දෑතින් මළපහ අදින කසළ ශෝධකයෝ

දශක දෙකක් තිස්සේ සුදාරක් ඔල්වේ ඉන්දියාවේ මුම්බායි නුවර සිටින කසල ශෝධකයන් ගේ ජීවිතය පිළිබඳව වාර්තා කරමින් සිටී.
මේ වෘත්තීය ඉතා දුක්බර මට්ටමක පවතී. එය පීඩිත කුලවලට පමණක් වෙන් වූ රැකියාවකි. ඔවුහූ සමාජයෙන් කොන් වී දිවි ගෙවති.
ඉන්දියාව ආර්ථික, සමාජයීය, සහ තාක්ෂණය අතින් ඉදිරියට පැමිණ ඇති නමුත් මේ කසල ශෝධකයන් ගේ ජීවිත තවමත් වෙනස් වූ බවක් නම් පෙනෙන්නට නැත.
'වෝටර්ඒඩ්' (WaterAid) ආයතනය වෙනුවෙන් සුදාරක් ඔල්වේ ගේ කැමරාවට හසුවූ මෙම ඡායාරූප ප්‍රසිද්ධ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද, අගහරුවාදා ට (නොවැම්බර් 19) යෙදුණු ලෝක වැසිකිලි දිනය හා සමගාමීව ය.

මෙහි දැක්වෙන්නේ වල්මිකි ප්‍රජාවට අයත් කසළ ශෝධකයන් පිරිසකි.
ඉන්දියාවේ අමාන්ගන්ජ්, පන්නා සහ මධ්‍ය ප්‍රදේශ් හි පවතින 'වියළි වැසිකිළි' පිරිසිදු කිරීම ඔවුන්ට පැවරී ඇති රාජකාරිය යි.
ඒ තුළ පවතින මළපහ මොවුන් විසින් ඉවත් කරනු ලබන්නේ දෑතිනි.

"මේ පළාතේ තියෙන කිසිම හෝටලයකින් අපට තේ එකක්වත් බොන්න අවසර නැහැ." බේටිබායි වල්මිකි පැවසීය.
"පොඩි තේ කඩේකට ගියත් අපිට තේ දෙන්නේ පාවිච්චි කරලා විසි කරන ප්ලාස්ටික් කෝප්පයක. අනිත් අය බොන කෝප්ප අපට දෙන්නේ නැහැ."
මේ කාන්තාවන්ගෙන් බහුතරයක් මැලේරියාව සහ ඇදුම රෝගයෙන් පෙළෙති. නමුත් ඔවුනට සෞඛ්‍ය පහසුකම් නොමැත.
රෝගී තත්වයක් මත රැකියාවට වාර්තා නොකළහොත් එදිනට වැටුප් නොලැබේ.

මුකෙශ්දේවී හතළිස් දෙහැවිරිදි ය.
ඇය මෙම ඡායාරූපයට පෙනී සිටින්නේ ඇයගේ ස්වාමිපුරුෂයා, නැන්දනිය සහ දරු මුණුබුරන් සමඟ ය.
උත්තර් ප්‍රදේශ් හි දිවි ගෙවන ඇයගේ මාසික වැටුප ඉන්දීය රුපියල් 2,000ක් පමණි.

"අපිට ඉතින් වෙන දෙයක් නැහැනේ" ඇය පැවසුවාය.
"අපි කඩයක් දා ගත්තත් කවුරුවත් අපෙන් බඩු ගන්නේ නැහැ, අපි වල්මිකි ලා නිසා."

සන්තෝෂ් දෙදරු පියෙක්. සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ දිවි ගෙවන්නේ අමන්ගාන්ජ් නුවර ය. මුළු පවුලම කසල ශෝධකයෝ වෙති.
1992 දී ඛේදජනක අනතුරක් සිදු විය. මළපහ සහිත ටැංකියක් හිස් කිරීමට සන්තෝෂ්ට සහ තවත් අයෙකුට පැවිරිණි. ඔවුනට කලින් දැනුම් දුන් ප්‍රමාණයට වඩා මෙම ටැංකිය ගැඹුරු විය.
දෙදෙනා ම ඒ තුළ ගිලුණි. සන්තෝෂ් ගේ දිවි බේරා ගැනුණි. අනෙක් සේවකයා මරණයට පත් විය.
සන්තෝෂ් ගේ දිවි බේරුනත් සිය දෙනෙතට හානි සිදු විය. නමුත් කිසිදු වන්දියක් නොලැබිණි.
ඔහු හැඳ සිටින කබායේ පිටුපස "මනුෂ්‍යයෙකු ලෙසින්" යන අරුත දෙන වදන් ලියා තිබේ.

රාජු, ගීතා සහ සශි දිනපතා ම උදෑසන 5.00 සිට දහවල් 1.00 දක්වා රාජකාරියේ යෙදෙති.
තිදෙනාට ම මසකට ලැබෙන්නේ රුපියල් 7,000ක් පමණි.

"හැමෝම අපිව පහත් කරලා සලකන්නේ." ගීතා පැවසුවාය.
"මේක කිසිම අගය කිරීමක් නැති රස්සාවක්"

මේ බිහාර් ප්‍රාන්තයේ පිටිසර ගමක දිවි ගෙවන ඩෝම් ප්‍රජාවට අයත් පිරිසකි. පසුගිය අප්‍රේල් මාසයේ හටගත් ගින්නකින් නිවාස 10ක් විනාශ විය.
ඔවුන් සතුවූ ගවයන් මරණයට පත් විය.
හැඳුනුම් පත් සහ සලාක පොත් ගින්නට හසු වූ බැවින් කිසිදු පිළිසරණක් නොලැබුණි.

මීනාදේවි පනස් අට හැවිරිදි ය.
ඇය පළමු වරට තම නැන්දනිය සමඟ රැකියාවට ගියේ මීට වසර 25කට පෙර ය.
"මුලදී මට හරිම අප්පිරියාවක් දැනුණා. මේ රස්සාවට හුරු නැති නිසා මට ලැජ්ජාවක් දැනුනා. දැන් නම් මට මළපහ ගඳ හුරුයි. දුප්පත් කම නිසා කරන්න දෙයක් නැහැ." මීනාදේවි පැවසුවාය.

"මේ රස්සාව කරලා ම මගේ නැන්දම්මා මැරුණා. මළපහ ටින්වල පුරවලා ඇය අරගෙන යනවා. මමත් කළේ ඒක ම තමයි. දැන් අපි ටින් පාවිච්චි කරන්නේ නැහැ."
"ඒත් ඉතින් අපේ ඉරණම වෙනස් වෙලා නැහැ."










