රෝග ඇතිවන්නේ කෙසේදැ යි සොයන, වයස්ගතවන සිරුරේ ස්කෑන් පරීක්ෂණ

Fergus having his eyes scanned
ඡායාරූප ශීර්ෂ වැකිය, UK Biobank පර්යේෂණයේ එක් අංගයක් ලෙස බීබීසී සේවයේ ෆර්ගස් වොල්ෂ් අක්ෂි ස්කෑන් පරීක්ෂණයකට බඳුන් විය
    • Author, ෆර්ගස් වොල්ෂ්
    • Role, වෛද්‍ය සංස්කාරක

ලොව විශාලතම මානව රූපකරණ ව්‍යාපෘතිය මඟින්, රෝගවලට ප්‍රතිකාර කිරීමේ සහ රෝග වළක්වා ගැනීමේ නව ක්‍රම සොයාගැනීම සඳහා, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන එක්සත් රාජධානි වැසියන් 60,000කගේ මස්තිෂ්ක සහ ශරීර නැවත පිරික්සීමට සූදානම් වේ.

සිරුරු වයසට යන ආකාරය නිරීක්ෂණය කිරීමෙන්, ඩිමෙන්ෂියා හෝ විවිධ පිළිකා ඇති වීමේ වැඩි ඉඩක් කාට ඇත්තේදැ යි පුරෝකථනය කෙරුමට සහාය දීමට මෙම අධ්‍යයනයට හැකිවනු ඇත.

කිරීටක හෘද රෝග ඇති වීමේ වැඩි අවදානමක් සහිතව උපත ලබන පුද්ගලයින් ජාන පරීක්ෂණයකින් හඳුනාගැනීමට ද මෙම අධ්‍යයනය හරහා මේ වන විට ත් මඟ පෑදී තිබේ.

වසර නවයකට පෙර ස්කෑන් කිරීමට ලක්වූ පළමු පුද්ගලයා මා වූ අතර, තව ත් පරීක්ෂණ සඳහා මම නැවත පැමිණියෙමි.

මගේ මොළයේ සිට හෘදය දක්වා සියලු අවයව ත්, ඇස් සහ අස්ථිවල ඝනත්වය ත් දෙවන වරට ත් විශ්ලේෂණය කරනු ඇත.

මා වැනි, ස්වේච්ඡාවෙන් සහභාගිවන්නන් සියලුදෙනා එක්සත් රාජධානියේ ජෛව බැංකුවේ (UK Biobank) කොටසක් වන අතර, රටවල් 90කට වැඩි ගණනක පර්යේෂකයෝ සෞඛ්‍ය සම්බන්ධ අධ්‍යයන සඳහා එම දත්ත සංචිතය භාවිත කරති.

දහස් ගණනක් මිනිසුන්ගේ සවිස්තරාත්මක MRI සහ අස්ථි ඝනත්ව රූප කට්ටල දෙකක් වසර කිහිපයක පරතරයක් ඇතිව ලබාගැනීමෙන් ඩිමෙන්ෂියා, පිළිකා සහ හෘද රෝග වැනි රෝග හඳුනා ගැනීම සහ වළක්වා ගැනීම සඳහා අලුත් ශක්‍යතා විවෘත කර ගත හැකි ය.

මෙම පර්යේෂණයේ ප්‍රධාන විද්‍යාඥ මහාචාර්ය නයෝමි ඇලන් බීබීසී පුවත් සේවයට පැවසුවේ: "සායනික රෝග විනිශ්චය කිරීම්වලට සහ රෝග ලක්ෂණ මතු වීමට වසර ගණනාවකට කලින් අප වයසට යද්දී අපගේ අවයවවල සිදුවන වෙනස්කම් දෙස බලා රෝගවල ජෛව සලකුණු වටහා ගැනීමට පර්යේෂකයින්ට හැකි වේවි," යනුවෙනි.

Brain images
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් සහිත පුද්ගලයින් හඳුනා ගැනීමට පර්යේෂණයෙන් සහයක් ලැබෙනු ඇත

මෙම පර්යේෂණයේ තව ත් බොහෝ වාසිසහගත ප්‍රතිඵල පවතිනු ඇත.

මෙම පර්යේෂණය මඟින්, ප්‍රතිකාර සඳහා හොඳින්ම ප්‍රතිචාර දක්වන්නේ කවුරුන් ද යන්න ත්, ඇතැමුන් සමහර රෝගවලට ප්‍රතිරෝධී වන්නේ මන්ද යන්න ත් අනාවරණය කර ගැනීමට හැකි වන බව UK Biobankහි ප්‍රධානී සහ ලන්ඩන් ඉම්පීරියල් කොලේජ්හි ඩිමෙන්ෂියා පර්යේෂණ ප්‍රධානී මහාචාර්ය පෝල් මැතිව්ස් මට පැවසීය.

UK Biobank යනු කුමක් ද?

එක්සත් රාජධානියේ සෞඛ්‍යය පිළිබඳ වඩා ත් විස්තරාත්මක අධ්‍යයනයක් ලෙස UK Biobank ආරම්භ කරන ලද්දේ 2006 වසරේ දී ය.

වෛද්‍ය පරීක්‍ෂණ සිදු කිරීම, සෞඛ්‍ය සහ ජීවන රටා ආශ්‍රිත ප්‍රශ්නවලට පිළිතුරු දීම හා ජාන සාම්පල පරිත්‍යාග කිරීම හරහා එය දශක ගණනාවක් තිස්සේ දත්ත ගබඩාකර අධ්‍යයනය කිරීම සඳහා මා ද ඇතුළු වැඩිහිටියන් මිලියන භාගයක් බඳවා ගත්තේ ය.

එලෙස බඳවා ගත් සියලු දෙනාගේ ජෙනෝමය - එනම්, ඔවුන්ගේ සම්පූර්ණ DNA කට්ටලය - අනුපිළිවෙළට සකස්කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ රූපගත කරන කොටස 2014 දී ආරම්භ කරන ලද අතර, ඊට මොළයේ සහ ශරීරයේ අනෙකුත් කොටස්වල සවිස්තරාත්මක ස්කෑන් පරීක්ෂණ ද ඇතුළත් විය.

රැස් කරන ලද සියලු ම දත්ත නිර්නාමිකව ගබඩා කර ඇති අතර ස්වේච්ඡාවෙන් පර්යේෂණයට සහභාගිවූවන්ට පසු ප්‍රතිචාර දැක්වීමක් ද සිදු නොකෙරේ. එසේ නම්, ඔවුන්ට ත් මට ත් ඉන් ඇති ප්‍රයෝජනය කුමක් ද?

හැට හත් හැවිරිදි මේරියන් කීලිං එය මෙසේ පැහැදිලි කළා ය: "ඒක පරිත්‍යාගශීලිත්වයෙන් ගන්නා පියවර, හරියට ලේ දන් දීමක් වගේ. ඒක ඔබ ඔබේ සහෝදර මිනිස්සු වෙනුවෙන් කරන දෙයක්."

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තව ත් කාන්තාවක වන අසූ එක් හැවිරිදි මේරි විල්සන් පැවසුවේ ද ඊට සමාන අදහසකි: "මේක අනාගත පරම්පරාවලට සහ සෞඛ්‍ය සේවාවට කරන උපකාරයක්. ඔබට නිරෝගීව සිටීමට හැකි වන තරමට එහි වටිනාකම වැඩි යි."

Fergus having a body scan
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූවන්ගේ අවයවවල සවිස්තරාත්මක රූප විශ්ලේෂණය සඳහා ගබඩා කර තිබේ

වෙනත් ජෛව වෛද්‍ය දත්ත සංචිත ඇති නමුත් ඒවා ඉතා කුඩා වන අතර UK Biobank තරම් දිගුකාලීන සංචිත ද නොවේ.

එය මේ වන විට ත් වෛද්‍ය විද්‍යාවට අත්‍යවශ්‍ය දැනුම ලබාදීම අරඹා ඇත.

එම දත්ත සමාලෝචනය කිරීමෙන් පර්යේෂණ පත්‍රිකා 7,000කට වඩා ප්‍රකාශයට පත් කර ඇති අතර, පසුගිය වසරේ පමණක් ඒවායින් තුනෙන් එකක් පමණ ප්‍රකාශයට පත් වීමෙන්, කාලයත් සමග එහි ඇති විද්‍යාත්මක වටිනාකම වැඩි වන ආකාරය පෙන්නුම් කරයි.

2018 වසරේ දී, එක්සත් රාජධානියේ Biobankහි ජානමය දත්ත විශ්ලේෂණය කළ පර්යේෂකයෝ, කිරීටක හෘද රෝග ඇති වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ජාන පරීක්ෂණයක් නිර්මාණය කළහ.

"ඔබේ ජෙනෝමයේ තියෙන සියලු ම ජානමය ප්‍රභේදනයන් එකට එකතු කළොත්, ඒ එක එක ප්‍රභේදනයෙන් ඇති කරන්නෙය සුළු බලපෑමක් වුණත්, එක්ව ගත්තම, ඇතැම් පුද්ගලයින්ට හෘද රෝග ඇති වීමේ හෝ අප කලින් නොදැන සිටි විවිධ වර්ගයේ පිළිකා ඇති වීමේ තරමක් ප්‍රබල ජානමය අවදානමක් තිබෙනවා," මහාචාර්ය ඇලන් පැවසීය.

ලන්ඩන් ඉම්පීරියල් කොලේජ්හි මහජන සෞඛ්‍ය අධ්‍යයන ආයතනයේ වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය පෝල් එලියට් පැවසුවේ, ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූවන්ගේ විශාල ස්කෑන් ගබඩාව අපගේ ජාන සහ පරිසරය රෝග අවදානමට බලපාන ආකාරය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කරන බව ය.

"ඒක, ජාතික සෞඛ්‍ය සේවාවට මිනිසුන්ගේ අවසරය මත ඔවුන්ගේ සෞඛ්‍ය වාර්තා මඟින් ඔවුන් ගැන පසු විපරම් කිරීමේ හැකියාව ඇතිව සකසා තිබෙනවා. ඒක රාජ්‍ය අරමුදල් මත සිදු කරන පර්යේෂණවල ප්‍රතිලාභ පිළිබඳ පූර්ව නිදසුනක්," ඔහු පැවසීය.

UK Biobank මේ ආකාරයේ අධ්‍යයනයන් සඳහා ජාත්‍යන්තර "රන් ප්‍රමිතිය" බවට පත්ව ඇතැ යි ඔහු පැවසීය.

රූපකරණ ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලබන්නේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය, වෙල්කම් ට්‍රස්ට්, බ්‍රිතාන්‍ය හෘද පදනම, එක්සත් රාජධානියේ ඩිමෙන්ෂියා ප්ලැට්ෆෝම්, කැලිකෝ, සහ චන් සකර්බර්ග් ඉනිෂියෙටිව් යන ආයතන විසිනි.