ඉන්දියාව: 'කළු සම' නිසා දිවි නසාගත් තරුණිය

Close up shot of an Indian bride's hands

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිය සැමියා "අඳුරු හමේ වර්ණය" ගැන නිතර පවසමින් හිරිහැර සිදු කිරීම හේතුවෙන් 21 හැවිදිරි තරුණියක සිය දිවි නසාගෙන ඇති බව ඉන්දියානු පොලිසිය පවසයි.

තරුණියගේ පියාගේ පැමිණිල්ලක් මත සැමියාට එරෙහිව නඩු පැවරීමට රාජස්ථාන් පොලිසිය ක්‍රියා කර තිබේ.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය බීබීසී සේවයට පැවසීය. බිරිඳගේ මරණය ගැන සැමියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

සුදු පැහැති සම අඳුරු සමට වඩා උසස් යැයි බොහෝ ඉන්දියානුවෝ විශ්වාස කරති.

"අඳුරු සම ගැන පවසමින් සැමියා නිතර ඇයට අවමන් කළ" නිසා ඇය සිය දිවි හානි කරගත් බව තරුණියගේ පියා පොලිසියට පවසා ඇත.

"අඳුරු පැහැති සම" නිසා ඉන්දියානු කාන්තාවන් සිය දිවි නසාගත් ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

අඳුරු සම ගැන පවසමින් සැමියා අවමන් කිරීම දරාගත නොහැකිව 2014 වර්ෂයේ දී 29 හැවිදිරි කාන්තාවක ද සිය දිවි හානි කරගත් බව පොලිසිය පැවසීය.

පාසලේ ළමුන් "කළුයි, අවලස්සනයි" කීම නිසා 2018 වර්ෂයේ දී දාහතර හැවිදිරි ඉන්දියානු තරුණියක සිය දිවි නසා ගත් බව වාර්තා විණි.

"කළු හම එපා" යැයි කියන ශ්‍රී ලාංකිකයන්

අඳුරු පැහැති සමක් පිහිටීම හේතුවෙන් තමන්ට හිතවතුන්ගෙන් මෙන්ම සමාජයෙන් එල්ල වන පීඩනය දරා ගත නොහැකිව 'සම සුදු කරගැනීමේ' නොයෙකුත් උපක්‍රම අනුගමනය කිරීමට බොහෝ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ද පෙළඹී සිටිති.

Skin Whitening Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"අපි ළඟට එන සේවාදායකයෝ තමන් කැමතිම නිළිය හෝ නළුවාගේ පෙනුම ලබා දෙන්න කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් කොහොමහරි හම සුදු කරලා දෙන්න කියනවා. මේ ක්‍රමවල අහිතකර බලපෑම් ගැන අපි විස්තර කිවුවත්, ඒ අය ගණන් ගන්නේ නැහැ."

සමාජ ජාල ඇතුළු, සෑම මාධ්‍යයකින් ම උදේ ඉදන් රෑ වෙනකම් ප්‍රචාරය කරන්නේ නොයෙකුත් රූපලාවන්‍ය ක්‍රම ගැන. මේ දේවල් නිසා හම සුදු කරගන්න සහ වෙනස් වෙන්න ඕනෙ කියන එක මිනිස්සුන්ගේ ඔළුවට කා වැදිලා" යැයි රූපලාවන්‍ය ශිල්පිනියක වන අභිෂේකා විමලවීර බීබීසී සිංහල සේවයේ මින් පෙර පළ වූ ලිපියකට කරුණු දක්වමින් පැවසීය.

ශ්‍රී ලාංකිකයින් බහුතරයට උපතින් හිමි වන්නේ දුඹුරු හෝ ලා දුඹුරු පැහැති සමකි. මෙලනින් වර්ණකය අධික සමක් පිහිටීම සහ සම නිරන්තරයෙන් අව් රශ්මියට නිරාවරණය වීම තද පැහැති සමක් ලැබීමට හේතුවක් ලෙස දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයින්, ඉනුත් බොහෝවිට කාන්තාවෝ 'සම සුදු කර ගැනීමේ' නොයෙකුත් ආලේපන ගැල්වීමේ සහ ශරීරයේ යම් අංග වෙනස් කර ගැනීමේ අනුමැතියකින් තොර ක්‍රම අත්හදා බැලීමට පුරුදු වී සිටිති.

සමට අහිතකර නොයෙකුත් රසායන ද්‍රව්‍ය මිශ්‍ර කළ ආලේපන බොහොමයක් වෙළෙඳපොළෙහි බහුලව දක්නට ලැබේ. මේ අතර දේශීය නිෂ්පාදන මෙන්ම බහුජාතික සමාගම්වල රූපලාවන්‍ය නිපැයුම් ද ඉතා ලාභදායි මිලකට සතුකර ගැනීමේ හැකියාව ඇත.

Skin Whitening Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"සම සුදු කර ගැනීම දැන් 'පිස්සුවක්' බවට පත් වෙලා. මෙයට ඉතා ඉක්මණින් පිළියමක් සෙවිය යුතුයි" යැයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට බීබීසී සිංහල සේවයේ මින් පෙර පළවූ ලිපියකට අදහස් දක්වමින් පැවසීය.

මේ තොරතුරුද කියවන්න:

සම පැහැපත් කරවන ආලේපන සහ එන්නත්වලින් මෙලනින් නිෂ්පාදනය අවම කරන අතර, එය ශරීරයේ ස්වභාවික ක්‍රියාවලියට බාධා පමුණුවයි.

එමෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන මඟින් සමෙහි ඉහළම ස්ථරය ඉවත් කිරීම මඟින් අහිතකර සූර්ය කිරණ සහ පරිසරයේ ඇති නොයෙකුත් අපද්‍රව්‍යවලට සම නිරාවරණය කෙරෙනු ඇත. සමේ වර්ණක බිඳෙන ලේසර් ප්‍රතිකාර සහ එන්නත් කිරීම් ද බොහෝවිට හානිදායි ප්‍රතිඵල ගෙන දේ.

අනුමැතියකින් තොර, සම පැහැගැන්වීමේ නිපැයුම් බොහොමයක් වෙළෙඳපොළේ දැකිය හැකි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට, "පුද්ගලයෙකු යම් රෝගී තත්වයකින් පීඩා විඳිනවා නම් එයට සරිලන ප්‍රතිකාරයක් විදියට වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් ක්‍රම ඔස්සේ සම සුදු කිරීමට පුළුවන්. ඒ හැර කළු පුද්ගලයෙකු සුදු කරනවා කියා දෙයක් නැහැ" යැයි අවධාරණය කළේය.

මෙවැනි ආලේපන සහ එන්නත් දියරවල බොහෝ රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වී ඇති අතර, ඇතැම් ඒවා නොයෙකුත් ස්ටෙරොයිඩ් වර්ග සහ ලෝහමය ද්‍රව්‍යයක් වන රසදිය අධි මාත්‍රාවක් අඩංගු කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

Skin Whitening Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"රසදිය සමට අවශෝෂණය වීමෙන් ඇත්තෙන්ම සම සුදු වෙනවා. නමුත්, දීර්ඝ කාලීන භාවිතය තුළින් වකුගඩු රෝග, ස්නායු රෝග, මානසික ආතතිය, අතපය වෙව්ලීම, නොයෙකුත් ආසාදන තත්වයන් සහ ගර්භණී මවක් නම් දරුවාගේ වර්ධනයට පවා බලපෑම් එල්ල වෙන්න පුළුවන්"

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අකරවිට, "මේ දේවල් වලින් සම තුනී වෙනවා. ඊට පසු සමට යටින් තිබෙන ලේ නහර එළියට පේන්න ගන්නවා. මේ දේවල් භාවිතා කරලා සමේ රෝග ඇතිවුණ අය සතියකට දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මා හමුවට ප්‍රතිකාර ලබා ගන්න එනවා. ඒ අයගේ මුහුණේ ඇති කුරුලෑ දුටු සැණින් අපි දන්නවා යම් ආලේපනයක් විස වෙලා කියලා. මොකද, ඒවා සාමාන්‍ය ඒවාට වඩා වෙනස්," යැයි පෙන්වා දුන්නේය.

සිය ජීවිතයට වන හානිය ගැන නොතකා සමෙහි පැහැය සහ ශරීරාංගවල හැඩය වෙනස් කර ගැනීමට ඇතැම් කාන්තාවන් පෙළෙඹෙන හේතු රාශියක් ඇති බව අප කළ විමසුමකදී දැනගන්නට ලැබිණි.

  • තමන් ප්‍රිය කරන යම් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ පෙනුම ලබා ගැනීමේ අරමුණ.
  • සිය මිත්‍රයින්ගේ සමෙහි වර්ණය, ශරීරාංග හෝ ඔවුන්ගේ රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කිරීම.
  • අඳුරු පැහැති සමක් තිබෙනම් සමාජයෙන් කොන් වේ යැයි වැරදි මතයක එල්බගෙන සිටීම.
  • පිරිමින්ගේ ආකර්ෂණය ලබාගැනීමට අපොහොසත් වේ යැයි සිතීම.
  • විවාහයක් කරගැනීමට නොහැකි වේ යැයි බිය වීම. විශේෂයෙන්ම, මංගල දැන්වීම් ඔස්සේ පවා "පැහැපත් තරුණියක හෝ තරුණයෙකු" යන වදන් ඉස්මතු කර තිබෙනු දක්නට ලැබේ.
  • අඳුරු සමක් ඇතැයි පවුලේ හෝ මිතුරන්ගේ උසුළු විසුළුවලට ලක් වීම.
  • පාසලේදී, සේවා ස්ථානයේදී හෝ වෙනත් කාර්යකදී වෙනස් කොට සලකන බවට ඇති සැකය.
  • ජංගම දුරකථන සහ ඡායාරූපකරණයේ ඇති නොයෙකුත් අධි තාක්ෂණික ක්‍රමඋපයෝගී කරගෙන ලබා ගන්නා ඡායාරූපවල බොහෝ පුද්ගලයන් ඉතා සුදු පැහැති සමක් සහිතව දිස්වේ. මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ කළ පසු, එය සැබෑ ජීවිතයේ පෙනුමට වෙනස් නිසා ඇතිවන මානසික පීඩනයට ඇතැමුන් පිළිතුරු සොයන්නේ සම පැහැ ගන්වන ආලේපන මගිනි.
  • 'සමේ සුදු පැහැය' සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධවීමට ඇති මගක් ලෙස සිතීම.
  • සිය මංගල දිනයේ රූපලාවන්‍ය නිෂ්පාදන බොහෝමයක් භාවිත කරමින්, ආභරණ, මල් සහ වටිනා ඇඳුම්වලින් ඉතා අලංකාර වන කාන්තාවන්, විවාහයෙන් පසු සිය ස්වාභාවික බව සිය ස්වාමිපුරුෂයාට සහ සමාජයට පෙන්වීමට පැකිළීම.
  • කළු පැහැය ලැබෙන්නේ අපිරිසිදු වීමෙන් හෝ වෙනත් නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වීමෙන් යන මිත්‍යා මතවල එල්බගෙන සිටීම.
  • අන්තර්ජාලය සහ විවිධ මාධ්‍ය ඔස්සේ සම පැහැගන්වන ක්‍රම ප්‍රචාරය කිරීම.
Skin Whitening Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පුද්ගලයන්ගේ සමේ පැහැය වෙනස් වන්නේ ඇයි?

"මෙලනින් වර්ණකය සෑම පුද්ගලයෙකුගේ ම සමේ අඩු වැඩි වශයෙන් පිහිටා තිබෙනවා. වැඩිපුර සම අඳුරු පැහැ වීම අතිශය සාමාන්‍ය තත්ත්වයක්. එය රෝගයක් හෝ පුද්ගලයෙකු සමාජයෙන් වෙන් කර තැබීමට කාරණයක් නොවේ," යනුවෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පී ආර් ද සිල්වා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල දිවි ගෙවන පුද්ගලයන් නිතර හිරු එළියට නිරාවරණය වන බැවින්, අහිතකර හිරු කිරණවලින් සම ආරක්ෂා වීමට ස්වභාවයෙන් ම ඔවුන්ට මෙලනින් වර්ණකය වැඩි වශයෙන් ඇති සමක් පිහිටා තිබෙන බව වෛද්‍යවරිය පැවසුවාය.

"හිරු එළිය ඉතා අඩුවෙන් ලැබෙන රටවල ජීවත් වන පුද්ගලයන්ට සමේ මෙලනින් වර්ණකය පිහිටන්නේ අල්ප වශයෙන්."

"ඔවුන්ගේ සම හිරු එළියට ඕනෑවට වඩා නිරාවරණය වුණොත් පිළිකා ඇතුළු නොයෙක් සමේ රෝග හැදීමේ අවදානම වැඩියි. ඒ වගේ ම ඉතා ඉක්මනින් රැලි වැටෙනවා."

Skin Whitening Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සාමාන්‍යයෙන් දුඹුරු පැහැති සමක් සහිත පුද්ගලයන්ගේ සෛලවල න්‍යෂ්ටිය ආවරණය වී ඇති අතර, එවැනි සමක් ඇති පුද්ගලයන්ට හිරු එළියෙහි ඇති අහිතකර කිරණවලින් සිදු වන හානිය අඩුය.

දුඹුරු සමක් සහිත පුද්ගලයන්ගේ සම රැලි වැටී මහලු පෙනුමක් ගෙන දීමට සහ සමෙහි පිළිකා ඇති වීමට ඇති අවදානම අඩු බව ද වෛද්‍යවරිය පැවසීය.

"ඒ වගේ ම ජානවලින් පැවත එන සමේ පාට වෙනස් කරන්න බැහැ. තමන්ට උපතින් ලැබී තිබෙන සමේ පැහැය ගැන සතුටු වෙනවා වෙනුවට, එය වෙනස් කරන්න උත්සහ කිරීමෙන් වෙන්නේ නිකරුණේ රෝගියෙකු බවට පත් වීම," යැයි වෛද්‍යවරිය තවදුරටත් කියා සිටියාය.

තවත් තොරතුරු: