරයෙන් පිටත අත්දැකීම් සහ ඉහළ සිට දර්ශනය නිරීක්ෂණය කළ බවත් විස්තර කරති.

ආචාර්ය බෝර්ජිගින් ඇයගේ අධ්‍යයනයන්හිදී නිරීක්ෂණය කරන ලද අධික්‍රියාකාරී මොළයට, ඇතැම් පුද්ගලයන් මරණයේ එළිපත්ත මත සිට මෙතරම් දැඩි අත්දැකීම් ලබා ඇත්තේ මන්දැයි පැහැදිලි කළ හැකි ද?

"ඔව්, මම හිතන්නෙ ඒක එහෙම යි," ඇය පවසයි.

"හෘදයාබාධයකින් දිවි ගලවා ගත් අයගෙන් අවම වශයෙන් 20%-25% ක් සුදු ආලෝකයක් දැකීම හරහා යමක් දකින බව වාර්තා කරයි, ඒ මගින් දෘශ්‍ය බාහිකය (visual cortex) සක්‍රීය වී ඇති බව නිගමනය කරන්න පුළුවන්."

වෙන්ටිලේටර් යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමෙන් පසු මොළයේ ඉහළ ක්‍රියාකාරිත්වයක් නිරීක්ෂණය කළ රෝගීන් දෙදෙනා සම්බන්ධයෙන්, පර්යේෂකයා පවසන්නේ, ඔවුන්ගේ දෘශ්‍ය බාහික (විඥානික දර්ශනයට සහය වන) “මෙම දෘශ්‍ය අත්දැකීම සමග සහසම්බන්ධ විය හැකි” දැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ බව ය.

අලුත් අවබෝධයක්

Dr Jimo Borjigin in her lab coat

ඡායාරූප මූලාශ්‍රය, UNIVERSITY OF MICHIGAN

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය බෝර්ජිගින්මි චිගන් විශ්ව විද්‍යාලයේ උගන්වන අතර ඇය එහි ඇගේ නම දරන රසායනාගාරය මෙහෙයවයි

ආචාර්ය බෝර්ජිගින් පවසන්නේ, මිනිසුන් සම්බන්ධයෙන් ඇයගේ අධ්‍යයනය ප්‍රමාණයෙන් ඉතා කුඩා බවත්, අප මිය යන විට මොළය තුළ සිදුවන දේ පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදුකිරීම අවශ්‍ය බවත් ය.

කෙසේ වෙතත්, මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වසර 10කට අධික කාලයක් පර්යේෂණවල නියැළුණු ඇයට එක් දෙයක් පැහැදිලි ය: "හෘදයාබාධයක් ඇති වූ අවස්ථාවක මොළය තුළ අඩු ක්‍රියාකාරීත්වයක් වෙනුවට අධික්‍රියාකාරීත්වයක් සිදු වෙනවා."

එහෙත්, ඔක්සිජන් නොලැබෙන බව දැනුණු විට මොළයට සිදුවන්නේ කුමක් ද?

"ඒක තේරුම් ගන්න අපි උත්සහ කරනවා. ඒ ගැන ලියවිලා තියෙන්නෙ ඉතා ම අඩුවෙන්. ඇත්තට ම, ඒ ගැන දෙයක් නෑ," ඇය පවසයි.

ඇය වැසි සමයේ දීර්ඝ නිද්‍රාව ගැන සඳහන් කරන අතර ඇයට ඒ සම්බන්ධයෙන් පහත උපකල්පනය ඇති බව මට පවසයි: අවම වශයෙන් මීයන් සහ මිනිසුන් ඇතුළුව සතුන් වශයෙන්, ඔක්සිජන් හිඟයක් ඇති අවස්ථාවක ඊට මුහුණ දීමට අපට ආවේණික යාන්ත්‍රණයක් තිබේ.

"මේ වෙනකම්, මොළය කියන්නේ හෘදයාබාධයකදී කිසි දෙයක් කරකියා ගන්න බැරුව ළඟ ඉඳන් බලාගෙන ඉන්න අහිංසකයෙක් කියල යි හිතුවේ: හදවත නැවතුණා ම, මොළය නිකම් ම මැරෙනවා. වර්තමානයේ හිතන්නේ මෙහෙමයි: මොළයට මේකට මුහුණ දෙන්න බැරුව මිය යනවා."

කෙසේ වෙතත්, එය ස්ථිරව ම එසේ සිදු වන්නේ දැයි නොදන්නා බව ඇය අවධාරණය කරයි.

මොළය තමන්ගේ බොක්සිං අත්වැසුම් පහසුවෙන් ගලවා ඉවත් නොකරන බව ඇය විශ්වාස කරයි. වෙනත් අර්බුදවලට ප්‍රතිචාර දක්වන ආකාරයට, එය සටන් කරයි:

"හේමන්ත නිද්‍රාව, මම විශ්වාස කරන [පෙන්වන] ඉතා හොඳ උදාහරණවලින් එකක්. ඇත්ත වශයෙන් ම මෙම දුෂ්කරතාවයෙන් එහෙම නැත්නම් ඔක්සිජන් නොමැතිකමෙන් බේරෙන්න මොළයට යාන්ත්‍රණයක් තියෙනවා. ඒත් ඒක ගැන තවත් විමර්ශනය කරන්න ඕන."

සොයා ගැනීමට තවත් බොහෝ දේවල්

ආචාර්ය බෝර්ජිගින් සලකන්නේ, ඇය සහ ඇගේ කණ්ඩායම ඔවුන්ගේ අධ්‍යයනයන්හිදී සොයාගෙන ඇත්තේ යෝධ අයිස් කුට්ටියක තුඩක් පමණක් බවත් තවත් සොයා ගැනීමට බොහෝ දේ ඇති බවත් ය.

"ඔක්සිජන් හිඟ වූ විට (hypoxia) ඊට මුහුණ දීමට අපට තේරුම් ගන්න බැරි මොළයට ආවේණික යාන්ත්‍රණ ඇති බව මම විශ්වාස කරනවා.

"ඉතින් මතුපිටින් පේන විදිහට අපි දන්නවා හෘදයාබාධයක් ඇති වූ පුද්ගලයින්ට මෙම විස්මිත, ආත්මීය අත්දැකීම ඇති බව. අපගේ දත්තවලින් පේන්නේ එම අත්දැකීම මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ යාමක් නිසා සිදුවන බව යි.

"දැන් තියෙන ප්‍රශ්නය තමයි: මිය යමින් තියෙන මොළයක ක්‍රියාකාරීත්වය ඉහළ යන්නේ ඇයි?

"මරණයේ යාන්ත්‍රණය අපට නොතේරෙන නිසා, අපි දශලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ මරණය පිළිබඳ අපරිණත රෝග විනිශ්චයන් කළ හැකි නිසා, මෙය තේරුම් ගැනීමට, අධ්‍යයනය කිරීමට, පර්යේෂණ කිරීමට, සොයා ගැනීමට අපි එකට එකතු විය යුතු යි."