මිනිසුන් ස්වභාවයෙන් ම නැඹුරු එක් සහකරුවෙකු පමණක් ඇසුරු කිරීමට ද? එය හොඳ ම ක්‍රමය ද?

Dancing wedding cake figurines

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, CrowdScience වැඩසටහන
    • Role, බීබීසී ලෝක සේවය

Dating Apps මගින් නිමක් නැති විකල්ප ලබා දෙන සහ සම්බන්ධතාවලට ඇති නම් අඛණ්ඩව වෙනස් වන ලෝකයක, මිනිසුන් ස්වභාවයෙන් ම නැඹුරු එක් සහකරුවෙකු පමණක් ඇසුරු කිරීමට ද යන ප්‍රශ්නය කවරදාටත් වඩා අදාළ බව හැඟේ.

ලන්ඩනයේ ජීවත් වන රුමේනියානු ජාතික ඇලීනා ද එකවර සහකරුවන් කිහිප දෙනෙකු ඇසුරු කිරීමේ (polyamory) අත්දැකීම ලැබීමෙන් පසු ඒ ගැන කල්පනා කළා ය. බහුපුද්ගල සබඳතා (polyamory) යනු, සියලු ම පාර්ශවයන්ගේ පූර්ණ දැනුම හා කැමැත්ත ඇතිව එකවර සහකරුවන් හෝ සහකාරියන් කිහිප දෙනෙකු සමග සම්බන්ධතා පැවැත්වීම ය.

"මට මෑතකදී මුල ඉඳලා ම එකපාර සහකරුවන් කිහිප දෙනෙක් සමීපව ආශ්‍රය කරන කෙනෙක් හම්බ වුණා," ඇය පැහැදිලි කරයි. "මට දැනගන්න ඕන වුණා: ඇයි අපි සමාජයක් විදිහට එක සහකරුවෙක් විතරක් ඇසුරු කරන තැනක නතර වුණේ කියලා?"

අපගේ පරිණාමීය ගමන්මග තේරුම් ගැනීමට ඇති එක් ක්‍රමයක් නම් අපට සමීපතම ප්‍රිමාටා ඥාතීන් සහ ඔවුන්ගේ ප්‍රජනනය සිදුවුණු ආකාර ගැන අධ්‍යයනය කිරීමයි.

"ගෝරිල්ලන්ට සහකාරියන් කිහිප දෙනෙක් හිටියා. ඒ කියන්නේ, එක පිරිමි සතෙක් ගැහැනු සතුන් කිහිප දෙනෙක් එක්ක සංවාසයේ යෙදෙනවා," එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාඥ ආචාර්ය කිට් ඕපී පවසයි. "එතකොට, මේ කණ්ඩායම තුළ ඉන්න පැටවුන් හැම කෙනෙකුට ම එක පිරිමි සතෙක් පියා වෙනවා, හැබැයි අම්මලා වෙන ගැහැනු සතුන් කිහිප දෙනෙක් ඉන්නවා."

නමුත් මෙය ඵලදායී ප්‍රජනන උපාය මාර්ගයක් නොවන්නේ යැයි ආචාර්ය ඕපී පැහැදිලි කරන්නේ එය පැටවුන් මරා දැමීමේ අනුපාතය ඉහළ යාමට හේතු වන බැවිනි.

"පැටවු මරල දාන එක ගෝරිල්ලන්ගේ ජීවිතයේ තියෙන භයානක පැත්තක්," ඔහු පවසයි. "ඒක වෙන්නේ, පිරිමි ගෝරිල්ලන් තමන්ගේ නොවන පැටවු මරලා දාද්දි. එතකොට ඒ පැටවුන්ගේ අම්මල එක්ක පිරිමි ගෝරිල්ලන්ට ඉක්මනට සංවාසයේ යෙදෙන්න පුළුවන් වෙනවා. ඒක අපි අනුකරණය කරන්න කැමති පරිණාමීය උපාය මාර්ගයක් නොවෙන්න පුළුවන්."

Bonobos hugging each other (Pan paniscus). Lola Ya Bonobo Santuary, Democratic Republic of Congo. Oct 2010.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පැටවුන්ගේ පියා කවුරුන් ද යන්න හඳුනා ගැනීම අපහසු වීමට සහ පැටවුන් මරා දැමීම වැළැක්වීමට ගැහැනු බොනෝබෝස් සත්වයෝ පිරිමි සතුන් කිහිප දෙනෙකු සමග සංසර්ගයේ යෙදෙති

නමුත් චිම්පන්සියන් සහ බොනෝබෝස් වැනි මිනිසුන්ට වඩා ත් සමීපව සම්බන්ධ අනෙකුත් වානරයන් අතර, ගැහැනු සත්වයෝ වෙනස් පරිණාමීය උපක්‍රමයක් වර්ධනය කර ගත්හ. ගැහැනු සතුන් පිරිමි සතුන් කිහිප දෙනෙකු සමග සංවාසයේ යෙදෙන අතර, එමගින් පියා කවුරුන් ද යන්න ව්‍යාකූල වී ඔවුන්ගේ පැටවුන්ට හානි වීමේ සම්භාවිතාව අඩු වේ.

මිනිසුන් ද බොහෝ විට ඊට සමාන සමාජ පද්ධතියකින් ඇරඹිණි. එනම්, බහු-පුරුෂ, බහු-ස්ත්‍රී ලෙස සේවනයේ යෙදිණි. නමුත් වසර මිලියන දෙකකට පමණ පෙර, දේවල් වෙනස් විය.

"ඒකට හේතුව දේශගුණික විපර්යාස," ආචාර්ය ඕපී පවසයි.

"අපේ මුතුන් මිත්තන් ජීවත් වුණු උපසහරා අප්‍රිකාවේ, පොළොව වියළිලා ගිහින් විශාල කොටසක් ගස් නැති තැනිතලා තණ බිම් බවට පත් වුණා. විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමට ආදි මානවයින්ට විශාල කණ්ඩායම් වශයෙන් සිටීමට සිද්ධ වුණා. මේ විශාල සංකීර්ණ කණ්ඩායම් එක්ක කටයුතු කරන්න මොළය විශාල වූ අතර ඒ නිසා කිරි දෙන කාලය දීර්ඝ කරන්න සිද්ධ වුණා."

නමුත් මෙම විශාල කණ්ඩායම්වල පිරිමින් ඕනෑවට වඩා සිටීම නිසා, පීතෘත්වය ව්‍යාකූල කිරීම දුෂ්කර කාර්යයක් විය.

"ඒ වගේ ම, ගැහැනු සතුන්ට තමන්ගේ පැටවුන් ඇති දැඩි කිරීම කරන්න ඒ පිරිමි සතුන්ගෙන් කෙනෙකුගේ උදව් අවශ්‍ය වුණා. ඒ නිසා, ඔවුන් ඒක සහකරුවෙක් එක්ක විතරක් සංවාසයේ යෙදෙන්නේ පුරුදු වුණා."

එක් සහකරුවෙකු පමණක් ඇසුරු කිරීම (monogamy) හොඳ ම ක්‍රමය ද?

ආචාර්ය ඕපීට අනුව, මෙම වෙනස අවශ්‍ය වූයේ එක් සහකරුවෙකු හෝ සහකාරියක පමණක් ඇසුරු කිරීම (monogamy) "වඩා යහපත්" නිසා නොව, එය එක ම ශක්‍ය විකල්පය වූ බැවිනි.

Happy family with two daughters hugging their mother and bonding at home.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශාල මොළයක් ඇති, වර්ධනය මන්දගාමීව සිදුවන මිනිස් ළදරුවන් ඇති දැඩි කිරීම, එක් සහකරුවෙකු පමණක් ඇසුරු කිරීම මිනිසුන්ට වඩාත් ම ශක්‍ය විකල්පය බවට පත් විය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විශාල මොළයක් ඇති, වර්ධනය මන්දගාමීව සිදුවන මිනිස් ළදරුවන් ඇති දැඩි කිරීම, එක් සහකරුවෙකු පමණක් ඇසුරු කිරීම මිනිසුන්ට වඩාත් ම ශක්‍ය විකල්පය බවට පත් විය.

විශාල මොළයක් ඇති, වර්ධනය මන්දගාමීව සිදුවන මිනිස් ළදරුවන් ඇති දැඩි කිරීම සඳහා මවකට සාමාන්‍යයෙන් තනිව ම කළමනාකරණය කළ හැකි ප්‍රමාණයට වඩා විශාල සහයක් අවශ්‍ය විය.

නමුත් පර්යේෂණවලින් පෙනී යන්නේ, ආදී මානවයින් එක් සහකරුවෙකු පමණක් ඇසුරු කිරීමට පරිණාමය වූ නමුත් එලෙස ජීවත් වීමට තෝරා ගන්නා පුද්ගලයින් බොහෝ විට එක් සහකරුවෙකුට පමණක් විශ්වාසවන්තව සිටීමට අරගල කරන බව ය.

"ජීවිත කාලය පුරා ම එක සහකරුවෙක් එක්ක විතරක් ඉන්න විශේෂ ඉන්නවා. ඔවුන් වංචා කරන්නේ නැහැ. හැබැයි එහෙම අය දුර්ලභයි," ආචාර්ය ඕපී පවසයි.

"එක සහකරුවෙක් විතරක් ඇසුරු කරන අපේ සමීපතම ඥාතීන් තමයි ගිබන්ලා. හැබැයි ගිබන්ලා අනිත් යුවළවලින් වෙන් වෙලා ඉන්න නිසා පිරිමි සහ ගැහැනු සත්වයින්ට තමන් ඉන්න පැත්තට පිටස්තරයින් එනවා ද කියලා බලන්න ලේසියි."

"නමුත් ඔබ මිනිස්සු වගේ විශාල බහු-පිරිමි, බහු-ස්ත්‍රී කණ්ඩායමක ඉන්නකොට, ඔබට ඔබේ සහකරු වංචා කරනවා ද නැද්ද කියන එක හොයලා බලන්න අමාරුයි."

මේ අර්ථයෙන් ගත් කල, එක් සහකරුවෙකු පමණක් ඇසුරු කිරීම යනු, ස්වාභාවිකව උරුම වන්නක් නොවන අතර එය හුදෙක් පැවැත්ම සඳහා වන උපාය මාර්ගයකි. එය ඊට ආවේණික වූ අඩුපාඩු සමග පැමිණෙන්නකි.

බැඳීම් පිළිබඳ විද්‍යාව

එසේ නම්, අප ආදරයෙන් බැඳෙන විට හෝ විශ්වාසවන්තව සිටීමට අරගල කරන විට අපගේ මොළයේ සිදුවන්නේ කුමක් ද?

ඇමෙරිකා එක්සත් ජනපදයේ එමරි විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක වන සාරා බ්ලූමෙන්තාල්, ප්‍රෙයරි නමැති මීයන් විශේෂයක් ගැන අධ්‍යයනය කරයි. එම මීයන් මිනිසුන්ට සමාන දිගු කාලීනව යුගල වශයෙන් ජීවත් වීම සඳහා ප්‍රසිද්ධ කුඩා, ලොම් සහිත ජීවීන් විශේෂයකි.

Three prairie voles

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රෙයරි වෝල් මීයන්ගේ මොළයේ සතුට උපදවන ස්ථානවල ඔක්සිටොසින් ප්‍රතිග්‍රාහක ඉහළ මට්ටමක පවතී

එක් සහරුවෙක් පමණක් ඇසුරු නොකරන වෝල් ඥාති සහෝදරයන් මෙන් නොව, ප්‍රෙයරි වෝල් මීයන්ගේ මොළයේ සතුට උපදවන ස්ථානවල ඔක්සිටොසින් ප්‍රතිග්‍රාහක ඉහළ මට්ටමක පවතී.

බොහෝ විට "cuddle hormone" ලෙස හැඳින්වෙන ඔක්සිටොසින් භෞතික ස්පර්ශ සහ කෙනෙකු සමග ආදරයෙන් ගත කරන විට මොළයෙන් මුදා හරින ස්නායු රසායනික ද්‍රව්‍යයකි.

"අපි ප්‍රෙයරි වෝල් මීයන්ගේ ඔක්සිටොසින් සංඥා අත්හදා බැලීම් විදිහට අවුල් කළොත්, අපිට බලා ගන්න පුළුවන් උන්ට ශක්තිමත් බැඳීම් ඇති කර ගන්න බැහැ වගේ ම, උන් තමන්ගේ සහකරුවා එක්ක ගත කරනේ අඩු කාලයක් කියලා," බ්ලූමෙන්තාල් පවසයි.

Shot of a man at the beach with his two female friends

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොපමීන් මගින් අප නව අත්දැකීම් ලබා ගැනීමට පෙළඹීමට ඇති ආශාව හා යම් සම්බන්ධයක් වෙනුවෙන් කැපවීම අතර ඇති වෙනස්කම් පැහැදිලි කළ හැකි ය

මිනිසුන්ට ඊට සමාන ඔක්සිටොසින් පද්ධති ඇති අතර, එයින් ඇඟවෙන්නේ අපගේ මොළය නිර්මාණය වී ඇත්තේ කෙනෙකු සමග අප ආදරයෙන් බැඳෙන විට එය සතුටක් ලෙස අත්විඳීමට බව ය.

නමුත් තවත් රසායනික ද්‍රව්‍යයක් වන ඩොපමීන් මගින් අප නව අත්දැකීම් ලබා ගැනීමට පෙළඹීමට ඇති ආශාව හා යම් සම්බන්ධයක් වෙනුවෙන් කැපවීම අතර ඇති වෙනස්කම් පැහැදිලි කළ හැකි ය.

සම්බන්ධයක මුල් අවධියේදී, ඩොපමීන් මොළය පුරා පැතිරී, ආකර්ෂණය සහ විවෘතභාවය ඇති කරයි. බැඳීම ස්ථාපනය වූ පසු, ඩොපමීන් රටා වෙනස් වේ.

ස්වාමිපුරුෂයන් කිහිප දෙනෙකු සිටින කාන්තාවන්

එක් සහකරුවෙකු පමණක් සිටිය යුතුයි යන පරිණාමීය තර්කය තිබියදීත්, මානව සංස්කෘතීන් සෑම විට ම පුළුල් පරාසයක සම්බන්ධතා ආකාර ප්‍රදර්ශනය කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි චිකාගෝ විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥ ආචාර්ය කේටි ස්ටාර්ක්වෙදර්ට, නේපාලය සහ ආසියාවේ ටිබෙටයේ සිට අප්‍රිකාවේ සහ ඇමෙරිකාවේ සමහර ප්‍රදේශ දක්වා ලොව පුරා කාන්තාවකට බහු ස්වාමිපුරුෂයන් සිටින බහු පුරුෂ සේවනය පිළිබඳ අවස්ථා 50කට වඩා හමු විය.

Two young men kissing a woman's cheek

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවකට ස්වාමිපුරුෂයන් කිහිප දෙනෙකු සිටින බහු පුරුෂ සේවනය (Polyandry), එක් පිරිමියෙකුට බහු භාර්යාවන් සිටින බහු භාර්යා සේවනයට (polygyny) වඩා සංඛ්‍යාත්මකව අඩු ය

බහු භාර්යා සේවනයට (polygyny) වඩා බහු පුරුෂ සේවනය (polyandry) සංඛ්‍යාත්මකව අඩු වුව ද, ස්ටාර්ක්වෙදර් එය පිළිගත නොහැකි දෙයක් ලෙස සැලකීමට එරෙහිව අනතුරු අඟවයි.

"කාන්තාවන්ට සහකරුවන් කිහිප දෙනෙක් ඉන්න එක ආර්ථික වශයෙන් වාසියි. ඔබ ප්‍රමුඛ කොට සලකන සැමියා මිය ගියොත්, එහෙමත් නැත්නම් ඔහු දිගු කාලයක් දුරස් වෙලා හිටියොත් - සමහර ස්වදේශික උතුරු ඇමෙරිකානු කණ්ඩායම්වල සිදු වුණා වගේ - ඔබට විකල්පයක් තියෙන එක ඇත්තට ම හොඳයි," ඇය පවසයි.

ඇතැම් අවස්ථාවලදී, එක් සහකරුවෙකුට පමණක් සීමා නොවන සම්බන්ධතාවලදී ජානමය වාසි ද අත් වී තිබේ.

"මිනිස්සු ගොඩක් අසනීප වෙලා අසනීපවලින් මැරෙන පරිසරයක, ජානමය සැකැස්ම තරමක් වෙනස් දරුවන් කිහිප දෙනෙක් ඉන්න එක ඔබට ඇත්තට ම වාසියක් වේවි," ස්ටාර්ක්වෙදර් පැහැදිලි කරයි. "ඔවුන්ගේ වර්තමාන පරිසරයට ඔවුන් තරමක් හොඳින් ගැළපෙනවා විය හැකියි."

නමුත් එක් සහකරුවෙකුට පමණක් සීමා නොවීම අභියෝගවලින් තොර නොවේ. සබඳතා කිහිපයක් එක වර පවත්වා ගැනීමට කාලය, චිත්තවේගීය ශක්තිය සහ සාකච්ඡා කර එකඟතාවලට එළඹීම අවශ්‍ය වනු ඇත.

"පිරිමියෙක් වුණත් ගැහැනියක් වුණත් සහකරුවන් කිහිප දෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වා ගෙන යන එක අතිශයින් දුෂ්කරයි. ආර්ථික වශයෙන් ඒක දුෂ්කරයි. චිත්තවේගීය වශයෙන් ඒක දුෂ්කරයි. එක් සහකරුවෙක් විතරක් ඉන්න එක තවමත් සංඛ්‍යාත්මකව වඩා ත් පොදු විවාහ ආකාරය වෙන්න ප්‍රධාන හේතුව ඒක කියලා මම හිතනවා," ස්ටාර්ක්වෙදර් පවසයි.

බහු ප්‍රේම සම්බන්ධතා සම්බන්ධ දෘෂ්ටිකෝණය

ඇලීනාට, ඇගේ පෙර සම්බන්ධතාවයේදී එක් සහකරුවෙකු පමණක් සිටි අතර එම සම්බන්ධය එතරම් සාර්ථක වූයේ නැත. දැන්, බහු ප්‍රේම සම්බන්ධතාවක සිටින ඇය, සංකීර්ණ හැඟීම් සමුදායක් අත්විඳින්නී ය.

"ඊර්ෂ්‍යාව හරි ම දුෂ්කර, යටපත් කරගන්න අමාරු දෙයක් වෙන්න පුළුවන්," ඇය පිළිගනී. "නමුත් මට පෞද්ගලිකව ඒක ඇති වෙන්නේ එයාලා අවංක නැහැ කියන හැඟීමත් එක්ක. හැබැයි එයාලා අවංකයි කියලා දැනගත්ත ගමන් ම ඊර්ෂ්‍යාව නැති වෙලා යනවා."

Backs of young men and woman standing in line on grass, hugging each other.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් පුද්ගලයින්ට, එක් සහකරුවෙකුට පමණක් සීමා නොවීම මානසික නිදහස සහ ආර්ථික නම්‍යශීලීභාවය ලබා දෙයි

ඇගේ සහකරු ඊට එකඟ වේ: "මම කියන්නේ, ඊර්ෂ්‍යාව නෙමෙයි ඇත්තටම ලොකු ම ප්‍රශ්නය කියලා. සම්බන්ධතා කිහිපයක් හොඳින් පවත්වා ගන්න ගතවන කාලය හා වගුරුවන ශ්‍රමය තරමක් වැඩියි කියලා මම කියනවා."

එහෙත් ඔවුන් දෙදෙනා ම පවසන්නේ එය වටිනා බව ය. "මෙහෙමයි කියලා නීති නැහැ," ඇලීනා පවසයි. "ඒකෙදි ඔයාට වෙනත් සම්බන්ධතාවලදී කරන්න බැරි සංවාද කරන්න බල කරනවා - ඒක අපේ සම්බන්ධය ශක්තිමත් කරලා තියෙන්නේ."

ඉතින්, අපි ස්වභාවයෙන් ම නැඹුරු එක් සහකරුවෙකු පමණක් ඇසුරු කිරීමට ද? පිළිතුර ඔව් සහ නැත යන දෙක ම බව පෙනේ.

සංස්කෘතීන් සහ ඉතිහාසය පුරා, මිනිසුන් ඔවුන්ගේ සමාජ, ආර්ථික සහ පාරිසරික තත්ත්වයන්ට ගැළපෙන පරිදි විවිධ සම්බන්ධතා ආකෘති ගොඩනගා ගෙන ඇත. ඇතැම් පුද්ගලයින්ට, එක් සහකරුවෙකුට පමණක් සීමා නොවීම මානසික නිදහස සහ ආර්ථික නම්‍යශීලීභාවය ලබා දෙයි. අනෙක් අයට, ආදරය කිරීමට ඇති සරල ම, පහසුවෙන් ම කළමනාකරණය කළ හැකි ක්‍රමය එක් සහකරුවෙකුට පමණක් සීමා වීමයි.

"මිනිසුන් නම්‍යශීලී වෙන්න පරිණාමය වෙලා තියෙන්නේ. ඒකට අප සබඳතා පවත්වන ආකාරය සහ අප විවාහ වන ආකාරයත් ඇතුළත්," කේටි ස්ටාර්ක්වෙදර් පවසයි. "අපි පෘථිවියේ සෑම ආකාරයක ම පරිසරයක ජීවත් වෙනවා, ඒ අපට ඇති නම්‍යශීලීභාවය සහ හැසිරීම නිසා."