ඉන්දීය රූ රැජින තරගය: තරගකාරියන් සියලුදෙනා එක සමාන ලෙස පෙනෙන්නේ ඇයි?

Miss India 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තරගකාරියන් සියලුදෙනා එක ලෙස පෙනෙන බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී

ඉන්දියානු රූ රැජින තරගයේ අවසාන වටයට තේරී පත් වූ තරගකාරියන් පුළුල් සිනාවකින් මුහුණ සරසාගෙන ඡායාරූපවලට පෙනී සිටීම අරුමයක් නොවේ. ඒ මන්ද යත් ඉන්දියානු රූප රැජින තරගය යනු ප්‍රියංකා චොප්රා, අයිශ්වර්යා රායි වැනි ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන්ගේ වෘත්තීය දිවියේ ආරම්භක ස්ථානයයි.

මෙය ඇත්තෙන්ම ජීවිතය වෙනස් කළ හැකි තරගයකි.

කෙසේනමුත්, මෙවර තරගකාරියන්ගේ ජයග්‍රහණ සමරනවා වෙනුවට ඔවුන් පෙනී සිටින ඡායාරූප සමූහයකට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී. රූ රැජින තරගය සංවිධායකයන් තරගකාරියන්ගේ සමේ පැහැය ගැන වැඩි අවධානයක් යොමු කර ඇති බව විවේචකයන් පවසති.

තරගය සංවිධායනය කරන ආයතනයට අයත් 'ටයිම්ස් ඔෆ් ඉන්දියා (Times of India)' පුවත්පතේ මෙම ඡායාරූප සමූහය පළ කර තිබිණි. ඉතා ලස්සන කාන්තාවන් 30 දෙනෙකුගේ මුහුණු මෙහි දැක ගත හැකිය.

නමුත් ට්විටර් පරිශීලකයෙකු එම ඡායාරූපය සිය ගිණුමේ පළ කර "මේ පින්තූරයේ ඇති වරද මොකක්ද?" යැයි අසා සිටීමත් සමග එය සමාජ ජාල අතර සංසරණය වෙමින් විශාල කතිකාවතක් ගොඩනැගිනි.

උරහිස් දක්වා වැටී තිබෙන මනාව සැකසූ දිලිසෙන කොණ්ඩා සහ අන්තර්ජාලය ඔස්සේ එකම ආකාරයට පෙනෙන සමේ පැහැය නිසා තරගකාරියන් සියලුදෙනා එක ලෙස පෙනෙන බව සමහරු පවසති. මෙම ඡායාරූප සමච්චලයට ලක් කරන සමහරු පවසන්නේ ඒවායේ සිටින්නේ එකම කාන්තාව බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ඉන්දියානු කාන්තාවන් අතර සමේ පැහැය සම්බන්ධයෙන් පවතින විවිධත්වය නැති වී යමින් පවතින අතර, "සුදු පැහැති" සමක් ලබා ගැනීමට ඇති දැඩි උනන්දුව මෙයින් පෙනී යන බව විවේචකයෝපෙන්වා දෙති.

ඒ හැර ඡායාරූපවලට පෙනී සිටින කාන්තාවන්ගේ කිසිදු වරදක් නොමැති බව ද ඔවුහු පවසති.

අදාළ මාතෘකාව සමාජ මාධ්‍ය ජාලවල ජනප්‍රිය වන විට, මේ ගැන ප්‍රතිචාර ලබා ගැනීමට බීබීසී සේවය සංවිධායකයන් ඇමතීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය.

1990 වර්ෂයේ මැද භාගයේ සිට රූ රැජින තරග ඉන්දියාව තුළ විශාල ව්‍යාපාරයක් ලෙස ප්‍රචාරය වී තිබේ. ප්‍රියංකා චොප්රා, අයිශ්වර්යා රායි සහ සුශ්මිතා සෙන් වැනි ලෝක කිරුළු දිනූ රූ රැජිනියන් කීපදෙනෙකු ඉන්දියාවෙන් බිහි වී ඇත.

රූ රැජින තරග ජයග්‍රාහකයන් බොහෝ දෙනෙකු බොලිවුඩ් සිනමාව තුළ අති සාර්ථක ගමනක් ආරම්භ කර තිබේ.

මෙවැනි තරග සඳහා සහභාගී වීම සඳහා කාන්තාවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන රට පුරා පසුගිය වසර කීපය තුළ හතු පිපෙනවා මෙන් පිහිටුටවනු ලැබීය.

නමුත්, අවසානයේ දී බොහෝ මධ්‍යස්ථානවල සාර්ථකත්වය රඳා පවතින්නේ "සුදු පැහැති" සමක් ඇති කාන්තාවන් මෙම තරග සඳහා යොමු කිරීමෙන් පමණය.

මෙම තත්වය පුදුමයට කරුණක් නොවේ.

Miss India 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1994 ලෝක රූ රැජින තරඟය ජයග්‍රණය කළ අයිශ්වර්යා රායි

"සුදු පැහැති" සමකට උරුමකම් කීම ඉන්දියානු කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය අතර, එවැනි සමක් ඇති තැනැත්තියක් තද පැහැති කෙනෙකුට වඩා උසස් යැයි සමාජ මතයක් පවතී.

මෙම තත්ත්වය බොහෝදෙනෙකු අනුමත කරන අතර, සමේ වර්ණය "සුදු වීම" විවාහ වීම සඳහා සුදුසුකමක් ලෙස ද සලකයි.

1970 වසරේ දී හඳුන්වා දුන් 'ෆෙයා ඇන්ඩ් ලව්ලි (Fair & Lovely)' ඉන්දියාවේ ප්‍රථම "සුදු වීමේ" ක්‍රීම් වර්ගයයි. එතැන් පටන් මෙවැනි රූපලාවන්‍ය නිෂ්පාදනවලට ඉන්දියාව තුළ අති විශාල වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. අති ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පීන් ද "සුදු වීමේ" නිෂ්පාදන ප්‍රවර්ධන දැන්වීම්වලට පෙනී සිටීම මෙයට එක් හේතුවකි.

මෙවැනි ක්‍රීම් සහ ජෙල් වර්ග භාවිතය "සුදු පැහැති" සමක් පමණක් නොව වැදගත් රැකියාවක්, ප්‍රේමය සොයාගැනීමට මෙන්ම විවාහ වීමට ද බලපාන සාධකයක් ලෙස එකී වෙළෙඳ දැන්වීමවල ප්‍රචාරය විය.

ඒ අනුව, "සුදු පැහැති" සමක් තිබෙන කාන්තාවන් රූප රැජින තරගවලින් ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් හිමි වේ.

මේ තොරතුරුද කියවන්න:

කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ට ද "සුදු පැහැති" සමක් හිමි විය යුතු යැයි සමාජ මතයක් ගොඩනැගීමත් සමග 2005 වර්ෂයේ දී 'ෆෙයා ඇන්ඩ් හැන්ඩ්සම (Fair & Handsome) නැමැති ක්‍රීම් වර්ගය හඳුන්වා දීමට අදාළ සමාගම් ක්‍රියා කළහ.

බොලිවුඩ්හි සුපිරි රංගන ශිල්පියෙකු වන ශාරුක් ඛාන් යොදාගෙන එම ක්‍රීම් වර්ගය ප්‍රචාරය කිරීමත් සමග එය අතිශය ජනප්‍රිය විය.

Miss India 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2000 වසරේ ලෝක රූ රැජින තරඟය ජයග්‍රණය කළ ප්‍රියංකා චොප්රා

තද පැහැති සමේ වර්ණය සහ එහි අලංකාර බව අගය කිරීමට පුද්ගලයන් පෙළඹවීම සඳහා පසුගිය වසර තුළ නොයෙකුත් ව්‍යාපෘති ආරම්භ විය.

නමුත් කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රිය අවට සම ඇතුළු මුළු ශරීරයම "සුදු පැහැ" කිරීමේ ක්‍රීම් සහ ජෙල් වර්ග විශාල ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් වීම වැළැක්වීමට මේ කිසිවකින් නොහැකි වී තිබේ.

සම පැහැපත් කරන ක්‍රීම් සහ බ්ලීච් වර්ග නිෂ්පාදන සමාගම් ඉන්දියාව තුළ වසරකට ඩොලර් මිලියන ගණනක වෙළඳාම් කරන අතර, මෑතක දී සිදු කළ ඇස්තමේන්තුවකට අනුව 2023 වන විට එය ඉන්දීය රුපියල් බිලියන 50ක ව්‍යාපාරයක් බවට පත් වෙනු ඇත.

කෙසේ නමුත්, දෙතොල් රත් පැහැ ගැන්වීමට කාන්තාවන් තොල්සායම් ආලේප කරන්නේ නම් "සම සුදු කිරීම" සඳහා ක්‍රීම් සහ ජෙල් වර්ග භාවිත කිරීමේ වරදක් නොමැති බවත්, එය පෞද්ගලික තීරණයක් බවත් සමහරු පවසති.

නමුත්, "සුදු පැහැති සමක්" ඇති තැනැත්තන් "උසස්" ලෙස සැලකීම නිසා තද පැහැති අයට සමාජයෙන් පීඩා එල්ල වන අතර, ඔවුන්ගේ ආත්ම විශ්වාසයට හානි සිදු වී පෞද්ගලික දිවියේ මෙන්ම රැකියාව තුළ ද නොයෙකුත් ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බව "වර්ණභේදයට" එරෙහිව සටන් කරන පිරිස පවසති.

Miss India 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපි විශ්වාස කරන සම්මතයන් වැරදියි"

තද පැහැති සමක් ඇති මෝස්‌තර නිරූපණ ශිල්පිනියන් නිරූපණය සඳහා තෝරා නොගත් අවස්ථා ද ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. බොලිවුඩ් සිනමාවේ ද තද පැහැති සමක් සහිත රංගන ශිල්පිනියන් සිටින්නේ අතලොස්සක් පමණි.

'සායි පල්ලවී' නැමැති බොලිවුඩ් රංගන ශිල්පිනිය සම සුදු කරන ක්‍රීම් වර්ගයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම වසර මුල දී නිෂ්පාදනය කිරීමට නියමිතව තිබූ එම දැන්වීම සඳහා ඉන්දියානු රුපියල් මිලියන 20ක ගාස්තුවක් ඇයට ලබා දීමට අදාළ සමාගම යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

"ඒ වගේ වෙළෙඳ දැන්වීමකට පෙනී ඉඳලා ලැබෙන මුදලින් මම මොනවා කරන්නද? මට ලොකු අවශ්‍යතා නැහැ..."

"අපි විශ්වාස කරන සම්මතයන් වැරදියි. මේ තමයි ඉන්දියානුවන්ගේ පාට. විදේශිකයන් ළඟට ගිහින් අපිට අහන්න බැහැ ඇයි ඒ අය සුදු පාට කියලා."

"ඒ තියෙන්නේ ඒ අයගේ සමේ පාට, මේක අපේ සමේ පාට," ඇය පැවසීය.

තවත් තොරතුරු: