'මගේ අක්මාවේ දරුවෙක් ඉන්නවා කියලා වෛද්‍යවරු හොයා ගත්තා'

සර්වේෂ් කුඩා ඇඳක් මත සිටින ආකාරය සහ ඇගේ සැමියා ඇයට සහය වන ආකාරය නිරූපණය කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, BBC/Prabhat Kumar

ඡායාරූප ශීර්ෂ වැකිය, සර්වේෂ්ගේ උදරය පුරා මැහුම් 21ක් ඇති අතර එය යථා තත්ත්වයට වීම සඳහා ඇයට ඇඳට වී විවේක ගන්නා ලෙස නියම කෙරිණි
    • Author, බීබීසී ලෝක සේවය

"මට පාලනය කර ගන්න බැරි විදිහට වමනේ ගියා. හැම වෙලාවෙ ම දැඩි තෙහෙට්ටුවක් සහ වේදනාවක් දැනුණා," සර්වේෂ් බීබීසියට පැවසුවා ය. 35 හැවිරිදි ඇය ඒ වන විටත් ටික කලක සිට රෝගාතුරව සිටියා ය.

"මට මොක ද වෙන්නේ කියලා තේරුම් ගන්න අමාරු වුණා."

උත්තර් ප්‍රදේශ්හි බුලන්ඩ්ෂෙහෙර් දිස්ත්‍රික්කයේ පදිංචි සර්වේෂ් පළමු වරට ඇගේ වෛද්‍යවරයා හමු වීමට ගිය අවස්ථාවේ පළමු අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයේදී කිසිවක් අනාවරණය නොවිණි. එබැවින් ඇය ඊට හේතුව ආමාශයේ ආසාදනයක් යැයි සැකකර ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම දිගට ම කරගෙන ගියා ය.

ඖෂධ ලබා ගැනීමෙන් මාසයකට පසු, සෞඛ්‍ය තත්ත්වයෙහි කිසිදු ප්‍රගතියක් පෙන්නුම් නොකළ බැවින් ඇය නැවතත් වෛද්‍යවරයා හමු වීමට ගියා ය. මෙවර, පෙන්නුම් කළ දෙය කෙතරම් කම්පනසහගත ද යත්, ඇගේ වෛද්‍යවරුන්ට පවා ඔවුන් ඉදිරිපිට ඇති රූප විශ්වාස කිරීමට අපහසු විය.

ඉන්දියාවේ මීරුට්හි වසර විස්සක කාලයක් විකිරණවේදියෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය කේ.කේ. ගුප්තා, තම රෝගියා වන සර්වේෂ්ගේ ස්කෑන් පරීක්ෂණය පළමු වරට දුටු අවස්ථාව විස්තර කරන්නේ, විස්මයට පත්වූවෙකු ලෙසිනි.

"එයාගෙ අක්මාවෙ දකුණු පැත්තේ සති 12ක කළලයක් තිබුණා," යැයි ඔහු පැවසීය. එය MRI ස්කෑන් පරීක්ෂණයකදී ඔහු කිසිදා අත්විඳ නොතිබූ දෙයකි.

"ඒක ඇත්තට ම ගැබ් ගැනීමක් ද කියලා තහවුරු කර ගන්න මම ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල කිහිප වරක් ම පරීක්ෂා කළා."

සර්වේෂ්ගේ සැමියා වන පරම්වීර් සිය නිවසින් පිටත පුටුවක වාඩි වී සිටින ආකාරය නිරූපණය කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, BBC/Prabhat Kumar

ඡායාරූප ශීර්ෂ වැකිය, සර්වේෂ්ගේ සැමියා වන පරම්වීර් පවසන්නේ මෙම දුර්ලභ ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම (ectopic pregnancy) සිය පවුලට මානසිකව සහ මූල්‍යමය වශයෙන් අතිශයින් අභියෝගාත්මක වී ඇති බව ය

සංසේචනය වූ ඩිම්බයක් ගර්භාෂයෙන් පිටත, සාමාන්‍යයෙන් පැලෝපීය නාලය තුළ තැන්පත් වූ විට බහිෂිකේතනක (ectopic pregnancy) ගැබ් ගැනීමක් සිදු වේ. ගැබ්ගැනීම්වලින් 80න් එකකදී පමණ මෙවැනි ගැබ් ගැනීමක් වන අතර ඇතැම් අවස්ථාවල එය මවගේ ජීවිතයට තර්ජනයක් විය හැකි ය.

සර්වේෂ්ගේ සිද්ධියේදී, ඇගේ ගර්භාෂය තුළ කළලය වර්ධනය වීම වෙනුවට එය ඇගේ අක්මාව තුළ වර්ධනය වෙමින් පැවතිණි. අපගේ රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම, රුධිරයේ සීනි මට්ටම පවත්වා ගැනීම සහ රුධිරය කැටි ගැසීම යාමනය කිරීම සඳහා අක්මාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

අක්මාව තුළ සිදුවන ගැබ් ගැනීම් ඉතා දුර්ලභ බැවින්, සර්වේෂ් වෙත ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රජාවේ ද අවධානය යොමු විය.

මීරුට්හි විකිරණවේදියෙකු වන වෛද්‍ය කේ.කේ. ගුප්තා, පරිගණක තිරයක MRI ස්කෑන් විශ්ලේෂණය කරමින් මේසයක් අසල වාඩි වී සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, BBC/Prabhat Kumar

ඡායාරූප ශීර්ෂ වැකිය, දශක ගණනාවක අත්දැකීම් ඇති වෛද්‍යවරු පවා සර්වේෂ්ගේ ස්කෑන් පරීක්ෂණ දැක මවිතයට පත් වූහ

සුවය ලැබීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පසුගිය මාස තුනක කාලය සමස්ත පවුලට ම ඉතා අභියෝගාත්මක වූ බවත්, තමන් සැලකිය යුතු මූල්‍ය පීඩනයකට ලක්වූ බවත් මෙම යුවළ පවසති.

බීබීසීය සර්වේෂ් හමුවීමට දස්තූරා ගම්මානයේ පිහිටි ඇගේ නිවසට ගියේ ය. ඒ වන විට ඇය විවේක ගැනීම සඳහා ඇඳ මත වැතිර සිටියේ වේදනාවෙනි. ඇගේ උදරයේ දකුණු පැත්තේ තිබූ මැහුම් 21 ආවරණය කරමින් යෙදූ පළල් වෙළුම් පටියක් ද විය. නාන කාමරය භාවිත කිරීමේ සිට ඇඳේ වාඩි වී ඇඳුම් මාරු කිරීම දක්වා සෑම දෙයකට ම ඇයට ඇගේ සැමියා වන පරම්වීර් මත යැපීමට සිදුවී තිබේ.

ඇගේ මාසික ඔසප් චක්‍රය සාමාන්‍ය තත්ත්වයෙන් ක්‍රියාත්මක වූ හෙයින් වෛද්‍යවරුන් පැවසූ දේ පිළිගැනීමට ඇයට දුෂ්කර වූ බව සර්වේෂ් පවසන්නී ය.

මෙවැනි ගැබ් ගැනීම් සමග කාන්තාවන්ට අධික ලෙස රුධිර වහනය වන බැවින් "ගැබ් ගැනීමක් හඳුනා ගැනීමට කාලයක් ගත වන" බවට වෛද්‍ය කේ.කේ. ගුප්තා පැහැදිලි කරයි.

බහුවිධ තක්සේරු කිරීම්වලින් පසුව, ඇගේ වෛද්‍යවරුන් නිගමනය කළේ, කළලය ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් හැර වෙනත් විකල්පයක් නොමැති බව ය. එය දිගට ම වර්ධනය වුවහොත් ඇගේ අක්මාවට හානි වී ඇය මිය යාමේ අවදානමක් ද පැවතිණි.

සංකීර්ණත්වය නිසා, සැත්කම සඳහා දිල්ලියට යන ලෙස යුවළට දැඩි ලෙස අවවාද කරන ලද නමුත් ඔවුන්ට ඒ සඳහා වැය වන මුදල දරා ගැනීමට නොහැකි විය.

"අපි දුප්පත් නිසා දිල්ලියට ගිහින් ඒකට සල්ලි ගෙවන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ," පරම්වීර් පවසයි.

අවසානයේ, මාස තුනක කාලයක් වේදනා විඳි සර්වේෂ්ගේ සැත්කම කිරීමට මීරුට්හි පෞද්ගලික රෝහලක වෛද්‍ය කණ්ඩායමක් එකඟ විය. එය විනාඩි 90ක් පුරා සිදු විය.

රටා සහිත කවුළුවක් ඉදිරිපිට වීඩියෝ ඇමතුමක සිටින වෛද්‍ය මොනිකා අනන්ත්

ඡායාරූප මූලාශ්‍රය, BBC/Prabhat Kumar

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍ය මොනිකා අනන්ත් පැහැදිලි කරන්නේ ගැබ්ගැනීම්වලින් 1%ක් පමණ ගර්භාෂයෙන් පිටත වර්ධනය වන බව ය

අක්මාව තුළ සිදුවන ගැබ් ගැනීම කොතරම් දුර්ලභ ද?

කාන්තාවක සාමාන්‍යයෙන් ගැබ් ගන්නේ ඇගේ ඩිම්බකෝෂයෙන් නිකුත් වන ඩිම්බයක් ශුක්‍රාණු සමග සංසේචනය වූ විට බව වරණාසියේ වෛද්‍ය විද්‍යා ආයතනයේ ප්‍රසව හා නාරිවේද අංශයේ මහාචාර්ය වෛද්‍ය මම්තා සිං පැහැදිලි කරයි.

මෙම සංසේචනය වූ ඩිම්බය පසුව පැලෝපීය නාල හරහා එය කළලයක් ලෙස තැන්පත් වී වර්ධනය වන ගර්භාෂය දෙසට ගමන් කරයි.

ඇතැම් අවස්ථාවලදී, මෙම සංසේචනය වූ ඩිම්බය ගර්භාෂයට ළඟා වීම වෙනුවට පැලෝපීය නාලය තුළ ම පවතින බව හෝ ඉතා කලාතුරකින් වෙනත් ඉන්ද්‍රියයක මතුපිටට ඇලී සිටින බව වෛද්‍ය සිං පවසයි.

සර්වේෂ්ගේ සිද්ධියේදී කළලය ඇගේ අක්මාවේ තැන්පත් විය. අක්මාවට හොඳින් රුධිර සැපයුම ලැබේ. ඒ නිසා මුල් දිනවල එය කළලයට "සාරවත් භූමියක්" ලෙස ක්‍රියා කරන නමුත් අවසානයේ ඊට එහි පැවැත්මට දායක විය නොහැකි බව වෛද්‍ය සිං පවසයි.

ගෝලීය වශයෙන් ගැබ්ගැනීම්වලින් 1%කදී පමණ ගර්භාෂයෙන් පිටත ගැබ්ගැනීම් සිදුවන බව පැට්නා AIIMSහි ප්‍රසව හා නාරිවේද අංශයේ මහාචාර්ය වෛද්‍ය මොනිකා අනන්ත් පවසයි.

"ඇස්තමේන්තු කර ඇති පරිදි, ගැබ් ගැනීම් මිලියන හතත් අටත් අතර ගණනකින් එකක් පමණක් අක්මාව තුළ ගැබ් ගැනීමක් විය හැකි යි," ඇය පවසයි.

සර්වේෂ්ට පෙර, ලොව පුරා අක්මාව තුළ ගැබ්ගැනීම් 45ක් පමණක් වාර්තා වී ඇති බව වෛද්‍ය අනන්ත් පවසයි. ඉන් තුනක් ඉන්දියාවෙන් වාර්තා විය. පළමු සිද්ධිය 2012දී දිල්ලිහි ලේඩි හාඩින්ජ් වෛද්‍ය විද්‍යාලයෙන් වාර්තා විය.