වෙනත් කෙනෙකුගේ අසූචි ඔබ ඔබේ සිරුරට ඇතුළු කර ගන්නේ ඇයි?

A man looking at the camera - beside him is a graphic image that looks like bad bacteria in the gut.

ඡායාරූප මූලාශ්‍රය, Rick Dallaway/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රික් සායනික පරීක්ෂණයක කොටසක් ලෙස සතිපතා මලපහ බද්ධ කිරීම් (faecal transplants) සඳහා සම්බන්ධ විය
    • Author, සුනෙත් ​​පෙරේරා
    • Role, බීබීසී ලෝක සේවය

"මලපහ බද්ධ කිරීම පිළිබඳ සමස්ත අදහස ම ඇත්තට ම අමුතු එකක්," යැයි රික් ඩලවේ පවසන්නේ, පරිත්‍යාග කරන ලද මලපහ සම්බන්ධ සායනික අත්හදා බැලීමකට සම්බන්ධ වීමට තමාට ප්‍රථම වරට ආරාධනා කළ මොහොත ගැන මෙනෙහි කරමිනි.

50-හැවිරිදි ඔහු එංගලන්තයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ සතිපතා මල බද්ධ කිරීමේ මාස දෙකක වැඩසටහනක් අවසන් කළේ, ප්‍රාථමික ස්ක්ලෙරෝසින් කොලන්ජයිටිස් (PSC) නම් දුර්ලභ නිදන්ගත අක්මා රෝගයේ රෝග ලක්ෂණ කළමනාකරණය කර ගැනීමේ අපේක්ෂාවෙනි.

"ඒක නිකම් ම නිකම් අසූචි ටිකක් නෙවෙයි," බද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කළ අවස්ථාවේ ඔහු සිනාසෙමින් පැවසීය. "ඒවා රසායනාගාරයක් තුළදී පිරියම් කරලා තියෙන්නේ."

මේ මොහොතේ, රික්ගේ දුර්ලභ රෝගී තත්ත්වයට අවසන් අදියරේදී සිදු කරන අක්මා බද්ධ කිරීමක් හැර වෙනත් ප්‍රතිකාරයක් නොමැත. එම රෝගී තත්ත්වය එක්සත් රාජධානියේ පුද්ගලයන් 100,000කින් හයේ සිට හත දක්වා පිරිසකට බලපාන අතර ආයු අපේක්ෂාව ද අවුරුදු 17 සිට 20 දක්වා කෙටි කරනු ලබයි.

රික්ගේ රෝගී තත්ත්වය හඳුනා ගත්තේ, මීට වසර අටකට පෙර, එනම්, ඔහුගේ වයස අවුරුදු 42දී ය.

"මට මහ බයක් දැනුණා, අනාගතය ගැන සෑහෙන කම්පා වුණා," ඔහු සිහිපත් කරයි. "ඒක හරියට පර්වතයක් මුදුනේ ඉඳන් පහළට ඇදගෙන වැටෙනවා වගේ දෙයක්."

මලපහ බද්ධ කිරීම (poo transplant) යනු කුමක් ද?

A picture of a few faecal samples and a syringe used to draw them up for administration

ඡායාරූප මූලාශ්‍රය, MTC/University of Birmingham

ඡායාරූප ශීර්ෂ වැකිය, මලපහ බද්ධ කිරීම සඳහා, ශීත කළ මලපහ හිමාහරණය කර, පෙරා, සිරින්ජයකට දමනු ලැබේ

මලපහ බද්ධ කිරීම ලෙස ද හැඳින් වෙන ෆීකල් මයික්‍රොබයෝටා ට්‍රාන්ස්ප්ලාන්ට්, බොහෝ විට සායනික අත්හදා බැලීම්වල කොටසක් ලෙස බඩවැල් ආශ්‍රිත රෝග ඇති රෝගීන් සඳහා රටවල් කිහිපයක ම භාවිත වේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සෞඛ්‍ය සම්පන්න මලපහ පරිත්‍යාගශීලීන් පරීක්‍ෂා කර, ඔවුන්ගේ මලපහ සාම්පලවලින් බඩවැල්වල අන්තර්ගත බැක්ටීරියා ලබාගෙන සාමාන්‍යයෙන් කොලනොස්කොපි (colonoscopy), එනමා (enema) හෝ නේසොගැස්ට්‍රික් නල (nasogastric tube) හරහා රෝගියාගේ අන්ත්‍රයට බද්ධ කරනු ලැබේ.

රික් PSC රෝගී තත්ත්වය සඳහා අත්හදා බැලීමේ පදනමක් මත ප්‍රතිකාර ලබා ගත් නමුත්, National Institute for Health and Care Excellence (NICE) මාර්ගෝපදේශයන්ට අනුව, මේ මොහොතේ එක්සත් රාජධානියේ එය විධිමත් ලෙස නිර්දේශ කර ඇත්තේ, එක් රෝගී තත්ත්වයක් සඳහා පමණි.

දරුණු ක්ලොස්ට්‍රිඩියම් ඩීෆීසීල් (Clostridium difficile) ආසාදනයක් ඇති රෝගීන්ට එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) හරහා මෙම ප්‍රතිකාරය ලබා ගත හැක. ක්ලොස්ට්‍රිඩියම් ඩීෆීසීල් (Clostridium difficile යනු, පාචනය ඇති කළ හැකි හානිකර බැක්ටීරියාවක් වන අතර, දිගු කාලයක් තිස්සේ ප්‍රතිජීවක භාවිත කරන පුද්ගලයින්ට එය බොහෝ විට බලපායි.

මිලිලීටර 50 දියර FMT සාම්පලයක් සඳහා ජාතික සෞඛ්‍ය සේවයට වැය වන්නේ පවුම් 1300ක් (ඇමෙරිකානු ඩොලර් 1684) පමණක් වන අතර විශේෂඥයින් පවසන්නේ, එය නැවත නැවත ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට සහ රෝහල් ප්‍රතිකාර සඳහා වැය වන පිරිවැයට වඩා අඩු අගයක් ගන්නා බව ය. ඇතැම් රෝගී තත්ත්ව සඳහා, FMT ලබා දිය යුත්තේ එක් වරක් පමණි.

ඇතැම් රෝහල් මගින් මිනිස් මලපහවල ඇති සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියාවලින් සාදනු ලබන, මුඛය හරහා ගත යුතු කරල් ද ලබා දේ.

මලපහ

නව අක්මාවක්, වකුගඩුවක් හෝ හදවතක් අවශ්‍ය පුද්ගලයින් සුදුසු පරිත්‍යාගශීලියෙකු සොයා ගැනීමට මාස කිහිපයක් හෝ වසර ගණනාවක් බලා සිටිය හැකි ය.

වෙනත් කෙනෙකුගේ අසූචි පිළිබඳ අදහස ඇතමෙකු අපහසුතාවට පත් කළ ද මිනිස් මලපහ මෙම අත්‍යවශ්‍ය අවයව මෙන් නොව, බහුලව පවතින්නකි.

නමුත් එහි ඇති අසාමාන්‍ය බව නොතකා රික් විද්‍යාව කෙරෙහි විශ්වාසය තබයි. සිය ගමනේදී ඔහුගේ බිරිඳ සහ මිතුරන් ද ඔහුට සහයෝගය දක්වා ඇත.

"එහෙම අපහසු බවක් හරි කම්පනයක් හරි නැහැ," රික් පවසයි. "'හරි යන්න පුළුවන් නම්, ඇයි නොකර ඉන්නේ?' ඒක තමයි මට යාළුවන්ගෙන් සහ ගෙදර අයගෙන් ලැබුණු ප්‍රතිචාරය."

අසූචි බැංකු

An image of a scientist accessing faecal samples stored in a freezer.

ඡායාරූප මූලාශ්‍රය, MTC/University of Birmingham

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞඛ්‍ය සම්පන්න මලපහ සාම්පල බර්මින්හැම්හි Microbiome Treatment Centreහි -80°C උෂ්ණත්වයක් යටතේ අධිශීතකරණයක ගබඩා කර තිබේ

බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ Microbiome Treatment Centre (MTC), ක්ලොස්ට්‍රිඩියම් ඩීෆීසීල් ආසාදන සඳහා රෝගීන් සිය ගණනකට ආරක්ෂිතව ප්‍රතිකාර කිරීමට සහ පර්යේෂණ පරීක්ෂණ පැවැත්වීමට වෛද්‍යවරුන්ට මලපහ සාම්පල ලබා දෙමින්, එක්සත් රාජධානියේ ප්‍රථම තෙවන පාර්ශවීය FMT සේවා සැපයූ මධ්‍යස්ථානය විය.

මෙම මධ්‍යස්ථානයේදී, පරිත්‍යාගශීලීහු රෝග ඉතිහාසය පිළිබඳව සවිස්තරාත්මකව විමසා බැලීම, ජීවන රටාව තක්සේරු කිරීම සහ ඔවුන්ගේ රුධිරයේ සහ මලපහවල රෝග කාරක ඇතිදැයි හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ ඇතුළත් දැඩි පරීක්‍ෂණ ක්‍රියාවලියක් සඳහා භාජනය කෙරෙති.

හොඳින් පරීක්ෂා කිරීමෙන් පසුව, නිරෝගී මලපහ සාම්පල -80 °C උෂ්ණත්වයක් යටතේ ශීතකරණයක් තුළ මාස 12ක් දක්වා ගබඩා කර තබයි. රෝගියෙකුට මලපහ බද්ධ කිරීමක් අවශ්‍ය වූ විට, ශීත කළ පෙරන ලද මලපහ හිමාහරණය කර සිරින්ජයකට දමනු ලැබේ.

"මලපහ බැංකු නොමැති රටවල ඒක කරන එක දුෂ්කරයි. නමුත් ඇත්ත වශයෙන් ම, නිර්දේශය තමයි ශීත කළ FMT භාවිත කරන්න කියන එක. එතකොට මෙම පුද්ගලයින් නිසි ලෙස පරීක්ෂා කරන්න අවශ්‍ය කාලය ලැබෙනවා," Microbiome Treatment Centreහි අධ්‍යක්ෂ මහාචාර්ය තාරික් ඉක්බාල් බීබීසීයට පවසයි.

සාර්ථක දින 10ක පරිත්‍යාග කාලසීමාවක් අවසානයේ පරිත්‍යාගශීලීන්ගේ වියදම් ඔවුන්ගේ කැමැත්ත පරිදි පවුම් 200ක් වටිනා තෑගි කාඩ්පතකින් ආවරණය කෙරේ.

PSC රෝගී තත්ත්වයේදී FMTහි කාර්යභාරය

විශේෂඥයන් අනතුරු අඟවන්නේ රික් පරිදි ම PSC වැනි රෝගී තත්ත්වයන් ඇති රෝගීන්ගෙන් 70% සිට 80% අතර ප්‍රමාණයකට බඩවැල් ප්‍රදාහ රෝගය (IBD) ද ඇති විය හැකි බව ය. එය දරුණු උදර වේදනාවක් සහ පාචනය ඇති කළ හැකි දිගු කාලීන ප්‍රදාහ තත්ත්වයන් වන ක්‍රෝන්ගේ රෝගය (Crohn's disease) සහ අල්සරටිව් කොලයිටිස් (ulcerative colitis) වැනි රෝගී තත්ත්ව විස්තර කිරීමට භාවිත කරන යෙදුමකි.

රික් භාරව සිටින වෛද්‍යවරයා වන අක්මාව පිළිබඳ විශේෂඥ සහ ආමාශ ආන්ත්‍රයික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පලක් ත්‍රිවේදි පවසන්නේ, මිනිසුන්ට PSC රෝගය වැළඳෙන්නේ ඇයි ද යන්න හෝ ඊට IBD සමග ඇති සම්බන්ධය කුමක් දැයි විද්‍යාඥයින් නොදන්නා බව ය.

"අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ, බඩවැල්වල මලපහවල තියෙන සෞඛ්‍ය සම්පන්න ක්ෂුද්‍රජීවීන් අරගෙන PSC රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ අන්ත්‍රය තුළට මාරු කිරීම සහ එය ඔවුන්ගේ අක්මා රෝගයට බලපාන ආකාරය බැලීම යි," සහකාර මහාචාර්යවරයා පැහැදිලි කරයි.

Close-up of test tube medical samples a in laboratory.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පරිත්‍යාගශීලීහු රුධිර හා මලපහවල රෝග කාරක ඇතිදැයි සිදු කෙරෙන පරීක්ෂණ ඇතුළුව දැඩි පරීක්ෂාවට ලක් කෙරෙති

මලපහ බද්ධය පිළිබඳ මාර්ගෝපදේශ

මේ මොහොතේ, ඕනෑ ම රෝගී තත්ත්වයක් සඳහා ලබා දෙන පළමු ප්‍රතිකාර විකල්පය මලපහ බද්ධ කිරීම නොවන බව FMT පිළිබඳ විධිමත් මාර්ගෝපදේශ සැකසීම සඳහා දායක වූ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි ආමාශ ආන්ත්‍රයික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හොරෙස් විලියම්ස් පවසයි.

වෛද්‍ය විලියම්ස් අවධාරණය කරන්නේ, ජාතික සෞඛ්‍ය සේවය මගින් FMT ප්‍රතිකාරය ලබා දෙන්නේ, දරුණු ක්ලොස්ට්‍රිඩියම් ඩීෆීසීල් ආසාදන සඳහා මිස වෙනත් තත්ත්වයන් සඳහා නොවන බව ය. එමෙන් ම, වෙනත් හේතූ මත ප්‍රතිකාර ගැනීමට බලාපොරොත්තු වන රෝගීන්, රික් මෙන් සායනික පරීක්ෂණවලට සම්බන්ධ විය යුතු බවට ඔහු යෝජනා කරයි.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි ආමාශ ආන්ත්‍රයික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ British Society of Gastroenterology (BSG) මාර්ගෝපදේශවල ප්‍රධාන කර්තෘ ආචාර්ය බෙන්ජමින් මලිෂ් බීබීසීයට පවසන්නේ, බොහෝ දෙනෙකු එය තමන් විසින් ම සිදුකර ගැනීමට කටයුතු කරනු ලබන බව ත් එය අතිශයින් භයානක විය හැකි බව ත් ය.

දකුණු අප්‍රිකාවේ විට්වෝටර්ස්රෑන්ඩ් (Wits) විශ්වවිද්‍යාලයේ Steve Biko Centre for Bioethicsහි වෛද්‍ය ආචාර්ධර්ම පිළිබඳ ප්‍රවීණයෙකු වන ආචාර්ය හැරියට් එතරෙජ් පෙන්වා දෙන්නේ, පළපුරුදු වෘත්තිකයන් සහ පැහැදිලි මාර්ගෝපදේශ නොමැතිව FMT හානිකර විය හැකි බව ය, "විශේෂයෙන් සෞඛ්‍ය ආරක්ෂණ සම්පත් විසිරිලා තියෙන දුප්පත් රටවල."

ඉතා විරල අවස්ථාවන්හිදී මෙම ප්‍රතිකාරය මරණයට පවා හේතු වී තිබේ.

ඥාතියෙකුගේ මලපහ ද නාඳුනන කෙනෙකුගෙන් මලපහ ද?

එක්සත් ජනපදය සහ යුරෝපය හැරුණු විට, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල අත්හදා බැලීමේ පදනමක් මත FMT සිදු කර ඇත.

අසූචි කෙරෙහි ඇති පිළිකුල මෙන් ම විවිධ සංස්කෘතික, සමාජයීය සහ ආගමික විශ්වාසයන් හේතුවෙන් ඇතැම් රෝගීන් මෙම ප්‍රතිකාරය පිළිගැනීමට මැලි වී ඇත.

"මිනිස්සු සමහර වෙලාවලදී මෙම ප්‍රතිකාරයට ඉතා අමනෝඥ ලෙස ප්‍රතිචාර දක්වනවා වගේ ම වෛද්‍යවරයා විහිළු කරනවා හෝ ඇත්තක් නෙමෙයි කියන්නේ කියලා ඒ අය හිතනවා," ඉන්දියාවේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ අක්මා ආමාශ ආන්ත්‍රයික රෝග සහ අග්න්‍යාශයික බිලියරි විද්‍යා පිළිබඳ ආයතනයේ ආචාර්ය පියුෂ් රන්ජන් පවසයි.

A male doctor in a protective gown is performing a colonoscopy on an elderly man in the hospital, with a nurse providing comfort to the patient.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, FMT සාමාන්‍යයෙන් සිදු කරන්නේ, කොලනොස්කොපි (colonoscopy), එනමා (enema) හෝ නේසොගැස්ට්‍රික් නල (nasogastric tube) හරහා ය

සිය අත්දැකීම් ඇසුරෙන් අදහස් දක්වන ආචාර්ය රන්ජන් පවසන්නේ, ඇතැම් රෝගීන් මුළුමනින් ම පාහේ ආගන්තුකයෙකුට (ආගන්තුකයා පරීක්ෂාවට ලක් කර නිරෝගීව සිටිය ද) වඩා ඥාතීන්ගෙන් මලපහ ලබා ගැනීම "තරමක් දුරට සුදුසු" බව ය.

අනෙක් අතට, Crohn's and Colitis UK පුණ්‍ය ආයතනයේ සාමාජිකයින් 200කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් සිදුකළ මත විමසුමකින් සොයා ගත්තේ, දන්නා කෙනෙකුට වඩා පරීක්ෂාවට ලක් කළ නොදන්නා අයෙකුගෙන් මලපහ ලබා ගැනීමට බහුතරයක් කැමැත්තක් දක්වන බව ය.

එම ප්‍රශ්නාවලියෙහි ම, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 37%ක් මුලදී කියා සිටියේ තමන් මලපහ බද්ධයක් පිළිනොගන්නා බව ය. නමුත්, ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර දැනගැනීමෙන් පසුව, මෙම අගය 54% දක්වා ඉහළ ගියේ ය.

"අධ්‍යාපනය සෑම විට ම බොහෝ බාධක බිඳ දමනවා," අධ්‍යයනය සිදු කළ ආචාර්ය බ්‍රෙට් පාමර් බීබීසීයට පැවසීය.

රික් බලාපොරොත්තු වන්නේ ඔහු භාජනය වුණු පරීක්ෂණය ඔහුගේ දුර්ලභ රෝගී ත්තත්වය සුවපත් කිරීමට මග පාදනු ඇති බව ය.

"මීට වසර 10කට කලින් කවුරු හරි මට කිව්වා නම් මිනිස් මලපහ මගින් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් කියලා, මම එක කිසිසේත් විශ්වාස කරන එකක් නැහැ," ඔහු පවසයි. "නමුත් දැන්, ඒක යථාර්ථයක් වගේ ම, සිද්ධ වෙමින් තියෙන්නේ."